Monday, May 22, 2017

ලෝර්ඩ්ස් හිදී සංගා ගෙන් වාර්තා රැසක්

ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය සැලකෙන්නේ ක්‍රිකට් හි මහගෙදර ලෙසයි. ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ අභිප්‍රාය එක තරඟයක් හෝ එම ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කිරීමට යි. වසර 14 කට පසුව 2014 වසරේ දී කුමාර් සංගක්කාර එම ක්‍රීඩාංගනයේ දී ටෙස්ට් ශතකයක් වාර්තා කර ලෝර්ඩ්ස් හි ගෞරවාන්විත නාමපුවරුවේ ස්ථානයක් වෙන්කරගන්නට සමත් විය. අන්තර්ජාතික තරඟ තුලින් සමුගත් කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ක්‍රීඩකයින් දෙපලට ගෞරවයක් ලෙස ලෝර්ඩ්ස් බලධාරීන් ඔවුන්ගේ රුව ඇඳි සිතුවම් දෙකක් ලෝර්ඩ්ස් ක්‍රීඩාගාරයේ එල්ලා තබන ලදී. 


© Andrew Miller - Via Twitter
මෙම ගෞරවාන්විත අවස්ථාවෙන් දින කිහිපයකට පසු සංගා, ලෝර්ඩ්ස් හිදී ම ඔහු ප්‍රාන්ත ශුරතා තරඟාවලියේ පිට පිට රැස්කරන තුන්වන ශතකය වාර්තා කිරීමට සමත් විය. මිඩ්ල්සෙක්ස් පිලට එරෙහිව වාර්තා වූ මේ ශතකයෙන් නොනැවතුණු ඔහු තුන්වන දිනයේ තවත් අනර්ඝ ශතකයක් රැස්කරන්නේ සරේ කණ්ඩායමට අවශ්‍යම අවස්ථාවේ දී ය. එය ඔහු පිට පිට රැස්කළ 4 වන ශතකය යි. මෙයත් සමඟ සංගා වාර්තා රැසක් බිඳ දැමීමට මෙන්ම සම කරන්නට සමත් විය.

පිට පිට වැඩිම පළමු පෙළ ශතක රැස්කළ ශ්‍රී ලාංකික පිතිකරුවන් 




















කුමාර් සංගක්කාර විසින් වසර 20ක් පැරණි වාර්තාවක් සමකරන්නට හැකි වුනේ ඉහත පරිදි ය. රොමේෂ් කළුවිතාරණ විසින් පිට පිට ශතක 4 වාර්තාව මෙන්ම පිට පිට අර්ධ ශතක 10ක් රැස්කර ලෝක වාර්තාව පිහිටුවූයේ 1996/97 පළමු පෙළ කාල සමයේ දී ය. 

සංගා නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවන්නට සමත් වුයේ මිඩ්ල්සෙක්ස් පිලට එරෙහිව පළමු ඉනිමේ දී ශතකයක් රැස්කිරිමෙන් අනතුරුව යි. පිට පිට ශතක 3ක් හෝ වැඩි ප්‍රමාණයක් අවස්ථා 3ක දී රැස්කිරීමේ වාර්තාව යි. එය ද ඉහත ලැයිස්තුවෙන් දැකගත හැකිය. හිටපු ටෙස්ට් පිතිකරු අරවින්ද ද සිල්වා අවස්ථා දෙකක දී මේ දස්කම දක්වා ඇත.

කුමාර් සංගක්කාර පළමු දිනයේ දී ශතකය රැස්කිරීමට පෙර ප්‍රාන්ත ශුරතා තරඟාවලි තුල ලකුණු 3,000 පසුකරන්නට සමත් විය. එමෙන්ම එංගලන්තයේ දී පළමු පෙළ ලකුණු 4,500 ද පසු කරන්නට හැකි විය. 

සංගා වෘර්තිය ක්‍රිකට් දිවියේ ලකුණු 45,000 සීමාව ද පසු කලේ ය. එමෙන්ම පෙර අවස්තාවක දී පැවසු පරිදි (Run Machine) සංගා ආසියාතිකයින් අතරින් තවමත් සිටින්නේ 3 වන ස්ථානයේ ය. ඔහුට දෙවැන්නා වීමට නම් පකිස්තානයේ සහීර් අබ්බාස් පසුකල යුතු මය. 

තුන්වන දිනයේ වාර්තා කල ශතකයත් සමඟ සංගක්කාර පළමු පෙළ තරඟයක දී ශතක දෙකක් රැස්කළ  3 වන අවස්ථාව වාර්තා කරන්නට සමත් විය. මින් පෙර මෙවැන්නක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතුරින් වාර්තා වුයේ අරවින්ද ද සිල්වා ගේ පිත්තෙන් පමණි. එමෙන්ම ප්‍රාන්ත තරඟාවලි ඉතිහාසයේ මෙවැන්නක් කල දෙවන ශ්‍රී ලාංකිකයා ද සංගක්කාර යි. මෙයද මිට පෙර අවස්තාවක දී වාර්තා කලේ අරවින්ද යි (සැ.යු. - ගිහාන් මෙන්ඩිස්, අරුන් හරිනාත් වැන්නන් මෙයට ඇතුලත් නොවේ).

          

කෙසේ වෙතත් තුන්වන දිනයේ වඩාත් කැපී පෙනෙන වාර්තාව සංගා ගෙන් වාර්තා වුයේ ඉහත ශතකය රැස්කිරිමෙන් පසුවයි. පළමු පෙළ ඉතිහාසයේ ශ්‍රී ලාංකික පිතිකරුවෙකු විසින් ලකුණු 20,000 පසු කල ප්‍රථමයා වීමට සංගා ට හැකිවිය. (නැවතත්, මෙහිදී ගිහාන් මෙන්ඩිස් සලකා නොමැත.)

සංගක්කාර මේ වන විට පළමු පෙළ ශතක 60ක් වාර්තා කර ඇත. එමෙන්ම පසුගිය සතියේ සීමිත ඕවර තරඟාවලියේ දී රැස්කරන ලද ශතකය නිසා සීමිත ඕවර ශතක ගණන 38ක් ලෙස ඉහල ගොස් ඇත. ඒ අනුව වෘර්තිය ක්‍රිකට් දිවියේ ශතක 100ක් රැස්කිරීමේ දුර්ලභ වාර්තාව සඳහා ඔහුට තවත් අවශ්‍යව ඇත්තේ ශතක දෙකක් පමණයි. මෙවැන්නක් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු වාර්තා කර නැත. 

මේ වන විට ප්‍රාන්ත ශුරතා තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා ද කුමාර් සංගක්කාර යි. මිඩ්ල්සෙක්ස් සහ සරේ අතර තරඟය මෙම ලිපිය ලියන විටත් අවසන් වී නොමැත.


22.05.2017

No comments:

Post a Comment