Saturday, June 19, 2021

ලාබාල ක්‍රීඩකයින් සමඟ තරගය බේරාගත් වෙස්ලි කොලීජියේ නායකයා

පාසල් ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ අපූරු සිදුවීමක් පිළිබඳව හිටපු වෙස්ලි කොලීජියේ නායක එඩ්මන්ඩ් දිසානායක පුවත්පතකට මෙසේ හෙළි කළා...

රේල්වේ ක්‍රීඩාංගණයේ පැවති වාර්ෂික රාජකීය වෙස්ලි ක්‍රිකට් ගැටුමේ උද්වේගකර අවස්ථාවක් 1946 වසරේ පෙබරවාරි මස 8 වන දා වාර්තා වුනා. 

පළමු දිනයේ දීම වේගවත් පිතිහරඹයක නිරතවූ රාජකියයන් කඩුලු 5ක් දැවී ලකුණු 312ක් රැස්කර සිටියදී ඉනිම අත්හිටුවන්නට එවකට රාජකියයේ මහේෂ් රොද්‍රිගෝ තීරණය කළා. එයට, වෙස්ලි කොලිජියේ නායක එඩ්මන්ඩ් දිසානායක විරෝධය පළ කළේ ඔවුන් මිනිත්තු 5ක් ප්‍රමාදව ඇති බව පවසමින්.

එම කාල වකවානුවේ එංගලන්තයේ මාලිබෝන් ක්‍රීඩා සමාජය විසින් නව ක්‍රිකට් නීතියක් සම්පාදනය කර තිබුනා. මුල්ම දිනයේ දී ප්‍රතිවාධි කණ්ඩායමට මිනිත්තු 90ක් හෝ අවම වශයෙන් පිතිකරණයට අවස්ථාවක් ලබා නොදී කිසිදු කණ්ඩායමකට තම ඉනිම අත්හිටුවන්නට ඉඩකඩක් තිබුනේ නෑ.

ඒ අනුව රාජකියයන් ඉනිම අත්හිටුවන විට ඔවුන් මිනිත්තු 5ක් ප්‍රමාදව තිබුනා. එම නිසා ඒවනවිට පිතිකරණයේ යෙදෙමින් සිටි මහේෂ් රොද්‍රිගෝ තම ඉනිම අත්හිටුවා අන් පිතිකරුවන්ට අවස්ථාව ලබාදීමට තීරණය කළේ දිනය නිමාවීමට පෙර වෙස්ලි ක්‍රීඩකයින්ට කෙසේ හෝ පිතිකරණය සඳහා අවස්ථාව ලබාදීමට යි. 
මහේෂ් රොද්‍රිගෝ

ඒ අනුව මහේෂ් ගේ ඉවත්ව යාමෙන් පසු පිතිකරණයට පැමිණි ඇෆ්. ඊ. පොරිට් එක් පන්දුවකට මුහුණ දී තම ඉනිම නිමාකරන්නට සුදානම් වූවත් විනිසුරුවරුන් එම ක්‍රියාවට විරෝධය පළ කළා. පිතිකරුවෙකු ඉනිම අත්හිටුවීමට නම් අවම වශයෙන් එක් පන්දුවාරයකටවත් මුහුණ දිය යුතු බව විනිසුරුවරුන් රාජකියයන්ට පැවසීම නිසා ඔවුන්ගේ ඉනිම අවසන් කිරීමට අමතර කාලයක් ගත විය. මෙය ලාබාල ක්‍රීඩකයින්ගෙන් 8 දෙනෙකුගෙන් සමන්විත වෙස්ලි කොලීජියට  වැඩි වාසියක් ගෙනදුන්නා (එම ක්‍රීඩකයින් 8ම වයස අවුරුදු 16න් පහළ වුනා). එම ලාබාල ක්‍රීඩකයින් අතර 7 වන ශ්‍රේණියේ සිසුවෙකු වූ විවිල් ඩයස් ද සිටියා. 

රාජකියයන්ගේ ඉනිම අවසන් වන විට ඔවුන් ලකුණු 317ක් රැස්කරගෙන සිටියා. ජී.ටී. කපුකොටුව ලකුණු 81ක්, ජී.ඇල්.ජී කුරේ ලකුණු 78ක්, ඇම්. කාසිපිල්ලෙයි ලකුණු 69ක්, පර්සි ගුණවර්ධන ලකුණු 46ක් රැස්කරමින් රාජකීය ඉනිම ශක්තිමත් කළා. 

දිනය අවසන් වීමට පෙර පැයක කාලයක් වෙස්ලි ක්‍රීඩකයන්ට පිතිකරණය සඳහා අවස්ථාව හිමිවුනා. බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු දල්වාගෙන සිටියේ වෙස්ලි ක්‍රීඩකයින්ගේ කඩුලු එකපිට දැවී යාම දැකගත හැකිවනු ඇති බවටයි. නමුත්, එඩ්මන්ඩ් දිසානායක ප්‍රමුඛ වෙස්ලි ක්‍රීඩකයින් එම දිනය අවසන් වනවිට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 50ක් රැස්කර තිබුණා. නායක එඩ්මන්ඩ් තම මුල්ම ලකුණ රැස්කිරීමට මිනිත්තු 30ක් බලාසිටින්නට සිදුවුනා. ඔහු එම ලකුණ රැස්කරන විට රාජකීය ප්‍රේක්ෂකයින් අත්පොලසන් දීම  අපූරු සිදුවීමක්. නායක එඩ්මන්ඩ් සමඟ අනෙක් අන්තයේ පිතිකරණයේ යෙදුනේ ලාබාල විවිල් ඩයස් ය. 

දෙවන දින එනම් පෙබරවාරි මස 9වන සෙනසුරාදා දින වෙස්ලි ක්‍රීඩකයන්ගේ අවසන් කඩුල්ල බිඳ වැටෙන විට ඔවුන් ලකුණු 167ක් රැස්කර තිබුණා. නායක එඩ්මන්ඩ්, වෙස්ලි කණ්ඩායමේ නැංගුරම වෙමින් විශිෂ්ට ලකුණු 107ක් රැස්කළේ හතරේ පහරවල් 16කින් ඉනිම වර්ණවත් කරමින්. 
එඩ්මන්ඩ් දිසානායක - Image courtesy: Daily News

දෙවන ඉනිම සඳහා නැවතත් පිතිකරණය සඳහා පැමිණි වෙස්ලි ක්‍රීඩකයින් ජය පරාජයකින් තොරව තරගය නිමාකරගන්නට විශිෂ්ට ලෙස කඩුලු ආරක්ෂා කරමින් පිතිකරණයේ යෙදුනා. වෙස්ලි කොලීජියේ දෙවන ඉනිම 172/7ක්. 14 හැවරිදි විවිල් ඩයස් දෙවන ඉනිමේ රැස්කළ ලකුණු 79 කැපී පෙණුනා. එමෙන්ම රාජකීය කණ්ඩායමේ නායක මහේෂ් රොද්‍රිගෝ විසින් විවිල් ඩයස් හට නැවතත් පිතිකරණය සඳහා ආරාධනා කළේ විවිල් ලකුණු 8ට දැවීයාමෙන් අනතුරුවයි. විවිල් ගේ උඩපන්දුව රැකගත් ආකාරය පිළිබඳව මහේෂ් රොද්‍රිගෝ සෑහිමකට පත්වූයේ නැත. තරගයේ ජීවගුණය රකිමින් එවැනි අතිවිශිෂ්ට තීරණයක් ගැනීම පිළිබඳව බොහෝදෙනෙකුගේ පැසසුමට මහේෂ් ලක්වුණා.


එම තරගයට ක්‍රීඩාකළ ක්‍රීඩකයින්>

රාජකීය කණ්ඩායම
මහේෂ් රොද්‍රිගෝ (නායක), ඇම්. කාසිපිල්ලෙයි, ජී.ටී. කපුකොටුව, ජී.ඇල්.ජී. කුරේ, ටී. පරතලිංගම්, සී.ඩී.ඇල්. ප්‍රනාන්දු, පර්සි ගුණවර්ධන, ඇෆ්.ඊ. පොරිට්, විමල් වික්‍රමසූරිය, ආර්. රාජරත්නම්, ආර්. එස්, කුක්. 

වෙස්ලි කණ්ඩායම
එඩ්මන්ඩ් දිසානායක (නායක), ඇලන් රත්නරාජා, පියසිරි අබේවර්ධන, හැරල්ඩ් මතායස්, නැටී ප්‍රින්ස්, ඩෙනිස් වැන් ට්වෙස්ට්, බර්ටස් පෙරේරා, ක්ලයිව් බර්තොලොමියුස්z, එරික් නුගේරා, විවිල් ඩයස්, සිංහ ජයසුන්දර, රොනල්ඩ් ගෝමස්. 
 
ප.ලි. -
මුල්මවරට ජාතික විනිසුරුවරුන්ගේ සංගමයට මෙම තරගයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කිරීමට පාසල් ක්‍රිකට් සංගම් විසින් ආරාධනා කළේ මෙම තරගයේදී යි.

Image Courtesy:
1) Daily News
2) Credit to Oroginal owner

Source:
1) Sunday Times (1996 December)

aq photo 635339848091716130317_zps7olcilbi.png