Friday, August 12, 2022

ගල්, මුල් පසු කර නසාර් රැස්කළ විශිෂ්ට ශතකය...... |

|
"ඔහු මාගේ හෝටල් කාමරයට පැමිණ ඇසුවේ, ඔහුගේ දුර්වල පිතිකරණය, කණ්ඩායමේ අන් අය සිතන්නේ කෙසේදැයි යන්නයි. මගේ පිළිතුර වූයේ කණ්ඩායමේ හැමෝම ඔහුගේ පසුපසින් සිටිමින් ඔහුට පූර්ණ දායක්ත්වය සපයන බවයි". 

මෙසේ පවසන්නේ මයිකල් ඇතර්ටන්... 2001 වසරේ ශ්‍රී ලංකාවට එරෙහි මුල්ම තරගයේ දී එංගලන්ත පිලේ නායක නසාර් හුසේන් ලකුණු 1කටත්, 3කටත් දැවී ගියේ මුත්තයියා මුරලිදරන් ගේ දඟ පන්දුව හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන්...

එම තරගයට පෙර නසාර් හුසේන්, ඉනිම් 19කදී අර්ධ ශතකයක් රැස්කර තිබුනේ එක් වතාවක දී පමණයි. ඔහුගේ නායකත්වය, මයික් බ්‍රියර්ලි ට පසුව එංගලන්ත කණ්ඩායමේ දක්ෂතමයා ලෙස සැලකුම් ලැබුවත් දිගින් දිගටම ඔහු පිතිකරණයෙන් අසාර්ථක වීම නිසා ඔහුට කණ්ඩායමේ ස්ථානයක් ලබාදීමට සුදුසු දැයි යන ප්‍රශ්නාර්ථය මතුව තිබුනා.

මුරලි හමුවේ නසාර් නැවත අසාර්ථක වීමත් එම තරගය එංගලන්තය පරාජය වීමත් නිසා නසාර් ගේ මානසිකත්වය අතිශය ව්‍යාකූල තත්ත්වයක පසුවුනා. ඇතර්ටන්, නසාර් ට පරණ තරගයක් ආවර්ජනය කළා...

"උඹට මතකද 87 දී අපි අස්ගිරියේ දි ගහපු දෙවන තරගය (එංගලන්ත ශ්‍රී ලංකා යොවුන් ටෙස්ට් තරගය). උඹ ගහපු ලකුණු 100 නියම සටන්කාමී ඉනිමක්"

හුසේන් ට එම තරගය මතකයට නැගුණා... ඔහු, එම හෝටලයේ අවන්හලට ගොස් කෝලා පානය කර සිගරැට්ටුවක් දල්වා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත ඊළඟ තරගය පිළිබඳව කල්පනා කළා...

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගය ආරම්භ වීමෙන් අනතුරුව තේ පානය සඳහා තරගය නතර කරන විට, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 216/4 යි. එවකට යොවුන් පිතිකරු මහේල ජයවර්ධන ගෙන් අගනා ශතකයක් වාර්තාවී තිබුනත් මුල්ම තරගයේ දී එංගලන්තයට අවාසිදායක තීරණ ලබාදුන් ශ්‍රී ලංකා විනිසුරුවරුන් දෙවන ටෙස්ට් තරගයේ දී එංගලන්තයට වාසිදායක වන තීරණ ලබා දීම කැපී පෙණුනා. 

තේ පානයෙන් අනතුරුව ඇන්ඩි කැඩික් සහ ඩැරන් ගෆ් ශ්‍රී ලංකා පිලේ ඉතිරි කඩුලු සියල්ලම බිඳ දැමුවා. ශ්‍රී ලංකා ඉනිම 297/10යි. එංගලන්ත ඉනිමේ ආරම්භය නැවතත් අසාර්තක වෙමින් ඇතර්ටන් දැවී ගිය අතර, ඉන් අනතුරුව පිටියට පිවිසියේ දකුණත් පිතිකරු නායක නසාර් හුසේන්. 

මෙවර හුසේන්, මුරලිට මුහුණ දීමට තීරණය කළේ වෙනස්ම ආකාරයකට යි. පා ආවරණය ඉදිරියට දමා පන්දුව කඩුල්ලට පැමිණීමෙන් අවහිර කිරීම හෝ පන්දුවට වැරෙන් පහර දීම, ඔහුගේ උපාය වුනා...

හුසේන් ගේ පිත්තේ දාරයේ ස්පර්ශය වී දෙවරක්ම පන්දුව රැකගැනීමට ශ්‍රී ලංකා පන්දු රකින්නන් සමත් වූවත්, විනිසුරු බී.සී කුරේ, එය නොදැවීම් ලෙස සංඥා කළා...

එම තීරණ වල වාසිය තමන්ට හරවා ගනිමින් නසාර් හුසේන්, විශිෂ්ට ශතකයක් රැස් කළ අතර තරගය නරඹමින් සිටි එංගලන්ත ක්‍රීඩකයින් දෙස අත දික් කර ඔහුට සහයෝගය ලබාදීම පිළිබඳව කෘතඥතාවය පල කළා... 

එය නසාර්, මාස 15කට පමණ පසු ටෙස්ට් ශතකයක් රැස්කළ මුල්ම අවස්ථාවයි. නසාර් ට මෙය අතිශය වැදගත් වූයේ මෙම ඉනිම නිසා ඔහුගේ ටෙස්ට් දිවිය තවත් දීර්ඝ වීමත්, එංගලන්තය මෙම තරගය ජයග්‍රහණය කිරීමත් නිසා. එමෙන්ම නසාර් පවසන පරිදි මෙය ඔහු රැස්කළ අපහසුම ශතකය යි.

ඉන් පසු ? - එංගලන්තය තෙවන ටෙස්ට් තරගයත් ජයග්‍රහණය කර ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේ දී තරග 2-1ක් ලෙස තරගාවලිය ජයගත්තා. සනත් ජයසූරියට එරෙහිව ලබදුන් දුර්වල තීරණයෙන් කෝපයට පත් සනත්, ක්‍රීඩාගාරයට යන අතරතුර තම හෙල්මටය විසි කළ අතර එම හේතුවෙන් ඔහුට තරග ගාස්තුවෙන් 60%ක දඩයක් සහ අත්හිටවූ තරග 4ක තහනමක් හිමිවිය. 




- Aqeeb