Tuesday, December 11, 2018

හතරේ සීමාවෙන් එහා - Beyond The Boundary Line - 2

ගිය සෙනසුරාදා (08.12.2018) කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන නැගී එන ක්‍රිකට් කණ්ඩායම අතර මැච් එකක් පැවැත්වුනා. ආසියානු නැගී එන ක්‍රිකට් ශුරතාවය වෙනුවෙන් මේ වන විට පැවැත්වෙන තරගාවලියේ අවසන් පූර්ව වටයට මේ වනවිටත් ශ්‍රී ලංකා පිල තේරීපත් වී අවසන්.

ඉතින් මේ මැච් එක බලන්න ගිය අයට බලන්න ලොකු ප්‍රේක්ෂකාගාර නං නෑ. ඉතින් හරියටම NCC ක්‍රීඩා පිටියට ඉස්සරහ, පාරෙන් එහා පැත්තේ කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනයේ (නිල නොවන) පොඩි ගේට්ටුවෙන් ඇතුල්වෙලා එතන තිබ්බ ලොකු කොස් සහ අඹ ගස් දෙක යට වාඩි වෙලා මැච් එක බලන්න එද්දී ඇෆ්ගනිස්තාන ඉනිම අවසන් වෙලා ශ්‍රී ලංකා ඉනිම ආරම්භ වුනා විතරයි.

කොස් ගහ යට - Courtesy: Twitter

ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි අඩු ලකුණු ගණනකට දැවී යද්දී අනිත් අන්තයේ ක්‍රීඩා කරපු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු රැස්කිරීම වේගවත් කළා. අවිශ්ක ගේ සහයට පැමිණි හසිත බෝයාගොඩ ද අඩු ලකුණු ගණනකට දැවී ගියාට පස්සේ පිටියට පැමිණියේ ජාතික කණ්ඩායමේ පළපුරුදු තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න. අසේල එක අන්තයක් ආරක්ෂා කරගෙන ඉන්න අතරේ අවිශ්ක අනිත් අන්තයෙන් ලකුණු රැස්කරන්න පටන් ගත්තා.

මේ මැච් එක යන අතරතුර කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනයට හිටපු ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ මහත්මයා සහ NCC ක්‍රීඩා සමාජයේ ග්‍රවුන්ඩ් බොයි කෙනෙක් මං වාඩි වෙලා හිටපු ඔය සුප්‍රසිද්ධ කොස් ගහ යටට ආවේ අව් රශ්මියට මුහුණ දෙන්න අකමැති නිසා. පස්වරු 1.30 - 2.00 වගේ වෙලාවක් ඉර එලිය වැටෙන විදිහ ගැන වෙනම කියන්න ඕනේ නෑ නේ. ඉතින් ඔය ග්‍රවුන්ඩ් එක වටේට තියන ලොකු ගස් මැච් බලන අයට මාරම වටිනවා. ඉතින් ගුරා , NCC ග්‍රවුන්ඩ් බෝයි එක මැච් එක ගැන කතා කර කර ඉන්දැද්දී එතනට ආවේ දේශීය ක්‍රිකට් විස්තර විචාරකවරයෙකු වන සේන නන්දවිර මහත්මයා. එදා පාන්දර නවසීලන්තයේ පවත්වපු පුහුණු තරගය අතරතුර ඇන්ජෙලෝ මැතිව්ස් ගේ පිතිකරණය ගැන වගේම කණ්ඩායමේ මුල්පෙළ සහ මැද පෙළ පිතිකරණ දුර්වලතා ගැන මේ දෙන්නා සෑහෙන්න වෙලා කතාකළා. 

ගුරා - Courtesy: IMS Vintage Photos

ඒ එක්කම NCC ග්‍රවුන්ඩ් බෝයි, 80 / 90 දශකයේ දී NCC ක්‍රීඩා සමාජයේ තරග සියල්ලන්ටම වගේ සහය පළකරපු විදිහ ගැනත් මේ දෙන්නා කතාකරද්දී මේ ග්‍රවුන්ඩ් බෝයි ට මාරම සතුටුයි වගේම මුණ පුරාම ලොකු හිනාවක්. ගුරා ඒ එක්කම පරණ මැච් එකක සිදුවීමක් මතක් කළා. මැච් එක SSC සහ NCC වෙන්නෝන. මැච් එක තියලා තියෙන්නේ මොරටුව ටිරෝන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ. (මේ ක්‍රිකට් සමාජ දෙක මැච් එකක් ගැහුවම ඒක සෑහෙන්න කතාබහට ලක්වෙනවා වගේම ලංකාවේ ක්‍රීඩා සමාජ අතර වඩාත්ම කැපී පෙනෙනම තරගය කිව්වොත් වැරදි නෑ.) මේ මැච් එකේ දෙපිලේම පළමු ඉනිම් අවසන් වෙද්දී NCC කණ්ඩායම පළමු ඉනිමේ ජයග්‍රහණය හිමිකරගෙන තිබු අවස්තාවක දී මේ මැච් එක බලන්න වගේම සහය පළකරන්න ආපු මේ ග්‍රවුන්ඩ් බෝයි ට කොච්චර සතුටු ද කියනවා නං හතරේ සීමාවෙන් එහා බල්ටි ගගා සැමරුවා කියලා කියනවා. හැබැයි තුන්වෙනි සහ අවසන් දිනයේ දී දෙවැනි ඉනිම වෙනුවෙන් ක්‍රීඩා කරමින් හිටපු NCC කණ්ඩායම අඩු ලකුණු ගණනකට දවාගෙන SSC කණ්ඩායම ඉලක්කය හඹා ගිහිල්ලා ජයග්‍රහණය කරපු බව අසංක ගුරුසිංහ මතක් කරද්දී මේ හැමෝම හිනාවුනා. පරණ මැච් බලන්න සෑහෙන්න සෙනඟක් ඒ කාලේ හිටියත් දැන් එහෙම නෑ. (ගුරා මතක් කරපු මැච් එකේ scorecard එක මේක වෙන්නෝන - SSC සහ NCC 1993 මැයි ) 

ආයෙත් අපි මැච් එක ගැන බැලුවොත්, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 81 වාර්තා කරද්දීම අසේල ගුණරත්න පන්දුයවන්නා ට පහසු උඩ පන්දුවක් ලබාදෙමින් දැවී ගියේ සිවුවන කඩුල්ල විදිහට. එතකොට අවිශ්කත් දැවී ගිහින්, කමිඳු මෙන්ඩිස් පිතිකරණයේ යෙදෙමින් හිටියේ. අසේල ගේ දැවී යාමෙන් පස්සේ නායක සම්මු අශාන් , කමිඳු ගේ සහායක පිතිකරුවා විදිහට පැමිණියා. 

කමිඳු සහ අශාන් ක්‍රමයෙන් ලකුණු රැස්කරන්නට පටන්ගනිද්දී හරි අපුරු දෙයක් වුනා. යාර 30 සීමාවෙන් එලියේ වැඩිපුර ක්‍රීඩකයෙක් ස්ථානගත වෙලා හිටපු නිසා ශ්‍රී ලංකා පිලට අමතර ලකුණක් හිමිවුණා. සම්මු අශාන් දුවද්දී දැවී යාමකට හසුවෙන්න ඔන්න මෙන්න තියෙද්දී තමා ඔය සිද්ධිය වුනේ. 

මැච් එකේ තීරණාත්මක අවස්ථාවේ දී සම්මු අශාන් දැවී යනවා. ඊට පස්සේ ආපු ශෙහාන් ජයසුරිය ඊට කලින් දවසේ මිගමුව ක්‍රීඩා සමාජය වෙනුවෙන් නොදැවී ලකුණු 47ක් රැස්කරලා ඔහුගේ ඉනිම අත්හිටුවලා මේ මැච් එක වෙනුවෙන් ක්‍රීඩා කරන්න සිදුවුනා. ඊට හේතුව වුනේ කණ්ඩායමේ නායක චරිත් අසලංක ආබාධයකට ලක්වෙලා ඒ වෙනුවට ශෙහාන් ජයසුරිය කණ්ඩායමට ආදේශ කරපු නිසා. ඉතින් ශෙහාන් ජයසූරියට රැස්කරන්න පුළුවන් වුනේ ලකුණු 1ක් විතරයි. ඊළඟට ආපු ජෙහාන් ඩැනියල් ටත් ආයේ ක්‍රීඩාගාරයට යන්න සිද්ධ වුනේ ඇෆ්ගනිස්තාන දඟ පන්දු යවන්නන් ගේ දක්ෂතා ඉහළ මට්ටමක තිබුණ නිසා. 
කමිඳු - Courtesy: Batsman.com
පිතිකරුවෝ එකින්එක ක්‍රීඩාගාරයට යද්දී නොසැලෙන ඉනිමක් දියත් කරන්නට කමිඳු මෙන්ඩිස් ට හැකිවුනා. ඒ ඉනිම අතිවිශිෂ්ටයි. ඔය අතර කමිඳු මෙන්ඩිස් ලොකු පහරක් එල්ල කරන්න සීමාවෙන් එළියට පැමිණෙද්දී පිත්තේ නොවැදිච්ච පන්දුව කඩුලු රකින්නා අතට ගියා. හැබැයි ඒ මිලි තත්පර කිහිපය අතර කඩුලු රකින්නටත් පන්දුව නිවැරදිව ග්‍රහණය කරන්න බැරිවුනා. පන්දුව කඩුලු ඉනි සහ සිමා ඉර අතර ට වැටෙද්දී රකින්නා ඉස්සරහට ඇවිල්ලා පන්දුව ට පැනලා ස්ටම්ප් කිරීමකට ලක්කරන්න හැදුවා. හැබැයි නොදැනුවත්වම කමිඳු මෙන්ඩිස් ට බාධා කළා. කමිඳු ට පිත්ත සීමා ඉර ට එහා තියන්න විදිහක් නැත්තේ කඩුලු රකින්නා බිම පෙරලිලා හිටපු හින්දා. විනිසුරුවරයා මේ සිදුවීම දැකපු නිසා කමිඳු මෙන්ඩිස් ට ආයෙත් පිතිකරණයේ යෙදෙන්න අවස්ථාව ලැබුනා.

කමිඳු ක්‍රමයෙන් අර්ධ ශතකයත් රැස්කළා, සහයට ශෙහාන් මධුශංක යම් දායකත්වයක් ලබාදුන්නා වගේම ඔහුගේ දැවී යාමෙන් පස්සේ ලසිත් ඇඹුල්දෙනියට ලොකු වගකීමක් පැටවුණා. 

මේ මැච් එක බලද්දී කොස් ගහ යට වටකරලා බැඳපු ගඩොල් බැම්ම ළඟ පුටුවක් තියාගෙන කෑගහලා සපෝර්ට් කරන කෙනෙක් හිටියා. බලද්දී ඒ ලසිත් ඇඹුල්දෙනිය ගේ තාත්තා. ලසිත් පිත්ත අරගෙන එද්දී ඇඹුල්දෙනිය මහත්තයා කිව්වේ ලසිත් ට ලොකු පිතිකරණ හැකියාවක් නෑ එයා වැඩියෙන්ම දැවී ගිහිල්ලා තියෙන්නේ කඩුල්ල මුවා කිරීම නිසා කියලා. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු තත්ත්වය 200 ට කිට්ටු වෙද්දීම කමිඳු මෙන්ඩිස් දැවී යන්නේ වේග පන්දු යවන්නා ගේ කෙටි පන්දුව නිසා. ජයග්‍රහණය සඳහා ලකුණු 14ක් ගහන්න ඕනකම තියෙද්දී අවසන් පිතිකරුවා විදිහට අසිත ප්‍රනාන්දු පැමිණියා. පන්දු 18 කින් ලකුණු 12ක් ගහන්න අවශ්‍ය වෙලා තිබ්බ අවස්ථාවේ දී අසිත මිඩ් ඕන් කලාපයෙන් පන්දුව ඔසවා හතරේ පහරක් එල්ලකළා. ඒ අවස්ථාවේ දී ඒ හතරේ පහර සෑහෙන්න වටින එකක් වුනා. අවසන් පන්දුවාරය වෙද්දී ලකුණු 2ක් ගහන්න තියෙද්දී වේග පන්දු යවන්නා පන්දු යවන අන්තයේ හිටපු අසිත ප්‍රනාන්දු මන්කාඩ් ක්‍රමයට දවාගන්නට උත්සහ කළා. ඒකත් අසාර්ථක වුනා. ජයග්‍රාහි ලකුණ වාර්තා කරමින් අසිත ප්‍රනාන්දු ඉනිම අවසන් කරද්දී වෙලාව 5.30 ට කිට්ටුයි. 

aq photo 635339848091716130317_zps7olcilbi.png
@AAQEEEB

Sunday, December 9, 2018

හතරේ සීමාවෙන් එහා - Beyond The Boundary Line - 1

සාමාන්‍යයෙන් තරගයක් බලන්න අපි එක එක දේවල් උත්සහ කරලා බලනවා. ගෙදර රූප පෙට්ටියෙන්, බැට්රි දාපු පොඩි පොකට් රේඩියෝ එකෙන්, එතකොට පාරේ ඉදිද්දී බලන්න හිතුනොත් සිංගර්, අබාන්ස් වගේ ඉලෙක්ට්‍රොනික උපකරණ විකුණන තැන් වල විදුරු තීරයෙන් බෙදිලා වෙන්කරපු තැනක , තරගයේ සජීවී දර්ශන පෙනෙන විදිහට පිළිවලට තියලා තියන  රූප පෙට්ටි කිහිපයෙන් බලනවා. ඉස්සර නං ඔය වගේ තැනක දී ඉන්න ප්‍රේක්ෂක පිරිස සුළුපටු නෑ. ඔය හැම මොහොතක දී ම අපි ක්‍රිකට් තරගය බලන්නේ ඒ ඒ අවස්ථාවට ගැලපෙන අයුරින්. හැබැයි තරගයක් බලන්න අපි ක්‍රිකට් ක්‍රීඩාංගනයක ට ගියොත් එහේ සම්පුර්ණයෙන් වෙනස් වටපිටාවක් තමා තියෙන්නේ. අන්තර්ජාතික තරගයක් නං සෑහෙන්න සෙනගක් ඉන්නවා. හැබැයි දේශීය මට්ටමේ තරගයක් හෝ නිල නොවන තරගයක් බලන්න යද්දී එතන ඉන්න ප්‍රේක්ෂක පිරිස අඩුයි වගේම ඒ අය වෙනම ලෝකෙක ඉන්න කට්ටියක්.

ඒ වගේ තරගයක් බලද්දී අපිට හමුවෙන අය 

1). Always Focused පොර
මැච් එක බලද්දී, මිනිස්සු කෑගැහුවත් , ගහගත්තත්, ලෝකේ පෙරලුනත් මැච් එකෙන් එහාට ඇහැ අරන්යන්නේ නැති මැච් එකට සමවැදිලා වගේ ඉන්න පොරක් හැම ග්‍රවුන්ඩ් එකකම වගේ ඉන්නවා. මැච් එක ගැන විස්තර ඇහුවත් මුණ බලන්නේවත් නැතුව මැච් එක බලන ගමන් උත්තර දෙන මේ අයට සාමාන්‍යයෙන් පට්ට මෙමරියක් තියනවා.

Courtesy: evening standard
2) හැම දේටම බනින පට්ටම Negative පොර  
ලෑල්ල ඇල්ලුවත් වැරදි කියන, හයක් ගැහුවත් වැරදි කියන මේ වගේ අයත් ඉන්නවා. ඒ අය තරගයට අනුව පිතිකරුවා හෝ පන්දුයවන්නා ඒ ඒ අවස්ථා වලදී කරන්න ඕන දේවල් ගැන හැමෝටම කියනවා. අම්පයර් ටත් බැනලා තරගේ දින්නත් මේක මේ විදිහට ගහලා දින්නා නං ඊට වඩා දෙයක් කරන්න තිබ්බා වගේ ටෝකකුත් අන්තිමට දෙනවා. 


Courtesy: Rediff.com
3) පට්ටම පොසිටිව් පොර 
මෙන්න මේ පොර නං ක්‍රිකට් වලට කිසිම කරදරයක් කරන්නේ නැති එකෙක්. මැච් එක දිනන්න එක බෝලෙකින් ලකුණු 20ක් ගහන්න තිබ්බත් මේ අය බලාපොරොත්තු අත්හැර ගන්නේ නෑ. මැච් දිගින් දිගට පැරදුනත් කවදාහරි දිනයි කියලා මැච් බලන එක නතර කරන්නෙත් නෑ.


Courtesy: The Big Lead
4) ඉතිහාසඥයා 
හැම බෝලේටම, කැච් එකක් ගත්තත්, විකට් එකක් ගත්තත්, හයක් හතරක් ගහලා 0 ට අවුට් වෙලා ගියත් ඉස්සර වෙච්ච මේ වගේම සීන් එකක් සමාන කරන බුවෙක් හැම සෙට් එකකම ඉන්නවා. ක්‍රිකට් ගැන අනංමනං දේවල් හොයාගෙන කියවන හින්දා අනිත් අයට දන්නේ නැති දේවල් ගොඩක් දැනගන්නත් පුළුවන්. 
Courtesy: Getty Images
5) ජොලි ඩයල් එක
මැච් එක බලනවට වඩා අනිත් දේවල් බලන එක තමා මේ වගේ අය නිතරම කරන්නේ. ඛේත්තාරාමේ වගේ මැච් එක යද්දී එහා පැත්තේ ටීම් එකේ අයට හූ කියන එක, එතකොට පන්දු රකින්නෙක් ගේ මිස්ටේක් එකක් , බැටෙක් ගේ අවුලක් හොදට නෝට් කරගෙන හිනාවෙවී කියන එක මේ අයට පුරුදුයි. පර්සි අංකල් එහෙම මැච් එක බලන්න ආවම සෙල්ෆි ගහගෙන කොඩිය ඉල්ලගෙන වනලා පොඩි ආතල් එකක් දෙන්න මේ අය අමතක කරන්නේ නෑ. 

Courtesy: BBC News
6) බෙබා 
බොන්න බලාගෙනම මැච් බලන්න එන මේ අයට මැච් එක බැලුවද කියලවත් මීටර් වෙන්නේ නෑ. මැච් එක අස්සේ කොයිවෙලෙත් බියර් විකුණන හට් එක යට දකින්න පුළුවන්. බියර් වලට මරාගන්න අවස්ථාත් තියනවා.

Courtesy: ABC
7) Photogenic පොර 
මැච් එකට ගෙදර ඉඳන් එන වෙලාවේ ඉඳන් ගෙදරට ආයේ යනකන් ෆොටෝ ගන්න , සෙල්ෆි ගන්න මැරෙන්න හදන මේ වගේ ඩයල් එක වෙලාවකට ඇණයක්. මැච් එක ඉවරවුනාම ප්ලේයර්ස් ලා එක්කත් ෆොටෝ ගන්න හදන මේ අය සෝෂල් මිඩියා එකේ දාන්නේ නං ෆොටෝස් එකක් දෙකක් විතරයි. 
Courtesy: Times of India
aq photo 635339848091716130317_zps7olcilbi.png
@AAQEEEB

Wednesday, December 5, 2018

ගවස්කාර්, පැරදුණු ඔට්ටු

සුනිල් ගවස්කාර් , ඉන්දියාවේ මධ්‍යකාලීන ටෙස්ට් ක්‍රිකට් යුගයේ අනර්ඝතම පිතිකරුවා ලෙස සැලකිය හැකියි. මුල්පෙළ පිතිකරුවෙකු ලෙස මෙන්ම නායකයෙකු ලෙස ඉන්දීය ටෙස්ට් පිල විශිෂ්ට ජයග්‍රහණ රැසක් කරා ගෙන යාමට ඔහුට හැකිවිය. ගවස්කාර් ගේ ටෙස්ට් දිවිය ආරම්භ වූයේ 1971 වසරේ දී කොදෙව් දුපත් හි පැවති ටෙස්ට් තරගාවලියේ දී ය. 

Sunil Gavaskar - Courtesy: Getty Images
මෙම තරගාවලියේ දී ගවස්කාර් විසින් ලෝක වාර්තාවක් පිහිටුවමින් තම මංගල ටෙස්ට් තරගාවලියේ දී ම වැඩිම මුළු ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවා ලෙස ඉතිහාසයට එක්වීය. එම තරගාවලියේ පොර්ට් ඔෆ් ස්පේන් හි පැවති ටෙස්ට් තරගය අතරතුර මැදපෙළ පිතිකරු මොරිස් ෆොස්ටර් නොදැවී ලකුණු 99ක් රැස්කරමින් ස්ථාවර තත්ත්වයක සිටි අතර මංගල ටෙස්ට් ශතකය අභියස සිටියේ ය.එම මොහොතේ දී තර්ඩ් මෑන් කලාපයේ පන්දුරකිමින් සිටි සුනිල් ගවස්කාර් හට අපූරු යෝජනාවක් ගෙන ඒමට එක්තරා ට්‍රිනිඩැඩ් රසිකයෙක් ට හැකි විය. ෆොස්ටර් ශතකය රැස් නොකරනු ඇති බවත් ඔහු ලකුණු 99 දී ම දැවී යන බවට ඔට්ටුවක් අල්ලන බවත් ඒ වෙනුවෙන් ඔහු ට්‍රිනිඩැඩ් ඩොලර් 100ක් ගෙවීමට කැමැත්ත පල කළේ ය. එසේ රැස් නොකරන්නේ නම් ඔහුට ඩොලරයක් ගෙවිය යුතු බවට ගවස්කාර් හට පැවසී ය. ඉන් ස්වල්ප වේලාවකට පසු දකුණත් මඳ වේග පන්දු යවන්නා වූ අබිඩ් අලි ගේ පන්දුව කෙලින්ම කඩුල්ලේ දැවටී ෆොස්ටර් හට ලකුණු 99 දී පිටියෙන් ඉවත්වන්නට සිදු විය. විවේක කාලය අතරතුර ගවස්කාර් මෙම අරුම පුදුම ක්‍රිකට් රසිකයා හමුවන්නට ගොස් ඔහුට ඩොලරයක් ලබා දුන් අතර එහි සමරු අත්සනක් ද සටහන් කරන්නට අමතක කළේ නැත. 

Maurice Foster - Courtesy: Getty Images
ඉන් වසර කිහිපයකට පසු එනම් 1976 කොදෙව්-ඉන්දීය තරගාවලියේ දී නැවතත් මෙම ක්‍රිකට් රසිකයා ගවස්කාර් හමුවට පැමිණෙන්නේ තීරණාත්මක තරගයක් අතරතුර දී ය. පොර්ට් ඔෆ් ස්පේන් හි පැවති තෙවන ටෙස්ට් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 403ක ඉතාමත් අසීරු සහ වාර්තාගත ඉලක්කයක් ලබාදීමට කොදෙව් ක්‍රීඩකයින් හට හැකිවූහ. මෙම ඉලක්කය හඹා යෑමට පෙර මෙම ක්‍රිකට් රසිකයා නැවතත් පෙර පරිදිම ඔට්ටුවක් අල්ලන ලද්දේ මෙය ඉන්දීය කණ්ඩායම කෙසේ හෝ හඹා ගොස් ජයග්‍රහණය කරන බවට පවසමින්. එවරත් මෙම ක්‍රිකට් රසිකයා ඔට්ටුව ජයග්‍රහණය කරන අතර ඉන්දීය පිතිකරුවන්ගේ විශිෂ්ට පිතිකරණය හේතුකොටගෙන ඉන්දීය පිල ලෝක වාර්තාවක් පිහිටුවන ලදී.

aq photo 635339848091716130317_zps7olcilbi.png
@AAQEEEB

මුලාශ්‍ර:
The Sunil Gavaskar Omnibus

Tuesday, December 4, 2018

බිෂාන් බේඩි ගේ අප්‍රේල් විහිළුව

ඉන්දියාවේ සුප්‍රකට දඟ පන්දුයවන්නෙකු වූ බිෂාන් බේඩි ඉතාමත් මුරණ්ඩු ක්‍රීඩකයෙක් ලෙස කා අතරත් ප්‍රසිද්ධ යි. විනය පිලිබඳ ගැටළු හේතුවෙන් ඉන්දියානු ක්‍රිකට් පිලේ කළමනාකරුවන් සහ ඉන්දියානු ක්‍රිකට් ආයතනය ඉදිරියේ පිළිතුරු බඳින්නට බේඩි ට නිතරම ඔවුන් හමුවන්නට සිදුවිය. බේඩි එලෙස ගැටළු ඇතිකරගත්තත් ඕනෑම විහිළුවක් කිරීමට මෙන්ම ඕනෑම තරාතිරමකට අයත් පුද්ගලයෙකු  අමාරුවේ දමන්නට ද ඔහු හපන්කම් දැක්වූ අයෙක් වේ. 
Bishan Bedi - Courtesy: Getty Images
1976 ඉන්දියාවේ , කොදෙව් සංචාරය අතරතුර දෙවැනි ටෙස්ට් තරගයේ දී දෙපිලේම ක්‍රීඩකයින් අතර යම් විරසකයක් ඇති වූ සිද්ධි දාමයක් සිදු වූ අතර එයට ඉන්දියානු කණ්ඩායමේ හැසිරීම් ද බලපෑවේ ය. කෙසේ වෙතත් මෙම තරගය ජය පරාජයකින් තොරව අවසන් වීමෙන් අනතුරුව ඉන්දියානු පිල තෙවන ටෙස්ට් තරගය ට පෙර පැවැත්වෙන්නට නියමිතව තිබු ගයානා කණ්ඩායම අතර තරගය සඳහා ජෝර්ජ්ටවුන් වෙතට පැමිණි අතර අධික වර්ෂාව සහ තරගය පැවැත්වෙන්නට නියමිතව තිබු ක්‍රීඩාංගනය ජලයෙන් යටවීම හේතුවෙන් තරගය අත්හැර දමන්නට සිදුවිය. එම දින කිහිපය අතරතුර අප්‍රේල් පළමුවැනිදා ද ඔවුන්ට කිසිදු කාර්යයක් කිරීමට සිදු නොවන බැව් තේරුම්ගත් හෙයින් බිෂාන් බේඩි, එම දිනයේ උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට කිසියම් හෝ අයෙක්ට විහිළුවක් කළ යුතු බවට තීරණය කළ අතර එය ඔහුගේ කණ්ඩායමේ සඟයින් ද ඒකමතිකව කැමැත්ත දැක්වීය.

මේ සඳහා ප්‍රමුඛත්වය ගත් බිෂාන් බේඩි, කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ පොලී උම්රිගර් හට උදෑසනම දුරකථන ඇමතුමක් ගෙන පෙර පැවති ටෙස්ට් තරගයේ සිදුවීම් දාමය හේතුවෙන් ට්‍රිනිඩෑඩ් හි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නොසතුටට පත්ව ඇති බවත් ඔවුන් විසින් ගයානා හි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත රපෝර්තු කර ඇති බවත් වහාම කාර්යාලයට පැමිණෙන ලෙස ට අවවාදාත්මක ස්වරුපයෙන් දැනුම් දෙන ලදී. 
Polly Umrigar - Courtesy: midday.com
මෙයට කලබලයට පත් ඉන්දීය කළමනාකරු පොලී උම්රිගර් වහාම ක්‍රීඩකයින් රැස්ව සිටි කාමරයට පැමිණ ඔහු සතුව ගයානා හි මුදල් ඒකකයට අයත් මුදල් කිසිවක් නොමැති බවත් කාර්යාලයට යෑමේ ගැටළුවක් පැන නැගී ඇති බවත් ක්‍රීඩකයින්ට දැනුම් දුන්නේ ය. බිෂාන් බේඩි ඔහු ට කලබල නොවන ලෙසත් වහාම ගයානා මහා කොමසාරිස් කාර්යාලයට පිටත් ව යන ලෙසට පැවසුවේ සිනහව පාලනය කරමින්. 

පොලී උම්රිගර් වහාම නවසිලන්ත ක්‍රිකට් ආයතනය විසින් ඔහුගේ කණ්ඩායම පැසසුමට ලක්කරන ලද ලිපියක් ඇතුළුව තවත් ලියකිවිලි එක්රැස් කර කණ්ඩායමේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ බාලූ අලගනන් සමඟ ටැක්සියක නැගී මහ කොමසාරිස් කාර්යාලයට පිටත් ව ගියේ ය. කෙසේ වෙතත් මෙම ගමන්වාරය අතරතුර බාලූ විසින් සපථ කළේ මෙය නම් බේඩි ගේ විහිළුවක් විය යුතුමය යන්නයි. මෙය 100% තහවුරු වූයේ ඔවුන් මහ කොමසාරිස් කාර්යාලයට පියනැගීමෙන් අනතුරුව යි.

aq photo 635339848091716130317_zps7olcilbi.png
@AAQEEEB

මුලාශ්‍ර:
The Sunil Gavaskar Omnibus

Sunday, December 2, 2018

අමරනාත් බේරුණු හැටි

ඉන්දියාවෙන් බිහිවූ දක්ෂ තුන්ඉරියව් ක්‍රීඩකයෙක් වූ මොහින්දර් අමරනාත් 1983 ලෝක කුසලාන අවසන් තරගයේ තරගයේ වීරයා ලෙස සම්මාන ලබාගත් ක්‍රීඩකයා ය. අමරනාත් දක්ෂ පිතිකරුවෙකු වූවද ක්‍රිකට් ඉතිහාසයේ ඔහු සැලකෙන්නේ ක්‍රිකට් නීති පොතේ සඳහන් දැවී යාම් ක්‍රම වැඩිම ප්‍රමාණයකට සම්මාදම් වී පිටියෙන් ඉවත්වන්නට සිදුවූ අයෙක් ලෙසයි. කඩුල්ලේ වැදී, කඩුල්ල මුවා කර, උඩ පන්දුවක් රැකගැනීම වැනි නිතරම සිදුවන අවස්ථාවන් වලට අමතරව ඉතාමත් දුර්ලභ අවස්ථාවන් වන පන්දුව අතින් ඇල්ලීම, පන්දුරකින්නාට බාධා එල්ලකිරීම වැනි සිදුවීම් වලට ද ඔහු හසු වී ඇත. 

Mohinder Amaranath - Courtesy: Twitter
ක්‍රිකට් හි දැවී යාම් සැලකීමේ දී එහි ඇති තවත් අපූරු දැවී යාම් ක්‍රමයක් ලෙස "පිටියට නියමිත වෙලාව ට නොපැමිණීම" සැලකිය හැකියි. 1976 වසරේ දී කොදෙව් දුපත් හි පැවති ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් දුපත් අතර ටෙස්ට් තරගාවලියේ පොර්ට් ඔෆ් ස්පේන් හි පැවති දෙවන ටෙස්ට් තරගය අතරතුර මොහින්දර් අමරනාත් මෙම දැවී යාම් ක්‍රමයට හසුවන්නට නියමිතව තිබුනත් එවකට කොදෙව් නායක ක්ලයිව් ලොයිඩ් විනිසුරු ගෙන් එලෙස ඉල්ලීමක් නොකළ බැවින් ඔහු එලෙස දැවී යාමෙන් වැළකෙන්නට වාසනාව උදාකරගත් බවට කියැවේ. 

Clive Lloyd - Courtesy: Pinterest
ආරම්භක පිතිකරුවන් ඉතාමත් හොඳින් පිතිකරණයේ යෙදෙනු ඇතැයි උපකල්පනය කළ අමරනාත් පා ආවරණ ද පැළඳීමේන් වැළකි සිටි ඇති නමුත් පන්දු කිහිපයකින් පසු ඇන්ඩි රොබර්ට්ස් ගේ පන්දුවට කඩුලු රකින්නා වෙත උඩපන්දුවක් ලබාදුන් දිලිප් වෙන්සාකර් හට පිටියෙන් ඉවත්වන්නට සිදුවුයේ ය. ඒ අනුව කලබලයට පත් අමරනාත් හට ක්‍රිකට් නීති රීති අනුව නියමිත කාල සීමාව තුල පිටියට පැමිණීමට නොහැකි වී ඇත. 

aq photo 635339848091716130317_zps7olcilbi.png
@AAQEEEB