Friday, January 31, 2020

ක්‍රිකට් ක්‍රීඩාවේ අපූරු සිදුවිම් සහ පැරණි තොරතුරු කිහිපයක්

1987 අහමදාබාද් හිදී පැවති පකිස්තානය සහ ඉන්දියාව අතර සිවුවන ටෙස්ට් තරගයේ පළමු දින 3 තුළ ඉතාමත් සෙමින් පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායමට (ඕවර 187 ක් අවසානයේ ලකුණු 395ක් පමණයි) එරෙහි වූ ප්‍රකෝපකාරී අහමදාබාද් ප්‍රේක්ෂකයින්, පකිස්තානුවන් පන්දු රැකීමට පැමිණි අවස්ථාවේ දී, ගල්, බෝතල් වලින් පහර දෙන ලද අතර නායක ඉම්රාන් ඛාන් තම කණ්ඩායම ක්‍රීඩා පිටියෙන් ඉවත්කරගත්තේ ය. පැයක ප්‍රමාදයෙන් තරගය නැවත ආරම්භ වූ අවස්ථාවේ දී හතරේ සීමාව අසළ ස්ථානගත වූ පන්දු රකින්නන් හිස් ආවරණ (හෙල්මට්) පැළඳ ක්‍රීඩා කළේ ය.

දෙවන ලෝක යුද්ධය අතරතුර දී මෙරට මහනුවර දී ස්ථාපිත වූ ගිනිකොණ දිග ආසියානු මිත්‍ර පාබල හමුදාවේ (Alfsea - Allied land forces south east asia) මුලස්ථානයට සමගාමිව පවත්වා ඇති තරගයක දී Alfsea Ceylonese කණ්ඩායමේ සාජන් කොලින්ජ් නමැති පන්දුයවන්නා විසින් පන්දු 12ක් තුළ කඩුලු 10ක් දවා ඇති අතර එහිදී ඔහු කඩුලු ත්‍රිත්ව තුනක් ද වාර්තා කර ඇති බවට ක්‍රිකට් දත්ත විශ්ලේෂකයින් සැකකරයි.

නෙදර්ලන්තයේ විවෘත ශූරතා තරගාවලියේ තරගයකට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව එංගලන්ත බැඩ්මින්ටන් ක්‍රීඩකයින් දෙපළක් වන පීටර් නොවල්ස් සහ කොලින් හෝටන් ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයේ බීර පානය කර, වැසිකිළිය තුළ, පිරිසිදු කිරීමේ බුරුසුවකින් සහ සබන් කැබැල්ලක් භාවිතා කරමින් ක්‍රිකට් ක්‍රීඩා කර නිලධාරින්ට හසු වී ඇත. පීටර් ට සති 10ක් සහ කොලින් ට සති 6ක් බැගින් ක්‍රීඩා තහනමක් ද පැනවීමට තරම් එම වැසිකිළි ක්‍රිකට් තරගය දරුණු ලෙස බලපෑවේ ය. ඔවුන් ගේ ක්‍රිකට් තරගය පිළිබඳව පැමිණිලි වාර්තා වී ඇති බවට සැලවීමෙන් අනතුරුව පීටර් නොවල්ස් කුපිත වූ බවට ද වාර්තා වේ.
Year - 1998 (ඩේලි ටෙලිග්‍රාෆ්)


පළමු ලෝක යුද්ධයේ දී තම දකුණත අහිමි වීමෙන් අනතුරුව, ෆ්‍රෑන්ක් චෙස්ටර් ගේ ක්‍රිකට් දිවිය අකාලයේ අවසන් වූවත් 1924 සිට 1955 දක්වා ටෙස්ට් තරග 48කට විනිසුරුවරයෙක් ලෙස දායකත්වය ලබා දීමට ෆ්‍රෑන්ක් ට හැකි විය. සුප්‍රසිද්ධ 1948 අළු බඳුන තරගාවලියේ දී ද ෆ්‍රෑන්ක් චෙස්ටර් විනිසුරු කාර්‍යයේ යෙදී ඇත.

@Aqibmzm -twitter
aq photo 635339848091716130317_zps7olcilbi.png

Friday, January 17, 2020

ලෝක වාර්තාවක් පිහිට වූ බාපු නාඩ්කර්නි මිය යයි

නිලකුණු පන්දුවාර 21ක් එකපිට යවා ලෝක වාර්තාවක් පිහිටවූ බාපු නාඩ්කර්නි මීට ස්වල්ප මොහොතකට පෙර මියගිය බවට ඉන්දීය මාධ්‍යය වාර්තා කළහ. මිය යන විට බාපු නාඩ්කර්නි 86 වියැති විය. 1955/56 දී නවසීලන්තයට එරෙහිව ෆෙරොස්z ෂා කොට්ලා හිදී මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ බාපු නාඩ්කර්නි එම ටෙස්ට් තරගයේ දී නොදැවී ලකුණු 68ක් රැස්කිරීමට සමත් විය. ඉහත ලෝක වාර්තාව පිහිටවූ ඉනිමේ දී බාපු විසින් පන්දුවාර 29ක් යවා නිලකුණු පන්දුවාර 26ක්, ලකුණු 3ක් පමණක් ප්‍රතිවාධින්ට ලබා දෙමින් දස්කම් දැක්වීය. ඔහු පුහුණුවීම් අතරතුර කාසියක් මතට පන්දු යවමින් නිවැරදි ඉලක්කයක් ඔස්සේ පන්දුව පාලනය කර යැවීමට තරම් දක්ෂ විය.

aq photo 635339848091716130317_zps7olcilbi.png