Friday, June 12, 2015

ලංකා ක්‍රිකට් ඉතිහාසය - පළමු කොටස




උපත...

වර්තමානයේ මෙරටේ ක්‍රියාත්මක වන ක්‍රීඩා අතුරින් ක්‍රිකට් ක්‍රීඩාව ට හිමිවන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයක්. 1982 වසරේ දි ටෙස්ට් තත්වය හිමිවීමට පෙර සිටම මෙම ක්‍රීඩාව වෙත ආකර්ෂණය වී සිටි පිරිස සුළුපටු නොවේ. මෙරටේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය සොයාබැලීමට නම් 19 වන ශතවර්ෂයේ මුල් භාගය තෙක් යායුතයි. මුලාශ්‍ර ඉතාමත් සීමිත වුවත් ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය සහ හඳුන්වාදීම 1830/40 කාල වකවානුවේදී සිදුවූ බව වාර්තා පවසයි. එයිනුත් වඩාත්ම ආසන්නතම සිදුවීම වාර්තා කරන්නේ ඉංග්‍රීසි බසින් පළවූ ‘Colombo Journal’ පුවත්පතයි. මෙරටේ මුල්ම සහ පැරණිතම ක්‍රිකට් සමාජයක් වන කොළඹ ක්‍රිකට් සමාජයේ ආරම්භය පිලිබඳ වාර්තාවක් 1832 වර්ෂයේ සැප්තැම්බර් මස 5 වන දින එම පුවත්පතේ වාර්තා වූ අතර බ්‍රිතාන්‍යයින්  සහ බ්‍රිතාන්‍ය හමුදා ඒකකයේ 97 වන රෙජිමේන්තුව අතර තරගය ඉහත සමාජය ආරම්භ වීමට මූලිකවම හේතුවූ බව ද වැඩිදුරටත් සඳහන් කරමින් ක්‍රිකට් ක්‍රීඩාව කොළඹ ආශ්‍රිතව ස්ථාපිත වූ බව පලවිය.

(1850 – 1900)

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හි නැගී ඒම සිදුවුනේ මෙම කාල පරාසයේදියි. 1860 මුල් භාගයේදී කොළඹ සහ අප් කන්ට්‍රි කණ්ඩායම් අතර පැවති තරගයත් 1875 දී පැවති තරගයත් එයට නිදසුන් වේ.1880 අග භාගය තෙක් කණ්ඩායමේ බහුතරයක් බ්‍රිතාන්‍ය සම්භවය සහිත ක්‍රීඩකයින් වුවත් ක්‍රම ක්‍රමයෙන් දේශීය ක්‍රීඩකයින් කණ්ඩායමේ ස්ථානයක් හිමිකරගන්නා ලදී.

පාසල් ක්‍රිකට්...

1877 වසරේදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වූ හෙයින් ක්‍රීඩාව සීග්‍රයෙන් ව්‍යාප්ත විය. ඒ අනුව එවකට කොළඹ ඇකඩමිය ලෙස හැඳින්වූ වර්තමාන කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් දෙවිදුහල් අතර 1879 දී 1 ක්‍රිකට් තරගාවලියක් ආරම්භ වෙන්නේ ක්‍රිකට්, පාසල් ක්‍රීඩකයින් කරා ද ගෙන එමින්.

ක්‍රීඩා සමාජයන්හි ආරම්භය...

කොළඹ ක්‍රිකට් සමාජය ආරම්භ කිරීමෙන් පසු ක්‍රීඩාව අන්ත දුගී මිනිසා සිට ධනවත් පැලැන්තිය තෙක් බෙදී යාම නිසා විවිධ සමාජ පංති යටතේ ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය වීමට පටන් ගත්තේය. ආනල්ඩ් රයිට් ගේ Twentieth Century Impressions of Ceylon (1907)’ යන කෘතියේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ කිහිපයක් පිළිබඳව සඳහනක් කර ඇත. 1869 වන විට කොළඹ ක්‍රිකට් සමාජයට අමතරව (කොළඹ ක්‍රිකට් සමාජය මෙරටේ පැරණිතම ක්‍රිකට් සමාජයයි, කෙසේ වෙතත් ශ්‍රේෂ්ට ක්‍රිකට් කතුවරයෙක් වූ S.P. Foenander ගේ කෘතියක සඳහන් කර ඇත්තේ කොළඹ ක්‍රිකට් සමාජය 1863 ඩි ආරම්භ කල බවයි.) The Union Club, The Smallpass Club, The Slave Island Club, The Juvenile Graduates, The Hultsdorf Club, The Fort Club සහ The Military Club. එමෙන්ම පසු කාලීනව ආරම්භ කෙරුණු කොළඹ කොල්ට්ස්, කොළඹ නොන්ඩේස්ක්‍රිප්ට්ස් ක්‍රිකට් සමාජය (NCC), කොළඹ ක්‍රීඩා සමාජය, බ්ලූම්ෆීල්ඩ් පිල, සිංහල ක්‍රීඩා සමාජය, කොළඹ මැලේ සමාජය, මහනුවර ක්‍රීඩා සමාජය, දික්ඔය හා  මස්කෙළිය ක්‍රිකට් සමාජය සහ දිඹුල ක්‍රීඩා සමාජය පිළබඳව ඉහත කෘතියේ සඳහන් කිරීමක් කර ඇත. මීට අමතර ටැමිල් යුනියන්, ගාලු ක්‍රීඩා සමාජය, බී ආර් සී සමාජය වැනි ක්‍රීඩා සමාජ ද 1870 සහ 1900 අතර වකවානුවේදී ආරම්භ විය. එමෙන්ම තවත් ක්‍රීඩා සමාජ ගණනාවක් එම කාල සීමාවේදී බිහිවූ අතර නකල්ස්, මාතලේ CC, ඇලකඩුව වැනි කණ්ඩායම් ඊට උදාහරණ වේ.  


 

විදෙස් ක්‍රීඩකයින්ගේ ආගමනය ...


 

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර වාර්ෂිකව පැවැත්වූ ටෙස්ට් තරගාවලියට පෙර ඔවුන් දින කිහිපයක් සඳහා ශ්‍රී ලංකාවේ හෝ ඉන්දියාවේ නතර වුයේ දින ගණනක් ගතවන නැව් ගමනාගමනයට තාවකාලික තිතක් තබමින්. ඒ අතරවාරයේ ඔවුන් එක්දිනකට හෝ දින දෙකකට පමණක් සීමා වූ නිල නොවන ක්‍රිකට් තරග කිහිපයකම නිරත වූ බව මුලාශ්‍ර පවසයි. ඒ අතරින් වඩාත්ම සුවිශේෂී තරඟ වනුයේ,

 


(i)            1884 දි මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම - ගාලු මුවදොර පිටියේදී පැවති මෙම තරගය සඳහා ඕස්ට්‍රේලියානු පිල නියෝජනය කරමින් සුවිශේෂී ක්‍රීඩකයෙක් තරඟ කලේය. ඔහු නමින් ඇලෙක් බැනර්මන් වූ අතර, ප්‍රථම ටෙස්ට් තරගයේදීම ශතකයක් වාර්තා කල චාර්ල්ස් බැනර්මන් ගේ සහෝදරයා මොහු වේ. එම වසර අග භාගයේදී ද ඔවුන් නැවතත් සිලෝන් පිලට එරෙහිව තරග වැදුන අතර එම තරග දෙක අතරතුර ඔවුන් අළු බඳුන තරගාවලියටද සහභාගී විය.


(ii)          එංගලන්ත ටෙස්ට් කණ්ඩායම සහ මිඩ්ල්සෙක්ස් පිල නියෝජනය කල ජී.එෆ්. වර්නන්  ගේ නායකත්වයෙන් 1889 අග භාගයේදී පැමිණි කණ්ඩායම - ඔවුන් සිලෝන් පිලට එරෙහිව තරඟ කිහිපයකම යෙදුනි.


(iii)         1891 දී කොළඹට පැමිණි Lord Sheffield ගේ කණ්ඩායම - සුවිශේෂී ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගෙන්ම සමන්විත මෙම කණ්ඩායමේ වඩාත් කැපීපෙනුන ක්‍රීඩකයා වුයේ තරබාරු සිරුරකට සහ ඔහුටම ආවේනික යටි රැවුලක් සහිත එවකට වඩාත් ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා වූ දොස්තර විලියම් ගිල්බට් ග්‍රේස් හෙවත් WG Grace ය. එමෙන්ම ජෝර්ජ් ලොහ්මන්, ජොනි බ්‍රිග්ස්, සරේ පිතිකරු රොබර්ට් ‘බොබී’ අබෙල් වැනි එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයේ පතාක යෝධයින් මෙම කණ්ඩායමේ සිටි අනෙක් ක්‍රීඩකයින් ය.


(iv)         1892 අග භාගයේදී දකුණු ආසියාවේ ක්‍රිකට් සංචාරයක යෙදුනු Lord Hawke ගේ කණ්ඩායම - ඔවුන් කොළඹ ක්‍රිකට් සමාජය, කොල්ට්ස් සමාජය සහ අප්කන්ට්‍රි යන කණ්ඩායම් වලට එරෙහිව තරඟ කර ඉන්පසුව ඉන්දියාවේ ද තරග කිහිපයකටම සහභාගී වි ඇත.


(v)          1892 වසරේදීම දෙසැම්බර මස තුල මෙරටට පැමිණි මැඩ්රාස් (වර්තමානයේ - චෙන්නායි) කණ්ඩායම - ඔවුන් කොල්ට්ස් කණ්ඩායම සහ සිලෝන් පිලට එරෙහිව තරග කල අතර එම තරග දෙකම පරාජය වී ඇත.


(vi)         1893 දී පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම - 1889 දී විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස පිදුම් ලැබූ ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ දක්ෂ මඳ වේග පන්දු යවන්නෙක් වන චාර්ලි ටර්නර් සහ ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරඟ 58කට ක්‍රීඩා කල සිඩ්නි ග්‍රෙගරි මෙම කණ්ඩායමේ සාමජිකයන් වුහ.


(vii)        හැරී ට්‍රොට් ගේ නායකත්වයෙන් 1896 ඩි පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම - මෙම කණ්ඩායමේ විශිෂ්ට ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම නියෝජනය කල අතර ඒ අතරින් ජෝ ඩාලින්ග්, ක්ලෙම් හීල් (ටෙස්ට් ක්‍රීඩාව ආරම්භ කිරීමෙන් පසු මෙලොව එලිය දුටු මුල්ම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ගේ වාර්තාව මොහු සතු වේ), 1893 වසරේදී මෙරටට පැමිණි කණ්ඩායමේ සිඩ් ග්‍රෙගරි, හැරී ට්‍රොට් ගේ සහෝදරයා වූ ඇල්බර්ට් ට්‍රොට්, 1890 – 1900 අතරවාරයේ ලොව වේගවත්ම පන්දුයවන්නෙක් ලෙස සැලකු පසු කලක පන්දු යැවීම සැකසහිත බවට විනිසුරුවරයෙක් දැනුම් දුන් නිසා ක්‍රිකට් ලොව කැළඹු අර්නි ජෝන්ස් වඩාත් සුවිශේෂී ක්‍රීඩකයින් ගණයට වැටේ.


 

*මෙම තරඟයන්ට අමතරව 1890 දී පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම, 1894 දී පැමිණි එංගලන්ත ටෙස්ට් ක්‍රීඩක ඇන්ඩෲ ස්ටොඩාර්ට් ගේ කණ්ඩායම (මෙම කණ්ඩායමේ ආචි මැක්ලරන්, ජොනි බ්‍රිග්ස් වැන්නන් ද නියෝජනය කල බව වාර්තා පවසයි ) සහ වෙනත් බ්‍රිතාන්‍ය කොලනියන් යටතේ පැමිණි කණ්ඩායම් මෙම කාල වකවානුව තුල ක්‍රීඩා කර ඇත. එමෙන්ම සිලෝන් පිල බුරුමය, ඉන්දියාව වැනි රටවල් වෙතට ද සංචාරය කර තරඟ රැසකට සහභාගී වෙමින් ජයග්‍රහණ ද වාර්තා කර ඇත.


* ටෙස්ට් කණ්ඩායමක් මෙරට මුල්ම වරට සංචාරය කරන ලද්දේ 1882 දියි. ජෝන් ස්ටර්න් සහ මාක්ස් විලියම්ස් විසින් පලකළ The Essential Wisden: An Anthology of 150 Years of Wisden Cricketers' Almanack කෘතියේ 526 වන පිටුවේ පහත අයුරින් සඳහනක් කර ඇත.


 

“Ceylon, as Sri Lanka was known until 1972, was a regular stopover for England (or MCC) on tours of Australia as far back as 1882-83. Fortunately, Ceylon lay on the shipping route between Britain and Australia, and this gave us the golden opportunity of watching world-famed stars in action, if only for a few hours.


 

එමෙන්ම 2002 අගෝස්තු මාසයේ ‘The Island’ පුවත්පතේ කාල් මුලර් විසින් පලකළ ලිපියේ කොටසක් පහත වේ.

 


 It is on record that the first English team to visit Ceylon was led by Ivo Bligh. Captain Bligh was sailing with his men to Australia (no, not on the ‘Bounty’) and they played a Ceylon team at Galle Face on October 13 and 14, 1882. The match was drawn and the visitors, leaving for Oz on the s.s. "Peshawar" were forced to turn back when their ship collided with the s.s."Glenroy". They beat in to Galle for repairs. It was the opportunity for the Royal Dubliners to play a one-day match with Bligh and his men on October 23. The Dubliners were routed by the English bowlers and collapsed to 25 for 9 at stumps.


 

සුවිශේෂී ක්‍රීඩකයින්...


 

1850 – 1900 කාල සීමාව තුල මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් සුළුතරයක් වුවත් ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවට කල සේවය අතිමහත්ය.


 

තෝමස් කෙලාර්ට් (ටොමි කෙලාර්ට්) - පන්දු යැවීමෙන් සුපිරි දස්කම් දැක්වූ වමත් මඳ වේග පන්දු යවන්නෙක්වන කෙලාර්ට් 1890 හෝ ඊට ආසන්න වසරකදී මුල්ම ක්‍රිකට් තරගයට සහභාගී වී ඇත. එතැන්සිට වසර 16ක පමණ කාලයක් පන්දු යැවීමේ සාමන්‍යය 5 කට රඳවාගෙන තිබු බවට වාර්තා පවසයි. එමෙන්ම සමාජ මට්ටමින් මුල්ම වරට කඩුලු 1000ක් බිඳ හෙලමින් ද වාර්තාවක් පිහිටුවා තිබේ. ටොමි කෙලාර්ට් පිලිබඳ වඩාත් ප්‍රසිද්ධ සිදුවීම වන්නේ ඉහත සඳහන් කල 1891 ගාලු මුවදොර පිටියේදී පැවති තරගයේදී දොස්තර WG Grace ගේ කඩුල්ල ලකුණු 14 දී දවා ගැනීමයි.  කොල්ට්ස් ක්‍රීඩා සමාජයෙන් බිහිවූ ශ්‍රේෂ්ටයෙකු වන ටොමි කෙලාර්ට් මිය යන්නේ 1950 වසරේ දියි.

 


එඩ්වර්ඩ් ආර්නෝල්ඩ් ක්‍රිස්ටොෆෙල්ස්(z) - ඉතාමත් දක්ෂ පන්දු යවන්නෙක්. 1890/91 වසරේදී හොංකොං පිලට එරෙහිව කඩුලු 8ක් දවාගැනීම සහ 1890 ඩි මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු 5ක් බිඳ හෙලීමත් ඔහුගේ හොඳම දක්ෂතා අතර කිහිපයක් පමණයි.

 


ඇලන් රීෆල් - කොල්ට්ස් පිලෙන් බිහිවූ තවත් සුවිශේෂී පන්දුයවන්නෙක්, මොහු සහ කෙලාර්ට් අන් සියලු සමාජයන් පසුබෑමට ලක්කරමින් ඉතාමත් හොඳින් පන්දුයැවූ බවට වාර්තා වේ.


 

බර්නාඩ් පවුන්ස්ෆොට් - බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වන බර්නාඩ් පවුන්ස්ෆොට් එංගලන්තයේ ඔක්ස්ෆෝර්ඩ් විශ්වවිද්යාලිය කණ්ඩායමේ නායකත්වය දරමින් ද මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තය වෙනුවෙන් පිතිකරුවෙක් සහ පන්දුයවන්නෙක් වශයෙන් පළමුපෙළ තරඟ 32 කට ක්‍රීඩා කල අතර පසු කලක ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු කොළඹ ක්‍රිකට් සමාජය හා එක්ව ක්‍රීඩා කරන ලදී. 1862 – 1875 අතරවාරයේ කොළඹ ක්‍රිකට් සමාජයේ සිටි දක්ෂතම පිතිකරුවා ඔහුයි. 1876 වසරේදී කොළඹ ක්‍රිකට් සමාජයේ සභාපති ධුරය ද හෙබවූ ඔහු 1882 වසරේදී මිය යනවිට වයස 34ක් පමණයි.


ඩබ්.පී. හොලිලි - 1870 සිට 1900  අතර කාලයේදී මෙරට සිටි තවත් දක්ෂ පන්දුයවන්නෙක් වන මොහු ගේ පන්දු යැවීමේ සාමන්‍යය 8.00 ක් පමණක් බව Twentieth Century Impressions of Ceylon (1907)’ කෘතියේ සඳහන් කරයි. එමෙන්ම ඔහු ඒ අතරවාරයේ කඩුලු 366ක් බිඳහෙලා ඇත. ඔහු පිළිබඳව වාර්තා වී ඇති විශේෂ හැකියාවක් වනුයේ කඩුල්ල ආසන්නයේ කාසියක් රඳවා ඒ මත පස්වරක් එකවර (එනම් ඕවරයක පන්දු ගණනට සමානව, 1900 ට පෙර ඕවරයකට පන්දු ගණන 4ක් හෝ 5ක් විය) පන්දුව පතිත කිරීමයි.


 

ඩග්ලස් ද සේරම් - NCC පිල වෙනුවෙන් සුවිශාල මෙහෙයක් කල ක්‍රීඩකයෙක් ලෙස මොහු ඉතිහාසගත වේ. 1890 – 1900 අතරවාරය මොහුගේ පිත්තෙන් වාර්තා වූ ශතක ගණනට සම කිරීමට වෙනත් පිතිකරුවෙක් සිටියාද යන්න සැකයක් මතු වේ. එමෙන්ම මොහුගේ පන්දු යැවීමෙන් ප්‍රතිවාදී පිලේ පිතිකරුවන් හසුවූ වාර ගණන ද විශාල අගයකි. එම කාල වකවානුවේදී බිහිවූ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා මොහු ලෙස සැලකිය හැකියි.


 

විශේෂ සිදුවීම් ..


 

1900 ට පෙර මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වාර්තා වූ සිත් ඇදගන්නාසුළු සිදුවීම් කිහිපයක් පහත වේ.


 

·         1892 වසරේදී නකල්ස් පිල සහ මාතලේ ක්‍රිකට් සමාජය අතර පැවති තරගයේ දී නකල්ස් පිලේ පන්දු යවන්නෙක් ප්‍රතිවාදී පිලේ කඩුලු 10 ම පළමු ඉනිමේදී දවාගැනීම.


·         1872 වසරේදී ආරම්භ වූ දිඹුල සහ දික්ඔය ක්‍රීඩා සමාජ අතර වාර්ෂික ක්‍රිකට් තරඟාවලිය 1900 වසර තෙක් සහ ඉන් පසුවත් පවත්වා ඇති බවට වාර්තා ඇත. එම තරඟ අතුරින් 1895 දී පැවති තරගයේදී දිඹුල ක්‍රිකට් සමාජය කඩුලු 7 කට ලකුණු 437ක් රැස්කරගත් අතර එය ඒ වනතෙක් එම කණ්ඩායම් 2න් ලබාගත් ඉහලම ලකුණු සංඛ්‍යාවයි.


·         1874 වසරේදී දිඹුල ක්‍රිකට් සමාජයේ W.P. Halliley ප්‍රතිවාදී පිලේ කඩුලු 9ක් (සියල්ලම කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ලබාගත් ඒවා ය.) බිඳ හෙලන්නේ ලකුණු 7ක් පමණක් ලබා දීමෙනි.


·         1888 වසරේදී P.F. Hadow නමැති පිතිකරුවා කන්දපොල ක්‍රිකට් සමාජය වෙනුවෙන් තරඟ 3 කදී පිටපිට ශතක 3ක් රැස්කර ඇත.


·         කොල්ට්ස් ක්‍රිකට් සමාජය ආරම්භ කිරීමෙන් පසු නිල නොවන වාර්තා අනුව 1900 වසර වන විට ඔවුන් තරඟ 170ක් ක්‍රීඩා කර පරාජය වී ඇත්තේ තරඟ 14ක් පමණයි. ඔවුන්ගේ පන්දු යැවීමේ බල ඇණිය කොතරම් ශක්තිමත්ද යැයි කිවහොත් 1887 වසරේ මහනුවර දී පැවති තරගයක දී A.B.C.D. සමාජය ලකුණු 09 කටත් 1891 වසරේදී කොළඹ NCC ක්‍රිකට් සමාජය ලකුණු 11 කටත් දවාගැනීමට සමත් විය.

 

 

#DON

11/06/2015

 

 

මූලාශ්‍ර :

2 - Twentieth Century Impressions of Ceylon (1907)’
3 – ‘The Island’ (2002 August)
4 - The Essential Wisden: An Anthology of 150 Years of Wisden Cricketers' Almanack
5 – Cricket Archieve & ESPN Cricinfo

වෙනත් ලිපි -


පළමුපෙළ තරඟ 32 කට ක්‍රීඩා කර පසුව කොළඹ ක්‍රීඩා සමාජයට ද ක්‍රීඩා කල බර්නාඩ් පවුන්ස්ෆෝඩ් මහත්මයා.

ටොමි කෙලාර්ට්, මෙරටින් බිහිවූ අග්‍රගණයේ පන්දුයවන්නෙක්

1892 දි Lord Hawke ගේ පිල සහ අප්කන්ට්‍රි පිල අතර තරගය රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී 




































3 comments: