Saturday, October 10, 2020

යුද හමුදා ක්‍රීඩා සමාජයෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පාඩමක් ! , තෙනුධරන් ගේ උඩ පන්දුවට විදෙස් ක්‍රීඩකයින්ගෙන් පැසසුම්.

මේ දිනවල පැවැත්වෙන Army Commander's League (යුද හමුදාපති ලීගය) තරගාවලියේ විශිෂ්ට දස්කම් රැසක් නවක ක්‍රීඩකයින්ගෙන් දක්නට ලැබීම අපූරු සිදුවීමක් විය. කණ්ඩායම් 4කින් සමන්විත වන මෙම තරගාවලියේ යුද හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින්ට අමතරව මෙරට වෙනත් ක්‍රීඩා සමාජ නියෝජනය කරන ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගෙන් දායකත්වය ලැබීම විශේෂ කරුණක්. 

මෙම තරගාවලියේ මූලික වටය දොඹගොඩ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර බොහෝ දෙනෙකුගේ අදහස වූයේ මෙම ක්‍රීඩාංගණය මනරම් වටපිටාවක් පවතින අනර්ඝ මට්ටමේ ක්‍රීඩාංගණයක් බවයි. 

දේශීය ආයතන 4ක අනුග්‍රහත්වය හිමිවන මෙම කණ්ඩායම් 4 කරට කර සටනක් නිරූපණය කරමින් පවතින කොරෝනා වසංගත කාලසමයේ ප්‍රේක්ශකයින්ගේ ක්‍රිකට් පිපාසය නිමා කිරීමේ ගෞරවය ශ්‍රී ලංකා යුද හමුදාවට ලබාදිය යුතුයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දේශිය ක්‍රීඩකයින් හට සීමිත පන්දුවාර තරගාවලි පවත්වා මාස 16ක පමණ කාලයක් ගතව ඇති අතර පසුගිය වසර 5 පමණ කාලය සැසඳීමේදී මෙරට පළමු පෙළ මට්ටමේ සීමිත ඕවර තරග (පන්දුවාර 50 සහ 20) සඳහා දුර්වල අවධානයක් යොමුකිරීම සහ තරගකාරී ස්වභාවය ඉතාමත් අල්ප වීම නිසාවෙන් මෙරට ක්‍රීඩකයින්ගේ දස්කම් හීනවීමටත් ජාත්‍යන්තර සීමිත ඕවර තරග තුළ අප ක්‍රීඩකයින් නිසි අයුරින් දස්කම් නොදැක්වීමට ප්‍රබල හේතුවක් බවටත් පත්ව ඇත. 

LPL වැනි තරගාවලියක් කොවිඩ් වසංගත කාල සමයේ පැවැත්වීමට ක්‍රිකට් ආයතනය විසින් නිසි අවදානම් කළමනාකරණ ක්‍රමවේදයක් (Risk Management Procedure) අනුගමනය කළා දෝ යන සැකය බොහෝදෙනෙක් හට මතුව තිබෙනවා. 

ඔවුන්ගේ දුර්වල ක්‍රීඩා ප්‍රතිපත්තිය ට එරෙහිව යුද හමුදා ක්‍රීඩා සමාජය විසින් පැවැත්වූ මෙම තරගාවලියේ විශේෂ දස්කම් දැක්වූ යුද හමුදා ක්‍රීඩකයින් කිහිපදෙනෙක් නම් වශයෙන්;

ප්‍රියන්ත රත්නායක - ආරම්භක පිතිකරුවෙකු ලෙස ඉතාමත් හොඳ ලකුණු සම්බන්ධතා පිහිටුවමින් ලකුණු රැස්කිරීමට ප්‍රියන්තට හැකිවිය.

ගිහාන් කෝරලගේ - නවක පිතිකරුවෙකු වන ගිහාන් අවසන් පන්දුවාර 5-6 දී ලකුණු රැස්කිරීමේ වේගය ඉහළ දැමීමට හැකි ක්‍රීඩකයෙකි. 

සුමින්ද ලක්ෂාන් - පා දඟ පන්දු යවන්නෙකු වන සුමින්ද ලක්ෂාන් ගේ කඩුලු දවාගැනීමේ හැකියාව විශිෂ්ට විය.

රවිඳු තිලකරත්න - චයිනමන් පන්දුයවන්නෙකු වන රවිඳු තිලකරත්න ගේ කඩුලු දවාගැනිමේ හැකියාවද ඉහළ මට්ටමක විය. 

ලක්ෂාන් එදිරිසිංහ - මැද පෙළ පිතිකරුවෙකු මෙන්ම ලකුණු රැස්කිරීමේ වේගය ද ඉහළ මට්ටමක රඳවා තබාගන්නා ක්‍රීඩකයෙක් ලෙස ලක්ෂාන් එදිරිසිංහ නම්කළ හැකියි.

සමිත වනිගසේකර - පහසුවෙන් හයේ පහරවල් එල්ල කළ හැකි, ආරම්භයේ සිටම පන්දුයවන්නන් හට එරෙහිව ඉක්මනින් ලකුණු රැස්කළ හැකි පිතිකරුවෙකි.

යශෝධ මෙන්ඩිස් - මද වේග පන්දුවෙන් මෙන්ම අවශ්‍ය ඕනෑම විටක වැරෙන් පන්දුවට පහරදිය හැකි නො 6-7 පිතිකරුවෙකු ලෙස යශෝධ මෙන්ඩිස් හැඳින්විය හැකියි.

රත්නරාජා තෙනුධරන් - මද වේග පන්දු යවන්නෙකු වන තෙනුධරන්, පන්දුව දෝලනය කිරීමෙන් සහ ස්ථානොචිත අයුරින් පන්දු යැවීම, විශිෂ්ට පන්දු රැකීම බොහෝදෙනෙකුගේ කතාබහට ලක්වූ කරුණු විය. ඔහු විසින් රැකගත් විශිෂ්ට උඩපන්දු අද වනවිට විදෙස් සමාජ ජාල ගිණුම් හරහා ද හුවමාරු වෙමින් විදෙස් ක්‍රීඩකයින්ගේ පැසසුමට ලක්වී ඇත. 

තෙනුධරන් ගේ ඉහත දස්කම් දැක්වීමෙන් අනතුරුව ඔහු මාධ්‍යය වෙත පැවසුවේ, තණකොළ සහිත පිටියක අපහසු උඩ පන්දුවක් රැකගැනීම සඳහා උත්සහ කිරීම ඔහු ප්‍රියතාවයක් දක්වන අතර සහ මඩකලපුවේ දී ඔහු ක්‍රිකට් ක්‍රීඩා කළ සමයේ එවැනි තණකොළ සහිත ක්‍රීඩාංගණ නොතිබීම එවැනි දස්කම් දැක්ගන්නට නොලැබීමට හේතුවක් බවයි.

මෙම ක්‍රීඩකයා යුද හමුදා තරගාවලියේ දී දස්කම් දැක්වීමෙන් අනතුරුව හැඟී යන්නේ, මෙවැනි ක්‍රීඩකයින්ට ඉදිරියට ඒම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වැඩපිළිවලක් පවතිනවාද යන කරුණයි. 

දේශිය ක්‍රිකට් සමාජ පළමු පෙළ තරගාවලියට පෙර, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන සෑම පාසලකම සිසුන් අතර දක්ශ ක්‍රීඩකයින් සහ ජාතික තලයේ ක්‍රීඩකයින් සමිශ්‍රව පළාත් වශයෙන් තරගාවලියක් සංවිධානය කර එම දක්ශතා පදනම් කරමින් ඔවුන්ට නිසි ඇගයිම් ලබාදීම ක්‍රිකට් ආයතන විසින් සිදුකළ යුතුමයි. 

මෙරට උතුරු, නැගෙනහිර පළාත් වල ක්‍රීඩකයින් පාසල් තරග තුළ විශිෂ්ට දස්කම් දැක්වූවද ඔවුන් ගේ ක්‍රිකට් අනාගතය ඉන්පසු වැළලී යාම අභාග්‍යය සම්පන්නයි. එයට හේතු බොහෝමයක් ඇතත් මූලික හේතු 2ක් මත ඔවුන් ක්‍රිකට් හෝ වෙනත් ක්‍රීඩාවක් කෙරෙහි ඔවුන්ගේ අවධානය පාසල් ගමනින් පසු නතර කරති.

1) ක්‍රිකට් ආයතනයට එවැනි ක්‍රීඩකයින් දිරිමත් කිරීමට නිසි වැඩපිළිවලක් නොතිබීම සහ එවැනි වැඩපිළිවලක් පිහිටවූවද  එය දීර්ඝ කාලීන නොවීම.

2) ඔවුන්ට මුදල් වියදම් කරමින්, බොහෝ දුරක් ගෙවා කොළඹට පැමිණ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමේ අපහසුතාවය (කොළඹ ආශ්‍රිතව දේශිය පළමු පෙළ තරගාවලිය කේන්ද්‍රගත වීම නිසා)

මේ සඳහා විසඳුම් සෙවීමට හැකිවුවහොත්, මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ශිඝ්‍ර දියුණුවක් කරා ගමන් කිරීම දක්නට ලැබිමට අප වාසනාවන්ත විය හැකියි.

තෙනුධරන් ගේ උඩ පන්දුව !

රත්නරාජා තෙනුධරන් ගේ උඩ පන්දුව ට ට්විටර් සමාජ ජාලයෙන් ලැබුණු ප්‍රතිචාර කිහිපයක් (හිටපු ජාත්‍යන්තර ක්‍රීඩකයින්, මාධ්‍යවේදීන්, විස්ඩන් සඟරාව, සිනමා පිටපත් රචකයෙක් විසින්, පුහුණුකරුවන්)






















@Aqibmzm
10/10/2020