Tuesday, December 11, 2018

හතරේ සීමාවෙන් එහා - Beyond The Boundary Line - 2

ගිය සෙනසුරාදා (08.12.2018) කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන නැගී එන ක්‍රිකට් කණ්ඩායම අතර මැච් එකක් පැවැත්වුනා. ආසියානු නැගී එන ක්‍රිකට් ශුරතාවය වෙනුවෙන් මේ වන විට පැවැත්වෙන තරගාවලියේ අවසන් පූර්ව වටයට මේ වනවිටත් ශ්‍රී ලංකා පිල තේරීපත් වී අවසන්.

ඉතින් මේ මැච් එක බලන්න ගිය අයට බලන්න ලොකු ප්‍රේක්ෂකාගාර නං නෑ. ඉතින් හරියටම NCC ක්‍රීඩා පිටියට ඉස්සරහ, පාරෙන් එහා පැත්තේ කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනයේ (නිල නොවන) පොඩි ගේට්ටුවෙන් ඇතුල්වෙලා එතන තිබ්බ ලොකු කොස් සහ අඹ ගස් දෙක යට වාඩි වෙලා මැච් එක බලන්න එද්දී ඇෆ්ගනිස්තාන ඉනිම අවසන් වෙලා ශ්‍රී ලංකා ඉනිම ආරම්භ වුනා විතරයි.

කොස් ගහ යට - Courtesy: Twitter

ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි අඩු ලකුණු ගණනකට දැවී යද්දී අනිත් අන්තයේ ක්‍රීඩා කරපු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු රැස්කිරීම වේගවත් කළා. අවිශ්ක ගේ සහයට පැමිණි හසිත බෝයාගොඩ ද අඩු ලකුණු ගණනකට දැවී ගියාට පස්සේ පිටියට පැමිණියේ ජාතික කණ්ඩායමේ පළපුරුදු තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න. අසේල එක අන්තයක් ආරක්ෂා කරගෙන ඉන්න අතරේ අවිශ්ක අනිත් අන්තයෙන් ලකුණු රැස්කරන්න පටන් ගත්තා.

මේ මැච් එක යන අතරතුර කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනයට හිටපු ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ මහත්මයා සහ NCC ක්‍රීඩා සමාජයේ ග්‍රවුන්ඩ් බොයි කෙනෙක් මං වාඩි වෙලා හිටපු ඔය සුප්‍රසිද්ධ කොස් ගහ යටට ආවේ අව් රශ්මියට මුහුණ දෙන්න අකමැති නිසා. පස්වරු 1.30 - 2.00 වගේ වෙලාවක් ඉර එලිය වැටෙන විදිහ ගැන වෙනම කියන්න ඕනේ නෑ නේ. ඉතින් ඔය ග්‍රවුන්ඩ් එක වටේට තියන ලොකු ගස් මැච් බලන අයට මාරම වටිනවා. ඉතින් ගුරා , NCC ග්‍රවුන්ඩ් බෝයි එක මැච් එක ගැන කතා කර කර ඉන්දැද්දී එතනට ආවේ දේශීය ක්‍රිකට් විස්තර විචාරකවරයෙකු වන සේන නන්දවිර මහත්මයා. එදා පාන්දර නවසීලන්තයේ පවත්වපු පුහුණු තරගය අතරතුර ඇන්ජෙලෝ මැතිව්ස් ගේ පිතිකරණය ගැන වගේම කණ්ඩායමේ මුල්පෙළ සහ මැද පෙළ පිතිකරණ දුර්වලතා ගැන මේ දෙන්නා සෑහෙන්න වෙලා කතාකළා. 

ගුරා - Courtesy: IMS Vintage Photos

ඒ එක්කම NCC ග්‍රවුන්ඩ් බෝයි, 80 / 90 දශකයේ දී NCC ක්‍රීඩා සමාජයේ තරග සියල්ලන්ටම වගේ සහය පළකරපු විදිහ ගැනත් මේ දෙන්නා කතාකරද්දී මේ ග්‍රවුන්ඩ් බෝයි ට මාරම සතුටුයි වගේම මුණ පුරාම ලොකු හිනාවක්. ගුරා ඒ එක්කම පරණ මැච් එකක සිදුවීමක් මතක් කළා. මැච් එක SSC සහ NCC වෙන්නෝන. මැච් එක තියලා තියෙන්නේ මොරටුව ටිරෝන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ. (මේ ක්‍රිකට් සමාජ දෙක මැච් එකක් ගැහුවම ඒක සෑහෙන්න කතාබහට ලක්වෙනවා වගේම ලංකාවේ ක්‍රීඩා සමාජ අතර වඩාත්ම කැපී පෙනෙනම තරගය කිව්වොත් වැරදි නෑ.) මේ මැච් එකේ දෙපිලේම පළමු ඉනිම් අවසන් වෙද්දී NCC කණ්ඩායම පළමු ඉනිමේ ජයග්‍රහණය හිමිකරගෙන තිබු අවස්තාවක දී මේ මැච් එක බලන්න වගේම සහය පළකරන්න ආපු මේ ග්‍රවුන්ඩ් බෝයි ට කොච්චර සතුටු ද කියනවා නං හතරේ සීමාවෙන් එහා බල්ටි ගගා සැමරුවා කියලා කියනවා. හැබැයි තුන්වෙනි සහ අවසන් දිනයේ දී දෙවැනි ඉනිම වෙනුවෙන් ක්‍රීඩා කරමින් හිටපු NCC කණ්ඩායම අඩු ලකුණු ගණනකට දවාගෙන SSC කණ්ඩායම ඉලක්කය හඹා ගිහිල්ලා ජයග්‍රහණය කරපු බව අසංක ගුරුසිංහ මතක් කරද්දී මේ හැමෝම හිනාවුනා. පරණ මැච් බලන්න සෑහෙන්න සෙනඟක් ඒ කාලේ හිටියත් දැන් එහෙම නෑ. (ගුරා මතක් කරපු මැච් එකේ scorecard එක මේක වෙන්නෝන - SSC සහ NCC 1993 මැයි ) 

ආයෙත් අපි මැච් එක ගැන බැලුවොත්, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 81 වාර්තා කරද්දීම අසේල ගුණරත්න පන්දුයවන්නා ට පහසු උඩ පන්දුවක් ලබාදෙමින් දැවී ගියේ සිවුවන කඩුල්ල විදිහට. එතකොට අවිශ්කත් දැවී ගිහින්, කමිඳු මෙන්ඩිස් පිතිකරණයේ යෙදෙමින් හිටියේ. අසේල ගේ දැවී යාමෙන් පස්සේ නායක සම්මු අශාන් , කමිඳු ගේ සහායක පිතිකරුවා විදිහට පැමිණියා. 

කමිඳු සහ අශාන් ක්‍රමයෙන් ලකුණු රැස්කරන්නට පටන්ගනිද්දී හරි අපුරු දෙයක් වුනා. යාර 30 සීමාවෙන් එලියේ වැඩිපුර ක්‍රීඩකයෙක් ස්ථානගත වෙලා හිටපු නිසා ශ්‍රී ලංකා පිලට අමතර ලකුණක් හිමිවුණා. සම්මු අශාන් දුවද්දී දැවී යාමකට හසුවෙන්න ඔන්න මෙන්න තියෙද්දී තමා ඔය සිද්ධිය වුනේ. 

මැච් එකේ තීරණාත්මක අවස්ථාවේ දී සම්මු අශාන් දැවී යනවා. ඊට පස්සේ ආපු ශෙහාන් ජයසුරිය ඊට කලින් දවසේ මිගමුව ක්‍රීඩා සමාජය වෙනුවෙන් නොදැවී ලකුණු 47ක් රැස්කරලා ඔහුගේ ඉනිම අත්හිටුවලා මේ මැච් එක වෙනුවෙන් ක්‍රීඩා කරන්න සිදුවුනා. ඊට හේතුව වුනේ කණ්ඩායමේ නායක චරිත් අසලංක ආබාධයකට ලක්වෙලා ඒ වෙනුවට ශෙහාන් ජයසුරිය කණ්ඩායමට ආදේශ කරපු නිසා. ඉතින් ශෙහාන් ජයසූරියට රැස්කරන්න පුළුවන් වුනේ ලකුණු 1ක් විතරයි. ඊළඟට ආපු ජෙහාන් ඩැනියල් ටත් ආයේ ක්‍රීඩාගාරයට යන්න සිද්ධ වුනේ ඇෆ්ගනිස්තාන දඟ පන්දු යවන්නන් ගේ දක්ෂතා ඉහළ මට්ටමක තිබුණ නිසා. 
කමිඳු - Courtesy: Batsman.com
පිතිකරුවෝ එකින්එක ක්‍රීඩාගාරයට යද්දී නොසැලෙන ඉනිමක් දියත් කරන්නට කමිඳු මෙන්ඩිස් ට හැකිවුනා. ඒ ඉනිම අතිවිශිෂ්ටයි. ඔය අතර කමිඳු මෙන්ඩිස් ලොකු පහරක් එල්ල කරන්න සීමාවෙන් එළියට පැමිණෙද්දී පිත්තේ නොවැදිච්ච පන්දුව කඩුලු රකින්නා අතට ගියා. හැබැයි ඒ මිලි තත්පර කිහිපය අතර කඩුලු රකින්නටත් පන්දුව නිවැරදිව ග්‍රහණය කරන්න බැරිවුනා. පන්දුව කඩුලු ඉනි සහ සිමා ඉර අතර ට වැටෙද්දී රකින්නා ඉස්සරහට ඇවිල්ලා පන්දුව ට පැනලා ස්ටම්ප් කිරීමකට ලක්කරන්න හැදුවා. හැබැයි නොදැනුවත්වම කමිඳු මෙන්ඩිස් ට බාධා කළා. කමිඳු ට පිත්ත සීමා ඉර ට එහා තියන්න විදිහක් නැත්තේ කඩුලු රකින්නා බිම පෙරලිලා හිටපු හින්දා. විනිසුරුවරයා මේ සිදුවීම දැකපු නිසා කමිඳු මෙන්ඩිස් ට ආයෙත් පිතිකරණයේ යෙදෙන්න අවස්ථාව ලැබුනා.

කමිඳු ක්‍රමයෙන් අර්ධ ශතකයත් රැස්කළා, සහයට ශෙහාන් මධුශංක යම් දායකත්වයක් ලබාදුන්නා වගේම ඔහුගේ දැවී යාමෙන් පස්සේ ලසිත් ඇඹුල්දෙනියට ලොකු වගකීමක් පැටවුණා. 

මේ මැච් එක බලද්දී කොස් ගහ යට වටකරලා බැඳපු ගඩොල් බැම්ම ළඟ පුටුවක් තියාගෙන කෑගහලා සපෝර්ට් කරන කෙනෙක් හිටියා. බලද්දී ඒ ලසිත් ඇඹුල්දෙනිය ගේ තාත්තා. ලසිත් පිත්ත අරගෙන එද්දී ඇඹුල්දෙනිය මහත්තයා කිව්වේ ලසිත් ට ලොකු පිතිකරණ හැකියාවක් නෑ එයා වැඩියෙන්ම දැවී ගිහිල්ලා තියෙන්නේ කඩුල්ල මුවා කිරීම නිසා කියලා. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු තත්ත්වය 200 ට කිට්ටු වෙද්දීම කමිඳු මෙන්ඩිස් දැවී යන්නේ වේග පන්දු යවන්නා ගේ කෙටි පන්දුව නිසා. ජයග්‍රහණය සඳහා ලකුණු 14ක් ගහන්න ඕනකම තියෙද්දී අවසන් පිතිකරුවා විදිහට අසිත ප්‍රනාන්දු පැමිණියා. පන්දු 18 කින් ලකුණු 12ක් ගහන්න අවශ්‍ය වෙලා තිබ්බ අවස්ථාවේ දී අසිත මිඩ් ඕන් කලාපයෙන් පන්දුව ඔසවා හතරේ පහරක් එල්ලකළා. ඒ අවස්ථාවේ දී ඒ හතරේ පහර සෑහෙන්න වටින එකක් වුනා. අවසන් පන්දුවාරය වෙද්දී ලකුණු 2ක් ගහන්න තියෙද්දී වේග පන්දු යවන්නා පන්දු යවන අන්තයේ හිටපු අසිත ප්‍රනාන්දු මන්කාඩ් ක්‍රමයට දවාගන්නට උත්සහ කළා. ඒකත් අසාර්ථක වුනා. ජයග්‍රාහි ලකුණ වාර්තා කරමින් අසිත ප්‍රනාන්දු ඉනිම අවසන් කරද්දී වෙලාව 5.30 ට කිට්ටුයි. 

aq photo 635339848091716130317_zps7olcilbi.png
@AAQEEEB

Sunday, December 9, 2018

හතරේ සීමාවෙන් එහා - Beyond The Boundary Line - 1

සාමාන්‍යයෙන් තරගයක් බලන්න අපි එක එක දේවල් උත්සහ කරලා බලනවා. ගෙදර රූප පෙට්ටියෙන්, බැට්රි දාපු පොඩි පොකට් රේඩියෝ එකෙන්, එතකොට පාරේ ඉදිද්දී බලන්න හිතුනොත් සිංගර්, අබාන්ස් වගේ ඉලෙක්ට්‍රොනික උපකරණ විකුණන තැන් වල විදුරු තීරයෙන් බෙදිලා වෙන්කරපු තැනක , තරගයේ සජීවී දර්ශන පෙනෙන විදිහට පිළිවලට තියලා තියන  රූප පෙට්ටි කිහිපයෙන් බලනවා. ඉස්සර නං ඔය වගේ තැනක දී ඉන්න ප්‍රේක්ෂක පිරිස සුළුපටු නෑ. ඔය හැම මොහොතක දී ම අපි ක්‍රිකට් තරගය බලන්නේ ඒ ඒ අවස්ථාවට ගැලපෙන අයුරින්. හැබැයි තරගයක් බලන්න අපි ක්‍රිකට් ක්‍රීඩාංගනයක ට ගියොත් එහේ සම්පුර්ණයෙන් වෙනස් වටපිටාවක් තමා තියෙන්නේ. අන්තර්ජාතික තරගයක් නං සෑහෙන්න සෙනගක් ඉන්නවා. හැබැයි දේශීය මට්ටමේ තරගයක් හෝ නිල නොවන තරගයක් බලන්න යද්දී එතන ඉන්න ප්‍රේක්ෂක පිරිස අඩුයි වගේම ඒ අය වෙනම ලෝකෙක ඉන්න කට්ටියක්.

ඒ වගේ තරගයක් බලද්දී අපිට හමුවෙන අය 

1). Always Focused පොර
මැච් එක බලද්දී, මිනිස්සු කෑගැහුවත් , ගහගත්තත්, ලෝකේ පෙරලුනත් මැච් එකෙන් එහාට ඇහැ අරන්යන්නේ නැති මැච් එකට සමවැදිලා වගේ ඉන්න පොරක් හැම ග්‍රවුන්ඩ් එකකම වගේ ඉන්නවා. මැච් එක ගැන විස්තර ඇහුවත් මුණ බලන්නේවත් නැතුව මැච් එක බලන ගමන් උත්තර දෙන මේ අයට සාමාන්‍යයෙන් පට්ට මෙමරියක් තියනවා.

Courtesy: evening standard
2) හැම දේටම බනින පට්ටම Negative පොර  
ලෑල්ල ඇල්ලුවත් වැරදි කියන, හයක් ගැහුවත් වැරදි කියන මේ වගේ අයත් ඉන්නවා. ඒ අය තරගයට අනුව පිතිකරුවා හෝ පන්දුයවන්නා ඒ ඒ අවස්ථා වලදී කරන්න ඕන දේවල් ගැන හැමෝටම කියනවා. අම්පයර් ටත් බැනලා තරගේ දින්නත් මේක මේ විදිහට ගහලා දින්නා නං ඊට වඩා දෙයක් කරන්න තිබ්බා වගේ ටෝකකුත් අන්තිමට දෙනවා. 


Courtesy: Rediff.com
3) පට්ටම පොසිටිව් පොර 
මෙන්න මේ පොර නං ක්‍රිකට් වලට කිසිම කරදරයක් කරන්නේ නැති එකෙක්. මැච් එක දිනන්න එක බෝලෙකින් ලකුණු 20ක් ගහන්න තිබ්බත් මේ අය බලාපොරොත්තු අත්හැර ගන්නේ නෑ. මැච් දිගින් දිගට පැරදුනත් කවදාහරි දිනයි කියලා මැච් බලන එක නතර කරන්නෙත් නෑ.


Courtesy: The Big Lead
4) ඉතිහාසඥයා 
හැම බෝලේටම, කැච් එකක් ගත්තත්, විකට් එකක් ගත්තත්, හයක් හතරක් ගහලා 0 ට අවුට් වෙලා ගියත් ඉස්සර වෙච්ච මේ වගේම සීන් එකක් සමාන කරන බුවෙක් හැම සෙට් එකකම ඉන්නවා. ක්‍රිකට් ගැන අනංමනං දේවල් හොයාගෙන කියවන හින්දා අනිත් අයට දන්නේ නැති දේවල් ගොඩක් දැනගන්නත් පුළුවන්. 
Courtesy: Getty Images
5) ජොලි ඩයල් එක
මැච් එක බලනවට වඩා අනිත් දේවල් බලන එක තමා මේ වගේ අය නිතරම කරන්නේ. ඛේත්තාරාමේ වගේ මැච් එක යද්දී එහා පැත්තේ ටීම් එකේ අයට හූ කියන එක, එතකොට පන්දු රකින්නෙක් ගේ මිස්ටේක් එකක් , බැටෙක් ගේ අවුලක් හොදට නෝට් කරගෙන හිනාවෙවී කියන එක මේ අයට පුරුදුයි. පර්සි අංකල් එහෙම මැච් එක බලන්න ආවම සෙල්ෆි ගහගෙන කොඩිය ඉල්ලගෙන වනලා පොඩි ආතල් එකක් දෙන්න මේ අය අමතක කරන්නේ නෑ. 

Courtesy: BBC News
6) බෙබා 
බොන්න බලාගෙනම මැච් බලන්න එන මේ අයට මැච් එක බැලුවද කියලවත් මීටර් වෙන්නේ නෑ. මැච් එක අස්සේ කොයිවෙලෙත් බියර් විකුණන හට් එක යට දකින්න පුළුවන්. බියර් වලට මරාගන්න අවස්ථාත් තියනවා.

Courtesy: ABC
7) Photogenic පොර 
මැච් එකට ගෙදර ඉඳන් එන වෙලාවේ ඉඳන් ගෙදරට ආයේ යනකන් ෆොටෝ ගන්න , සෙල්ෆි ගන්න මැරෙන්න හදන මේ වගේ ඩයල් එක වෙලාවකට ඇණයක්. මැච් එක ඉවරවුනාම ප්ලේයර්ස් ලා එක්කත් ෆොටෝ ගන්න හදන මේ අය සෝෂල් මිඩියා එකේ දාන්නේ නං ෆොටෝස් එකක් දෙකක් විතරයි. 
Courtesy: Times of India
aq photo 635339848091716130317_zps7olcilbi.png
@AAQEEEB

Wednesday, December 5, 2018

ගවස්කාර්, පැරදුණු ඔට්ටු

සුනිල් ගවස්කාර් , ඉන්දියාවේ මධ්‍යකාලීන ටෙස්ට් ක්‍රිකට් යුගයේ අනර්ඝතම පිතිකරුවා ලෙස සැලකිය හැකියි. මුල්පෙළ පිතිකරුවෙකු ලෙස මෙන්ම නායකයෙකු ලෙස ඉන්දීය ටෙස්ට් පිල විශිෂ්ට ජයග්‍රහණ රැසක් කරා ගෙන යාමට ඔහුට හැකිවිය. ගවස්කාර් ගේ ටෙස්ට් දිවිය ආරම්භ වූයේ 1971 වසරේ දී කොදෙව් දුපත් හි පැවති ටෙස්ට් තරගාවලියේ දී ය. 

Sunil Gavaskar - Courtesy: Getty Images
මෙම තරගාවලියේ දී ගවස්කාර් විසින් ලෝක වාර්තාවක් පිහිටුවමින් තම මංගල ටෙස්ට් තරගාවලියේ දී ම වැඩිම මුළු ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවා ලෙස ඉතිහාසයට එක්වීය. එම තරගාවලියේ පොර්ට් ඔෆ් ස්පේන් හි පැවති ටෙස්ට් තරගය අතරතුර මැදපෙළ පිතිකරු මොරිස් ෆොස්ටර් නොදැවී ලකුණු 99ක් රැස්කරමින් ස්ථාවර තත්ත්වයක සිටි අතර මංගල ටෙස්ට් ශතකය අභියස සිටියේ ය.එම මොහොතේ දී තර්ඩ් මෑන් කලාපයේ පන්දුරකිමින් සිටි සුනිල් ගවස්කාර් හට අපූරු යෝජනාවක් ගෙන ඒමට එක්තරා ට්‍රිනිඩැඩ් රසිකයෙක් ට හැකි විය. ෆොස්ටර් ශතකය රැස් නොකරනු ඇති බවත් ඔහු ලකුණු 99 දී ම දැවී යන බවට ඔට්ටුවක් අල්ලන බවත් ඒ වෙනුවෙන් ඔහු ට්‍රිනිඩැඩ් ඩොලර් 100ක් ගෙවීමට කැමැත්ත පල කළේ ය. එසේ රැස් නොකරන්නේ නම් ඔහුට ඩොලරයක් ගෙවිය යුතු බවට ගවස්කාර් හට පැවසී ය. ඉන් ස්වල්ප වේලාවකට පසු දකුණත් මඳ වේග පන්දු යවන්නා වූ අබිඩ් අලි ගේ පන්දුව කෙලින්ම කඩුල්ලේ දැවටී ෆොස්ටර් හට ලකුණු 99 දී පිටියෙන් ඉවත්වන්නට සිදු විය. විවේක කාලය අතරතුර ගවස්කාර් මෙම අරුම පුදුම ක්‍රිකට් රසිකයා හමුවන්නට ගොස් ඔහුට ඩොලරයක් ලබා දුන් අතර එහි සමරු අත්සනක් ද සටහන් කරන්නට අමතක කළේ නැත. 

Maurice Foster - Courtesy: Getty Images
ඉන් වසර කිහිපයකට පසු එනම් 1976 කොදෙව්-ඉන්දීය තරගාවලියේ දී නැවතත් මෙම ක්‍රිකට් රසිකයා ගවස්කාර් හමුවට පැමිණෙන්නේ තීරණාත්මක තරගයක් අතරතුර දී ය. පොර්ට් ඔෆ් ස්පේන් හි පැවති තෙවන ටෙස්ට් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 403ක ඉතාමත් අසීරු සහ වාර්තාගත ඉලක්කයක් ලබාදීමට කොදෙව් ක්‍රීඩකයින් හට හැකිවූහ. මෙම ඉලක්කය හඹා යෑමට පෙර මෙම ක්‍රිකට් රසිකයා නැවතත් පෙර පරිදිම ඔට්ටුවක් අල්ලන ලද්දේ මෙය ඉන්දීය කණ්ඩායම කෙසේ හෝ හඹා ගොස් ජයග්‍රහණය කරන බවට පවසමින්. එවරත් මෙම ක්‍රිකට් රසිකයා ඔට්ටුව ජයග්‍රහණය කරන අතර ඉන්දීය පිතිකරුවන්ගේ විශිෂ්ට පිතිකරණය හේතුකොටගෙන ඉන්දීය පිල ලෝක වාර්තාවක් පිහිටුවන ලදී.

aq photo 635339848091716130317_zps7olcilbi.png
@AAQEEEB

මුලාශ්‍ර:
The Sunil Gavaskar Omnibus

Tuesday, December 4, 2018

බිෂාන් බේඩි ගේ අප්‍රේල් විහිළුව

ඉන්දියාවේ සුප්‍රකට දඟ පන්දුයවන්නෙකු වූ බිෂාන් බේඩි ඉතාමත් මුරණ්ඩු ක්‍රීඩකයෙක් ලෙස කා අතරත් ප්‍රසිද්ධ යි. විනය පිලිබඳ ගැටළු හේතුවෙන් ඉන්දියානු ක්‍රිකට් පිලේ කළමනාකරුවන් සහ ඉන්දියානු ක්‍රිකට් ආයතනය ඉදිරියේ පිළිතුරු බඳින්නට බේඩි ට නිතරම ඔවුන් හමුවන්නට සිදුවිය. බේඩි එලෙස ගැටළු ඇතිකරගත්තත් ඕනෑම විහිළුවක් කිරීමට මෙන්ම ඕනෑම තරාතිරමකට අයත් පුද්ගලයෙකු  අමාරුවේ දමන්නට ද ඔහු හපන්කම් දැක්වූ අයෙක් වේ. 
Bishan Bedi - Courtesy: Getty Images
1976 ඉන්දියාවේ , කොදෙව් සංචාරය අතරතුර දෙවැනි ටෙස්ට් තරගයේ දී දෙපිලේම ක්‍රීඩකයින් අතර යම් විරසකයක් ඇති වූ සිද්ධි දාමයක් සිදු වූ අතර එයට ඉන්දියානු කණ්ඩායමේ හැසිරීම් ද බලපෑවේ ය. කෙසේ වෙතත් මෙම තරගය ජය පරාජයකින් තොරව අවසන් වීමෙන් අනතුරුව ඉන්දියානු පිල තෙවන ටෙස්ට් තරගය ට පෙර පැවැත්වෙන්නට නියමිතව තිබු ගයානා කණ්ඩායම අතර තරගය සඳහා ජෝර්ජ්ටවුන් වෙතට පැමිණි අතර අධික වර්ෂාව සහ තරගය පැවැත්වෙන්නට නියමිතව තිබු ක්‍රීඩාංගනය ජලයෙන් යටවීම හේතුවෙන් තරගය අත්හැර දමන්නට සිදුවිය. එම දින කිහිපය අතරතුර අප්‍රේල් පළමුවැනිදා ද ඔවුන්ට කිසිදු කාර්යයක් කිරීමට සිදු නොවන බැව් තේරුම්ගත් හෙයින් බිෂාන් බේඩි, එම දිනයේ උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට කිසියම් හෝ අයෙක්ට විහිළුවක් කළ යුතු බවට තීරණය කළ අතර එය ඔහුගේ කණ්ඩායමේ සඟයින් ද ඒකමතිකව කැමැත්ත දැක්වීය.

මේ සඳහා ප්‍රමුඛත්වය ගත් බිෂාන් බේඩි, කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ පොලී උම්රිගර් හට උදෑසනම දුරකථන ඇමතුමක් ගෙන පෙර පැවති ටෙස්ට් තරගයේ සිදුවීම් දාමය හේතුවෙන් ට්‍රිනිඩෑඩ් හි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නොසතුටට පත්ව ඇති බවත් ඔවුන් විසින් ගයානා හි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත රපෝර්තු කර ඇති බවත් වහාම කාර්යාලයට පැමිණෙන ලෙස ට අවවාදාත්මක ස්වරුපයෙන් දැනුම් දෙන ලදී. 
Polly Umrigar - Courtesy: midday.com
මෙයට කලබලයට පත් ඉන්දීය කළමනාකරු පොලී උම්රිගර් වහාම ක්‍රීඩකයින් රැස්ව සිටි කාමරයට පැමිණ ඔහු සතුව ගයානා හි මුදල් ඒකකයට අයත් මුදල් කිසිවක් නොමැති බවත් කාර්යාලයට යෑමේ ගැටළුවක් පැන නැගී ඇති බවත් ක්‍රීඩකයින්ට දැනුම් දුන්නේ ය. බිෂාන් බේඩි ඔහු ට කලබල නොවන ලෙසත් වහාම ගයානා මහා කොමසාරිස් කාර්යාලයට පිටත් ව යන ලෙසට පැවසුවේ සිනහව පාලනය කරමින්. 

පොලී උම්රිගර් වහාම නවසිලන්ත ක්‍රිකට් ආයතනය විසින් ඔහුගේ කණ්ඩායම පැසසුමට ලක්කරන ලද ලිපියක් ඇතුළුව තවත් ලියකිවිලි එක්රැස් කර කණ්ඩායමේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ බාලූ අලගනන් සමඟ ටැක්සියක නැගී මහ කොමසාරිස් කාර්යාලයට පිටත් ව ගියේ ය. කෙසේ වෙතත් මෙම ගමන්වාරය අතරතුර බාලූ විසින් සපථ කළේ මෙය නම් බේඩි ගේ විහිළුවක් විය යුතුමය යන්නයි. මෙය 100% තහවුරු වූයේ ඔවුන් මහ කොමසාරිස් කාර්යාලයට පියනැගීමෙන් අනතුරුව යි.

aq photo 635339848091716130317_zps7olcilbi.png
@AAQEEEB

මුලාශ්‍ර:
The Sunil Gavaskar Omnibus

Sunday, December 2, 2018

අමරනාත් බේරුණු හැටි

ඉන්දියාවෙන් බිහිවූ දක්ෂ තුන්ඉරියව් ක්‍රීඩකයෙක් වූ මොහින්දර් අමරනාත් 1983 ලෝක කුසලාන අවසන් තරගයේ තරගයේ වීරයා ලෙස සම්මාන ලබාගත් ක්‍රීඩකයා ය. අමරනාත් දක්ෂ පිතිකරුවෙකු වූවද ක්‍රිකට් ඉතිහාසයේ ඔහු සැලකෙන්නේ ක්‍රිකට් නීති පොතේ සඳහන් දැවී යාම් ක්‍රම වැඩිම ප්‍රමාණයකට සම්මාදම් වී පිටියෙන් ඉවත්වන්නට සිදුවූ අයෙක් ලෙසයි. කඩුල්ලේ වැදී, කඩුල්ල මුවා කර, උඩ පන්දුවක් රැකගැනීම වැනි නිතරම සිදුවන අවස්ථාවන් වලට අමතරව ඉතාමත් දුර්ලභ අවස්ථාවන් වන පන්දුව අතින් ඇල්ලීම, පන්දුරකින්නාට බාධා එල්ලකිරීම වැනි සිදුවීම් වලට ද ඔහු හසු වී ඇත. 

Mohinder Amaranath - Courtesy: Twitter
ක්‍රිකට් හි දැවී යාම් සැලකීමේ දී එහි ඇති තවත් අපූරු දැවී යාම් ක්‍රමයක් ලෙස "පිටියට නියමිත වෙලාව ට නොපැමිණීම" සැලකිය හැකියි. 1976 වසරේ දී කොදෙව් දුපත් හි පැවති ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් දුපත් අතර ටෙස්ට් තරගාවලියේ පොර්ට් ඔෆ් ස්පේන් හි පැවති දෙවන ටෙස්ට් තරගය අතරතුර මොහින්දර් අමරනාත් මෙම දැවී යාම් ක්‍රමයට හසුවන්නට නියමිතව තිබුනත් එවකට කොදෙව් නායක ක්ලයිව් ලොයිඩ් විනිසුරු ගෙන් එලෙස ඉල්ලීමක් නොකළ බැවින් ඔහු එලෙස දැවී යාමෙන් වැළකෙන්නට වාසනාව උදාකරගත් බවට කියැවේ. 

Clive Lloyd - Courtesy: Pinterest
ආරම්භක පිතිකරුවන් ඉතාමත් හොඳින් පිතිකරණයේ යෙදෙනු ඇතැයි උපකල්පනය කළ අමරනාත් පා ආවරණ ද පැළඳීමේන් වැළකි සිටි ඇති නමුත් පන්දු කිහිපයකින් පසු ඇන්ඩි රොබර්ට්ස් ගේ පන්දුවට කඩුලු රකින්නා වෙත උඩපන්දුවක් ලබාදුන් දිලිප් වෙන්සාකර් හට පිටියෙන් ඉවත්වන්නට සිදුවුයේ ය. ඒ අනුව කලබලයට පත් අමරනාත් හට ක්‍රිකට් නීති රීති අනුව නියමිත කාල සීමාව තුල පිටියට පැමිණීමට නොහැකි වී ඇත. 

aq photo 635339848091716130317_zps7olcilbi.png
@AAQEEEB

Sunday, November 18, 2018

විනිසුරු බර්ඩ් ගේ රැකියාව මඳකට වෙනස් වූ තරගය

Courtesy: AFP
ඩිකී බර්ඩ් යනු ලෝප්‍රසිද්ධ ක්‍රිකට් විනිසුරුවරයෙකි. අපුරු සිදුවීම් මෙන්ම අකරතැබ්බ රැසකට සම්මාදම් වූ බර්ඩ් යනු පිටිය මැද විනිසුරු කාර්යය විශිෂ්ට ලෙස ඉටුකරන අයෙක් බවට ද ප්‍රසිද්ධය. 1974 වසරේ දී ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හිදී පැවති එංගලන්තය සහ ඉන්දියාව අතර තරගය අතරතුර හිස්වැසුමක් රහිතව පිතිකරණයේ යෙදුනු ඉන්දියාවේ සුපිරි පිතිකරු සුනිල් ගවස්කාර් හට නිවැරදිව පන්දුව දැකීමේ අපහසුතාවයකට මුහුණ දෙන්නට සිදුවුයේ ය. ඊට හේතු වූයේ ඔහුගේ දිගු හිසකෙස් දෙනෙත් ආවරණය වෙමින් පහළට වැටී තිබීම හේතුවෙන්. මේ නිසාම ඔහු විනිසුරු බර්ඩ් අසළට ගොස් ඔහු හට කතුරක් ඇත්ද යන්න විමසු අතර එයට පිළිතුරු ලෙස බර්ඩ් තමන් සතුව කතුරක් නොමැති බවත් නමුත් රැවුල කපන තලයක් ඇති බවත් පවසා ඇත. එය ප්‍රමාණවත් බවත් ඔහුගේ හිසකෙස් කෙටි කළ හැකිදැයි යන්න ගවස්කාර් පැවසු විට බර්ඩ් පුදුමයට පත්වී ඇත. කෙසේවෙතත් බර්ඩ් එම කාර්යය ද ඉටු කර දුන් බවට කියැවේ. එම ඉනිමේ දී ගවස්කාර් හට ශතකයක් ද රැස්කිරීමට හැකිවන්නේ ඩිකී බර්ඩ් ගේ රැවුල් කපන තලයටපින්සිදුවන්නට ය.

Courtesy: Indiatimes.com

aq photo 635339848091716130317_zps7olcilbi.png
@AAQEEEEB

Saturday, November 17, 2018

පත්තර පිටුවෙන් - 1

ජැක් මසී, ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ දක්ෂ වමත් වේග පන්දු යවන්නෙකු විය. උසින් අඩි 6 යි අඟල් 4ක් පමණ වූ ඔහු 1914 වසරේ දී ඕස්ට්‍රේලියාවේ අනාගත වේග පන්දුයවන්නා ලෙස ද සැලකුම් ලැබුවේ ය. කෙසේ වෙතත් 1915 දී පළමු ලෝක යුද්ධය අතරතුර ඔහුගේ වමත් උරහිසේ උණ්ඩයක් වැදීම හේතුවෙන් ක්‍රිකට් දිවිය අවසන් කරන්නට සිදු වුයේ ය. ඔහුගේ පියා හියු, ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් නායකයා ලෙස ද කටයුතු කළ අයෙක් වූවත් ජැක් හට කිසිදු ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබීම අවාසනාවන්ත සිදුවීමකි.

චාල්ස් මැකාර්ට්නි ද ICC යේ ගෞරවයට ප්‍රාප්ත වූ ඕස්ට්‍රේලියානු හිටපු ටෙස්ට් පිතිකරුවෙකි. 1921 වසරේ දී එංගලන්තයේ දී නොටින්ග්හැම්ෂයර් ප්‍රාන්තයට එරෙහිව හතරේ පහර 47ක් සහ හයේ පහර 4ක් ඇතුළුව ලකුණු 345ක් රැස්කිරීම ඔහුගේ පළමුපෙළ ක්‍රිකට් දිවියේ නොමැකෙන අවස්ථාවකි. ටෙස්ට් තරග 35ක් ක්‍රීඩා කළ මැකාර්ට්නි ගේ වැඩිම පළමු පෙළ ලකුණු සංඛ්‍යාව වූයේ 170 යි. එය වාර්තා වූයේ එංගලන්තයට එරෙහිව 1920/21 කාල සිමාවේ දී සිඩ්නි හිදී ය.

පහත දැක්වෙන්නේ 1914 ජනවාරි මස 28 වන දින සිඩ්නි මොර්නින්ග් හෙරාල්ඩ් පුවත්පතේ වාර්තා කළ ඡායාරූපයකි. එහි කියැවෙන්නේ පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ උසම ක්‍රීඩකයින්ගෙන් අයෙකු සහ මිටීම ක්‍රීඩකයින්ගෙන් අයෙකු එකවිට ඡායාරුපයක දකින්නට ලැබෙන අවස්ථාව ලෙසයි. 

Courtesy: Sydney Morning Herald, 28.01.1914
aq photo 635339848091716130317_zps7olcilbi.png
@AAQEEEB

සහයවන්නා

දුවද්දී දැවී යාම යනු පිතිකරුවෙකු මුහුණදීමට අකමැතිම දැවී යාම් අවස්ථාව කි. දුවද්දී දැවී යාමේ කඩුල්ලක් ලබා ගැනීමට නම් පිටියේ පන්දුරකින ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඉහළ මට්ටමක පැවතිය යුතුයි. මුලික වශයෙන්ම ඉතාම ඉක්මනින් පන්දුව වෙතට පැමිණීම සහ එය ග්‍රහණය කිරීමේ හැකියාව, පන්දුව නිවැරදි ඉලක්කය ඔස්සේ යැවීම සහ වේගය යන මුලික සිද්ධාන්ත නිවැරදිව පිළිපැදිය යුතුයි. කෙසේ වෙතත් ඔබ ලකුණු පුවරුව නිරීක්ෂණය කිරීමේ දී නිතරම ඇස ගැටෙන දෙයක් නම් දුවද්දී දැවී යාමට හසු කරන පන්දු රකින්නා යම් අවස්තාවක දී එය කඩුලු රකින්නා වෙත යොමු කර කඩුල්ල ලබාගන්නේ නම් ලකුණු පුවරුවේ සඳහන් වන නම බොහෝදුරට කඩුලු රකින්නා වීම යි. 

එමෙන්ම පන්දු රකින අවස්ථාවක දී පන්දුව ග්‍රහණය කරන්නට උත්සහ කරන අයෙක් එය අත්හැරීයාම වැලක්වීමට හෝ වෙනත් කරුණක් මත පන්දුව වෙනත් ක්‍රීඩකයෙකු ට විසිකරන්නට සිදුවන්නේ නම් එහිදී ද මෙම සහය දක්වන පන්දුරකින්නා ගේ නම පිළිබඳව කිසිදු සටහනක් වාර්තා නොවීම කණගාටුවට කරුණක් (උදා: අද දින ජෙනින්ග්ස් විසින් ෆෝක්ස් වෙතට විසිකරන ලද අවස්ථාව, කෞෂාල් සිල්වා විසින් දික්වැල්ල වෙතට විසිකරන ලද අවස්ථාව)

ඉහත කාරණය අභියෝගයට ලක්කරමින් වර්තමාන විස්ඩන් සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරයා වන ලෝරන්ස් බූත් එවැනි අවස්ථාවක දී ලකුණු පුවරුවේ දැවී ගිය පිතිකරු, දැවී යාමට හසුකරන්නට සහය වූ පන්දු රකින්නා, බේල්ස් හෝ ස්ටම්ප් ඉවත් කළ පන්දු රකින්නා/ පන්දුව රැකගත් පන්දු රකින්නා යනාදී වශයෙන් නම් කළ යුතු බවට පැහැදිලි කර තිබේ. පාපන්දු ක්‍රීඩාවේ මෙන් assist (සහයවන්නා) වන ක්‍රීඩකයා ක්‍රිකට් ක්‍රීඩාවේ දී නම් කතාබහට ලක්වන්නෙම නැති තරම්. මා දකින අන්දමට මෙය ඉතාම හොඳ තීරණයක්. මෙය ඉදිරියේ දී ක්‍රියාත්මක වේ ද යන්න තවමත් අදහසක් නොමැත. 

ලෝරන්ස් බූත් විසින් පළකළ ට්විටර් (Tweet) පණිවුඩය

aq photo 635339848091716130317_zps7olcilbi.png
@AAQEEEB

Wednesday, November 7, 2018

ඕවරයකට ලකුණු 43ක්

නවසීලන්තයේ ප්‍රමුඛ පෙළේ දේශීය එක්දින තරගාවලියේ නොර්තර්න් ඩිස්ට්‍රික්ට් සහ සෙන්ට්‍රල් ඩිස්ට්‍රික්ට් කණ්ඩායම් අතර පැවති තරගයේ දී සෙන්ට්‍රල් ඩිස්ට්‍රික්ට් පිලේ විලෙම් ලුඩික් ගේ 10 වන සහ අවසන් පන්දුවාරයේ දී ලකුණු 43ක් රැස්කිරීමට නොර්තර්න් ඩිස්ට්‍රික්ට් පිලේ ජෝ කාටර් සහ බ්‍රෙට් හැම්ප්ටන් ට හැකි වූහ. ඒ අනුව වසර 50 කට ආසන්න සීමිත ඕවර ක්‍රිකට් ඉතිහාසයේ පන්දුවාරයකට රැස්කළ ඉහළතම ලකුණු ප්‍රමාණය මෙය බවට ඉතිහාසගත විය. 

Bratt Hampton, courtesy: stuff.co.nz
Joe Carter, Courtesy: NZ Herald


























ලුඩික් ගේ 10 වන පන්දුවාරය පහත පරිදි විය.

9.1 - 4
9.2 - 6 nb
9.2 - 6 nb 
9.2 - 6
9.3 - 1 
9.4 - 6
9.5 - 6
9.6 - 6

ඒ අනුව 9 වන පන්දුවාරය තෙක් එක් කඩුල්ලක් ගෙන ලකුණු 42ක් ලබාදුන් ලුඩික් ගේ පන්දුවාරය අවසන් වුයේ 85/1ක් වශයෙනි.

Willem Ludick, Courtesy: Central Districts Cricket Association

මින් පෙර මෙම වාර්තාව වූයේ බංගලාදේශ පන්දුයවන්නෙකු වූ අලාවුද්දීන් බාබු ගේ පන්දුවාරයකට රැස්කළ ලකුණු 39 යි. එවර 6 පහර 4ක් සහ හතරේ පහර 3ක් (නිපන්දුවක් ද ඇතුළුව) සමඟ මෙම වාර්තාව තමන් සතුකර ගැනීමට සිම්බාබ්වේ හිටපු නායකයෙක් වූ එල්ටන් චිගුම්බුරා ට හැකිවිය. මෙම තරගය බංගලාදේශයේ ඩකා ප්‍රිමියර් ලීගයේ දී 2013 වසරේ දී වාර්තා විය.

aq photo 635339848091716130317_zps7olcilbi.png
@AAQEEEB

Saturday, November 3, 2018

ඔබ නොදත් කරුණු කිහිපයක්

Mahadevan Sathasivam

☖ - ටෙස්ට් තත්ත්වය ලැබීමට පෙර මෙරටින් බිහිවූ දක්ෂතම පිතිකරුවෙකු ලෙස සැලකෙන මහාදේවන් සතාසිවම් ලකුණු රැස්කිරීම සඳහා දිවීමට වැඩි කැමැත්තක් දක්වා නැත. එක් ලකුණක් රැස්කිරීමට ඔහු නිතරම කඩුලු අතර ඇවිදීම පුරුද්දක් කරගෙන සිට ඇති බවට වාර්තා වේ.

☗ - Round arm පන්දු යැවීමේ ශෛලීය ප්‍රථම වරට හඳුන්වා දෙන ලද්දේ කාන්තාවක විසින් ය. ඈ ක්‍රිස්ටිනා විල්ස් වන අතර ඇයගේ සහෝදරයා ජෝන් විල්ස් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විය. 1820 දශකයේ දී කරලියට පැමිණි මේ පන්දුයැවීමේ විලාසය එකළ නිත්‍යානුකුල පන්දුයැවීමේ ක්‍රමයක් නොවූ අතර පන්දුව උරහිසට පහලින් (Under arm) යැවීම නිත්‍යානුකුල විය.

☖ - එංගලන්තයේ වික්‍රම් සොලන්කි, අසාර්ථක හඳුන්වාදීමක් වූ "සුපර්-සබ්" ක්‍රමවේදය සඳහා මුල්ම වරට පිටියට පිවිසි ක්‍රීඩකයා යි. ඒ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක සයිමන් ජෝන්ස් වෙනුවට ආදේශනය වීමෙන්.


Vikram Solanki, Courtesy: Getty Images
☗ - එංගලන්තයේ හිටපු කඩුලු රකින ක්‍රීඩකයෙක් වූ ජැක් රසල් ඉතාමත් දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වේ. ඔහුගේ සිතුවම් ඔහුගේ වෙබ් අඩවිය හරහා මිලදී ගැනීමට ද ඔබට හැකියි. ඔහු එංගලන්ත කණ්ඩායම සමඟ තරග ක්‍රීඩා කිරීම සඳහා පිටත්වන විට ක්‍රීඩා උපකරණ රැගත් ගමන් මලු 2ක් රැගෙන යාමට පුරුදු වී සිටි අතර එයින් එක් ගමන් මලුවක ඔහුගේ සිතුවම් සඳහා අවශ්‍යය උපකරණ වලින් සමන්විත විය.


Jack Russell
☖ - සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකාව අතර පැවති එක්දින තරගයකට පෙර දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩු ප්ලේසිස් කාසිය ඉහළට යොමු කිරීම සඳහා ඔහුගේ කණ්ඩායමේ ජෝන් පෝල් ඩුමිනි වෙත ට අවස්ථාව ලබා දීම. මෙහි දී කාසියේ වාසිය දිනාගන්නේ දකුණු අප්‍රිකාව යි.



Maharaja of Porbandar, Courtesy: Wikipedia
☗ - ඉන්දියාවේ ප්‍රථම ටෙස්ට් තරගය වාර්තා වුයේ 1932 වසරේ දී යි. එම වසරේ දී එංගලන්තයට සංචාරය කළ මෙම ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය හිමිව තිබුනේ පොර්බන්දර් හි මහරාජා වූ නට්වර්සිංජි භව්සිංජි නමැති ක්‍රීඩකයා හට යි. කෙසේ වෙතත් එංගලන්තයේ දී ටෙස්ට් තරගයට පෙර පැවති පුහුණු තරග සහ පළමු පෙළ තරග සියල්ලහිම අසාර්ථක වූ ඔහුට හිමිව තිබු නායකත්වය C.K. නායුදු හට හිමි විය. එම සංචාරයේ දී මෙම පොර්බන්දර් හි මහරාජා වරයා විසින් රැස්කළ මුළු ලකුණු ප්‍රමාණය 2ක් වූ අතර ඔහුට හිමිව තිබු රෝල්ස් රෝයිස් රථ 7 ඔහුගේ ලකුණු ප්‍රමාණයටත් වඩා වැඩි ය.

☖ - 2011 වසරේ දී වූස්ටර්ෂයර් ප්‍රාන්තය නියෝජනය කරමින් වෘත්තිමය මට්ටමේ ක්‍රිකට් දිවිය අරඹන එඩ්රියන් ශංකර් නමැති ක්‍රීඩකයා තරග දෙකකට පසු (සීමිත ඕවර තරගය සහ පළමු පෙළ තරගය) ඔහු විසින් වූස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් නිලධාරින් වෙත සපයා තිබු ඔහුගේ දත්ත ව්‍යාජ බවට හෙළි වූ අතර ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තරගාවලි සඳහා ක්‍රීඩාකර අතිවිශිෂ්ට දක්ෂතා දැක්වූ බවට සහ ඔහුගේ වයස 26ක් බව යනාදී වශයෙන් ව්‍යාජ තොරතුරු සපයා නිලධාරින් මුලාකොට ඇති බවට හෙළි විය. ඔහු ශ්‍රී ලංකාවේ දී වෙළඳ සේවා තරග කිහිපයකට පමණක් සහ ඔහුගේ නියම වයස 29ක් බවට ත් ඔහු විසින් රැස්කර ඇති එකම පළමුපෙළ ශතකය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය වෙනුවෙන් ඉතාමත් දුර්වල පන්දුයවන්නන් ඉදිරියේ වාර්තා වූ එකක් බවටත් අනාවරණය විය.

Adrian Shankar, Courtesy: Reverse Sweeper
aq photo 635339848091716130317_zps7olcilbi.png
@AAQEEEB

Thursday, October 25, 2018

මුම්බායි හි රිචර්ඩ්ස්

courtesy: Indian Express
ක්‍රිකට් ක්‍රීඩකයෙක් වීම පහසු නැත. උත්සාහය, කැපවීම සහ උනන්දුව මත ක්‍රීඩකයෙකු ගේ අනාගතය තීරණය වේ. මුම්බායි හි විවියන් රිචර්ඩ්ස් යන අන්වර්ථ නාමය හිමිව තිබු අනිල් ගුරාව් 80 දශකයේ මුම්බායි ප්‍රාන්තයේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයෙක් විය. සචින් ටෙන්දුල්කර් තරගකාරී ක්‍රිකට් දිවියට එළඹුණු මුල්ම අවධියේ දී අනිල් ගුරාව් විසින් සචින් හට පිතිකරණය පිලිබඳ උපදෙස් මෙන්ම ඔහුට ඔහුගේ පිත්ත ද ප්‍රධානය කළ බවට කියැවේ. එම පිත්තෙන් සචින් ප්‍රථම වරට ඔහුගේ ක්‍රිකට් සමාජය සඳහා ශතකයක් ද රැස් කළේ ය. 

කෙසේ වෙතත් ඉන් පසු මෙම ක්‍රීඩකයින් දෙදෙනාගේ ක්‍රීඩා දිවිය ගමන් කළේ වෙනස් මග දෙකක් ඔස්සේ ය. සචින් ටෙන්දුල්කර් ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන ක්‍රිකට් සලකුණක් වූ අතර අනිල් ගුරාව් අතුරුදන් වූ ක්‍රිකට් තරුවක් බවට පත්විය. ගුරාව් ගේ ක්‍රිකට් දිවිය ට දැඩි බලපෑමක් එල්ලවූයේ ඔහුගේ සොහොයුරු අජිත් ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් බව අනිල් පවසයි. අජිත්, එකල ඔවුන් ජිවත් වූ පරෙල් හි නමගිය පාතාල කල්ලියක සාමාජිකයෙක් වීම නිසා නිතරම පොලිසියෙන් අනිල් හට සහ ඔහුගේ පවුල් සාමාජිකයින්ට කරදර සිදුවූ බවට වාර්තා වේ. සචින් ටෙන්ඩුල්කාර් සහ අනිල් ගුරාව් දෙදෙනාම සුප්‍රකට ඉන්දීය පුහුණුකරු රාම්කාන්ත් අච්රෙකා ගේ ගෝලයන් වේ. අද වනවිට අනිල් ගුරාව් මුම්බායි නගරයෙන් එපිට කුඩා කාමරයක වාසය කරයි.

aq photo 635339848091716130317_zps7olcilbi.png
@AAQEEEB

Wednesday, October 24, 2018

වෝ වෙනුවට වෝ

courtesy: http://cooolcricket.blogspot.com
ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ වෝ සොහොයුරන් දෙදෙනා එම කණ්ඩායම වෙනුවෙන් දැවැන්ත සේවයක් කළ ක්‍රීඩකයින් දෙදෙනෙක් බවට කිසිදු සැකයක් නෑ. නිවුන් සොහොයුරන් වන ඔවුන් අතරින් ප්‍රථම වරට ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට වරම් ලැබුනේ ස්ටීව් වෝ හට යි. කෙසේ වෙතත් මාර්ක් වෝ ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබූ අවස්ථාවේ දී ඔහුට ආදේශ වන්නට සිදුවුයේ ඔහුගේ සොහොයුරු ස්ටීව් වෙනුවෙන් වීම ප්‍රකට සිදුවීමක්. 

මාර්ක් වෝ කණ්ඩායමට තෝරාගත් පුවත ඇසු දෙසොහොයුරන්ගේ මව ඉතාමත් ප්‍රීතියට පත්වූ අතර ඒ වෙනුවෙන් කුඩා සාදයක් සුදානම් කළා ය. එම සාදය අතරතුර දී ඇය ස්ටීව් ගෙන් විමසුවේ තේරීම් කමිටුවේ නිලධාරින් විසින් මාර්ක් ගේ ස්ථානය වෙනුවට කණ්ඩායමෙන් ඉවත්කළ ක්‍රීඩකයා කවුරුන්දැයි යන්නය. 

ස්ටීව් එයට පිළිතුරු වශයෙන්, එසේ කණ්ඩායමෙන් ඉවත් කර ඇත්තේ තමන් බව පවසා ඇත. 

aq photo 635339848091716130317_zps7olcilbi.png

Saturday, October 20, 2018

ෂේන් වොන් සහ පාපන්දු රසිකයා

ප්‍රකට ඕස්ට්‍රේලියානු හිටපු පා දඟ යවන්නෙකු වූ ෂේන් වෝන් ක්‍රීඩා පිටියේ දී මෙන්ම එයින් එපිට දීත් පුවත් මවන්නෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති ක්‍රීඩකයෙකි. ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව පාපන්දු රසිකයෙකු ද වන වෝන්, දින කිහිපයකට පෙර බීබීසී ආයතනයේ සම්මුඛ සාකච්ඡාවක දී අපුරු සිදුවීමක් හෙළි කළේ ය. 

ෂේන් වෝන් බ්‍රිතාන්‍යයට පැමිණි මුල්ම අවස්ථාව එනම් 1989 වසරේ සිට ඔහු චෙල්සි පාපන්දු කණ්ඩායමේ ප්‍රබල රසිකයෙක් බවට පත් වූ බවත් එසේ වීමට හේතුව ඔහු දැක්වුයේ මේ අයුරින්;

බ්‍රිස්ටල් සිට ලන්ඩන් දක්වා යන දුම්රිය ගමන අතරතුර දී එක් කුටියක එක්තරා පුද්ගලයෙක් චෙල්සි පාපන්දු සමාජයේ සළුවක් සහ වෙනත් දෑ සමඟ මා අසලට පැමිණියේ "උඹ සහය දක්වන්නේ මොන කණ්ඩායමට ද ?" යනුවෙන් අසමින්. මම ඔහු දෙස හොඳින් බැලුවිට ඔහුගේ එක් අතක විශාල පිහියක් තිබු අතර මගේ පිළිතුර වුයේ "චෙල්සි කණ්ඩායම" ලෙස යි. චෙල්සි සමාජය හැර වෙනත් කණ්ඩායමකට සහය පළකිරීමට මා බියක් දැක්වූයේ මේ සිදුවීමෙන් පසුවයි.

Courtesy: BBC Sports


උපුටා ගැනීම: බීබීසී ආයතනයට අදහස් දැක්වූ වෝන්












aq photo 635339848091716130317_zps7olcilbi.png
@AAQEEEB

Monday, September 3, 2018

100s by Sri Lankans in T20 format (up to 03rd of September, 2018)

131* Dasun Shanaka 124* Upul Tharanga 123 Dasun Shanaka 116 Mahela Jayawardena 114* Sanath Jayasuriya 110* Mahela Jayawardena 110* Chamara Silva 108 Ashan Priyanjan
105* Dasun Shanaka 104* Jeewantha Kulatunga 104* T.M. Dilshan (T20 International)
104* Upul Tharanga 103* Mahela Udawatte 102* Dhanushka Gunatilaka 100 Mahela Jayawardena (T20 International)

NOTES:
- Dasun Shanaka, Mahela Jayawardena & Upul Tharanga are the only Sri Lankan players to score 3 or more 100s in T20 format.
- Upul Tharnga's unbeaten 104 is the first instance where a Sri Lankan scoring a ton in a T20 tournament final.

aq photo 635339848091716130317_zps7olcilbi.png

Thursday, August 23, 2018

පාර්සිවරුන් ක්‍රිකට් නීති සංශෝධනය කිරීම - II

මෙහෙල්ලෂා පාව්රි, ඉන්දියානු ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම ශ්‍රේෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සැලකෙනවා. 1880, 1890 දශකයන් හිදී ක්‍රීඩා කළ මෙහෙල්ලෂා පාව්රි පාර්සි ජාතිකයෙක් වන අතර වේග පන්දු යැවීමේ නිපුණතාවයකින් යුක්ත ක්‍රීඩකයෙක් ලෙස ද සැලකෙනවා. 1892 /93 කාලසමයේ දී ඉන්දියාවට පැමිණි මාර්ටින් හෝව්ක් (ලෝර්ඩ් හෝව්ක්) ප්‍රමුඛ එංගලන්ත කණ්ඩායම ඉන්දියාවේ දී තරග කිහිපයක් සඳහා ක්‍රීඩා කිරීමට පැමිණ ඇති බව සඳහන්. කෙසේ වෙතත් තරග දෙකක් හැර අනෙකුත් තරග සියල්ලම ඉන්දියාවේ විසූ බ්‍රිතාන්‍යය ජාතිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් හා තරග වැදුන ද පාර්සිවරුන් සමඟ ක්‍රීඩා කළ තරග දෙක වඩාත් කැපී පෙනුනා. 

1892 වසරේ දෙසැම්බර් මස 22 වන දා පැවති පර්සිවරුන් සහ ලෝර්ඩ් හෝව්ක් ප්‍රමුඛ කණ්ඩායම අතර තරගය අතරතුර මෙහෙල්ලෂා පාව්රි ගේ දස්කම් ඉහළ මට්ටමක පැවතියා. ඔහු කඩුලු 10ක් දවාගැනීමට සමත් වූ අතර පාර්සිවරුන් එම තරගය ලකුණු 109 කින් ජයගත් අතර එය එම තරගාවලියේ එංගලන්ත කණ්ඩායමේ ප්‍රථම පරාජය වුනා. 
Lord Hawke - © Getty Images
කෙසේ වෙතත් මෙම තරගය අතරතුර සිදුවූ සමහර සිදුවීම් ලෝර්ඩ් හෝව්ක් ගේ දෝෂදර්ශනයට ලක්වුනා. එම තරගය පැවති දිනයේ අධික උණුසුම් තත්ත්වයකින් යුක්ත වීම නිසා පාර්සි ක්‍රීඩකයින් වරින්වර පානය කිරීමට වතුර ගෙන එන තෙක් කාලය කා දැමු බවට වාර්තා වනවා. යම් පිතිකරුවෙක් හතරේ පහරක් එල්ල කරන සෑම අවස්ථාවක දී ම සහායක ක්‍රීඩකයින් එම පිතිකරුවා වෙනුවෙන් වතුර රැගෙන ඒම නිසා තරගයට නියමිත කාලසීමාව අනවශ්‍යය අයුරින් දීර්ඝ වී තිබෙනවා. 

එකල ඉන්දියාවේ අන් ජාතින් හා සැසඳූ විට පාර්සිවරුන් බ්‍රිතාන්‍යය ජාතිකයින්ට වඩාත් සමීප සම්බන්ධතාවයක් පැවැත්වූ බවටත් ක්‍රිකට් ප්‍රචලිත වීමට එය ඉවහල් වූ බවත් වාර්තා වේ. නමුත් ඔවුන් ක්‍රිකට් ක්‍රීඩා කළේ ඔවුන්ට ආවේනික රීති පද්ධතියක් තුල වීම ක්‍රිකට් හි අපූරු සිදුවීම් කිහිපයකටම හේතු වී තිබෙනවා. 

aq photo 635339848091716130317_zps7olcilbi.png

Monday, August 20, 2018

පාර්සිවරුන් ක්‍රිකට් නීති සංශෝධනය කිරීම

Mehallasha Pavri - © The Cricket Coudren
බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ දී ක්‍රිකට් ක්‍රීඩාව ඉන්දියාවේදී හඳුන්වා දුන් නමුත් ඉන්දියාවේ දේශීය ජනයා අතරට ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත වීමට බොහෝ කාලයක් ගිය බවට වාර්තා සඳහන් කරනවා. ඉන්දියාවේ දී යුරෝපියයන්ගෙන් පසු මුල්මවරට ක්‍රිකට් ක්‍රීඩාව වැළඳගත්තේ පාර්සි ජාතික ජනයා බවට සැලකෙනවා. නමුත් ඔවුන් මුල්කාලීන ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රීඩා කළේ සමහර නීති සංශෝධනය කරගෙන, ඔවුන්ට හිතකර අයුරින්. මේ බව, ඉන්දියාවේ මුල්කාලීන ක්‍රිකට් ශ්‍රේෂ්ටයෙකු ලෙස සැලකෙන පාර්සි ජාතික මෙහෙල්ලෂා පාව්රි තහවුරු කර තිබෙනවා. 

**********

මින් එක් උදාහරණයක් වන්නේ, එක් තරගයක් අතරතුර පාර්සිවරුන්ගේ කණ්ඩායමක දක්ෂතම පිතිකරුට දැවියාමට සිදුවෙනවා. එම අවස්ථාවේ දී එම කණ්ඩායමේ අනෙකුත් දක්ෂ පිතිකරුවන් ඉතා අඩු ලකුණු ගණනකට දැවීයාම නිසාවෙන් එම පිතිකරු එම තරගය වෙනුවෙන් ඔහු පැළඳ ගත් ඇඳුම වෙනස් කර, හිසට ලේන්සුවක් බැඳ ගැට ගසා ප්‍රතිවාධි කණ්ඩායමට හඳුනාගැනීමට නොහැකිවන සේ නැවතත් පිතිකරණයට ගොස් ඔහුගේ කණ්ඩායම ජයග්‍රහණය තෙක් රැගෙන යාමයි. 

aq photo 635339848091716130317_zps7olcilbi.png