Saturday, May 14, 2016

මොන්ගෝලියාවටත්, ක්‍රිකට් !

බටුල්ගා ගොම්බෝ (Battulga Gombo) කියන්නේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් විදිහට අපිට හුරුපුරුදු නමක් නෙමෙයි. ඒත් මේ ලිපිය කියවලා ඉවරවෙද්දි සමහරවිට ක්‍රිකට් ප්‍රේක්ෂකයින් විදිහට ඔහු පිලිබඳ ගෞරවයක් ඇති වෙන්න  පුළුවන්. ගොම්බෝ කියන්නේ මොන්ගෝලියාවේ ජාතික ජුඩෝ ශූරයෙක්.  වසර 11 කට කලින්  ඔහු ඔස්ට්‍රේලියාවට යන්නේ ඔහුගේ බිරිඳ මුණ ගැහෙන්න. ඔහුගේ බිරිඳ ඒවනවිට ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ඉගනගන්න කොට ගොම්බෝ දැක්කලු අමුතු ක්‍රීඩාවක් ඕස්ට්‍රේලියානුවන් උනන්දුවෙන් ක්‍රීඩා කරමින් විනෝද වෙන. හොයලා බලද්දී ඒ රුසියානු සම්භවයක් තියන මට්කා (Matka ) කියන ක්‍රීඩාවට සමාන ක්‍රිකට් කියන ක්‍රීඩාවයි. ඔහු කියන්නේ ක්‍රිකට් සහ ජුඩෝ යනු එකම සංකල්ප දෙකක් අනුගමනය කරන ක්‍රීඩාවක් වශයෙන්. 


" ජුඩෝ කියන්නේ මාර්ෂල් ආර්ට් එකක් වගේම එහි ක්‍රීඩා කරන ක්‍රීඩකයා ප්‍රතිවාධියාට, විනිසුරුවරයාට සහ ඔහු ක්‍රීඩාකරන ස්ථානයට ගරු කල යුතු ක්‍රීඩාවක්, ක්‍රිකට් ක්‍රීඩාවේත් මේ ජීවගුණය දකින්න පුළුවන්" - ගොම්බෝ  
2009 දී ගොම්බෝ ආයෙත් ඔස්ට්‍රේලියාවට යනවා ඔහුගේ බිරිඳ මුණගැසීමට. ඔහුගේ මිතුරෙක් ඔහුට ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ගේ "How To Play Cricket" පොත ලබාදෙන්නේ ඔහුට ක්‍රිකට් පිලිබඳ තියෙන උනන්දුව නිසාමයි. එමෙන්ම ඔහු ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකාර පාඨමාලාවක් ද ඒ අතරතුර හැදෑරුවා. ඔහු එය සාර්ථකව නිමා කරන්නේ මොන්ගෝලියාවේ ප්‍රථම ක්‍රිකට් පුහුණුකරු ලෙස පත්වෙමින්. 


බටුල්ගා ගොම්බෝ
ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙමින් ඔහු අත්දැකීම් සමුදායක් ලබාගන්නා අතර ඔහු තීරණය කරගන්නවා ඔහුගේ රටට මෙම ක්‍රීඩාව හඳුන්වා දීමට. මොන්ගෝලියාව රුසියාවෙන් සහ චීනයේ දේශසීමා අතර පවතින රටක් වන අතර එක්තරා කාලයකට උණුසුම් දේශගුණයක් ද තවත් කාලයකට සෙල්සියස් -30 -40 තරම් දරුණු සීත කාලගුණයක් සහිත රටක්. එවැනි අර්බුධයන් හමුවේ සහ වෙනත් හේතුන් සියල්ලම පසෙකට දමා ඔහු වර්ෂ 2007 දී Mongolian Amateur Cricket Association (MACA)කියන ආයතනය පිහිටුවා ගන්නේ කිසිදු වත්කමක් නොමැතිව. 

2012 දී ඔහු ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳ වැඩසටහන් කිහිපයක්ම දියත්කරන්නේ කිසිදු ස්ථීර ආදායමක් වත්කමක් නොමැතිව. මේ වනවිට පාසල් ළමුන් 400 ක් පමණ මේ ක්‍රීඩාවේ අත්දැකීම් ඇති අතර එයිනුත් 70ක් පමණ සෑම සතියකම පුහුණුවීම් සඳහා පැමිණෙන බව ඔහු පවසනවා. ඔවුන් ක්‍රීඩා කරන්නේ කෘතීම පාපන්දු ක්‍රීඩාංගනයක. උපකරණ ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වාගත් ඒවා බවද ඔහු වැඩිදුරටත් පවසනවා.




ගිණුම්කරණ ආයතනයක් පිහිටුවීම උදෙසා මොන්ගොලියාවට පැමිණෙන බ්‍රිතාන්‍ය ජාතික ක්‍රිස් හර්ඩ් ඔහුට මුණගැසෙන්නේ මීට වසර 5 කට පමණ පෙර යි. හර්ඩ් සමඟ එකතුවන ගොම්බෝ මොන්ගෝලියාවේ ප්‍රථම ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමට තීරණය කරන්නේ ඉන් පසුවයි. එය මොන්ගෝලියානු මිත්‍රත්ව ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස නම් කිරීමට නියමිතයි. 


ක්‍රිස් හර්ඩ් 




















මොන්ගෝලියාවේ ප්‍රථම ක්‍රිකට් ක්‍රීඩාංගනය හදන්නේ ඔන්න ඔය උඩින් දාලා තියන ස්ථානයේ. එකවර වෙනස් වන කාලගුණික තත්වයන් හේතුකොට ගෙන මේ ඉදිකිරිම් වැඩපිළිවලට බාධා ඇතිවුණත් ඒ දවස් කිහිපයකට පමණයි. 

ගොම්බෝ සහ හර්ඩ් දෙදෙනාගේ ඉලක්කය 2017 වසරේ මැයි මස වනවිට මොන්ගෝලියාවේ ප්‍රථම පිළිගත හැකි මට්ටමේ තරඟයක් පැවැත්වීමට යි. මෙම ව්‍යාපෘතිය ආරම්භ වීමට පෙර බටුල්ගා ගොම්බෝ අපූරු වැඩක් වෙනුවෙන් ඔහුගේ කාලය වෙන්කරගත්තා. ඒ Kherlan කියන ගඟ ට මායිම් ව තිබෙන Burkan Khaldun කියන කන්දට සංචාරය කිරීමයි. මොන්ගෝලියානු වැසියන්ට එම ස්ථානය සුවිශේෂී එකක්. ඒ මොන්ගෝලියානු අධිරාජ්‍ය සුවිශේෂී පාලකයෙක් වූ ෂෙන්ගීස් ඛාන් උපත ලැබුවේ එම ප්‍රදේශයේයි. ඔහු ගල් කිහිපයක් කණුවක් අයුරින් පිහිටුවා ඒ මත ක්‍රිකට් පන්දුවක් තබා ලාමාවරුන් ගේ ආශිර්වාදය ලබාගත් අතර ක්‍රීඩාංගනය ඉදිකිරීමේ වැඩකටයුතු ආරම්භ වුයේ ද ඉන් පසුවයි.


මීට සමාන ගල් කුළුණක් 
මේ ව්‍යාපෘතියට ඇමෙරිකානු ඩොලර් 121,000 ක් අවශ්‍ය බව ගණන් බලා ඇති අතර, එයින් ක්‍රීඩාංගනයේ මූලික අවශ්‍යතා ඉටු කරගත හැකි බවයි ගොම්බෝ සහ හර්ඩ් පවසන්නේ. මේ සඳහා මුදල් සැපයීමට මේ වනවිට විවිධ පුද්ගලයින් දැනටමත් ආධාර ලබාදෙමින් පවතින අතර චිත්‍ර ශිල්පීනියක් වන එමා ට්‍රේන්ශාර්ඩ් මොන්ගෝලියානු 11 නිරූපණය කරමින් චිත්‍ර කිහිපයක් ආධාර කර ඇත්තේ වෙන්දේසියකින් හෝ මුදල් ආධාර ලබා ගැනීම උදෙසා යි. 





















මේ ආධාර ICC යෙන් ලබා නොදීමට හේතුව ඔවුන් ICC සමාජිකයෙක් ලෙස ස්ථාපිත නොවීමයි. ඒ සඳහා සම්පූර්ණ විය යුතු මුලික අවශ්‍යතා තවමත් මොන්ගෝලියානු ක්‍රිකට් සංගමය ට ඉටුකරගැනීමට හැකියාවක් ලැබී නෑ . තවමත් ඔවුන්ට ඩොලර් 63,000 ක පමණ මුදලක් අවශ්‍යව ඇති අතර අවශ්‍ය නම් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන අයෙක් වශයෙන් ඔබටත් මේ පහත ඇති වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබේ ආධාර ලබාදිය හැක. 

MACA Donations

 "My dream is to spread the great game and establish clubs and set up a national XI which can play against other international teams" - බටුල්ගා ගොම්බෝ 

#DON 
14.05.2016





Friday, May 13, 2016

ක්‍රිකට් උණ - Don's story

ක්‍රිකට් කියන්නේ ඇත්තටම මගේ ජීවිතේට සෑහෙන්න බලපෑමක් කරපු ක්‍රීඩාවක්.කොටින්ම මගේ නමත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගෙන් උපුටා ගත්ත එකක්. පාසල් කාලේ අවුරුදු තුනක් (වාර තුනක දී ) ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වුනත් තුන්වරම මම අසාර්තකවුනා සාර්ථක ක්‍රීඩකයෙක් වෙන්න. 3 වසරේ දී පලවෙනි පාරට ලෙදර් බෝලයක් අල්ලපු මගේ ක්‍රිකට් දිවිය නිමා වුනේ මගේ කම්මැලි කම නිසා වුනත් ක්‍රිකට් දිවියේ අමතක නොවන සිදුවීම වාර්තා වුනේ එම වසරේදී මයි.  පන්දු රැකීමේ පුහුණුවීමේදී  බොලේ ඔලුවේ වැදිලා ලොකු අලකලංචියක් වුනා කියලා මට සිහිය එද්දී කීපදෙනෙක් කිව්වා.

අන්තිම් පාරට ලෙදර් බෝලෙත් එක්ක වැඩ දැම්මේ 9 වසරේ දී, තාත්තා තමයි උනන්දු කලේ යන්න. මොකද ඒ දවස්වල ක්‍රිකට් ක්‍රීඩකයින් ගේ පරණ පින්තූර හොයන උණක් ගහලා තිබ්බ නිසා. ක්‍රිකට් පුහුණුවීම් වලට යන්න පුළුවන් වුනේ ටික කාලෙකට විතරයි, මගේ තාත්තා ගේ අභාවය නිසා ක්‍රිකට් කියන දේ නවත්තන්න සිදුවුණා. අම්මා බලපෑම් කලේ නෑ . එත් ඇත්තටම ක්‍රිකට් කියන දේ මට එපා වුනා කිව්වොත් වැරදි නෑ . 

ක්‍රිකට් කියන දේ ආයේ උණක් වුනේ උසස් පෙළත් ඉවර වුනාට පස්සේ. ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන අදහස හිතෙන අයින් කරලා තිබ්බත් ක්‍රිකට් සාහිත්‍යය හදාරන්න පටන් ගත්තේ ඔය කාලේ දී. වැල්ලවත්ත තියන පරණ පොත් කඩේකින් පරණ ක්‍රිකට් පොත් සල්ලි දීලා ගත්ත මම අන්තිම පිටුව වෙනකන් කියෙව්වා. තාමත් තියනවා පොත් සෙට් එකක්. ඒ එක්කම ෆේස්බුක් එකේ පේජ් එකක් පටන්ගත්තා ක්‍රිකට් කතා කියලා. සීමිත පිරිසක් මගේ ලිපි වලට ප්‍රතිචාර ලබාදුන්නා. 

ට්විටර් වලට බැස්සේ ඊටත් පස්සේ. ට්විටර් සමාජ ජාලය පොඩ්ඩක් අමුතුයි ඒ දවස්වල. හරියට ලංකාවේ පොරක් උගන්ඩාවට ගියා වගේ. මුලින්ම සෙට් වුනේ ක්‍රිකට් දත්ත විශ්ලේෂකයෙක් , මංජුල කියලා අයියා කෙනෙක්.ඒ දවස්වල ක්‍රිකට් දත්ත විශ්ලේෂණය කිරීම ගැන ඉගන ගත්තේ ඒ මිත්‍රයා ගෙන්. ඊට පස්සේ ආපු ක්‍රිකට් උණ අන්න ඒක. ක්‍රිකට් දත්ත සැපයීමේ සමාජ සේවය ආරම්භ කලේ අන්න ඒ විදිහට. ට්විටර් එකේ #CricStatsSL කියලා ගහලා බලන්න, සෑහෙන්න දාලා ඇති. 

ට්විටර් නිසා මං සැහෙන්න මිතුරු පිරිසක් ඇතිකරගත්තා. වෘර්තීය වශයෙන්, ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය දක්වන ය වශයෙන් සහ වෙනත්. ඒ අතරින් ගිහාන් අයියා විශේෂයි. ගිය අවුරුද්දේ ගිහාන් අයියා ප්‍රමුඛ ට්විටර් මිතුරන් කිහිපයක් සංවිධානය කරපු #RanViruMeetUp සමාජ සේවය ට සම්බන්ධ වෙන්න මටත් අවස්තාවක් ලැබුනා. දවල් කෑම ගන්න කොට ගිහාන් අයියා එක්ක චැටක් දාන්න අවස්තාවක් ලැබුනා. අයියා ඇහුවේ මල්ලි ලංකාවේ ක්‍රිකට් ගැන මෙන්න මේ අහවල් පොත කියවලා තියනවද කියලා. වැඩේ කියන්නේ මන් මේ පොත අන්තර්ජාලයේ දැකපු ඒත් මොනම කඩේකවත් ගන්න නැති සෑහෙන්න වටිනා පොතක්. ගිහාන් අයියා ඔය සිද්ධියෙන් සති කිහිපයකට පස්සේ ගෙදරටම පොත ගෙනල්ලා දුන්නා. 

ඔය එක්කම තවත් ලොකු උණක් සෙට් වුනා. ඒ තමයි ක්‍රිකට් ක්‍රීඩකයෝත් එක්ක ෆොටෝස් ගන්න එක. මේ උණ සෙට් වුනේ ත් ගිය අවුරුද්දේ. ඒ උණ නං සැරටම වැදිලා තියෙන්නේ. 

මේ අවුරුද්දේ ට්විටර් එකේ ක්‍රිකට් උණ ඔලුවට වැදිච්ච සෙට් එකක් එක්ක පොඩි වැඩක් පටන් ගත්තා. අයිඩියාස් පාර දැම්මේ අපේ පැණි අයියා රුක්ෂාන්.වැඩේට අපි නමක් දැම්මා #MeetInTheStands කියලා. නම නං දැම්මේ ඩැනියල් සහෝදරයා. ලංකාවේ පළමුපෙළ, සීමිත ඕවර, ටෙස්ට් සහ ඕනෑම තරගයක් බලන්න ලංකාවේ මිනිස්සුන්ව දිරිමත් කිරීමේ වැඩපිළිවලක්. ඔය වැඩේට සෑම් , ඩෑම්z (Damn!), ඕමර් එකතුවුනා. තව නම් ගම් නොකියපු වැඩේ ගොඩ දාන්න කිහිපදෙනෙකුත් එකතුවුනා.සමහරු කියයි ජෝබ්ලස් වැඩවල් නේ ඕවා කියලා. අනේ මහත්තයෝ පු* පලාගන්න ඕනේ නැත්තන් මෙතනින් යන්න පුළුවන්.

මේ වැඩේට එකතු වෙච්ච අයගෙන් 90%ක්ම රැකියාවක් කරන ගමන් ආතල් එකට කරන වැඩක්. අපේ පලවෙනි ඉවෙන්ට් එක මේ අවුරුද්දේ ජනවාරි 30 පැවැත්වුනා ඛෙත්තාරාමේ දී. අපිට ක්‍රිකට් ක්‍රීඩකයින් එක්ක ෆොටෝස් ගන්නත් කනා චාන්ස් එකක් සෙට් වුනා. ඔය පල්ලෙහා තියෙන්නේ එයින් එකක් තමා. වැඩේට සීමිත පිරිසක ගේ දායකත්වය ලැබුනත් මේ මාසේ වෙනකොට සෑහෙන්න පිරිසක් මේ වැඩේ ගැන දන්නවා. 




අපේ ඊළඟ ඉවෙන්ට් එක තියෙන්නේ අගෝස්තු මාසේ 21 වෙනිදා, ඒකත් ඛෙත්තාරාමේදී . ඔස්ට්‍රේලියාව එක්ක පැවැත්වෙන පළමු එක්දින තරඟය. මේ ඉවෙන්ට් එකට ඕනෑම කෙනෙක්ට එන්න පුළුවන්. වැඩි විස්තර උඩින් දාපු හැෂ්ටැග් එකට ගිහිල්ලා බලන්න.

මේක ලියද්දි මතක්වුනේ කුසල් මෙන්ඩිස් අවුට් වෙච්ච එකට ට්විටර් එකෙන් මට මඩ ගහනවා. හහ්, එව්වා කොහෙද !

සිරිලංකාව 202/8 

#DON 
13.05.2016

ප.ලි. - මාස 4ක් මේකේ මුකුත්ම ,ලියන්න බැරිවුනේ ක්‍රෝම් එකේ සිංහල ෆොන්ට් එකට හෙනගපු හින්දා. අකිල සහෝදරයාට ස්තූතියි අවුල විසඳිලා කියලා මට දැනුම් දුන්නට.