Wednesday, October 4, 2023

මියන්ඩාඩ්

"1988 පකිස්තාන ටෙස්ට් තරගාවලියේ දී ඔවුන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. නමුත් අපේ, දැඩි කැපවීම නිසා තරගාවලිය 1-1ක් ලෙස සමකරන්නට හැකිවුනා.. 

එම තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූයේ ඔවුන්ගේ නායකයා සහ විශිෂ්ට පන්දු යවන්නෙක් වූ ඉම්රාන් ඛාන් සහ සුපිරි පිතිකරු ජාවෙඩ් මියන්ඩාඩ්. දෙදෙනාම ශතක රැස්කළා මුල් තරග දෙකේදී ම... 

ඒ දවස්වල තමයි මම ජාවෙඩ් ගේ පිතිකරණ හැකියාව හොඳින්ම දැකගන්නට හැකිවුනේ. මට ජාවෙඩ් ගැන හිතුනේ රැවටිලිකාර පිතිකරුවෙක් හැටියට... 

ඔහුට ඒ දවස්වලත්, ඉන් පසුවත් හැකිවුනා මාව දිගින් දිගටම කෝපයට පත්කරන්නට.. 

සමහර පිතිකරුවෝ මට එරෙහිව ලකුණු රැස්කරන හැටි පිළිබඳව මට ලොකුවට හිතන්න යන්නේ නෑ, ඒ වගේ අවස්ථාවල මම, ඒක මට අභියෝගයක් කියලා හිතලා පන්දුයවන්නට හිතාගන්න නිසා.. 

නමුත් ටෙස්ට් තරග ක්‍රීඩා කරද්දී ජාවෙඩ් කියන්නේ, මීට හාත්පසින්ම වෙනස් පිතිකරුවෙක්. ඔහු හොඳින් යවන පන්දු සෑම එකකටම වගේ ලකුණු එක, දෙක සොරා ගන්නවා.. ඔහු විශිෂ්ට පිතිකරුවෙක්.. ඔහු අර්ධ ශතකය ට පිත්ත ඔසවන විට , අපිට හිතෙන්නේ මේ යකා කොහෙන්ද ලකුණු රැස් කළේ කියලා.. ඔහුට පන්දු යවන්නට මම බෙහෙවින්ම අකමැත්ත පළ කළේ එම හේතුව නිසා..."

- කර්ට්ලි ඇම්බ්‍රෝස්



එජ්බැස්ටන් සිට මැල්කම් ගෙන් පන්දු යැවීමේ පාඩමක්

බර්මින්ග්හැම් හි පැවති හතරවන ටෙස්ට් තරගය අපට වැදගත් වෙන්නේ කාරණා දෙකක් හින්දා.

1) අපි ඒ තරගයත් එක්ක 2-1ක් ලෙස තරගාවලියේ වැඩි වාසිය හිමි කරගත්තා.
2) මැල්කම් මාර්ෂල් අතිශය බුද්ධිමත් සහ විශිෂ්ට ආකාරයෙන් පන්දු යැවීම

ඔබට මැල්කම් වගේ විශිෂ්ටයෙක් ගෙන් පන්දු යැවීම ගැන ඉගනගන්න බැරි නම් ඔබ පන්දු යැවීමෙන් පලක් නෑ...

ඒ වෙද්දී මැකෝ අපිට හිටපු විශිෂ්ටතම පන්දු යවන්නා වගේම, අපේ පන්දු යැවීමේ බල ඇණියේ නායකත්වය හිමිවුනේ ඔහුට..

මම කලින් කිව්වා වගේ මැකෝ පන්දු යැවීමේ ශිල්පය විශිෂ්ට ආකාරෙයෙන් ප්‍රගුණ කරලා තිබුණා..

මම මිඩ් ඔෆ් වල පන්දු රකින සෑම වෙලාවකම මැකෝ, පන්දු යවන්න පෙර ඔහු දැන් මොන ආකාරයට පන්දු යවන්නේ කියලා, මට දැනුම් දෙනවා.. ඉන් පසුව කිසිදු වෙනසක් නැතුව, ඔහු පැවසූ ආකාරයටම ඔහුට පන්දු යවන්නට හැකියාව තිබුණා.. ඒ මැකෝ ඔහු දැන ගෙන සිටි සෑම ශිල්පයක්ම අපිට සජීවීව පෙන්නුම් කළ ක්‍රමය. ඔහු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ලෙස ක්‍රියා කළේ ඒ අයුරින්..

එජ්බැස්ටන් හි මේ හතරවන ටෙස්ට් තරගයේ දී මැකෝ පන්දුව දෝලනය කර හෝ පන්දුවේ සීමය පතිත කරමින්, දිගටම පන්දු යවන්න පටන් ගත්තා.. එවිට පිතිකරණයේ යෙදී සිටි ග්‍රෙහැම් ගුච් ට පන්දුවට පහර දීමට පවා නොහැකි වුනා.. ඔහුගේ පන්දු එතරම් අසීරු යි.. මම ඔහුගේ පන්දු යැවීම ගැන නරඹන අතරතුර මගේ අවස්ථාව ලැබෙන තෙක් ඇඟිලි ගනිමින් සිටියා...

එකවරම ඔහු හැරී මා දෙස බලා, "ඇම්බී, මම මේ හාදයාව දවාගන්නේ කොහොමද කියලා දන්නවා ද ?"

"කඩුල්ල පසුපස උඩපන්දු රැකීමක්, බොහෝවිට ස්ලිප් පන්දු රකින්නන් වෙතට" මම ක්ෂනිකව පිළිතුරු දුන්නා..

"නෑ........" මැකෝ මට එලෙස පැවසුවා..

'ගුච් ට වැටෙන පන්දුව කොයිවෙලේ හරි පිත්ත අග්‍රයේ වැදිලා පිටිපස්සට යන්න අවස්ථාව වැඩියි, මැකෝ ට පිස්සුද මන්දා, මෙහෙම නොවෙන්න විදිහක් නෑ..' 

මම, මැකෝ ගේ පිළිතුර ගැන හිතුවේ එහෙම...

"මට මේ මනුස්සයා එහෙම දවාගන්න බෑ.. පන්දුව සෑහෙන්න දෝලනය වනවා, මට මේ මනුස්සයා දවාගන්න පුළුවන් පන්දුව කෙලින්ම කඩුල්ලේ ගැටෙන විදිහට විතර‍යි, ගුච් බලාපොරොත්තු වෙන්නේ මං දිගින් දිගටම කඩුල්ලෙන් එපිටට පන්දුව දෝලනය කරයි කියලා, මං එයාට කඩුල්ල තුළට පන්දුව යොමු කරනවා"  මැකෝ එලෙස මට පැවසුවා..

පන්දු කිහිපයකට පසු, මැකෝ කියපු විදිහටම කඩුල්ල තුළට පන්දුවක් යොමු කළා, ගුච් ඩ්‍රයිව් කිරීමකට උත්සහ කළා, පිත්ත සහ පා ආවරණය තුළින් පන්දුව කඩුල්ලේ ගැටී, ග්‍රෙහැම් ගුච් දැවී ගියා..

- කර්ට්ලි ඇම්බ්‍රොස්



Not even god could play that

ඕස්ට්‍රේලියානු වේග පන්දු ද්විත්වයෙන් "තොමෝ" ලොකු වෙනසක් කළා.. 

අපි දැනන් හිටියා ලිලී කියන්නේ වේගවත් වගේම විශිෂ්ට පන්දු යවන්නෙක් කියලා, හැබැයි තොම්සන් ට පුළුවන් වුනා, එයට අමතර දෙයක් එකතු කරලා පන්දු යවන්න..

ඒ තමයි "ශරීරයට අනතුරක් විය හැකි බවට ඇතිවෙන බියකරු සිතුවිල්ල"

ඔහු තරම් වේගයෙන් පන්දු යවන පන්දුයවන්නෙක් මම දැකලා නෑ...

ඔහුගේ ස්ලින්ගින් පන්දු යැවීමේ ශෛලිය සහ ඔහුගේ ශක්තිමත් භාවය, පන්දු යැවීමේ දී කස පහරකට සම කළ හැකියි...

වරක් ඇඩ්ලේඩ් හි දී තොම්සන් ගේ කෙටි පන්දුව ලෝරන්ස් රෝ ගේ අත් ආවරණය ගැලවී පළමු ස්ලිප් පන්දු රකින්නා වෙතට විසිවී යන්නට තරම් දරුණු වුනා...

ලෝරන්ස්, ක්‍රීඩාගාරයට ඇවිල්ලා කිව්වේ,

"දෙවි කෙනෙකුට වත් ඒ පන්දුවට පහරක් එල්ල කරන්න බෑ (Not even god could play that)" කියලා..

- මයිකල් හෝල්ඩින්



ලොව විශිෂ්ටතම පන්දුවාරය

'හතරේ සීමාව අසළ දක්වා විහිදී ගිය ගැල්වනයිස් කළ වහළය අතරින් රිංගා සීමිත ඉඩක් තිබූ ප්‍රේක්ෂකාගාරයට මිනිසුන් දිව ගියා..

මේ, එංගලන්තය සමඟ පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයයි. ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ අපට හැකිවුනේ ලකුණු 265ක් රැස් කර සෑහීමකට පත්වන්නට..

බ්‍රිජ්ටවුන් කෙන්සිංටන් ඕවල් හි පැවති මෙම තරගය නැරඹීමට ඒවන විටත් පහලොස් දහසකට අධික ප්‍රේක්ෂකයින් පැමිණ සිටියා..

තම මවුබිමේ දී ම එංගලන්ත පන්දු යවන්නන් ට එරෙහිව කොදෙව් පිතිකරුවන් සාර්ථක නොවූ නිසා අප පන්දු යවන්නන් හතරදෙනා පන්දු යැවීමෙන් ප්‍රතිවාධින් මෙල්ල කරන සැටි සජීවීව නැරඹීමට ඔවුන් නොඉවිසිලිමත්ව සිටියා..

පික්වික් අන්තයේ ක්‍රීඩාගාරයේ සිට අප පිටියට පැමිණීමට සූදානම් වන අතරතුර නායක ක්ලයිව් ලොයිඩ් පැමිණ මගේ උරහිසට තට්ටු කළා..

"මිකී, උඹ මොන අන්තයද තෝරගන්නේ (පන්දු යැවීමට) ?"

මුල්ම වතාවට මට පන්දු යවන අන්තය තෝරාගන්න අවස්ථාව ලැබීම , මා බලාපොරොත්තු නොවූ දෙයක්.. 

සාමාන්‍යයෙන් මුල්ම පන්දුවාරය යවන්නේ ඇන්ඩි රොබර්ට්ස්, ඒ නිසා මාගේ පිළිතුර වූයේ , 'ඇන්ඩි යවන්න අකමැති අන්තය මට දෙන්න"

සෑම තරගයකම පාහේ, ඇන්ඩි රොබර්ට්ස්, කොදෙව්වන් වෙනුවෙන් මුල්ම පන්දු වාරය යැවිය යුතු බව මමත් අනිත් ක්‍රීඩකයෝ සියල්ලමත් පිළිගන්නා කාරණාවක්.. 

දෙවන පන්දුවාරය මට යැවීමට දැඩි උවමනාවක් තිබුණා. ක්ලයිව්, මා අසළට පැමිණ පන්දුව ලබා දුන් අතර මා පන්දු යවන්නට නියමිත අන්තය වූයේ ජෝර්ජ් චලෙනර් ප්‍රේක්ෂකාගාර යි.

අඩු ලකුණු ප්‍රමාණයක් රැස් කළ අපට ප්‍රේක්ෂකාගාරයේන් දිගින් දිගටම එල්ලවෙන පීඩනය නිසාවෙන් මට මේ ඉනිමේ විශාල වෙනසක් සිදු කළ හැකි බවට ලොකු විශ්වාසයක් තිබුණා..

"උඹට තියෙන්නේ උපරිම වේගයෙන් පන්දු යවන්න, බය වෙන්න එපා, උඹට මම පන්දුවාර තුනක් හෝ හතරක් විතරයි දෙන්නේ", ක්ලයිව් පන්දුව ලබා දෙද්දී මෙලෙස පැවසුවා..

කෙන්සිංටන් මාගේ ප්‍රියතම ක්‍රීඩා පිටි වලින් එකක්, පන්දුව ඉපිලීමට වගේම වේගයෙන් යැවිය හැකි නිසා, එංගලන්ත පිතිකරුවන්ට වේග පන්දු පාඩමක් ඉගැන්විය හැකි බවට මට තේරුම් ගියා..

සාමාන්‍යයෙන් මගේ පන්දු යැවීමේ ශෛලිය වන්නේ මුල් පන්දුවාර කිහිපය තුළ නිසි දිශාව සහ එල්ලය සොයා එයින් පිතිකරුවා අඩපණ කර, ක්‍රම ක්‍රමයෙන් පන්දු යැවීමේ වේගය වැඩි කිරීමයි. ඒ වගේම වෙනත් ක්‍රමවේද අත්හදා බැලීමයි..

නමුත් මේ ඉනිමේ දී මට ලැබුණු උපදෙස මුල්ම  පන්දුවේ සිට පිතිකරුවා, වේගයෙන් පන්දු යවා මෙල්ල කිරීමයි. එයත් ආරම්භක පිතිකරු ජෙෆ්‍රි බොයිකොට් ට එරෙහිව. 

ජෙෆ්‍රි බොයිකොට් පිතිකරණයේ දී අතිශය ඉවසිලිමත් සහ පිතිකරණ දුර්වලතා අතිශය අවම පිතිකරුවෙක්..

එංගලන්තයේ දී පෙර පැවති තරගාවලියේ දී බොයිකොට් ට එරෙහිව පන්දු යැවීමට මට හැකිවුණා.. ඔහුට පන්දු නොයැවිය යුතු ආකාරය පිළිබඳව මට ඉක්මනින්ම තේරුම් ගියා..

ඔහුට පන්දු යවන දිශාව ඉක්මනින් විනිශ්චය කළ හැකියි.. ඉන්නෙන් එපිට යවන ඕනෑම පන්දුවකට ඔහු පහරක් එල්ල නොකර එය නිදැල්ලේ යාමට ඉඩ හරියි..

ඒ කියන්නේ ඔහු දවාගත හැකි එකම ක්‍රමය, ඉන්නට ඉතාමත් ආසන්නයෙන් පන්දුව‍ යවා හෝ කෙලින් පන්දු යවා ඉන්නෙන් එපිටට පන්දුව දෝලනය කිරීමෙන්..

ට්‍රෙන්ට් බ්‍රිජ් හි දී ත් පෙර පැවති ක්වින්ස් පාර්ක් ඕවල් ටෙස්ට් තරගයේ දී ත් මා මේ ක්‍රමය භාවිතා කර තරමක් සාර්ථක වූ නමුත් මේ අවස්ථා වලදී පිත්ත අග්‍රයේ වැදී ගිය පන්දුව, පන්දු රකින්නන් රැකගත්තේ නෑ...

ජෙෆ්‍රි බොයිකොට් ට පන්දුව යැවිය යුතු ආකාරය මම මනසින් තීරණය කර අවසන්...

සෑම තරගයකටම පෙර මා පිටියේ සකසන නිලධාරියා සමඟ කතාබහ කිරීමට පුරුදුව සිටියේ, තරගයට පෙර සූදානමක් වශයෙන්... 

බාර්බඩොස් කෙන්සිංටන් පිටිය භාරව සිටි ටොමී පියර්ස් මා හට අපූරු කරුණක් හෙළි කළා..

මින් පෙර පැවති 1968 සහ 1974 ටෙස්ට් සංචාර අතර තුර කෙන්සිංටන් පිටියේ ජෙෆ්‍රි බොයිකොට් ද්විත්ව ශතක රැස් කළ බවත්, එම කාලය තුළ තණතීරු මත තණකොළ අවම වීමත් පිතිකරණයට වඩාත් සුදුසු වීමත් බොයිකොට් ගේ සාර්ථකත්වයට හේතු වූ බව.

මෙවරත් එවැනි තණතීරුවක් බලාපොරොත්තුවෙන් පැමිණි ජෙෆ්‍රි බොයිකොට් ට මෙම තරගයට පෙර දිනයේ සවස් කාලයේ තණතීරුව දැක පුදුම වී තිබෙනවා..

"මේ මොකද්ද මේ ?.... කොහොමද මෙහෙම සම්පූර්ණයෙන් කොළ පාට වුනේ ?"

මම එයාට, "කැරිබියන් වල තණකොළ කොළ පාටයි" කියලා කියද්දී මිනිහගේ මූණ රතු වුනා.. 

ටොමී පියර්ස් ගේ මේ හෙළි කිරීම , මට මානසිකව ලොකු සහනයක්..

මම මගේ මුල්ම පන්දුවාරයේ මුල්ම පන්දුව යවන්නට දිව ගියා, මගේ මුල්ම පන්දුව පිට ඉන්නට අඟල් කිහිපයක් එපිටින් පිතිකරුවාට, පිත්තේ ගැටී දෙවන ස්ලිප් ක්‍රීඩකයා අසළ පන්දුව පතිත වුනා..

එවෙලේම මගේ ආත්ම විශ්වාසය වැඩි වුනා. මගේ සැලසුම් සාර්ථක වන බවට හැඟුණා... සාමාන්‍යයෙන් මගේ මුල්ම පන්දුවාරයේ දී මෙවැනි හැඟීමක් ඇතිවෙන්නේ නෑ...

මගේ ඊළඟ පන්දුව පිතිකරුවා පසු කර කඩුලු රකින්නා වූ ඩේවිඩ් මරේ ගේ අත් ආවරණ වෙතට..

මගේ පස්වන පන්දුව කෙටි පන්දුවක්, එය ජෙෆ්‍රි බොයිකොට් ගේ උගුරු දණ්ඩ (Adam's apple) අසළට, බොයිකොට් කෙසේ හෝ පිත්තෙන් ආරක්ෂා කරගත් අතර පිත්තේ වැදී පන්දුව ගලි ප්‍රදේශයේ පන්දු රකිමින් සිටි ජොඑල් ගාර්නර් අසළ පතිත වුනා..

මා යවන සෑම පන්දුවකටම පෙර සහ පසු ප්‍රේක්ෂකාගාරයෙන් නොනවතින කෑගැසීම්... 

බොයිකොට් ට ඉතා අපහසු පන්දු 5ක් යොමු කිරීමෙන් පසු තවමත් ඔහු පිතිකරණයේ යෙදෙන නිසා ඔහු බලාපොරොත්තු වන්නේ කුමන ආකාරයේ අවසන් පන්දුවක් ද යන්න මා සිතමින් නැවත පන්දු යැවීම ආරම්භ කරන ස්ථානය වෙත ඇවිද ගියා..

මා ඔහුට නැවතත් කෙටි පන්දුවක් යොමු කරන බවට ඔහු නිසැකවම සිතනවා ඇති..

පන්දුවාරයේ අවසන් පන්දුව යැවීමට මා දිව ගියා, පිට ඉන්න ඉලක්ක කරමින් Full length වෙතට පන්දුව යොමු කළා..

ඔහු එම පන්දුව වෙතට පැමිණියේ නෑ, පන්දුව තරමක් දෝලනය වී ඔහුගේ පිත්ත අසළින් පසුකර ගියා...

එකවරම ප්‍රේක්ෂකාගාරය ඝෝශාකාරී ලෙස අසුනෙන් නැගිට සමරන්නට පටන් ගත්තා....

කඩුල්ලේ කෙලින්ම පන්දුව ගැටී ජෙෆ්‍රි බොයිකොට් දවාගැනීම අතිශය අපහසු යි. ඔහුගේ පිට ඉන්න ගැලවිය හැකි බවට මා සිතුවේ නෑ. ඔහු දැවී යන ආකාරය මට තත්පර කිහිපයක් යනතුරු නිරීක්ෂනය වූයේ නෑ.. එයට හේතුව ඔහුගේ පා ආවරණ, කඩුල්ල වසා ගෙන තිබීම නිසා..

මට සිදුවු දේ පිළිබඳව නිවරැදිව තේරුම් ගියේ එකවරම ඩෙස්මන්ඩ් හේන්ස් දිවවිත් මට සතුට පළ කරන්නට පැමිණි අවස්ථාවේ දී..

මා නැවත ෆයින් ලෙග් හි පන්දු රකින්නට ගිය විට, අප ප්‍රේක්ෂකයින් වගේම තරගය නැරඹීමට පැමිණි එංගලන්ත ජාතිකයින් මා අසළට පැමිණ අතට අත දී ආචාරය පළ කළා...'

..................................................
පසු කළක ජෙෆ්‍රි බොයිකොට් මේ සිදුවීම පිළිබඳව පැවසුවේ මේ අයුරින්,

"all thought he was just good but i made him great"

- මයිකල් හෝල්ඩින් - the Whispering Death