Friday, December 30, 2016

කැන්ගරුවන් සළිත කල ක්‍රිකට් අසිපත




"Cairns there, hitting it with only one hand. And in spite of the fact he hits it with one hand, it still goes over the longest boundary at the MCG for six."

“The method was identical, the timing was superb and the spectators at long-on are now an endangered species.” - Frank Tyson (The "Typhoon") - Channel 9 Commentator

ලකුණු 303 ක ඉලක්කයක් හඹායමින් සිටි නවසිලන්ත පිල අසාර්ථක පිතිහරඹයක නිරත විය. එහෙත් එක් පිතිකරුවෙක් ඒවනවිට පරාජය, ගෞරවනීය එකක් ලෙස හරවාගත යුතු බවට තීරණය කර අවසන්. මේ 1983 බෙන්සන් සහ හෙජස් තරඟාවලියේ දෙවන අවසන් තරඟය යි. තුන් ඉරියව් ක්‍රීඩක ලාන්ස් කෙයාන්ස් සහ කඩුලු රකින පිතිකරු වොරන් ලීස් පිටියේ රැඳී සිටියෝ ය. ලාන්ස් කෙයාන්ස් ගේ පැමිණීම සාර්ථක නොවී ය. ඩෙනිස් ලිලී ගේ බවුන්සර් පන්දුව ඔහුගේ හිසේ වැදින. මෙයින් කෝපයට පත් වූ ඔහු අනෙක් අන්තයේ සිටි වොරන් ලීස් හට පැවසුයේ අද මොවුන්ට හොඳ පාඩමක් උගන්වන්නට ඔහු සුදානම් ලෙසටයි. 

'Bugger this', or probably a little bit stronger words than that, 'it's either going to be in or out here' - Lance Cairns
ඉන් අනතුරුව ක්‍රියාත්මක වුයේ ලාන්ස් කෙයාන්ස් ගේ ප්‍රහාරයයි. කෙන් මැක්ලේ හට හයේ පහර දෙකක්, රොඩ්නි හොග් ට හයේ පහර දෙකක් සහ ඉන් නොනැවතුණු ඔහු එතෙක් එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතක ලාභියා වෙමින් පන්දු 21 කින් ඉලක්කය සපුරා ගන්නා ලදී. ඉහත හයේ පහර හතරට අමතරව ඔහු ඩෙනිස් ලිලී හටද හයේ පහර දෙකක් එල්ල කෙරිණ. ඉන් එකක් තනි අතකින් එල්ල කෙරු අනර්ඝ හයේ පහරක් ලෙසට ද විචාරකයෝ මත පලකිරීමට සමත් විය. The 'G' නොහොත් MCG පිටියේ පැවති මෙම තරඟයේ වඩාත් කතාබහට ලක්වූ කරුණු තුනක් විය. 

1. ලාන්ස් කෙයාන්ස් ගේ වේගවත්ම අර්ධ ශතකය.
2. කෙයාන්ස් තනි අතින් එල්ල කල හයේ පහර. 
3. කෙයාන්ස් භාවිතා කල පිත්ත.



මෙම ලිපිය, ඉහත තරඟය පිලිබඳ සවිස්තර වාර්තාවක් නොවේ. කෙයාන්ස් භාවිතා කල පිත්ත පිලිබඳ පුර්ව සිදුවීම් පෙළයි. "EXCALIBUR" (එක්ස්කැලිබර්) පිත්ත අපුරු හඳුන්වාදීමක් ලෙස සැලකීම වරදක් නොවේ. සාම්ප්‍රදායික පිත්තේ උරහිස් ප්‍රදේශය ඉවත්කොට පිත්තේ ඝනකම විශාල කොට නිමැවුවක් ලෙස මේ එක්ස්කැලිබර් පිත්ත නම්කොට හැකිය. 

“It was such a big bloody bat, the edges were so thick and there was so much wood in it that I had no chance of doing any damage to it” - Lance Cairns
සුප්‍රසිද්ධ නිව්බෙරි සමාගමේ නිෂ්පාදනයක් වන එක්ස්කැලිබර් පිත්ත භාවිතා කල ප්‍රථමයා වුයේ ලාන්ස් කෙයාන්ස් ය. හිටපු නවසිලන්ත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජෝන් ගයි, මෙම පිත්ත නිර්මාණය සඳහා මුලිකවම කටයුතු කල පුද්ගලයා ලෙස සලකයි. ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව ඔහු ජීවිකාව කොට ගත්තේ ක්‍රීඩා උපකරණ බෙදාහරින ස්ථානයක් ආරම්භ කිරීමෙනි. ඉන් අනතුරුව නිව්බෙරි සමාගම හා එක්වෙන ජෝන්, පිත්තක එක් දුර්වල ස්ථානයක් ලෙස පිත්තේ උරහිස් ප්‍රදේශය ලෙස හඳුනා ගැනින. ඒ අනුව නිව්බෙරි සමාගම නවතම පිත්තක් ලෙස උරහිස් රහිත එක්ස්කැලිබර් පිත්ත හඳුන්වාදෙනින.   

පිත්ත නිර්මාණය කිරීමටත් වඩා එයට සුදුසු නමක් යෝජනා කිරීම අපහසු කර්තව්‍යක් විය. ජෝන් ගයි පවසන පරිදි ඔහුට හැඟුනේ මෙම පිත්ත අසිපතක් ලෙස යි. ඒ අනුව සුප්‍රසිද්ධ ආතර් රජු භාවිතා කල එක්ස්කැලිබර් අසිපත ට සමාන කරමින් ඉහත නාමය සම්මත විය. එක්ස්කැලිබර් පිත්ත තාවකාලික හඳුන්වාදීමක් පමණි. කෙයාන්ස් ට පසුව මෙය වෙනත් කිසිවෙකුත් භාවිතා නොකෙරිණි. 

#DON
30.12.2016


උපුටා ගැනීම් :
Eva, Bruce (2013) "Kiwi Cairns' Six Sixes in 1983", http://www.smh.com.au/sport/kiwi-cairns-six-sixes-in-1983-20130202-2drv9.html 
Coverdale, Brydon (2015) "The man behind Excalibur", http://www.espncricinfo.com/magazine/content/story/918223.html



Saturday, August 27, 2016

නිමැවුම්කරු ගේ සමුගැනීම



ක්‍රිකට් ක්‍රීඩාවේ ඕනෑම අංගයක් වෙනස් කිරීම හෝ නව හඳුන්වාදීමක් සිදුකිරීම අපහසුයි. එය ඔබ සිතන අයුරින් අද තීරණයකට එළැඹීමෙන් පසු හෙට වෙනස් කල හැකි මට්ටමේ දෙයක් නොවේ. එවැනි ක්‍රිකට් ක්‍රීඩාවේ නව නිපැයුම්කරුවන් බිහිවී ඇත්තේ ද අල්පයකි. ඔවුන් නිසා ක්‍රීඩාවට සිදුවූ මෙහෙය ප්‍රමාණාත්මකව මැනිය නොහැක. තිලකරත්න දිල්ශාන් එවැනි ක්‍රීඩකයෙකි. ඔබට පහසුවෙන් ක්‍රිකට් සමාජ කණ්ඩායමක සොයාගත නොහැකි ක්‍රීඩකයෙකි. පහසුවෙන් පාසල් ක්‍රිකට් තරඟ තුලින් ද සොයාගත නොහැකි ක්‍රීඩකයෙකි. 



දිල්ශාන් ගේ පාසල් ක්‍රිකට් දිවිය ඇරඹෙන්නේ කළුතර විද්‍යාලයෙනි. ඔහු ගේ හැකියාව හඳුනාගැනීමේ ගෞරවය හිමිවන්නේ 80 දශකයේ අගභාගයේ දී පමණ එවකට කළුතර විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු වූ සුනිල් සළුවඩන මහතා ටය. ඒවනවිට දසහැවරිදි වියේ පසුවූ දිල්ශාන් වඩාත් දක්ෂ වුයේ පාපන්දු ක්‍රීඩාවට ය. පොලිස් නිලධාරියකු වූ ඔහුගේ පියා ද ප්‍රධාන පෙලේ පාපන්දු තරඟ නියෝජනය කල අයෙක් නිසාම දිල්ශාන් ගේ ප්‍රියතම ක්‍රීඩාව වුයේ පාපන්දු යි. එහෙත් සුනිල් සළුවඩන මහතා ගේ මඟපෙන්වීම යටතේ ඉතාමත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස පරිණත වූ දිල්ශාන් 15න් පහල කළුතර විද්‍යාලීය කණ්ඩායමේ නායකයා ලෙස ද 17න් පහල සහ 19න් පහල කණ්ඩායමේ මුල්පෙළේ ක්‍රීඩකයෙක් ලෙස දස්කම් පෑවේ ය. 

I remember he was just 15 when he hit a cracking century against Galle Cricket Club at an Under-23 match for Kalutara Town Club. To hit a century at that age is not an easy task The indication of a future international player was there in him since he was a toddler (මට මතකයි වරක් ඔහු ගාලු ක්‍රිකට් සමාජයට එරෙහිව 23න් පහල තරඟයක දී කළුතර නාගරික සමාජය වෙනුවෙන් වේගවත් ශතකයක් වාර්තා කළා. එහි සුවිශේෂත්වය වන්නේ ඒවනවිට ඔහුගේ වයස 15ක් වීමයි. එවැනි වයසක දී ඒවගේ ශතකයක් වාර්තා කිරීම ඉතාමත් අපහසුයි. අනාගත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගේ සලකුණු ඔහු ඒවනවිටත් නිරූපණය කර අවසන්) - සුනිල් සළුවඩන මහතා 
(උපුටා ගැනීම - Sunday Observer)


වයස 17 පිරෙත්ම බස්නාහිර දකුණ කණ්ඩායම නියෝජනය කරමින් පළමුපෙළ වරම් දිනාගන්නා දිල්ශාන් එම තරඟයේ දී රැස්කරගන්නේ ලකුණු 9ක් පමණයි. ඉන් වසරකට පසු දිල්ශාන් ඔහුගේ දෙවන පළමුපෙළ තරඟයේදීම 126ක් සහ 47ක් රැස්කරගනිමින් දක්ෂතා දැක්විය. 

1996 වසරේ දී ප්‍රථම වරට ක්‍රිකට් සමාජ කණ්ඩායමක් (කළුතර නාගරික සමාජය) නියෝජනය කරන දිල්ශාන් එතැන්පසු සිංහ ක්‍රීඩා සමාජය, සෙබස්ටිනයිට්ස් ක්‍රීඩා සමාජය සහ ඔහු ගේ ක්‍රිකට් දිවියේ වැඩි කලක් ක්‍රීඩාකළ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට ඔහුගේ දායකත්වය සපයා දෙන ලදී. ඔහු බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට ක්‍රීඩාකරන අවධියේ එම කණ්ඩායමේ රොෂාන් මහානාම, සනත් ජයසුරිය වැනි නම් දැරූ ක්‍රීඩකයින් ද නියෝජනය කළෝ ය. 



1998 වසරේ දී දකුණු අප්‍රිකානු A පිලට එරෙහිව ශ්‍රී ලංකා A පිලට කඩුලු රකින පිතිකරුවෙක් ලෙස කැඳවීමක් ලැබුණු දිල්ශාන් ට සාර්ථක වීමට නොහැකි වුවත් කඩුලු රකින්නෙක් ලෙස සැලකිය යුතු මට්ටමේ දස්කම් දැක්විය. එහෙත් 1999 වසරේ ශ්‍රී ලංකා A කණ්ඩායමේ එංගලන්ත සංචාරය දිල්ශාන් ගේ තීරණාත්මක තරඟාවලිය විය. එහිදී පිත්තෙන් මෙන්ම කඩුලු රකින්නෙක් ලෙස විශිෂ්ට දක්ෂතා දැක්වූ ඔහුට එම වසර අගභාගයේ දී පැවති සිම්බාබ්වේ ටෙස්ට් සහ එක්දින තරඟාවලියට දුලිප් මෙන්ඩිස් ඇතුළු තේරීම් කමිටුවේන් කැඳවීමක් ලැබිණ. මංගල ටෙස්ට් තරඟයේ දී අසාර්ථක වුවත් දිල්ශාන් දෙවන ටෙස්ට් තරඟයේ දී ලකුණු 163ක් රැස්කරගන්නේ හතරේ පහර 18 කින් ඉනිම වර්ණවත් කරමින් ය. 

"'Dilly, just play this like an A team match,' he (Sanath Jayasuriya) told me. That removed a huge pressure after the first Test " - දිල්ශාන් 

2003 වසර තෙක් කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමි නොවුනත් ඔහු දක්ෂතා අතර රැඳී සිටිමින් ශ්‍රී ලංකා පිලේ ප්‍රබල පිතිකරුවන් ට දැඩි පීඩනයක් එල්ලකරමින් සිටියේ ය. දිල්ෂාන් ගේ පන්දුරැකීම සහ ඕනෑම විටක පන්දු යැවීමට සහ කඩුලු රැකීමට ඇති හැකියාවන් හේතුවෙන් ඔහු කණ්ඩායමේ නිත්‍ය මැදපෙළ පිතිකරුවෙක් ලෙස පත්වුයේ ඉන් අනතුරුවයි. 



රොෂාන් මහානාම ගෙන් පසු ප්‍රේක්ෂකයින් සහ ක්‍රීඩකයින් අන්දමන්ද කරමින් ඉතාමත් අපහසු උඩපන්දු රැකීමට උපන්හපන්කම් දැක්වූ දිල්ශාන් පිටියේ පොයින්ට් ප්‍රදේශයේ මහා පවුර විය (The Great WALL at POINT). එමෙන්ම පිටියේ ඕනෑම ස්ථානයක සිට පන්දු රැකීමේ හැකියාව ඇති ක්‍රීඩකයින් අතලොස්සෙන් දිල්ශාන් එක් අයෙකි.CB තුන්කොන් තරඟාවලියේ ඉතාමත් තීරණාත්මක තරඟයක් වූ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරඟයේ දී අවසන් පන්දුවාරයට ලකුණු 10ක් අවශ්‍යව තිබු මොහොතක දී ඩේවිඩ් හසී විසින් එල්ල කල පහරක් ලෝන්ග් ඕෆ් හි පන්දු රකිමින් සිටි දිල්ශාන් ගේ ග්‍රහණයට හසුවීම සහ 2012 ලෝක කුසලාන තරඟාවලියේ නවසීලන්තය හා පැවති තරඟයක දී සුපර් ඕවර් පන්දුවාරයේ මාර්ටින් ගප්ටිල් ගේ උඩපන්දුව රැකගැනීම මීට නිදසුන් වේ. 

එවැනි උඩපන්දු සහ අනර්ඝ පන්දු රැකීම් කිහිපයක වීඩියෝ දර්ශන පහත වේ.

1. 2006 වසරේ VB කුසලාන තුන්කොන් තරඟාවලියේ දී ඕස්ට්‍රේලියාවේ තුන් ඉරියව් ක්‍රීඩක සයිමන්ඩ්ස් ට දැවී යාමට සිදුවන්නේ අපූරු සිදුවීමකින් අනතුරුවයි. 


2. චැම්පියන්ස් ලීග් තරඟාවලියේ දී දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල වෙනුවෙන් හතරේ සීමාව අසලදී ඉතාමත් අපහසු උඩපන්දුවක් රැකගැනීම.



3. බිග් බෑෂ් ලීග් තරඟාවලියේ දී දිල්ශාන් ගෙන් අනර්ඝ දුවද්දී දැවී යාමකට හසුකිරීමක්.




4. ඉතාමත් අමිහිරි තරඟාවලි අවසානයක් වුවද දිල්ශාන් ගේ මේ අනර්ඝ උඩපන්දුව කිසිදා අමතක නොවන එකකි. විරාත් කෝලි දවාගැනීමට දිල්ශාන් සම්මාදම් වූ අයුරු.




5. ICC ශූරතා කුසලාන තරඟාවලියේ දී අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබීමේ තරඟයේ දී දිල්ශාන් ඕස්ට්‍රේලියාවේ ක්ලින්ට් මැකේ ගේ උඩපන්දුව රැකගත් අයුරු.




2006 වසර ලොව ක්‍රිකට් ලෝකය විශ්මිත වූ තරඟයක් දකුණු අප්‍රිකාවේ දී පැවති ය. ඕස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකාව එතෙක් එක්දින ලෝකයේ රැකගෙන සිටි ලොව වැඩිම මුළු ලකුණු සංඛ්‍යාව බිඳ දැමීම සහ එම ලකුණු සංඛ්‍යාව දකුණු අප්‍රිකාව සාර්ථකව හඹා යාම ශ්‍රී ලාංකිකයින්ට නම් එතරම් සතුටුදායක සිදුවීමක් නොවූ බවට නිසැකයි. කෙසේ වුවත් සනත් ජයසුරියගේ සහ තිලකරත්න දිල්ශාන් ගේ ශතක හේතුවෙන් නැවතත් ඉහත වාර්තාව ශ්‍රී ලාංකිකයින්ට හිමිකරදීමට ඔවුන් සමත්විය. එම ශතකය (117*) දිල්ශාන් ගේ මංගල එක්දින ශතකයයි.

2009 වසර දිල්ශාන් ගේ ක්‍රිකට් දිවියේ තීරණාත්මක වසර ලෙස සැලකීම වරදක් නොවේ. එම වසරේ මුල් භාගයේ දී බංගලාදේශයට එරෙහිව ලකුණු 162ක් සහ ලකුණු 143ක් රැස්කරගනිමින් ඉනිම් දෙකේහිම 150 සීමාව පසුකල පිතිකරුවෙක් වීමේ අවස්තාව අහිමි වුයේ නූලෙනි. 

ඉනිම අවසන් කරන්නෙක් ලෙස ප්‍රකටව සිටි ඔහුට ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රියා කිරීමට එම වසරේ මුල් භාගයේ දී හිමිවන්නේ අහම්බෙනි. එම තීරණය සාර්ථක වෙමින් 2009-2016 කාලවකවානුව තුල වැඩිම මුළු ලකුණු සංඛ්‍යාවක් රැස්කරගත් පිතිකරුවා බවට දිල්ශාන් අද පත්ව ඇති අතර ඔහුගේ පිතිකරණ සාමන්‍යය 39 තෙක් වර්ධනය විය. ආරම්භක පිතිකරුවෙක් ලෙස ඔහුගේ සාමන්‍යය 46 කි. 

"Opening was the best slot because Sanath will retire in the next few years and I wanted that responsibility. I want to play the role Sanath has played." - දිල්ශාන් (ක්‍රීක්ඉන්ෆෝ වෙත ලබාදුන් සම්මුඛ සාකච්චාවක දී, 2009)
ආරම්භක පිතිකරුගේ භූමිකාව පණපෙවීමට පෙර දිල්ශාන් දේශීය තරඟ තුලත් IPL තරඟ තුලත් ආරම්භක පිතිකරුවෙක් ලෙස දස්කම් දැක්විය. 2008 වසරේ පැවති CB තුන්කොන් තරඟාවලියේ 5 වන තරඟයේ දී ඉන්දීය ඉනිමෙන් අනතුරුව එවකට ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ගේ හදිසි කැඳවීම හේතුවෙන් දිල්ශාන් ප්‍රථමවරට ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රියා කලේය. තීරණය අතිසාර්ථක වෙමින් දිල්ශාන් එම ඉනිමේදී ලකුනු 62ක් නොදැවී රැස්කරගනිමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.

එමෙන්ම එම වසරේ පැවති 20යි 20 ලෝක කුසලානයේ දී දිල්ශාන් ඔහුගේ නව නිර්මාණය හඳුන්වාදෙන ලදී. "ස්කුප්" පහර ලෙස ක්‍රිකට් විස්තර විචාරකයින් එය හැඳින්වුවත් එය ප්‍රචලිත වන්නට පටන්ගත්තේ "ඩිල්ස්කුප්" පහර ලෙසයි. කඩුලු රකින්නාගේ හිසට ඉහලින් පන්දුව යන පරිදි එල්ලකරන එය අතිභයානක උත්සහයක ප්‍රතිඵලයකි. දිල්ශාන් ගේ කණ්ඩායම් සඟයින් එය අර්ථ දැක්වුයේ "ස්ටාර් ෆිෂ්" යන අන්වර්ථ නාමයෙනි. ඊට හේතුව වුයේ කිසිදු පිතිකරුවෙක් එවැනි අනුවණ තීරණයකට පෙළෙඹෙන නොවන නිසයි. එවකට ඔහුගේ ආරම්භක පිතිකරණ සඟයා වූ සනත් ජයසුරිය ද මෙම පහර උත්සහ නොකරන ලෙසත් දිල්ශාන් ට අවවාද දුන් බව වාර්තා වී ඇත.කෙසේ වෙතත් එවැනි පහරකට 100% සමාන පහරක් මේවනතුරු කිසිදු ක්‍රීඩකයෙක් එල්ලකර නැති බවට සැක හැර පැවසිය හැකිය. විචාරකයින් එය සිම්බාබ්වේ පිතිකරු ඩග්ලස් මරිලියර් එල්ලකළ පහරට සමානකම් දක්වන්නට උත්සහ කලත් එය සම්පූර්ණයෙන්ම වෙනස් පහරකි. මෙම ලෝක කුසලාන තරඟාවලියේ දී දිල්ශාන් තරඟාවලි වීරයා සම්මානය ද දිනාගත්තේය.

'It came about by accident, really. I tried to play a paddle sweep in last year's IPL in South Africa and the ball wasn't there for the shot. So instead I just instinctively flipped it over my head. When I saw replays after the game I thought I could develop the stroke so I talked to my coaches with Delhi Daredevils and we started practising it with tennis balls on a bowling machine. By the time of the World Twenty20 in England I felt really comfortable with it.'( මෙම පහර ඇතිවුනේ අහම්බෙන්, IPL තරඟාවලියේ දී පැඩල් ස්වීප් පහරකට උත්සහ කිරීමේ දී එය වැරදියමින් මගේ හිස ට උඩින් පන්දුව යාමෙන් තමා මෙය ආරම්භ වුනේ. පසුව පටිගත කල දර්ශන නැරඹීමෙන් මෙය තවදුරටත් දියුණු කළහැකි බවට තහවුරු වුන නිසා පුහුණුකරුවන් සමඟ සාකච්චා කිරීමෙන් පසු ටෙනිස් පන්දුවෙන් මෙය පුහුණු වුනා. ලෝක කුසලාන තරඟාවලියේ දී මෙය මට අපහසු පහරක් නොවන බවට හැඟීගියා)- තිලකරත්න දිල්ශාන් 





ක්‍රිකට් ක්ෂේත්‍රයේ විවිධ පුද්ගලයින් සහ ආයතන මෙම පහර ට යෙදු නම් සහ විස්තර කල අයුරු පහත වේ.

The Dilshan Special - හිටපු විස්තර විචාරක රනිල් අබේනායක (මියගිය)

The Dilshan Duck Paddle - හිටපු එංගලන්ත පිට දඟ පන්දු යවන්නා ෆිල් ටෆ්නල්

The Tillakaratne Turtle - "Times" පුවත්පත 

The Dilshan Dentist Shot - විස්ඩන් (මෙම පහර වැරදීමෙන් ඔබේ දත් කුට්ටම සුනුවිසුනු කිරීමට ඇති හැකියාව නිසා)

The Dilshan Ramp - ගාර්ඩියන් පුවත්පත 

The Frying Pan Scoop - එංගලන්තයේ ඩේලි මිරර් පුවත්පත 

The Dilscoop - ක්‍රිකට් දත්ත විශ්ලේෂක මහේන්ද්‍ර මාපාගුණරත්න මහත්මයා (මෙම පහරට නියම නම යෙදුවේ මොහුයි) 

"In our dressing room it will always be The Starfish,  You have to have no brains to be playing a shot like that." - මහේල ජයවර්ධන 

දිල්ශාන් අනෙකුත් ශ්‍රේෂ්ට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගෙන් වෙනස් වන්නේ ඇයි ? සහ ඔහු ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් වඩාත්ම අවතක්සේරුවට පත්කළ පිතිකරුවා වන්නේ ඇයි ? මෙයට ලබාදිය හැකි සරල පිළිතුර වනුයේ ඔහු රැඩිකල් තීරණ ගන්නා ක්‍රීඩකයෙක් නිසයි. සාමන්‍යයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් දකින්නට නොලැබෙන ගුණාංග සහිත ක්‍රීඩකයෙකි. ඔබට විරේන්දර් සෙවාග් ගේ ශතකය අහිමිකිරීමේ සිදුවීම මතක ඇති බව සිතමි, එය බොහෝ පිරිසක් විවේචනයට බඳුන් කලද ඔහු ක්‍රිකට් නීතියට එපිටින් නොයමින් ප්‍රතිවාධි ක්‍රීඩකයින් මෙල්ලකලේ එවැනි අයුරිනි. පහත දැක්වෙන සංවාදය උපුටා ගත්තේ ට්විටර් සමාජ ජාලයෙනි. 



සෑමවිටම ජයග්‍රහණය සොයායන දිල්ශාන් අනෙකුත් ක්‍රීඩකයින්ගෙන් වෙනස්වන්නේ ඒ අයුරිනි. 2009 වසරේ රාජ්කොට් හි පැවති එක්දින තරඟයේ දී දැවැන්ත ලකුණු 413ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ අසාර්ථකත්වය හේතුවෙන් පරාජය වුවද දිල්ශාන් ගේ සටන්කාමි ඉනිම කිසිවෙකුටවත් අමතක නොවේ. 

"He is one of the best counter-attackers in world cricket" - පෝල් ෆාබ්‍රේස් (හිටපු ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු)

 2011 ලෝක කුසලාන තරඟාවලියේ වැඩිම මුළු ලකුණු හිමි පිතිකරුවා වූ දිල්ශාන් ට තරඟාවලි වීරයා සම්මානය අහිමි වුවද තරඟාවලිය පුරා ඔහු අංශ තුනෙන්ම දැක්වූ දක්ෂතා විශිෂ්ට ය. තරඟාවලි පරාජයෙන් පසු එවකට ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර ගේ ඉවත්වීම නිසා නායකත්වයට පත්වූ දිල්ශාන් ගේ එම කෙටිකාලින ධුරය අවුල් වියවුල් රාශියකින් පිරී එකක් විය. කණ්ඩායමේ ක්‍රීඩකයින් ක්‍රිකට් ආයතනය හා විවිධ හේතුන් මත ගැටීම, ක්‍රීඩකයින් නිසි අයුරින් දක්ෂතා නොදැක්වීම, සහ දිගින් දිගට ශ්‍රී ලංකා පිල ක්‍රිකට් තරඟ පරාජය වීම දිල්ශාන් ට මානසිකව දැඩි පීඩනයක් එල්ලකරන්නට විය. 



කෙසේ වෙතත් 2011 වසරේ දකුණු අප්‍රිකානු සංචාරය දිල්ශාන් ගේ නායකත්ව ධුරයේ එක්තරා සංධිස්ථානයක් බවට පත්විය. ප්‍රථම ටෙස්ට් තරඟය පරාජය වුවද ඩර්බන් හි පැවති දෙවැනි ටෙස්ට් තරඟය ජයග්‍රහණය කරමින් දිල්ශාන් ශ්‍රීලංකා ටෙස්ට් ඉතිහාසයේ දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් ජයක් කරා මෙහෙයවූ ප්‍රථම ටෙස්ට් නායකයා බවට පත්විය. එමෙන්ම එම වසරේ දී ලෝර්ඩ්ස් හි පැවති ටෙස්ට් තරඟයේ දී දිල්ශාන් ඔහුගේ ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු ගණන වාර්තා කරන ලදී. ඇඟිල්ලේ ආබාධය සිදු නොවුනේ නම් එංගලන්තයේ දී ද්විත්ව ශතකයක් රැස්කළ දෙවන ශ්‍රී ලාංකිකයා වීමට ඔහුට වැඩි අවස්තාවක් තිබුනත් ලකුණු 193 දී දැවී යාමට ඔහුට සිදුවිය. කෙසේ වෙතත් අදවනතුරු ලෝර්ඩ්ස් පිටියේ වැඩිම ටෙස්ට් ඉනිම රැස්කරන ලද ලාංකිකයා දිල්ෂාන් ය. දිල්ශාන් ට නායකත්වය ලැබුනේ සුදුසු අවස්තාවක නොවේ. දිල්ශාන් ගේ නොපසුබස්නා බව, තරඟයක් ජයග්‍රහණය කරන තෙක් සටන් කිරීම, පිත්තෙන්, පන්දුවෙන් අසාර්ථක වුවද පන්දු රැකීමෙන් හෝ වෙනයම් ක්‍රමයකින් ජයග්‍රහණය කිරීම (නීතියට අනුකුලව) දිල්ශාන් අන් ක්‍රීඩකයින් හා වෙනස් වුයේ එබැවිනි.

දිල්ශාන් දක්ෂ ආරම්භක පිතිකරුවෙකි.
දිල්ශාන් විශ්වාස කල හැකි මැදපෙළ පිතිකරුවෙකි.
දිල්ශාන් ඉතාමත් දක්ෂ ඉනිමක් අවසන් කල හැකි පිතිකරුවෙකි.
දිල්ශාන් පිට දඟ පන්දු යවන්නෙකි.
දිල්ශාන් පොයින්ට් ප්‍රදේශයේ මහා පවුර වැනි පන්දු රකින්නෙකි.
දිල්ශාන් ඕනෑම ස්ථානයක පන්දු රැකීමට ස්ථානගත කල හැකි අයෙකි.
දිල්ශාන් දක්ෂ නායකයෙකි.
දිල්ශාන් කඩුලු රකින්නෙකි.
දිල්ෂාන් "Street Smart" ක්‍රීඩකයෙකි.

සහ 

දිල්ශාන් දක්ෂ නළුවෙක් සහ ගායකයෙකි.

ඔහු සැබවින්ම All Rounder කෙනෙකි.

ඩිල්ස්කුප් පහර ක්‍රිකට් පොතට එක්වී අවසන්, ඔබට සුභ ගමන් ඩිලී.


#GoodByeDilscoop
#InventorOfDilsccop

#DON
27.08.2016

Friday, August 12, 2016

ටෙස්ට් තරඟ තුල වැඩිම හයේ පහරවල් එල්ලකර ඇති ශ්‍රී ලාංකිකයින් 5




මහේල ජයවර්ධන - 61

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ තුල වැඩිම හයේ පහරවල් එල්ල කර ඇති පිතිකරුවා මහේල ජයවර්ධන යි. ඕනෑම ඉනිමක දී පහසුවෙන් හතරේ පහරවල් එල්ල කිරීමට මෙන්ම සීමිත ඕවර තරඟ තුල තාක්ෂනය උපයෝගී කරගනිමින් පහසුවෙන්ම එල්ල කරන හයේ පහරවල් හේතුවෙන් මහේල වැනි පිතිකරුවෙක් මෙම ලැයිස්තුවේ මුල් ස්ථානය ගැනීම එතරම් පුදුමය විය යුතු කාරණයක් නොවේ.



සනත් ජයසුරිය - 59 

ඕනෑම මොහොතක දී හයේ පහරකින් ඉනිම වර්ණවත් කිරීමට උපන් හපන්කම් දැක්වූ සනත් මෙම ලැයිස්තුවේ දෙවැනියා ය. සීමිත ඕවර තරඟ තුල සනත් ගේ හයේ පහරකින් බැට නොකෑ පන්දුයවන්නෙක් සොයා ගැනීමට ද අපහසු ය. කලක් අන්තර්ජාතික ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම හයේ පහරවල් එල්ල කල පිතිකරුවා ලෙස ද ප්‍රථම ස්ථානයේ සිටියේ සනත් ය. වරක්  1993 වසරේ දී එංගලන්තයට එරෙහිව SSC හිදී පැවති ටෙස්ට් තරඟයේ දී ජයග්‍රහණය කිරීමට ලකුණු 4ක් අවශ්‍යව තිබියදී පිටියට එක්වූ නව පිතිකරු වූ සනත් ඔහු මුහුණ දුන් ප්‍රථම පන්දුවෙන්ම හයේ පහරක් එල්ලකරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගියේ ය.



කුමාර් සංගක්කාර - 51

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් රැස්කර ඇති සංගක්කාර ට හයේ පහරවල් හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් වාර්තාවක් ද හිමි ය. එනම් ඉනිමක දී එල්ල කල වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවයි. බංගලාදේශයට එරෙහිව 2014 වසරේ දී ඔහු හයේ පහරවල් 8ක් එල්ල කර ඔහුගේ ප්‍රථම සහ එකම ත්‍රිත්ව ශතකය වාර්තාකරණ ලදී.



අරවින්ද ද සිල්වා - 48

ටෙස්ට් ඉනිමක ප්‍රථම පන්දුවෙන්ම හයේ පහරක් එල්ල කිරීමේ දුර්ලභ වාර්තාව හිමි අරවින්ද ද සිල්වා හයේ පහරවල් එල්ල කිරීමට උපන් හපන්කම් දැක්වූ පිතිකරුවෙකි. පන්දුයවන්නන් හට නිතරම හිසරදයක් වූ මේ අනර්ඝ පිතිකරුවා ඉහත දුර්ලභ වාර්තාව හිමිකරගත්තේ 1985 දී ඉන්දියාවට එරෙහිව SSC හිදී පැවති තරඟයේ දී ය.



ඇන්ජෙලෝ මැතිව්ස් - 47*

වර්තමාන ටෙස්ට් නායකයා වන ඇන්ජෙලෝ මැතිව්ස් මේ වනවිට ටෙස්ට් තරඟ 61 කට ක්‍රීඩා කර ඇති අතර, මේ වනවිටත් හයේ පහරවල් 47ක් එල්ල කරමින් ශ්‍රී ලාංකිකයින් අතුරින් පස්වන ස්ථානයේ රැඳී සිටියි. ඔහුට හිටපු නායක මහේල ජයවර්ධන අහිභවා යා හැකි ද ? 

#DON
12.08.2016








Thursday, August 11, 2016

ලිට්ල් මාස්ටර් සමුගනියි.



පකිස්තානු ටෙස්ට් ඉතිහාසයේ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරු ලෙස සැලකෙන "ලිට්ල් මාස්ටර්" යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ හනිෆ් මොහොමඩ් අද කරච්චි හි රෝහලක දී මියගිය බවට වාර්තා පලවිය. කලක් තිස්සේ පෙනහළු පිළිකාවකින් පීඩා විඳි ඔහු මිය යනවිට 81 හැවරිදි විය. හනිෆ් මොහොමඩ් පකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරඟ 55 කදී ලකුණු 3915ක් රැස්කරගත් අතර ඔහුගේ වැඩිම ලකුණු ගණන වුයේ 337 යි. ටෙස්ට් ඉතිහාසයේ ඉතාමත් වැදගත් ඉනිමක් වූ එය සුවිශේෂී වන්නේ එම ඉනිම හේතුවෙන් පකිස්තානුවන් ඉනිමක පරාජයකින් බේරීමයි. ලකුණු 473ක් පසුපස සිටි පකිස්තානුවන් ටෙස්ට් තරඟයේ තුන්වන ඉනිම ආරම්භ කල අතර, ප්‍රබල කොදෙව් ක්‍රීඩකයින් ඉදිරියේ පකිස්තානුවන් ගේ ගැලවුම්කරු වූ හනිෆ් මිනිත්තු 970ක් කඩුල්ලේ රැඳෙමින් ලකුණු 337 වාර්තා කරන ලද අතර ටෙස්ට් ඉතිහාසයේ ඉනිමක දී වැඩිම කාලයක් පිටියේ සිටි පිතිකරුවා බවට ද ඔහු පත්විය. 

හනිෆ් මොහොමඩ් කලක් පළමුපෙළ ඉතිහාසයේ වැඩිම පළමුපෙළ ඉනිමේ වාර්තාව ද හිමිකරගෙන සිටි පිතිකරුවෙකි. ලකුණු 499ක් ලබා දුවද්දී දැවී යාමට හසුවූ හනිෆ් එවකට ඩොනල්ඩ් බ්‍රැඩ්මන් විසින් රඳවා සිටි ලකුණු 452 වාර්තාව බිඳ දැමී ය. විශාල ඉනිම් රැස්කිරීමට උපන් හපන්කම් දැක්වූ හනිෆ් ටෙස්ට් ශතක 12 කට හිමිකම් කිවූ පිතිකරුවෙකි.

මුෂ්ටාක්, හනිෆ් සහ සාදික් මොහොමඩ් සොහොයුරන් 


හනිෆ් මොහොමඩ් මෙන්ම ඔහුගේ සොහොයුරන් ද පකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කල අතර ඔවුන් පිළිවලින් වසීර්,රායිස්, මුෂ්ටාක් සහ සාදික් විය. එමෙන්ම ඔහුගේ පුත් ශොහේබ් මොහොමඩ් ද පකිස්තානය වෙනුවෙන් ටෙස්ට් ක්‍රීඩා කිරීමේ වරම හිමි අයෙක් විය. 


"It's sad to hear of Hanif's death and I'd like to extend my condolences and those of everyone here at the ICC to Hanif's family, which counts so many cricketers in its number, Hanif took batting to great heights and many batsmen drew inspiration from him. His contribution to the game has been enormous and one can only imagine the kind of impact his batting had on others over the years. Hanif's triple-century against the West Indies was a legendary innings and unsurprisingly he was one of the original inductees into the ICC Cricket Hall of Fame." - CEO of ICC, Mr. David Richardson







#DON
11.08.2016

































Tuesday, August 2, 2016

කවුද මේ චයිනමන් ?

ලක්ෂාන් සඳකැන් ගේ ටෙස්ට් ආගමනයෙන් පසු නිතරම ඇසුණු වචනයක් වුයේ "චයිනමන්" යන්නයි. බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට මෙය හුරුපුරුදු වචනයක් වුවත් එවැනි පන්දුයවන්නෙක් ගේ සුවිශේෂිතාවය පිළිබඳව වැටහීමක් තිබුනා ද යන්න ප්‍රශ්නයක්. 

චයිනමන් - හැඳින්වීම 

දකුණත් පා දඟ පන්දුයවන්නෙක් පන්දු යවන ආකාරයටම වමත් පන්දුයවන්නෙක් පන්දු යවන්නේ නම් ඔහු චයිනමන් පන්දු යවන්නෙකි. සරලවම ඔහු වමත් පා දඟ පන්දුයවන්නෙකි. පහත දර්ශනය නරඹන්න.




වමත් පා දඟ පන්දුයවන්නෙක් ගේ පන්දු යැවීම සරලවම ඉහත දර්ශනය ඇසුරෙන් පෙන්වයි.

එලිස් අචෝන්ග් 


චයිනමන් - ආරම්භය

දකුණු අප්‍රිකානු පන්දුයවන්නෙකු වන චාර්ලි ලෙලේවින් මෙම පන්දු යැවීමේ ආරම්භකයා ලෙස සැලකේ. කෙසේ වෙතත් මෙය වඩාත් ප්‍රසිද්ධියට පත්වුයේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම නියෝජනය කල චීන සම්භවයක් ඇති එලිස් අචෝන්ග් මෙලෙස පන්දු යැවීමෙනි. ඔහු චීන ජාතික සම්භවයක් වීම නිසා "CHINAMAN" කියන නම පටබැඳින.

චයිනමන් - පන්දු යවන්නෝ

ටෙස්ට් ඉතිහාසයේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ ගාෆිල්ඩ් සෝබර්ස්, පෝල් ඇඩම්ස්, මයිකල් බෙවන්, බ්‍රැඩ් හොග් වැන්නන්ද මෑත කාලයේ 20යි 20 තරඟාවලි තුලින් මතුවූ කුල්දීප් යාදව්, ශිවිල් කෞශික් සහ ටබ්රෙයිස් ශම්සි මෙයට හොඳම උදාහරණයන් ය.

චයිනමන් - පන්දුයවන්නෝ දුර්ලභ ද ?

ඇත්ත වශයෙන්ම ඔව්, සාමන්‍යය දකුණත් පා දඟ පන්දුයවන්නන් මැණික් කටුව ආධාරයෙන් පන්දු යවන ක්‍රමය තරමක් අසීරු සහ දැඩි කැපවීමක් ඇතුව වර්ධනය කල යුතු දක්ෂතාවයකි. එවැනි තත්වයක් තුල වමත් පා දඟ පන්දුයවන්නන් බිහිවීම ඉතාමත් කලාතුරකින් සිදුවන අවස්ථාවකි. හොඳම නිදසුන ශ්‍රී ලංකා කණ්ඩායමේ ලක්ෂාන් සඳකැන් ලෙස සැලකිය හැකියි. ඔහු ශ්‍රී ලංකා අන්තර්ජාතික ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම චයිනමන් පන්දුයවන්නා යි. 


#DON
02.08.2016

Wednesday, July 27, 2016

මුරලි ශ්‍රේෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයින් ගොන්නට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අද (27.07.2016) මේ වසර සඳහා ලොව ශ්‍රේෂ්ටතම ක්‍රීඩකයින් ලැයිස්තුවට එක්වන නවතම ක්‍රීඩකයින් 4 පිලිබඳ ප්‍රකාශයක් ට්විටර් සමාජ ජාලයේ පල කෙරිණ. මෙම ක්‍රීඩකයින් සිවුදෙනා වුයේ එතෙක් මෙතෙක් ලොව බිහිවූ දක්ෂතම දඟපන්දු යවන්නා ලෙස සැලකෙන ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් උපනායක මුත්තයියා මුරලිදරන්, ලොව හොඳම පන්දු යැවීමේ සාමන්‍යය හිමි සහ ටෙස්ට් කඩුලු 100ක් බිඳ දැමීමට අවම ටෙස්ට් තරඟ ගණනකට ක්‍රීඩා කිරීමේ ලෝක වාර්තාව හිමි එංගලන්තයේ ජෝර්ජ් ලෝමන් (මියගිය), ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ගේ විස්මිත අපරාජිත කණ්ඩායම , "The Invincible" කණ්ඩායම නියෝජනය කල ඕස්ට්‍රේලියාවේ දක්ෂ ආරම්භක පිතිකරුවෙක් ලෙස ප්‍රකටව සිටි ආතර් මොරිස් සහ ඕස්ට්‍රේලියානු හිටපු කාන්තා කණ්ඩායමේ නායිකා කරෙන් රෝල්ටන් යන්නන් ය. රෝල්ටන් ප්‍රකට වුයේ 2001 වසරේ දී ලොව වැඩිම ටෙස්ට් ඉනිම (201*) වාර්තා කල ක්‍රීඩිකාව ලෙසයි.



......................................................................................................


......................................................................................................

......................................................................................................




මෙම ශ්‍රේෂ්ටතම ක්‍රීඩකයින් තේරීම පිලිබඳ කෙටි සඳහනක් නොකිරීම අඩුපාඩුවක් විය හැකි ය. "The ICC cricket Hall of Fame" තේරීමේ සංකල්පය මුල්මවරට ආරම්භ වුයේ මෑතක දීය. 2009 වසරේ ජනවාරි මස දෙවැනි දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක සංගම් එකමුතුව හා එක්ව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ශතවර්ෂය සැමරීමේ උත්සවය හා සමගාමිව එළිදැක්විය. ඒ අනුව ප්‍රථමවරට ක්‍රීඩකයින් 55කට ඉහත ගෞරවය ලබාදෙන ලද අතර ඒ සියල්ලන්ටම මෙම සංකල්පයටම ආවේනික විශේෂ හිස්වැසුම ලබාදෙන ලදී. 

Credits - www.Sify.com


එතැන් පටන් වසරක් පාසා ක්‍රීඩකයින් 5ක් හෝ 4ක් මෙම ගෞරවයට පාත්‍ර විය. මියගිය ක්‍රීඩකයින් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් මෙම හිස්වැසුම භාරගැනීමට හැකියාවක් ඇත. මේ ක්‍රීඩකයින් තේරීම උදෙසා ඉහත සඳහන් කල ආයතන වලට අමතරව වර්තමානයේ දී ඉහත ගෞරවයට පාත්‍ර වූ ක්‍රීඩකයින්ගේ සහය ද ඔවුන් ලබා ගනියි. 

2009

සිඩ්නි බා(ර්)න්ස් 
බිෂාන් සිං බේඩි
ඇලෙක් බෙඩ්සර්
රිචී බෙනෝ
ඇලන් බොර්ඩර්
ඉයන් බොතම් 
ජෙෆ්රි බොයිකොට්
ඩොනල්ඩ් බ්‍රැඩ්මන් 
ඉයන් චැපල්
ග්‍රෙග් චැපල්
ඩෙනිස් කොම්ප්ටන්
කොලින් කවු‌‍‌ඩ්‍රි
කපිල් දෙව් 
සුනිල් ගවස්කාර්
ලාන්ස් ගිබ්ස්
ග්‍රෙහැම් ගුච්
ඩේවිඩ් ගවර්
විලියම් ගිල්බට් ග්‍රේස්
ටොම් ග්‍රේව්නි
ගෝර්ඩන් ග්‍රිනිජ්
ක්ලැරී ග්‍රීමට්
රිචඩ් හැඩ්ලි
වෝල්ටර් (වොලී) හැමන්ඩ්
නීල් හාවී
ජෝර්ජ් හෙඩ්ලි
ජැක් හොබ්ස්
මයිකල් හෝල්ඩින් 
ලෙනාර්ඩ් හටන්
ඉම්රාන් කාන්
රොහාන් කන්හයි
ඇලන් නොට්
ජිම් ලේකර්
හැරල්ඩ් ලාවුඩ්
ඩෙනිස් ලිලී
රේ ලින්ඩ්වල් 
ක්ලයිව් ලොයිඩ්
රොඩ් මාර්ෂ්
මැල්කම් මාෂල් 
පීටර් මේ
ජාවෙඩ් මියන්ඩැඩ්
කීත් මිලර්
හනිෆ් මොහොමඩ්
බිල් ඕ රීලී
ග්‍රෙහැම් පොලොක්
විල්ෆ්‍රෙඩ් රෝඩ්ස් 
විවියන් රිචර්ඩ්ස්
බැරි රිචර්ඩ්ස්
ඇන්ඩි රොබර්ට්ස්
ගාෆිල්ඩ් සෝබර්ස්
බ්‍රයන් ස්ටතම්
හර්බට් සට්ක්ලිෆ්
වික්ටර් ට්‍රම්පර්
ෆ්‍රෙඩ් ට්රුමන්
ඩෙරෙක් අන්ඩර්වුඩ්
ක්ලයිඩ් වොල්කොට්
වසීම් අක්‍රම්
ස්ටීව් වෝ
ෆ්‍රෑන්ක් වොලී
එවර්ටන් වීක්ස්
ෆ්‍රෑන්ක් වොරල් 


ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්


2010
කෙනත් (කෙන්) බැරින්ග්ටන්
ජොඑල් ගාර්නර්
රේචල් හේහෝ-ෆ්ලින්ට්
කර්ට්නි වොල්ෂ්


රේචල් හේහෝ-ෆ්ලින්ට් - ප්‍රථම ලෝක කුසලානය (1973) දිනාගත් එංගලන්ත නායිකාව


2011
කර්ටලී ඇම්බ්‍රෝස්
බෙලින්ඩා ක්ලාර්ක්
ඇලන් ඩේවිඩ්සන්
ෆ්‍රෙඩ් ස්පොෆොර්ත්


ෆ්‍රෙඩ් ස්පොෆොර්ත් - යක්ෂයා


2012
එනිඩ් බේක්වෙල්
බ්‍රයන් ලාරා
ග්ලෙන් මැග්‍රාත්


එනිඩ් බේක්වෙල් - ටෙස්ට් තරඟයක දී ශතකයක් සහ කඩුලු 10ක් දවාගත් ප්‍රථමයා 


2013
ඇඩම් ගිල්ක්‍රිස්ට්
ඩේබි හෝක්ලි
බොබ් සිම්ප්සන්
ෂේන් වොර්න්
වකාර් යුනිස්


ෂේන් වොර්න් - මෙතෙක් බිහිවූ හොඳම පා දඟ පන්දු යවන්නා 


2015 
මාර්ටින් ක්‍රෝ
වෙස්ලි (වෙස්) හෝල්
අනිල් කුම්බ්ලේ
බෙටි විල්සන්


වෙස් හෝල් - 60 දශකයේ කොදෙව්වන්ට සිටි වේගවත්ම පන්දු යවන්නෙකි.


2016 
මුත්තයියා මුරලිදරන්
ජෝර්ජ් ලෝමන්
ආතර් මොරිස්
කරෙන් රෝල්ටන්


මුත්තයියා මුරලිදරන් - මෙතෙක් බිහිවූ දක්ෂතම දඟ පන්දු යවන්නා 


#DON
27.07.2016







Sunday, July 24, 2016

Not related to CRICKET #RanaViruMeetUp





මෙය කිසිසේත්ම ක්‍රිකට් වලට අදාළ නොවේ. මෙතෙක් කල් පලකළ බ්ලොග් ලිපි අතරින් ක්‍රිකට් නොවන පළමු ලිපියයි මේ. ඊයේ (23.07.2016) දෙවන වරටත් පැවති #RanaViruMeetUp පිලිබඳ කෙටි සටහනක් දැක්වීමයි මගේ අරමුණ. පසුගිය වසරේ, 2009 යුධ ජයග්‍රහණය පිලිබඳ ට්විටර් සමාජ ජාලයේ ඇතිවූ කෙටි නොවන විවාදාත්මක දිගු සාකච්චාවක් අවසානයේ කරලියට පැමිණි #RanaViruMeetUp සමාජ සේවය ඊයේ දෙවනවරටත් පැවැත්විණ. මාස කිහිපයකට පෙර ට්විටර් සමාජ ජාලයේ මෙන්ම අනෙකුත් සමාජ ජාල වල මෙම සමාජ සත්කාරය පිලිබඳ සවිස්තරාත්මක තොරතුරු පලකළ අතර අප මිතුරන්ගෙන් මුල්‍යමය ආධාර මෙන්ම වෙනත් උපකාර ද ලැබිණ.

මෙයට ප්‍රධාන වශයෙන් අනුග්‍රහය දැක්වූ මිලේනියම් IT ආයතනයටත් "Paan Paan" ආයතනයටත් අපේ තුති. එමෙන්ම නම් වශයෙන් නොකියූ විශාල පිරිසක් මෙම සත්කාරය පිටුපස සිටි බව කියන්නට කැමතියි. බොරැල්ල සහ ගාලුමුවදොර පිටියේ සිට බස් රථ දෙකක් වෙන් වෙන් වශයෙන් රාගම රණවිරු සෙවන බලා පිටව ගියේ පෙරවරු 8.00 ටයි , සමාවෙන්න නොයෙකුත් හේතුන් නිසා සහ ලාංකිකයින් වශයෙන් වෙලාවට වැඩ කිරීමේ අගය නියමාකාරයෙන් තේරුම් ගත් අය වශයෙන් පෙරවරු 8.00 පසු වී විනාඩි 20ක් හෝ 30 කට පසු බස් රථ පිටව ගියෝ ය. 

බස් රථයට නැගගත් අප සියල්ලන්ටම සමාජ සත්කාරය කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුල ට්විටර් සමාජ ජාලයේ වඩාත් කතාබහට ලක්වූ සිදුවීම් සමුදායක් මතක් කරන්නට නියම අවස්තාවක් විය. ලිපිය ලියන මම එවැනි දෙයකට සම්බන්ධ නොවූ බව වගකීමෙන් කියන්නට මෙය අවස්තාවක් කරගනිමි. බොහෝ පිරිසකට මෙය සමාජ ජාල තුල දැක ඇතත් සත්‍ය ජීවිතය තුල මින් පෙර දැක නොතිබූ මිතුරන් හා කතාබහ කිරීමට ද හොඳ අවස්තාවක් විය. 

මතක් කල යුතුයි, මෙම සත්කාරයට සම්බන්ධ වූ "AIESEC" විදේශීය සිසුන් කිහිපදෙනාට ද අපේ ස්තූතිය (ඔවුන්ට සිංහල බැරි නිසා කියවීමට නොහැකි බව මම දනිමි). රාගම රණවිරු සෙවනට පැමිණන විට සියල්ලන්ටම බඩගින්න උත්සන්න වී තිබිණ (මෙය මා කිවූ එකක් නොව , වෙනත් ට්විටර් මිතුරෙක් කිවූ එකකි). 

මෙම සත්කාරය උදෙසා නිර්මාණය කල ජර්සිය අනර්ඝයි. එය නිර්මාණය කිරීමට දායක වූ සියල්ලන්ටම ද ස්තූතියි. උදෑසන ආහාර ලබාගත් පසු අප ගියේ අපගේ රණවිරුවන් හමුවීමටයි. හමුදා නිලධාරීන්ගේ තොරතුරු අනුව මේ වනවිට රාගම රණවිරු සෙවනේ ආබාධ වූ රණවිරු සෙබළුන් 170ක් පමණ ද කාර්ය මණ්ඩලය 100 කින් පමණ ද සමන්විත වේ. ඔවුන් සමඟ කතා කිරීමට වෙලාවක් වෙන්වීම මෙම මෙහෙයුමේ වඩාත් වැදගත්ම අංගය යි. ඔවුන්ගේ දුක සැප බෙදාහදාගත් අප ඉන් පිටව යනවිට පස්වරු 1.00 පසුව තිබිණ (මට නං වෙලාව මතක නෑ, ඒත් නොදා බැරිකමට). එය වඩාත් සංවේදී අවස්තාවක් වූ බව මතක් කරන්නට කැමතියි.



දහවල් ආහාරයෙන් පසු (කෑම එක නං ටොප් ක්ලාස්) විශේෂ අංග කිහිපයක් උදෙසා අපි රණවිරු සෙවනේ ශ්‍රවනාගාරයට ගියෙමු. දොස්තර නීල් මහත්මයාගේ (සම්පූර්ණ නම මතක නැති වීමට සමාවෙන්න) වටිනා දේශනයක් පැවැත්වූ අතර එහි මූලිකම අරමුණ වුයේ ආබාධිත රණවිරු සොහොයුරන්ට මානසික වශයෙන් ශක්තියක් ලබාදීමයි. 

ඉහත දේශනය මට හරියටම අසාගැනීමට නොහැකි වුයේ මා අසල සිටි වස්ති ට්විටර් සැට් එක නිසයි. බල්ලා ගේ කතාව සියල්ලන්ටම හොඳට මතක අතර එය ට්විටර් සමාජ ජාලයේ ද පලකිරීමට අප මිතුරන් අමතක කලේ නැත. දහවල් ආහාරය නිසා නින්ද යන කුරිරු හැඟීම සියල්ලන්ටම දැනී තිබු බැවින් ඉහත දේශනය තරමක් නිද්‍රා බව වර්ධනය කිරීමට උපකාරී වූ බව ලැජ්ජ බය නැතුව කියමි. එකෙකු ට්වීට් කොලේ "අද පොහොය දිනයක් ද ?"යනුවෙනි. කිහිපදෙනෙක් බල්ලා ට ගල් ගැසූ පුද්ගලයා සෙවීමට ද වෙලාවක් වෙන් කෙරින. දොස්තර මහත්මයා පොරොන්දු වූ පරිදි විනාඩි 20 පසුකර යත්ම අපේ එවුන් විනාඩි ගණන ද පල කරන ලදී. මෙයට දෝශාරෝපනය කල අය ද නැතුවා නොවේ. ඒත් ඉතිං අපේ පුරුද්ද ජන්මෙට වඩා ලොකුයි ලු නේ. 

ඉන් පසුව මේජර් දුෂ්‍යන්ත යාපා මහත්මයාගේ දේශනය පැවැත්විණ. යුද්ධය හේතුවෙන් ආබාධයට ලක්වූ ඔහු හිත නැත්නම් පත කුඩා ද යන සංකල්පය ඉතාමත් නිවැරදි බවට ඔප්පු කල විශිෂ්ට පුද්ගලයෙකි. ඔහුගේ ආබාධය දුර්වලතාවයක් ලෙස නොසලකු ඔහු ජීවිතය ජයගත් අයෙකි. ඔහු හා කතාකිරීමට මට අවස්තාවක් උදාවීම විශාල භාග්‍යයක් ලෙස සලකමි. 

ඉන් පසු පැවති දේශනය ද ඉතාමත් හරවත් එකකි. දේශනය ඉදිරිපත් කල මහත්මයා ගේ නමද මට මතක නැති හැටි. අයියෝ සල්ලි. එම දේශනය අතරතුර අප වෙත ලැබුණු බිත්තර ආප්ප සහ තේ කෝප්පය ද ටොප් ක්ලාස්. 

මුදිත අයියා කාපු බිත්තර ආප්පය.

ඉන් අනතුරුව අප එතෙක් වෙලා බලා සිටි අවස්තාව උදා විය, රණවිරුවන්ට අප මිතුරන් විසින් එක්රැස් කල ආධාර ඇසුරෙන් මිලදී ගත් රෝදපුටු ප්‍රධානයයි. එය මිලදී ගැනීමට මෙන්ම, එය රණවිරු සෙවන කරා ගෙන ඒමට දායක වූ සියල්ලන්ටම ස්තූතියි. 



එම වැදගත් අංගයෙන් පසුව පවත්වන ලද්දේ අපේ "ටාසන් බාප්පා" ඇතුළු කණ්ඩායම ඉදිරිපත් කල සංගීතමය අංගයයි. එම අංගය සියල්ලන්ටම සිනාසිය හැකි මට්ටමේ එකක් විය. 

ඉහත සියලුම අංග අවසන් වීමෙන් අනතුරුව රණවිරු සෙවනෙන් පිටව යාමේ මොහොත උදා විය. පිටව යාමට පෙර සමූහ ඡායාරූපයක් ගැනීමට ද අප අමතක කලේ නෑ. 

මෙම සමාජ සත්කාරය සඳහා නං අයුරින් උපකාර වූ සියලුම දෙනාට අපගේ ස්තූතිය. 

*ඉහත ඡායාරූප වල අයිතීන් අදාළ පුද්ගලයින්ට හිමිවිය යුතුයි. උස්සලා දාපු photos වුනත් ගත්තේ කවුද කියලා දන්නේ නැතෝ :D

තව පොඩ්ඩෙන් අමතක වෙනවා, අපේ නාමල් ඩයස් සොහොයුරා ඇඳලා දුන්න මගේ පින්තූරේ, මරේ මරු. බුක්මාර්ක් එකත් මරු. 

#DON
24.07.2016













Wednesday, July 13, 2016

වැඩිම පළමුපෙළ මුළු ලකුණු ගණනකට හිමිකම් කියන ශ්‍රී ලාංකිකයින් 10

ගිහාන් මෙන්ඩිස් 
1) ගිහාන් මෙන්ඩිස් - 21,436
ඉනිම් - 643, නොදැවීම් - 61, වැඩිම - 209*, සාමන්‍යය - 36.83, ශතක 41

දකුණත් පිතිකරුවෙකු වන ගිහාන් මෙන්ඩිස් එංගලන්ත සසෙක්ස් ප්‍රාන්ත පිල සහ ලැන්කෂයර් ප්‍රාන්ත පිල නියෝජනය කල එම කණ්ඩායමට එතෙක් මෙතෙක් විශාල කාර්යභාරයක් කල ආරම්භක පිතිකරුවෙක් විය. 80 දශකයේ එංගලන්තයේ සිටි දක්ෂතම මුල්පෙළේ පිතිකරුවෙක් වූ ඔහුට එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වරම අහිමිවුයේ නූලෙනි. 

කුමාර් සංගක්කාර 
2) කුමාර් සංගක්කාර - 19,060 
ඉනිම් - 407, නොදැවීම් - 28, වැඩිම - 319, සාමන්‍යය - 50.29, ශතක 56 

ශ්‍රී ලංකා ටෙස්ට් පිල නියෝජනය කල විශිෂ්ටතම පිතිකරුවා වන කුමාර් සංගක්කාර ජාතික කණ්ඩායම නියෝජනය කල පිතිකරුවන් අතුරින් වැඩිම පළමුපෙළ ලකුණු ගණනක් හිමි පිතිකරුවා වේ. වර්තමානයේ සරේ කණ්ඩායම නියෝජනය කරන සංගක්කාර ට මෙන්ඩිස් ගේ වාර්තාව බිඳ දැමිය හැකිද ? 

මහේල ජයවර්ධන 
3) මහේල ජයවර්ධන - 17,843
ඉනිම් - 383, නොදැවීම් - 24, වැඩිම - 374, සාමන්‍යය - 49.70, ශතක 51

නිවැරදි පිතිකරණ තාක්ෂණයෙන් පිරිපුන් හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන මෙම ලැයිස්තුවේ තෙවැනියා ය. විශාල ඉනිම් රැස්කිරීමට උපන් හපන්කම් දැක්වූ මහේල ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දකුණත් පිතිකරුවෙකු ගේ පිත්තෙන් රැස්වූ වැඩිම ලකුණු ගණනේ වාර්තාව ද සතුයි. 

තිලාන් සමරවීර 
4) තිලාන් සමරවීර - 15,501
ඉනිම් - 389, නොදැවීම් - 70, වැඩිම - 231, සාමන්‍යය - 48.59, ශතක 43

මැදපෙළ පිතිකරුවෙක් ලෙස සුවිශේෂී දස්කම් දැක්වූ තිලාන් පළමුපෙළ ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයින් අතුරින් වැඩිම මුළු ලකුණු රැස්කරගත් සිවුවැන්නාය. ටෙස්ට් කණ්ඩායමේ නැංගුරම බඳුවූ තිලාන් ගේ අඩුව තවමත් ශ්‍රී ලංකා කණ්ඩායමට පුරවා ගැනීම හැකියාවක් ලැබී නැත. 


ලැඩී අවුට්ශෝර්න් 
5) ලැඩී අවුට්ශෝර්න් - 15,496 
ඉනිම් - 595, නොදැවීම් - 53, වැඩිම - 215*, සාමන්‍යය - 28.59, ශතක 25

වොර්සෙස්ටර්ශයර් ප්‍රාන්ත පිලට ක්‍රීඩා කල ලැඩී ප්‍රථම වරට ප්‍රාන්ත ශූරතා තරඟාවලියට ක්‍රීඩා කලේ 1946 දීය. 1948 වසරේ දී එවකට "ද ඉන්වින්සිබල්ස්" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලද බ්‍රැඩ්මන් ගේ ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව ක්‍රීඩා කිරීමට ද අවස්තාවක් උදා වූ ලැඩී එම තරඟයේ ප්‍රථම ඉනිමේදී ලකුණු 1කට දැවී ගියත් ඉනිමක පරාජයකින් බේරීමට දෙවැනි ඉනිමේ දී සටන්කාමි ලකුණු 54ක් රැස්කරගනිමින් එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. එම තරඟය ඕස්ට්‍රේලියානුවන් ජයගත් අතර ප්‍රථම ඉනිමේ බ්‍රැඩ්මන් ගේ ලකුණු 107 වඩාත් කැපී පෙනුන ඉනිම විය. එම තරඟයේ වීඩියෝ දර්ශනය පහත දක්වා ඇත. ඕස්ට්‍රේලියානුවන් ට එරෙහිව ස්ලිප් ක්‍රීඩකයෙක් ලෙස පන්දු රකින්නේ ලැඩී ය. 






අරවින්ද ද සිල්වා 
6) අරවින්ද ද සිල්වා - 15,000 
ඉනිම් - 343, නොදැවීම් - 33, වැඩිම - 267, සාමන්‍යය - 48.38, ශතක 43

කලක් ශ්‍රී ලංකාවේ පිතිකරුවෙක් ඉනිමක රැස්කළ වැඩිම ලකුණු ගණනේ වාර්තාව ට හිමිකම් කියන ලද අරවින්ද දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. අවශ්‍ය විටෙක ආරම්භ පිතිකරුවෙක් ලෙස ද කටයුතු කල හැකි වූ අරවින්ද ශ්‍රී ලංකාවේ වේගවත්ම ද්විත්ව ශතක ලාභියා වේ. 

සනත් ජයසූරිය 
7) සනත් ජයසූරිය - 14,819
ඉනිම් - 419, නොදැවීම් - 33, වැඩිම - 340, සාමන්‍යය - 38.39, ශතක 29


ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙක් ලෙස ප්‍රකට සනත් ජයසුරිය මෙම ලැයිස්තුවේ සත්වෙනි පිතිකරුවා ය.  ශ්‍රී ලං කා පිතිකරුවෙක් විසින් රැස්කළ ප්‍රථම ත්‍රිත්ව ශතකයේ වාර්තාව හිමිවන්නේ ද සනත් ජයසූරියට යි. 

මාවන් අතපත්තු 
8) මාවන් අතපත්තු - 14,591 
ඉනිම් - 348, නොදැවීම් - 49, වැඩිම - 253*, සාමන්‍යය - 48.79, ශතක 47


ද්විත්ව ශතක රැස්කිරීමට උපන් හපන්කම් දැක්වූ මාවන් කලක් ආසියාවේ වැඩිම ද්විත්ව ශතක ලාභියා විය. මංගල ටෙස්ට් තරඟයත් ඇතුළුව ඔහුගේ ප්‍රථම ඉනිම් 6 දී ඔහුගේ පිත්තෙන් වාර්තා වුයේ එක ලකුණක් පමණක් වුවත් ඔහුගේ ටෙස්ට් දිවිය අවසන් වනවිට එතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි සාර්ථකම ආරම්භක පිතිකරුවා විය.

තිලකරත්න දිල්ශාන් 
9) තිලකරත්න දිල්ශාන් - 13,979
ඉනිම් - 384, නොදැවීම් - 24, වැඩිම - 200*, සාමන්‍යය - 38.83, ශතක 38

ප්‍රවේගකාරී මෙන්ම අවස්ථාවට උචිත අයුරින් පිතිකරණය වෙනස් කල හැකි පිතිකරුවෙක් වන තිලකරත්න දිල්ශාන් පිතිකරණ ලයිස්තුවේ ඕනෑම ස්ථානයක එකසේ දස්කම් දැක්විය හැකි පිතිකරුවෙකි. 2011 වසරේ එංගලන්තයේ ලෝර්ඩ්ස් පිටියේ දී ඔහුගේ පිත්තෙන් වාර්තා වූ ලකුණු 193 වඩාත් කතාබහට ලක්වූ ඉනිම විය. 

හෂාන් තිලකරත්න 
10) හෂාන් තිලකරත්න - 13,258 
ඉනිම් - 351, නොදැවීම් - 82, වැඩිම - 204*, සාමන්‍යය - 49.28, ශතක 37

අලංකෘත පහරවලින් පරිපුන් හෂාන් ශ්‍රී ලංකා මැදපෙළ ශක්තිමත් කල ඉතාමත් දක්ෂ පිතිකරුවෙකි. ප්‍රතිවාධි පිලට වාසිදායක වාතාවරණයක් සම්පූර්ණයෙන් කණපිට හැරවිය හැකි පිතිකරුවෙක් ලෙස ප්‍රකට හෂාන් කොදෙව්වන්ට එරෙහිව ද්විත්ව ශතකයක් රැස්කළ ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකිකයා ය. 

#DON
13.07.2016












Tuesday, June 28, 2016

සනත් ගේ ක්‍රිකට් නැරඹු අපි !!!



සනත් ජයසූරිය අදට ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දී වසර 5ක් වී අවසන්. 1989 දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් වරම් ලැබූ සනත් ටෙරාන් ජයසුරිය සාම්ප්‍රදායික එක්දින තරඟ රටාව මුළුමනින්ම වෙනස් කල නිර්මාපකයා ලෙස හැඳින්වීම ප්‍රමාණවත්. මෙයට හොඳම නිදසුන ක්‍රිකට් ලොවේ බයිබලය ලෙස සැලකෙන විස්ඩන් සඟරාවෙන් උපුටා දක්වන්නම්. 


"It was the introduction of artificial attacking fields for the first 15 overs of a one-day international, combined with reliable batting surfaces, that provided the conditions for Jayasuriya to flourish. The term pinch-hitter was stolen from baseball to define an opening batsman specifically given the licence to adopt a high-risk approach in the opening overs. The very word caused some offence, but no one summoned up a more vivid description. And while other countries, notably England, viewed the new tactics suspiciously or half-heartedly, no batsmen accepted their roles with more alacrity than Jayasuriya and his opening partner, Romesh Kaluwitharana"

90 දශකයේ මුල්දි භාගයේ දී දියාරු තරඟ රටාවකින් පිරි තරඟ නැරඹීමෙන් හෙම්බත් ව සිටි ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ගේ අවධානය තමන් සතු කරගන්නට සනත් ජයසුරිය 1995 බෙන්සන් සහ හෙජස් තරඟාවලියේදී සමත් විය. ප්‍රථම ඕවර 15 තුල ප්‍රකට අධි වේග පන්දු යවන්නන් ද අන්දමන්ද කරමින් ඔහුගේ පිත්තෙන් එල්ලවූ දැවැන්ත හයේ පහරවල් සහ අලංකෘත හතරේ පහරවල් ප්‍රථම ඕවර කිහිපය තුල වාර්තා වීමෙන් එවකට සිටි ක්‍රිකට් විචාරකයින් ගේ පැසසුමට ද ලක්විය. සනත් ගේ මතකය අවධි කරන අතරතුර දීම ඔහු හා ප්‍රතිවාධි පන්දුයවන්නන් හට දිගට හරහට පිත්තෙන් බැට දුන් රොමේෂ් කළුවිතාරණ ගැන සඳහනක් නොකිරීම අඩුපාඩුවක් විය හැක. ඉහත බෙන්සන් සහ හෙජස් තරඟාවලිය තුල අති සාර්ථක වූ කළු සනත් ගේ ආරම්භක පිතිකරණ භූමිකාව වර්ණවත් කල සඟයා විය. 

බෙන්සන් සහ හෙජස් තරඟාවලියෙන් නව ආරක පිතිකරණ රටාවක් හඳුන්වාදුන් සනත් කළු සුසංයෝගය ඉන් පසු වර්ෂයේ පවත්වන ලද ලෝක කුසලාන තරඟාවලියේ විශාල කාර්යභාරයක් කල පිතිකරුවන් දෙපලක් විය. ටෝනි ග්‍රෙග් මෙම පිතිකරුවන් පිටියට පිවිසෙත්ම මයික්‍රෆෝනයෙන් ප්‍රේක්ෂකයින්ට ලබාදුන් දැනුම් දීම පහත අයුරිනි.


"Watch out! These two are deadly dangerous"

 සනත් ගේ 1996 ලෝක කුසලාන ගමන නතර වුයේ ඔහුගේ රටට ලෝක කුසලානයකුත් ඔහුට තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයා යන සම්මාන සියල්ලම ඩැහැගනිමිනි. 1997 වසරේ ඉන්දියානු නිදහස් කුසලානය තරඟාවලිය තුල පැවති ඉන්දියාවට එරෙහි තරඟයක දී ක්‍රීඩාංගනයේ සියලුම අසුන් පාහේ ඉන්දියානුවන් ගේ ග්‍රහණයට ලක්වූ ඉන්දියානුවන්ට විශාල වාසියක් සහ වාතාවරණයක් සහිත වන්කඩේ පිට්යේ දී ඉන්දියානු ජනකාය ඉදිරියේ නොදැවී ලකුණු 151ක් රැස්කර ගැනීමට සමත් විය. අපූර්වතම සිදුවීම වුයේ සනත් ගේ දැවැන්ත පහරවල් දැකගැනීමට හැකි වූ ඉන්දියානුවන් සනත් ට "සූරියා" සූරියා" යනුවෙන් ප්‍රීතිඝෝෂා කිරීමයි. මෙය වර්තමානයේ ජාත්‍යන්තර තරඟයක දී දැකගැනීමට හැකි ද ? එවැනි අවස්ථා අති දුර්ලභයි. 

එම වසරේ දීම විස්ඩන් සඟරාව නම් කල වසරේ ක්‍රීඩකයින් 5 ට සනත් ටෙරාන් ජයසුරිය ද ඇතුලත් වීම කෙතරම් භාග්‍යයක් ද ? විස්ඩන් සඟරාව නම්කළ මෙම ක්‍රීඩකයින් 5න් සනත්ගේ තේරීම ඉතාමත් දුර්ලභ අවස්තාවක් ලෙස මා පැවසුවොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමානයි. ශතවර්ෂයක් තිස්සේ විස්ඩන් සඟරාව අනුගමනය කල මූලික තේරීම් ප්‍රතිපත්තීන් පසෙකට දමා එක්දින ක්‍රිකට් ආකෘතිය වෙනස් කල පිතිකරුවෙක් ලෙස සනත් ගේ නමද විස්ඩන් සඟරාවට නම් කළහ. ඔබ නොදන්නවා නොහැකියි විස්ඩන් සඟරාවේ වසරේ ක්‍රීඩකයින් 5 වීමට නම් එංගලන්තයේ දී ගිම්හාන ඍතුවේ හොඳම දස්කම් දක්වන ක්‍රීඩකයින් මෙයට තෝරා පත් වේ. එසේ තෝරා ගැනීමේ අයිතිය ඇත්තේ විස්ඩන් කතෘ හා ඔහු නම් කරන නියෝජිතයින් කිහිප දෙනෙකුට ය. සයිමන් වයිල්ඩ් විසින් රචිත Wisden Cricketers of the Year: A Celebration of Cricket's Greatest Players යන කෘතියේ සනත් ගේ මේ 1997 විස්ඩන් වසරේ ක්‍රීඩකයෙකු වීමට හේතුව පහත අයුරින් සඳහන් කර ඇත. 


"Indeed, the desire to recognize the world’s best talent led to a temporary relaxing of the rules of selection. In 1997, Sanath Jayasuriya was picked without having played in England the previous year, the first time happened since Dick Pilling in 1891. The Sri lankan batsman had starred as explosive pinch-hitter at the 50 overs world cup in asia in 1996, and Matthew Engel, whose arrival as editor in 1993 marks the start of this period, justified Jayasuriya’s selection on the grounds that his innovative play had had significant influence on the English season that followed".

අර්ජුන රණතුංග ගේ ඉවත්වීමෙන් අනතුරුව නායකත්වයට පත් සනත් ශ්‍රී ලංකා කණ්ඩායම නොසිතු ජයග්‍රහණ රැසකට ද කණ්ඩායම මෙහෙය වීය. එම කාල සීමාව තුල ඉන්දියාවට එරෙහිව සුප්‍රකට සාජා හිදී කොකාකෝලා තරඟාවලියේ අවසන් තරඟයේ දී සනත් ගේ පිත්තෙන් වාර්තා වූ ලකුණු 189 නොබැලු දෑස් කුමට ද ?


#DON
28.06.2016



Monday, June 27, 2016

ලකුණු පුවරුවෙන් බිඳක් - 11



1926  දී පැවති සමර්සෙට් සහ ලැන්කෂයර් අතර තරඟය දෙපිලේම පන්දුයවන්නන් සහ පිතිකරුවන් ගේ දස්කම් මතුවූ අවස්තාවක් විය. ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 255ක් රැස්කළ සමර්සෙට් පිලේ ආරම්භක පිතිකරු ජෝන් ඩැනියල් ගේ (ජෝන් ඩැනියල් එංගලන්තය වෙනුවෙන් රග්බි ක්‍රීඩාවේ ද නිරත වූ දක්ෂ ක්‍රීඩකයෙක්) ලකුණු 78 නොවන්නට සමර්සෙට් පළමු ඉනිම කුඩා ලකුණු ප්‍රමාණයකින් අවසන් වන්නට ඉඩ තිබිණ. 

ඩැනියල් ගේ ඉනිමට අමතරව ඉනිමේ අවසන් භාගයේ දී පිටියට පැමිණි නොම්මර 8 පිතිකරු ජී.එෆ්. අර්ල් ගෙන් අගනා වේගවත් අර්ධ ශතකයක් වාර්තා විය. ඒ සඳහා ඔහු වැයකලේ පන්දු 58ක් අතර ඒ සඳහා මිනිත්තු 35ක් ගත විය. ඔහු ලකුණු 54ක් රැස්කර තිබියදී මැක්ඩොනල්ඩ් ගේ පන්දු යැවීමෙන් අර්නස්ට් ටිල්ඩේස්ලි අතට උඩපන්දුවක් ලබාදෙමින් දැවී ගියේ ය. අර්ල් එම ඉනිමේදී දියත් කල අනර්ඝ ඉනිම අතරතුර දී ලකුණු පුවරුව දැක්වෙන කුටියේ එක් ජනෙල් වීදුරුවක් බිඳ දමමින් හයේ පහරක් එල්ල කලේ ය. 

ජී.එෆ්.අර්ල් - sportsworldcards

මෙහි අපූර්වතම සිදුවීම වාර්තා වුයේ එම දිනයේ හවස් වරුවේ දීය. තරඟවාරය තුල සුපිරි පිතිකරණ රටාවක් පෙන්නුම් කල අර්නස්ට් ටිල්ඩේස්ලි තරඟ 7ක් තුල පිට පිට හත්වන ශතකය වාර්තා කල අතර එම ඉනිම අතරතුර දී ඔහු එල්ල කල හයේ පහරක් ජී.එෆ්.අර්ල් විසින් බිඳ දැමු ජනෙල් වීදුරුව තුලින් ලකුණු පුවරුව සහිත කුටියට පතිත විය. 

අර්නස්ට් ටිල්ඩේස්ලි - sportsworldcards


අර්නස්ට් ටිල්ඩේස්ලි දැවී යන්නේ අර්ල් ගේ අතට උඩපන්දුවක් ලබා දෙමිනි. එය ද විශේෂිත අවස්තාවක් විය.


Somerset 1st innings
*J Daniell            c RK Tyldesley     b Iddon               78
A Young                                  b Sibbles              1
+MD Lyon              lbw                b RK Tyldesley        34
JCW MacBryan                             b RK Tyldesley        19
RA Ingle                                 b McDonald             8
JC White              c Iddon            b McDonald            31
CCC Case              st Duckworth       b Iddon                2
GF Earle              c GE Tyldesley     b McDonald            54
CB Godwin             c Duckworth        b McDonald             5
GE Hunt               not out                                   8
JJ Bridges                               b McDonald             6
Extras                (b 5, lb 4)                               9
Total                 (all out, 91.2 overs)                   255

FoW: 1-3, 2-76, 3-104, 4-117, 5-170,
     6-179, 7-208, 8-237, 9-247, 10-255.

Bowling                      O      M      R      W
McDonald                    31.2    7     89      5
Sibbles                     21      2     62      1
RK Tyldesley                22      8     57      2
Watson                       8      0     24      0
Iddon                        9      3     14      2

Lancashire 1st innings
JWH Makepeace         c Lyon             b Bridges             77
C Hallows                            c & b Bridges             17
GE Tyldesley          c Earle            b White              126
FB Watson                            c & b Godwin               1
J Iddon               c Earle            b White               55
EA McDonald           c MacBryan         b White                7
RK Tyldesley          c Daniell          b White               41
*PT Eckersley         run out                                  20
ML Taylor             c Hunt             b Bridges             22
FM Sibbles            not out                                  14
+G Duckworth          c Lyon             b Bridges              3
Extras                (b 6, lb 1, w 2)                          9
Total                 (all out, 141.5 overs)                  392

FoW: 1-33, 2-150, 3-151, 4-277, 5-289,
     6-318, 7-339, 8-372, 9-380, 10-392.

Bowling                      O      M      R      W
Bridges                     45.5   11    130      4
Hunt                        17      2     44      0
White                       54     15    143      4
Godwin                      25      3     66      1


#DON
27.06.2016