Sunday, March 29, 2015

20යි 20 තරඟ ආකෘතියට හඳුන්වා දුන් MMI3 පිත්ත

ලෙවිස් කේජ් අතැති MMI3 හැඩති පිත්ත 1768 
වසරේදී ෆ්‍රැන්සිස් කෝට්ස් ගේ සිත්තමක් ඇසුරෙන්.



20යි 20 තරඟ ආකෘතිය හඳුන්වා දීමෙන් පසු ක්‍රීඩාවේ නීතිරීති, උපකරණ පවා වෙනස් කිරීමට සංවිධායකයින්ට සිදුවුනා. ඒ අනුව ක්‍රීඩාවේ වේගවත් බව රඳවා ගැනීමට MMI3 යන නමින් මොන්ගුස් යන අනුග්‍රාහක සහ නිෂ්පාදක නාමය යටතේ දිගු මිටක් සහ කෙටි මුහුණතක් සහිත පිත්තක් 2009 වසරේදී හඳුන්වා දුන්නා. 1700 අග භාගයෙන් පසු ක්‍රිකට් ක්‍රීඩාවේ මූලිකම උපකරණයක් වන ක්‍රිකට් පිත්තෙහි සිදුවූ විශාලතම වෙනස්කම මෙයයි.



MMI3 Mongoose පිත්ත 
පිත්තේ මූලිකම අංගයන් වන මිට සාමන්‍යය පිත්තට වඩා සියයට හතලිස්තුනක් වැඩිවීමත් පිත්තේ මුහුණත සියයට තිස්තුනක් කෙටි වීමත් මෙහි විශේෂත්වයයි. 2010 වසරේ මාර්තු 11 වනදා මෙය IPL තරඟාවලියට සමගාමිව ඕස්ට්‍රේලියාවේ මැතිව් හේඩන් සන්නාම තානාපති කරමින් ඉන්දියාව තුල ව්‍යාප්ත කළා. මෙම පිත්ත කොතරම් ජනප්‍රිය වුවාද යත් එම වසරේ IPL තරඟාවලිය තුල මැතිව් හේඩන් ඇතුළු ක්‍රීඩකයින් කිහිපදෙනෙක් තරගයන් අතරතුර මෙම පිත්ත අත්හදා බලමින් එහි සාර්ථකත්වය පිලිබඳ සහතිකයක් ලබා දුන්නා. 


Matthew Hayden fashioned an equally belligerent response, utilizing the much-hyped Mongoose bat's supposed extra power as he zipped to 93 from just 43 deliveries, with nine fours and seven sixes. (Indian Premier League, 2009-10) - විස්ඩන් 


මැතිව් හේඩන් MMI3 පිත්ත සමඟ 



මේ අනුව 2010 වසරේ මැද භාගයේදී වොර්සෙස්ටර්ශයර් පිලේ ගරෙත් ඇන්ඩෲ මෙම පිත්ත භාවිතා කරමින් සරේ පිලට එරෙහිව මුල්ම ශතකය ලබාගත්තේ පන්දු 58ක් වැයකරමින්. මෙම පිත්ත මුල්ම වරට භාවිතා කලේ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටුවර්ට් ලෝ විසිනි.






Swiss cheese bat
මෙම පිත්ත නිර්මාණය කිරීමට MCC අවසරය ලැබීමට පෙර විවිධ නිර්මාණ කිහිපයක්ම 20යි 20 තරග සඳහා නිෂ්පාදකයින් හදුන්වා දුන්නා. එයින් වඩාත් විශේෂත්වයක් ගත් එකක් වුනේ පිත්තේ මුහුණතේ කුඩා කුහර සහිත පිත්තයි. එය වායුගතික වේගයෙන් පන්දුවට පහරදීමේ අරමුණු සහිතව නිපදවූ නිසා නිෂ්පාදකයින් එය හදුන්වා දුන්නේ "Swiss cheese bat" යන නමින්. කෙසේවෙතත් මෙය MCC ය බලාපොරොත්තු නොවූ එකක් සහ සුළු අඩුපාඩුකම් නිසා එයට අවසරය නොලැබිණි.

28/03/2015


Sunday, March 22, 2015

ප්‍රංශ විප්ලවය, ඔලිම්පික් සහ ක්‍රිකට්



ක්‍රිකට් ක්‍රීඩාවේ උපත පිලිබඳ විවිධ මතයන් තිබෙනවා, බහුතරයක් විශ්වාස කරන්නේ ක්‍රිකට් එංගලන්තයේ දී උපත ලබා පසුව එය ධනපති පංතියට පමණක් සීමාවූවක් ය යන්නයි. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ උපත ප්‍රංශයෙන් බවද සමහර මුලාශ්‍ර සදහන් කරනවා. "criquet" යන වදනින් "cricket" යන නම සෑදී ඇති බවත් ප්‍රංශයේ රැකියාවන් හි නිරතව සිටි එංගලන්ත වාසින් ඔවුන්ගේ රටට එය හදුන්වා දී ඇති බවත් සදහන් කරනවා. එමෙන්ම ඉහත වචනයේ අර්ථය වන 'කඩුල්ල' ත් මෙම මතය ප්‍රබල ලෙස සමාජගත කර ඇත.

1789 වසරේදී එංගලන්තයේ ක්‍රිකට් නීති සම්පාදනය කරන MCC යෙන් කණ්ඩායමක් ප්‍රංශයට පැමිණෙන්නට තීරණය කරන්නේ එංගලන්තයෙන් එපිටට ක්‍රිකට් ක්‍රීඩාව යන මුල්ම අවස්තාව ලෙස වාර්තාගත වීමේ බලාපොරොත්තුවෙන්. ඒත් එවකට ප්‍රංශයේ පාලකයා ලෙස කටයුතු කල 16 වන ලුවී රජුට එරෙහිව ඔහුගේ යටත් වැසියන් සිදුකල විප්ලවයේ මුල්ම අදියර එම වසර වූ බැවින් MCC ය එම සංචාරය අවලංගු කිරීමට තීරණය කළා.

වසර 200 කට පසු එනම් 1989 දී MCC ය ප්‍රංශය සමග නැවතත් තරග වැදීමට තීරණය කළා, ඒවනවිට ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රංශයේ අප්‍රකට ක්‍රීඩාවක් වූ අතර තරගය එක්දිනකට පමණක් සීමා කළා.

ප්‍රංශයේ වඩාත් ප්‍රචලිත වූ අනෙක් ක්‍රිකට් තරගය පැවැත්වුනේ 1900 දීය. විශේෂත්වය වන්නේ එය ඔලිම්පික් තරගයක් වීමයි. ඔලිම්පික් තරගාවලියට ක්‍රිකට් එක්වූ මුල්ම අවස්තාව සහ එකම අවස්තාව එය වූ අතර ප්‍රංශයට රිදී පදක්කම හිමිවුණා

මුලින්ම ක්‍රිකට් ඔලිම්පික් වලට ඇතුලත් විය යුතුයි කියන මතය ආවේ 1896දි, එත් අඩු ප්‍රේක්ෂක අවධානයක් ඇතිවේ යන බිය නිසා එම තරගය පැවැත්වීමේ තීරණය යටපත් වුනා, 1900දි ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් රටවල් හතරක් ඉදිරිපත් වුනා , ඒ ඉහත සදහන් කල රටවල් දෙක, බෙල්ජියම සහ නෙදර්ලන්තයයි. එහෙත් යම් යම් හේතු කාරණා මත බෙල්ජියම සහ නෙදර්ලන්ත පිල තරගාවලියෙන් ඉවත්වූ නිසා තරඟ කලේ මුල් රටවල් දෙක පමණයි.

පදක්කම් සහ සමරු ඵලක 
බ්‍රිතාන්‍යය කණ්ඩායම ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් නොවුනත් සමර්සෙට් ප්‍රාන්තයේ කණ්ඩායම් සහ වෙනත් ප්‍රාන්ත කිහිපයක් කණ්ඩායමක ඒකාබද්ද කණ්ඩායමක් විය. දවස් දෙකක ටෙස්ට් තරගයක් වුන මෙය පැවැත්වුනේ ප්‍රංශයේ Velodrome de Vincennes කියන 20000ක ප්‍රේක්ෂක අසුන් ඇති බයිසිකල් තරග පැවැත්වෙන පිටියක් තුල. මෙම තරගය පටන් ගත්තේ අගෝස්තු 19 වෙනිදා එනම් ඉරිදා දිනයක. කණ්ඩායම් දෙකේම නායකයන් එම තරගය එක පිලකට 12 බැගින් ක්‍රීඩාකල යුතුයි කියන මතයට පැමිනිය අතර, ප්‍රංශ කණ්ඩායම් සංයුතියේ බහුතරයක් බ්‍රිතාන්‍ය ක්‍රීඩකයින් වීම තවත් විශේෂත්වයක් වුනා. තරගාවලියේ එකම ක්‍රිකට් තරගය ලෙස බ්‍රිතාන්‍යය කණ්ඩායම ප්‍රංශ කණ්ඩායමට එරෙහිව ලකුණු 117ක් රැස් කරමින් ස්ථාවර ඉලක්කයක් ප්‍රංශ කණ්ඩායම වෙත පිරිනැමුවා. වැඩිම ලකුණු ෆ්‍රෙඩ්රික් කමින්ග් ගේ 38 ද අවශ්‍යම මොහොතේ බෙක්ක්රෝෆ්ට් විසින් රැස් කල ලකුණු 23ත් කැපී පෙනුනා. 

Velodrome de Vincennes
පිළිතුරු ඉනිම ඇරඹු ප්‍රංශ පිලට රැස්කරගැනීමට හැකිවුණේ ලකුණු 78 ක් පමණයි. දෙවැනි ඉනිම වෙනුවෙන් නැවතත් පිටියට ආපු බ්‍රිතාන්‍යය පිල කඩුලු 5ට ලකුණු 145ක් රැස් කර ප්‍රංශ පිල වෙනුවෙන් ලකුණු 185ක ඉලක්කයක් හඹා යාම සදහා අවස්ථාව ලබාදුන්නා. බ්‍රිතාන්‍ය පිල වෙනුවෙන් බෙක්ක්රෝෆ්ට් සහ අල්ෆ්රෙඩ් බවර්මන් අර්ධශතක වාර්තා කළා. ප්‍රබල බ්‍රිතාන්‍ය පිලට එරෙහිව සාර්ථකවීමට නොහැකිවුණු ප්‍රංශ පිල දෙවන ඉනිමේ ක්‍රීඩකයින් සියල්ලන්ම දැවී යනවිට රැස්කරගෙන තිබුනේ ලකුණු 26ක් පමණයි.  මොන්ටේග් ටෝලර් කියන පන්දුයවන්නා ලකුණු 9 කට කඩුලු 7ක් ලබාගත්තා.

#DON 

Monday, March 16, 2015

ක්‍රිකට් ක්‍රීඩාවට නම ඉතිරි කරපු කට්ටිය.




තෝමස් ලෝඩ් - යෝර්ක්ෂයර් වැසියෙක් වන තෝමස් ලෝඩ් පළමුපෙළ ක්‍රීඩකයෙක් වශයෙන් අත්දැකීම් ඇත්තෙකි. 1787 දී තමන්ගේ පවුලේ ආර්ථික දුෂ්කරතාවය මගහරින්නට ඉඩමක් මිලදීගත් තෝමස් ලෝඩ්  එහි ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ඇතුල් වීමට මුදලක් අය කරගෙන 1829දි පමණ මේ ඉඩම විකුණුවේ තමන්ගේ නම විතරක් එහි රදවා ගෙන. දැන් ක්‍රිකට් ගහන ලෝඩ්ස් පිටිය හැදුනේ මෙන්න මේ විදීහට.





වකාර් යුනිස් - පකිස්තානු ඉතිහාසයේ බිහිවූ හොදම වේගපන්දුයවන්නන් දෙදෙනාගෙන් එක්කෙනෙක්. වකාර් පන්දු යවන කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රියාපදයක් එක්කරන්න සමත්වුනා. පිතිකරුවන් මෙල්ල කරගෙන සිටි වකාර් ප්‍රධාන වශයෙන් භාවිතා කලේ රිවර්ස් swing එක සහ යෝර්කරයයි. ඔහුගේ යෝර්කරයට කිව්වේ වකාර්ඩ් "Waqared" කියලා.





KD සිං “බාබු” - ඉන්දියාවේ සමහර ක්‍රිකට් ක්‍රීඩාංගනවල ප්‍රේක්ෂකාගාර හෝ එක් එක් අන්තයන් සදහා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නම් වෙනුවට වෙනත් නම් ඇති අවස්ථා තියනවා. 93/94 ශ්‍රී ලංකාව සමග පවත්වපු එක් ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගනයක් නම් කරලා තියෙන්නේ 1948 ඉන්දියාවේ හිටපු හොකි ඔලිම්පික් ශූරතා කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වූ KD සිං බාබු නමින්.





පෙල්හම් 'ප්ලම්' වෝනර් - ඉතාමත් සුප්‍රසිද්ධ ක්‍රිකට් නායකයෙක් මෙන්ම ක්‍රිකට් කණ්ඩායම් කලමානක්රුවෙක්. 1932/33 බොඩිලයින් තරගාවලියේ එංගලන්ත කලමානකරු ලෙස කටයුතු කල පෙල්හම් වෝනර් the cricketer කියන සඟරාවේ ආරම්භකයා ලෙස ප්‍රසිද්ධියට පත්වුනා. ඔහුගේ නමින් ලෝඩ්ස් පිටියේ එක ප්‍රේක්ශාකාරයක් ද නම් කරලා තියනවා.




කර්නල් ගඩාෆි - ලිබියාවේ හිටපු ජනපති මියගිය කර්නල් ගඩාෆි ගේ නමත් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී තිබෙනවා. ඒ පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩාංගනයක නමක් විදිහට. 1974 වෙනකන් එය ලාහෝර් ස්ටේඩියම් ලෙස හදිවුවත් එම වර්ෂයේ ගඩාෆි විසින් පකිස්තානයට න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට අයිතිවාසිකමක් ඇති බව පැවසීම නිසා ඊට ගෞරවයක් වශයෙනුයි එම නම තිබ්බේ. කොහොමත් මේ ක්‍රීඩාන්ගනය ලංකාවට අමතක වෙන්නේ නෑ. 1996 ලෝක කුසලාන අවසන් තරගය පැවැත්වුනේ මෙහිදී.




බර්නාඩ් බෝසන්කට් - ගුග්ලි කියන පන්දු යැවීමේ ක්‍රමය හදුන්වා දුන්නේ මොහුයි. බර්නාඩ් මුලින්ම යවපු ඒ පන්දුවට එංගලන්ත වැසියන් ඒ දවස්වල කිව්වේ බෝසේ "bosey" කියලා. ඕස්ට්‍රේලියානුවන් කිව්වේ wrong'un කියලා. වර්තමානය වන විට ගුග්ලි පන්දුව දඟපන්දුයවන්නෙක් ගේ පන්දු යැවීමේ විවිධ ක්‍රමෝපායන් අතරින් එකකි. 





තිලකරත්න ඩිල්ශාන් - පන්දුව හිසට ඉහලින් පහර දීමේ ක්‍රමය හදුන්වා දුන්නේ අපේ සුපිරි ආරම්භක පිතිකරු තිලකරත්න දිල්ශාන් මේ සදහා විවිද නම් සහ පහරදීමේ ඉරියව් කිහිපයක්ම ඉදිරියට ආවත් සම්මත වුනේ ඩිල්ස්කුප් කියන නමයි. මේ ඩිල්ස්කුප් කියන පහරේ ඉතිහාසය වසර 100 යකට එහා වුවත්, මෙය නැවත කරලියට එන්නේ 2002 දී සිම්බාබ්වේ පිතිකරු ඩග්ලස් මරලියර් විසින් හිසට ඉහලින් නොවුවත් පැඩ්ල් ස්කුප් පහරට සමාන පහරක් වන අයුරින් එල්ල කරමින්. 




එලිස් 'පුස්' අචෝන් - වමත් පා දඟ පන්දු යවන්නෙක් මතකයට නැගේ නම් ඔහුගේ පන්දු යැවීමේ විලාසයට කියන්නේ චයිනමන් පන්දුයවන්නෙක් හෙවත් left arm unorthodox පන්දුයවන්නෙක් යනුවෙන්. මේ පන්දු යැවීමේ ක්‍රමයේ ඉතිහාසය ඉතාමත් පැරණි වුවත් චයිනමන් යන නාමය පටබැදෙන්නේ කොදෙව් ක්‍රීඩක චීන සම්භවයක් තිබු එලිස් අචෝන් යන ක්‍රීඩකයා නිසා. මේ අයිරින් පන්දු යවන ක්‍රීඩකයින් ක්‍රිකට් ඉතිහාසයේ සදහන් වෙන්නේ ඉතාමත් සුළුතරයක්. ඕස්ට්‍රේලියාවේ බ්‍රැඩ් හොග් සහ ශ්‍රී ලංකා පළමුපෙළ ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් මීට උදාහරණයන් වේ. 


Sunday, March 15, 2015

මියන්ඩාඩ් ගේ 6



“ඉන්දියානු ක්‍රීඩකයින් එක් වෙමින් කතාබහ කරන්නේ විශාල දෙයක් කිරීම සඳහායි. තරගාවලියේ සියල්ලම තීරණය වෙන්නේ මෙම අවසන් පන්දුව සහ අපට ලබාගත යුතුව තිබු ලකුණු 4 මගින්. මම මට හැඟෙන ක්‍රමයක එලඹීයෙමි. මම දැනගත්තා ශර්මා (චේතන් ශර්මා) යෝර්කරයකින් මගේ පාද ආක්‍රමණයකට සුදානම් වන බව. එබැවින් මම පිතිකරණ සීමාවට එපිටින් ගොස් යම් පරතරයක් තබාගත්තෙමි. මගේ උපක්‍රමය පිටුපසට ගොස් මගේ උපරිම ශක්තිය යෙදවීමයි” 

මේ සුපිරි පකිස්තානු ක්‍රීඩක ජාවෙඩ් මියන්ඩාඩ් ගේ අදහස්, උපුටා ගත්තේ ඔහු ලිවූ My Autobiography (2003) පොතෙනි. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම කතාබහට ලක්වූ එක්දින තරගයක අවසන් මොහොතේ ජාවෙඩ් ට හැඟුනේ එඅයුරින්. ජාවෙඩ් මියන්ඩාඩ් යනු පකිස්තානයෙන් බිහිවූ විශිෂ්ට ගණයේ ප්‍රහාරාත්මක පිතිකරුවෙක්. ක්‍රිකට් ක්‍රීඩාවේ අමතක නොවන ගැටුම් කිහිපයකටම මුල්වූ ක්‍රීඩකයෙක් ලෙස ප්‍රසිද්ධියට පත් මියන්ඩාඩ් ඔහු නියෝජනය කල පකිස්තාන පිලට ලෝක කුසලානය ලබා දිනාදීමට ලබාදුන් සහය අතිවිශාලයි. 

ඉන්දියාව සහ පකිස්තානය එක්වෙන ඕනෑම තරගයක් ප්‍රේක්ෂකයින් අමානන්දයට පත්කරවන අවස්තාවක් බව ඕනෑම ක්‍රිකට්  නරඹන්නෙක් දන්නා කරුණක්. ඒ අනුව 1986 අප්‍රේල් මස 18 වැනිදා පැවැත්වූ ඔස්ට්‍රල් ඒසියා අවසන් තරගයට මෙම කණ්ඩායම් දෙකම තේරුනේ ඔවුන් තරගාවලිය තුල පෙන්වූ සුපිරි දක්ෂතා නිසා. එම තරගාවලිය සදහා තරග කල ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව යන සියල්ලන්ම ඉවත්ව ගිය මොහොතක මෙම දෙරට අතර පවත්වන තරගය සදහා ප්‍රේක්ෂකයින් සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයට එක්වුණා. 
මුලින්ම පන්දුවට පහරදෙන්නට පිටියට පැමිණි ඉන්දියානු පිලේ මුල් කඩුල්ල බිඳ දමාගන්නට ලකුණු 117 ක් ලබාදීමට පකිස්තානුවන්ට සිදුවුනා. ක්‍රිෂ්ණමාචාරි ශ්‍රීකාන්ත් පිටියෙන් ඉවත්වනවිට ලකුණු 75ක් ලබාගෙන ස්ථාවර ව සිටියා. අනෙක් අන්තයේ පන්දුවට පහරදෙමින් සිටි සුනිල් ගවස්කාර් සමග එක්වූ දිලිප් වෙන්සාකර් ඉන්දියානු පිල ලකුණු 216 තෙක් රැගෙන ගිය අතරවාරයේ වෙන්සාකර් දැවී ගියේ යොවුන් ක්‍රීඩක වසීම් අක්රම් ගේ පන්දුව කෙලින්ම විකට්ටුවේ වැදෙමින්. සුපිරි ඉනිමක් ක්‍රියාත්මක කල ගවස්කාර් ට ශතකය අහිමි වුනේ ලකුණු 8න් ඔහුව 92 කට දවාගන්නට නායක ඉම්රාන් ඛාන් සමත්වුනා. වෙන්සාකර් ගේ ඉවත්වීමෙන් පසුව ඉන්දියානුවන්ට රැස්කරගැනීමට හැකිවුණේ ලකුණු 29ක් පමණයි, ඒ සදහා ඔවුන්ට කඩුලු 5ක් ලබාදීමට සිදුවුනා. ඒ අනුව ඉන්දියාව පන්දුවාර 50 අවසානයේ ලකුණු 245ක් රැස්කරමින් ආරක්‍ෂිත ලකුණු ප්‍රමාණයකට පැමිණියා. වසීම් අක්රම් කඩුලු තුනකුත්, ඉම්රාන් ඛාන් කඩුලු 2කුත් දවගත්තා. 

චේතන් ශර්මා 
ලකුණු 246ක් සහ ශූරතා කුසලානය සදහා පිටියට පැමිණි පකිස්තානුවන් ගේ මුල් කඩුල්ල ලකුණු 9 දී චේතාන් ශර්මා ගේ පන්දුවට ලබාදීමට මුදස්සර් නසාර් ට සිදුවුනා. ඊළඟ කඩුල්ල මනින්ඩර් සිං ලබාගත් අතර එවර දැවී ගියේ රමීස් රාජා. තුන්වන කඩුල්ල සදහා පිටියට පැමිණි ජාවෙඩ් මියන්ඩාඩ් පිටියේ සිටි මොහ්සින් ඛාන් සමග එක්වුණා. තුන්වන කඩුල්ලත් ඉක්මනින්ම ලබාගැනීමට ඉන්දියානුවන් සමත්වුනා. මොහ්සින් ඛාන් ඉවත්වනවිට පකිස්තානුවන් රැස්කරගෙන සිටියේ ලකුණු 61ක් පමණයි. සලීම් මලික් සහ අබ්දුල් කදීර් සමග ලකුණු සම්බන්ධතා පවත්වමින් ජාවෙඩ් පකිතානුවන් ඉන්දියානු ඉලක්කය අසලට රැගෙන ගියේ විශිෂ්ට ශතකයක් ද රැස්කරමින්. ලකුණු 241 දී එනම් අවසන් පන්දුවාරයේදී කඩුලු රකින පිතිකරු සුල්කර්නයින් පිටියෙන් ඉවත්වනවිට පකිස්තානුවන්ට ඉතිරිව තිබුනේ එකම එක කඩුල්ලක් පමණයි. 
අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවට පෙර පන්දුවේදී චේතාන් ශර්මාට මුහුණ දෙන්නට සිදුවුනේ වේග පන්දුයවන තවුසීෆ් අහමඩ් හට පකිස්තානු ප්‍රේක්ෂකයින් ට ඔහු දැවී යාදෝ නොවෙදෝ යන කුතුහලයට පිළිතුරු දෙමින් ඔහු එක ලකුණක් ලබාගන්නේ තරගය තවමත් අවසන් වී නොමැති බව පවසමින්.

“එය අනිවාර්යයෙන්ම ස්ලොග් පහරක් විය යුතුයි. මම ඒ වනවිට පන්දු 113න් ලකුණු 110ක් ලබාගෙන ස්ථාවර ව සිටියේ පන්දුව ද හොදින්ම පෙනෙමින් සිටි මොහොතකදී. පන්දුව කෙලින්ම පිටතට වැටුනොත් එය හතරේ සීමාවට යන බව මට පැහැදිලි විශ්වාසයක් තිබුනා.මම නැවතත් පිටිය වටා සෑම අන්තයකම බැලුවෙමි, සියලුම පන්දුරකින්නන් දෙස බැලුවෙමි, සියල්ලන්ම ගණන් කලෙමි. නැවත නැවතත් එයම කලේ මගේ ආත්ම විශ්වාසය ගොඩ නැගීම සදහා. මම තරමක් වෙලාව ගෙන දෙවියන් සිහි කලෙමි”

“සියල්ලම සුදානම් , අවසන් පන්දුව යැවීමට චේතාන් ශර්මා ලෑස්තියි, චේතාන් ශර්මා විනිසුරු පසුකරමින් මා සිතු අයුරින්ම යෝකරයක් එල්ල කලත් එය ඔහුගේ අතින් ගිලිහුනේ වැරදි අයුරකින් හෝ එය මා සුදානම් වූ පරිදි පන්දුවට පහරදෙන සීමාවට ඉදිරියෙන් සිටීමේ නිසාදෝ පන්දුව කෙලින්ම මගේ පිත්තට වැටුනේ ෆුල්ටෝස් පන්දුවක් ලෙසින්. මට කරන්නට සිදුවුනේ එය ප්‍රේක්ෂකාගාරය දෙසට යැවීමට පමණයි. අවසානයේදී අපි ජයගත්තා, තවුසීෆ් (තවුසීෆ් අහමඩ්) ද ජයගත්තා, මමත් ජයග්‍රහණය කළා. එය මගේ ජිවිතයේ අමතක නොවන තරගයක්”




Saturday, March 14, 2015

ආර්චි ට බ්‍රැඩ්මන් කෙනෙකු වීමට නොහැකි වුනේ ඇයි ???


බ්‍රැඩ්මන් ඕස්ට්‍රේලියානු පිලට ඇතුළත්වූ මුල්ම යුගයේදී ඔහු නියෝජනය කල ප්‍රාන්තය වූ නිව් සවුත් වේල්ස් පිලෙන් තවත් යොවුන් ක්‍රීඩකයෙක් ඕස්ට්‍රේලියානු ජාතික පිලට පැමිණියා. ඔහුගේ ක්‍රිකට් දිවිය දිගු වුනා නම් අද වනවිට ක්‍රිකට් වාර්තා පොත් අතර ඔහුද ඉහලම ස්ථානයක රැඳී සිටින්නට ඉඩ තිබුනා. නමින් ආර්චි ජැක්සන් වූ ඔහු වයසින් බ්‍රැඩ්මන් ට වඩා වසරකින් ලාබාල වුවත් ඕස්ට්‍රේලියානු පිලට පැමිණීමට මුලින්ම හැකිවුණේ ආර්චිටයි.
ආර්චි ගේ පළමුපෙළ ආරම්භය අර්ධ ශතකයින්ද ඉන් පසුව ශතකයින්ද වර්ණවත් වූ අතර එවිට ඔහුගේ වයස 17ක් පමණක් වුනා. නිව් සවුත් වේල්ස් පිලට ක්‍රීඩා කිරීමෙන් මාස 11 කට පසු එනම් 1928/29 වසර තුල ඔහුට එංගලන්ත පිල සමග ක්‍රීඩා කිරීමට සිදුවුනේ ඕස්ට්‍රේලියානු වර්ණ ඇතිවයි. එම තරගාවලියේදී ලකුණු 468ක් රැස්කරන ආර්චි ගේ පිතිකරණ සාමන්‍යය වුනේ 66.85 යි. එම තරගාවලියේදී ඔහුට දෙවන ටෙස්ට් තරගය අහිමිවුණේ කණ්ඩායමට ඇතුලත් නොකිරීම නිසාවෙනුයි.
සිවුවන ටෙස්ට් තරගෙදි ඔහුව ඇතුලත් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලකයින්ට සිදුවුනේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ දැඩි උවමනාව සහ ඉල්ලීම නිසා. ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ලෙස එම තරගයට පැමිණි ආර්චි ට එක අන්තයක සිටියදී අනෙක් අන්තයෙන් කඩුලු තුනක්ම බිඳ වැටුනේ ලකුණු 19ක් පමණක් රැස්කරගෙන තිබියදී. එහෙත් සාර්ථක ජෙය්ෂ්ට ක්‍රීඩකයෙක් ගේ භූමිකාවක් පෙන්නුම් කල ආර්චි විශිෂ්ට ලකුණු 164ක් රැස්කරන්නේ එංගලන්ත වේග පන්දු යවන්නන් වූ ලාවුඩ් සහ මොරිස් ටෙට් ව විමතියට පත්කරමින්. ආර්චි ගේ ක්‍රිකට් දිවිය තුල ටෙස්ට් තරග 8ක් ඇතුලත්ව තිබු අතර ඔහුගේ 9 වන ටෙස්ට් තරගය ක්‍රිකට් ඉතිහාසයේ වඩාත් කතාබහට ලක්වූ 1932/33 බොඩිලයින් තරගාවලිය වීමට බොහෝදුරට ඉඩ තිබුනා.           


1930 වසරේදී එංගලන්ත සංචාරයට නික්මෙද්දී සිඩ්නි මොර්නින්ග් හෙරාල්ඩ් පුවත්පත ඔහු එම කාලයේ දක්ෂතම පිතිකරුවා ලෙස ප්‍රචාරය කළා. බ්‍රැඩ්මන් ද කණ්ඩායමේ සිටිය බැවින් සියල්ලන්ගේම දෑස් යොමුවුණේ මෙම පිතිකරුවන් දෙපල වෙතයි. ආර්චි ගේ ක්‍රිකට් දිවිය වඩාත් වර්ණවත් කාල සමයක පවතිද්දී ඔහු රෝගයකින් පෙළෙන්නට වුනා. නමුත් එවැන්නක් තිබියදීත් එය නොසලකා හරිමින් ඔහු දක්ෂතා අතර නිතරම රැඳී සිටියා. 
ආර්චි හොදින්ම ක්‍රීඩා කරමින් සිටියදී ඔහුව අපහසුතාවයට පත්කරමින් ඔහු තවතවත් රෝගාතුර වන්නට වුනා. 1931 වසරේදී කොදෙව්වන්ට එරහිව පවතී ටෙස්ට් තරගාවලියේදී අසාර්ථක වූ බැවින් කණ්ඩායමෙන් එලියට විසිවී ගියා. 1931/32 දී නිව් සවුත් වේල්ස් පිලේ මුල්ම තරගයට එක්කරගත් අතර වර්ෂාවකට හසුවීමෙන් අසාධ්‍ය වූ ආර්චි කැස්සක් සමග රුධිරය පිටවෙමින් හෝටල් කාමරය තුල ඇදවැටුන නිසා ඉක්මනින් රෝහල්ගත කිරීමට බලධාරීන් සමත්වුනා. එය එතරම් සැලකියයුතු මට්ටමේ දෙයක් නොවන නිසා රෝහලෙන් පිටත්වීමට ආර්චිට හැකිවුනා.
1932 දී ඔහු කුවින්ස්ලන්ඩ් දෙසට ගියේ ඔහුගේ රෝගයට උණුසුම් දේශගුණය වඩාත් සුදුසු බව විශ්වාස කල නිසයි. එහිදීම ඔහුට පුහුණුකාර ධුරයක් ලබාගැනීමට හැකිවුනා. තරුණ වයසේදීම එවැන්නක් ලැබීම තරමක් පුදුමයට කරුණක් වුවත් ඔහුගේ හැකියාවට අනුව එය වඩාත් සුදුසු වුනා. ක්‍රිකට් ක්‍රීඩා කිරීම අත්නොහරින ලද ආර්චි බ්‍රිස්බේන් හි නොර්ත්ර්න් සබ්‍ර්බ්ස් පිලට ක්‍රීඩා කල අතර එහිදී සුපිරි දස්කම් දක්වමින් ඉනිම් 7 කදී පිතිකරණ සාමාන්‍යය 159.66 ක් ලෙස රඳවා ගත්තා. ඔහුගේ සෞඛ්‍ය තත්වය පිරිහෙමින් පවතිද්දී පෙර අයුරින් කඩුලු අතර දිවීම ද අපහසු වෙන්නට වුනා.
ඔහුගේ මෙම පිතිකරණයත් සෞඛ්‍ය තත්වයත් දකින ලද ක්‍රීඩකයෙක් පසුකාලීනව ප්‍රකාශ කලේ මෙලෙසයි,
"delightful in his stroke-making , but pathetic to witness his suffering".
ඔහු ඩේලි මේල් පුවත්පතටද විවිධ ලිපි ලියමින් ඔහුගේ ක්‍රිකට් දැනුම බෙදාගත් අතර ඔහුගේ එකම විශ්වාසය සහ ඉලක්කය වුනේ 1934 එංගලන්තයේ ඕස්ට්‍රේලියානු සංචාරය සදහා ඕස්ට්‍රේලියානු පිලට නැවතත් එක්වීමයි. ඔහුගේ මුල්ම ටෙස්ට් තරගයෙන් වසර 4කට පසු එනම් එම වසරේ පෙබරවාරි 1 වන දින ඔහුගේ රෝගය උත්සන්න වීමෙන් ක්ලාන්ත වී ඇදවැටීමෙන් නැවතත් රෝහල්ගත වුනා. එහිදී වාර්තා වන්නවුයේ ඔහුට ක්ෂය රෝගය බරපතල ලෙස වැළඳී ඇති බවයි. පෙබරවාරි මස 10 වන දින ඔහුගේ පිලේ ක්‍රීඩකයින් රෝහල කරා පැමිණියේ ඔහු දින කිහිපයකින් මිය යන බවට තහවුරු වූ බැවින්. ඒ වනවිට ටෙස්ට් තරගයද අරඹා තිබු අතර ඕස්ට්‍රේලියානු පිතිකරුවන් එංගලන්ත පන්දු යවන්නන් හමුවේ අසාර්ථක උත්සාහයක යෙදෙමින් සිටියා. එය දැනගත් ආර්චි එංගලන්ත වේග පන්දුයවන්නා වූ ලාවුඩ් ට ටෙලිග්රෑමයකින් සුභ පැතීමක් කළා."Congratulations magnificent bowling. Good luck all matches."

ඔහුගේ සෞඛ්‍ය තත්වය නොසතුටුදායක තත්වයක තිබියදීත් ඔහු ටෙස්ට් තරගයේ ලකුණු තත්වයට වඩාත් උනන්දුවක් දැක්වුවා. රාත්‍රී 12.00 ට පමණ ඔහු තරගයේ ලකුණු තත්වය විමසු අතර ඔහුට දැනගන්නට ලැබුනේ ඕස්ට්‍රේලියානු පිල පරාජයකට මුහුණ දෙමින් සිටින බවයි. ඉන් විනාඩි කිහිපයකට පසු ඔහු මියගියා. ඒවනවිට ඔහුගේ වයස අවුරුදු 23ක් පමණයි.
දෙපිලේම ක්‍රීඩකයින් ඉන්පසු දිනයේදී පිටියට පැමිණියේ කළු පැහැති පටියක් අතෙහි බැඳ ශෝකය පළකරමින්. ඕස්ට්‍රේලියානු පිල තරගයෙන් පරාජය වූ අතර ආර්චි ජැක්සන් යොවුන් වයසේදීම මෙලොවින් සමුගත්තා.
©

Friday, March 13, 2015

කෙන්ට් පිලේ සටන්කරුවා



එංගලන්ත පළමුපෙළ සහ සීමිත ඕවර තරගාවලි වඩාත් ජනප්‍රිය වීමට හේතුව විය හැක්කේ ලෝකයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන විවිධ රටවල් අතුරින් සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් පැමිණීමත් මාස 3 – 4 ක් පමණ වනතෙක් තරගාවලිය පැවැත්වීමත් නිසා. විවිධ ප්‍රාන්ත ක්‍රිකට් සමාජ එක්වන ඕවර 55 තරගාවලියක් 1995 දී පැවැත්වුනේ බෙන්සන් සහ හෙජ්ස් අනුග්‍රාහක නාමය යටතේ. මේ අනුව කණ්ඩායම් සියල්ලම කාණ්ඩ 4 කට වර්ගීකරණය කිරීමට සංවිධායකයෝ සුදානම් වූ අතර එම කණ්ඩායම් අතරට අයර්ලන්තය සහ ස්කොට්ලන්තය යන රටවල් දෙකත් ඇතුලත් විනි. මෙම ලිපියේ කතා නායකයාගේ පිල එනම් කෙන්ට් පිල ඩි කාණ්ඩයෙන් තරගාවලියට පැමිණියා.
කෙන්ට් ප්‍රාන්ත පිල මුලින්ම පටන් ගත්තේ 1842 දී. එම ශතවර්ෂය තුල කෙන්ට් නමින් ක්‍රිකට් කණ්ඩායම් දෙකක් පැවතියත් 1870 දී එම කණ්ඩායම් දෙක එනම් කෙන්ට් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය සහ බෙවර්ලි කෙන්ට් ක්‍රිකට් සමාජ පිල ඒකාබද්ධ වුනා. ඇලන් නොට් , ආතර් ෆීල්ඩර්, අසීෆ් ඉක්බාල් වැනි දැවැන්ත ක්‍රිකට් ප්‍රතිරූපයන්ගෙන් සමන්විත වු කෙන්ට් පිලේ 1995 වනවිට දක්ෂ පිතිකරුවන් ලැයිස්තුවකින් වර්ණවත් වී තිබුනා.
තරගාවලිය ආරම්භ වීමට පෙර පවතී පළමුපෙළ තරගාවලියට වර්තමාන ශ්‍රී ලංකා පිලේ නැංගුරම වන කුමාර් සංගක්කාර ට අනුව ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ දක්ෂතම පිතිකරුවා සහ පහසුවෙන්ම හුක් පහරකින් 6ක් එල්ල කල හැකි පිතිකරුවා වන අරවින්ද ද සිල්වා ද ඇතුලත්ව සිටියා. පළමුපෙළ තරගාවලිය තුල සුපිරි දස්කම් දැක්වූ ඔහුගේ සාමන්‍යය 59.36ක් වූ අතර මුළු ලකුණු 1781ක් රැස්කර කෙන්ට් පිලේ ලකුණු අතර සිටි එකම ක්‍රීඩකයා බවට ඔහු පත්වුනා. ඊට හේතුව වුනේ අනෙක් ක්‍රීඩකයින් සියල්ලම දස්කම් නොදැක්වීමත් ඔවුන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය නිසා කෙන්ට් පිල එම වසරේ ක්‍රිකට් සමාජ අතුරින් අවසන් ස්ථානය හිමිකරගැනීමයි.
එසේ සිදුවුවත් ඕවර 55 තරගාවලියේදී මෙයට හාත්පසින්ම වෙනස් ප්‍රතිපල කෙන්ට් ප්‍රාන්ත පිල විසින් පෙන්නුම් කළා. ඔවුන් ඩී කාණ්ඩයේ පෙරමුණ ගත්තේ සමර්සෙට්,සරේ,සසෙක්ස් වැනි ප්‍රබල සමාජ පසෙකට දමමින්. අවසන් පූර්ව තරගයේදී නැවතත් සමර්සෙට් පිල සමග තරග කල කෙන්ට් පිලේ මැදපෙළ ශක්තිමත් කිරීමට අරවින්ද සහ එල්හාම් සමත් වුනා. එම තරගය ජයගැනීමට කෙන්ට් පිල සමත් වූ හෙයින් ඔවුන්ට අවසන් තරගය සදහා ලැන්කශයර් පිල සමග තරග කරන්නට සිදුවුනා. බෙන්සන් සහ හෙජස් ශූරතාවය සදහා මුලින්ම පිටියට පැමිණි ලැන්කෂයර් පිල පන්දුවාර 55 අවසානයේදී ලකුණු 274 ක් රැස්කරගත්තා. ඒ සදහා ඇතර්ටන් සහ ක්‍රව්ලි අර්ධ ශතක රැස්කලා. 
ලකුණු 275 ක ඉලක්කයක් උදෙසා කෙන්ට් පිලේ ෆුල්ටන් සහ වෝඩ් පැමිණියත් දෙදෙනාම ලකුණු 37 අතරතුරදී ක්‍රීඩාගාරයට හරවා යැවීමට ලැන්කෂයර් වේග පන්දුයවන්නා වූ ග්ලෙන් චැපල් සමත් වුනා. නො 3 පිතිකරු ලෙස කටයුතු කල නීල් ටේලර් සමග එක්වීමට පැමිණියේ මැඩ් මැක්ස් නොහොත් අරවින්ද යි. අනෙක් අන්තයේ කඩුලු එකින් එක බිඳ වැටෙද්දී අරවින්ද තනිවම සටන් කලේ කෙන්ට් පිලට ශූරතාවය ලබාදෙන්නයි. 6 පහර 3ක් සහ 4 පහර 11ක් එල්ල කරමින් අරවින්ද වසීම් අක්රම්, චැපල්, ඔස්ටින් වැනි පන්දුයවනන්නන් හට දිගට හරහට පහරදුන්නේ ප්‍රේක්ෂකයින් සහ ක්‍රීඩකයින් සියල්ලම මවිතයට පත්කරමින්.
ලකුණු 112ක් ලබා සිටියදී අරවින්ද දැවී යන අතර කෙන්ට් පිලේ ජයග්‍රහණ බලාපොරොත්තුවද එතැනින්ම නිමා වුනා. විස්ඩන් සඟරාවේ සඳහන් වන අන්දමට කණ්ඩායමේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය ඉහල අගයක තබා ගැනීමට ඔහු උපරිම උත්සාහය ගත බවත් ඔහුගේ සහයට කිසිවෙකු නොසිටීම කෙන්ට් පිලේ පරාජයට හේතුවූ බවත් සදහන් කර ඇත. සීමිත ඕවර තරගාවලිය එසේ නිමා වුවද පළමු පෙළ තරගාවලිය අවසන්ව නොතිබුනත් අරවින්ද ට ශ්‍රී ලංකා පිල සමග එක්වීමට සිදුවුනේ එම වසරේදීම පකිස්තාන තරගාවලියක් සදහා යා යුතුව තිබු බැවින්.
ඔහු කෙන්ට් පිල අතහැර ශ්‍රී ලංකාවට පැමිණිම ගැන ඔහුගේ කණ්ඩායමේ සගයන් පැවසුවේ මේ අයුරින්.
"I cannot believe any player, anywhere, has been so popular" - ග්‍රෙහැම් කවුඩ්‍රි
"Ari was an inspiration to me and the whole side felt the same. When he packed his bags, he hugged each of us and I have never known a professional sports team so close to tears." - ඉවෝ ටෙනන්ට්
ලැන්කෂයර් පිල ශූරතාවය දිනාගත්තද අවසන් තරගයේ වීරයා වීමට අරවින්දට හැකිවුනා.
©
Video clip - Kent's Innings
https://www.youtube.com/watch?v=BXzktmwSngo

Pics by - Getty Images

Tuesday, March 10, 2015

ක්‍රිකට් ඉතිහාසයේ, පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත වූ අවස්ථා






ජෝන් විල්ස් - කෙන්ට් පන්දුයවන්නෙක් වන මොහු මුල්ම වරට උරහිසට ඉහලින් පන්දු යැවීම හදුන්වා දුන් පුද්ගලයයි. 1822 දී MCC යට එරෙහිව පන්දු යවද්දී විනිසුරුවරුන් මොහුගේ පන්දු යැවීම අජීවී පන්දුවක් ලෙස සලකා තීරණ ලබාදෙන ලදී.


විලියම් ලිලීවයිට් 

විලියම් ලිලිවයිට් සහ ජේම්ස් බ්‍රෝඩ්බ්‍රිජ් - සසෙක්ස් කණ්ඩායම නියෝජනය කල මේ පන්දුයවන්න්නන් දෙදෙනාද ඉහත සදහන් කල අයුරින් උරහිසට ඉහලින් පන්දු යවා තහනමට ලක්වුවන්ය.
                      






එඩ්ගාර් විල්ෂර් 



එඩ්ගාර් විල්ෂර් - 1862 දී සරේ පිලට එරෙහිව ක්‍රීඩා කල එංගලන්ත පිලේ වමතින් පන්දු යවන කෙන්ට් ක්‍රීඩක විල්ෂර් වෙතට සය වරක් නිපන්දු ලෙස සලකා තීරණ ලබාදෙන ලදී. ඒ වනවිට උරහිසට ඉහලින් පන්දුයැවීම නිත්‍යානුකුල බව පිළිගෙන අවසන්.






ජෝසෆ් ෆ්රෑන්ක් - 1880 දී ලෝක ක්‍රිකට් ඉතිහාසයේ භයානකම පන්දුයවන්නෙක් ලෙස සලකන (demon) ෆ්‍රෙඩ් ස්පොෆොර්ත් ගේ ඇඟිල්ලක් බිඳ දමන අයුරින් පන්දු යැවූ දකුණත් වේග පන්දු යවන්නෙකු වන එංගලන්තයේ ජෝසෆ් ෆ්රෑන්ක් ගේ පන්දු යැවීමේ ඉරියව්වට චෝදනා රැසක් තිබුනා. ස්පොෆොර්ත් ගේ ඉවත්වීම එංගලන්තයට කඩුලු 5ක ජයක් ගෙන ආවා.

ලෝර්ඩ් හැරිස් 



ජෝන් ක්රෝස්ලන්ඩ් සහ ජෝර්ජ් නෑෂ් - දෙදෙනාම පන්දුව විසිකිරීමේ චෝදනාවට හසු වුවන්ය. මොවුන්ව ඉවත්කරන තෙක් තරගය නොපවත්වන බව පවසමින් ලෝර්ඩ් හැරිස් (හිටපු එංගලන්ත ක්‍රිකට් නායකයෙක්) තරගය අත්හිටුවා දමන ලදී.







අර්නි ජෝන්ස් 



අර්නි ජෝන්ස් සහ ටොම් මැක්බින් - අර්නි ඉතිහාසගත වෙන්නේ මුල්ම ඕස්ට්‍රේලියානු දමගසන්නා ලෙසයි. සිඩ්නි හිදී මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කල ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වට චෝදනාව එල්ල වුනේ 1897/98 දීය. ඔහුට එම චෝදනාව එල්ල කලේ විනිසුරු ජිම් ෆිලිප්ස්. කෙසේවෙතත් 1896 දී ලෝර්ඩ් ශේෆිල්ඩ් XI පිඅලට එරෙහිව පවතී පුහුණු තරගයකදී WG ග්‍රේස් ගේ රැවුල ආක්‍රමණය කරමින් යැවූ පන්දුවක් තවමත් ඉතිහාසයේ නොමැකෙන සිදුවීම් අතරින් එකක්. එම කණ්ඩායමේම දඟපන්දු යවන්නෙක් ව සිටි ටොම් මැක්බින් ගේ ඉරියව්වද සැකසහිත එකක් බව ඉතිහාසයේ සදහන් වනවා.





CB ෆ්‍රයි 




CB ෆ්‍රයි - ජිම් ෆිලිප්ස් විනිසුරු ගේ ගොදුරට හසුවූ තවත් පන්දු යවන්නෙක් තමයි CB ෆ්‍රයි කියන පන්දුයවන්නා 1898 දී තුන්වරක් සහ 1900 දී එක්වරක් වශයෙන් ඔහුගේ පන්දුයැවීම් නිපන්දු බවට තීරණ ලබාදෙන ලදී.






ඡායාරූපයේ මැද සිටින්නේ බිල් වෝස් නමැති දක්ෂ පන්දුයවන්නායි.
මෙය ශ්‍රී ලංකාවේදී ගත් එකකි. 


බිල් වෝස් - 1932/33 බොඩිලයින් තරඟාවලියෙන් පසු ඕස්ට්‍රේලියානු විස්තර විචාරකයෙක් බිල් වෝස් පන්දුයවන්නා ගේ පන්දුයැවීමේ ඉරියව්ව සැකසහිත බව ප්‍රකාශ කරන ලදී. කණ්ඩායමේ සඟයා වෙනුවෙන් පෙනිසිටිමින් එංගලන්ත නායක ඩග්ලස් ජාඩින් එයට විරෝධය පලකලේය.



මොබාරක් අලි - දෙවන ලෝක යුධ සමයේ ක්‍රිකට් තරඟ පැවැත්වුනේ කලාතුරකින්. ට්‍රිනිඩෑඩ් සහ බාබඩෝස් පිල් අතර පවතී තරගයේදී ට්‍රිනිඩෑඩ් දඟපන්දු යවන්නෙක් ව කටයුතු කල මොබාරක් අලිගේ වේගවත් ඔෆ්බ්‍රෙක් පන්දු සැකසහිත බවට තීරණය කල විනිසුරු 30 වතාවක් නිපන්දු බවට ප්‍රකාශය කරන ලදී. ඔහු ලෙග්බ්‍රෙක් පන්දුයවද්දීත් එම තීරණ වල වෙනසක් නොවූ අතර පිතිකරු ඩෙරෙක් සීලි දැවීගිය අවස්ථාවේදී පමණක් එය නිපන්දුවක් නොවීම පිතිකරු පුදුමයට පත්කළ අවස්ථාවක් විය.

මධුසුදාන් රෙගේ - මහාරාෂ්ට්‍රා පිලේ ක්‍රීඩකයෙක් වන මොහු පන්දුව දමාගැසීමේ චෝදනාවට ලක්වූ මුල්ම ඉන්දියානුවයි. 1951/52 සංචාරක MCC පිලට එරහිව ලකුණු 133ක් රැස්කරමින් දස්කම් දැක්වූ රෙගේ ගේ පන්දුයැවීම නිත්‍යානුකුල නොවූ එකක් වුනා.

ඩග් ඉන්සෝල් - 1952 දී පන්දුව දමාගැසීමේ චෝදනාවට ලක්වූ අතර ඔහු එතැන් සිට ටෙස්ට් තරග තුල පන්දු නොයැවීමට තීරණය කල තුන් ඉරියව්වේ ක්‍රීඩකයෙක්.

කුවන් මැකාති - දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නෙක් වන මොහු 1952 දී වොසෙස්ටර් පිලට එරෙහිව පන්දු යැවීමෙන් ඉහත චෝදනාවට ලක්වූ තවත් පන්දු යවන්නෙක්.

ටෝනි ලොක්


ටෝනි ලොක් - 1952 දී ඉන්දියාවට එරෙහිව මුල්ම ටෙස්ට් තරගයට ක්‍රීඩා කල ටෝනි ලොක් එම තරගාවලියේම පුහුණු තරගයකදී විනිසුරු WF ප්‍රයිස් ගේ චෝදනාවට ලක්වූ අයෙක්. කොදෙව්වන් සමග පැවති ටෙස්ට් තරගයකදී නැවතත් එම චෝදනාවටම ලක්වන ටෝනි ලොක් වෙනුවෙන් ඉදිරිපත් වූ සුපිරි පිතිකරු ලෙන් හටන් (එවකට එංගලන්ත නායක) එයට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන ලදී.





ඉයන් මෙකිෆ් ගේ සැකසහිත වූ ඉරියව්ව 
ඉයන් මෙකිෆ් - වඩාත් ප්‍රසිද්ධ වූ සිදුවීමක් ලෙස මෙය කිව හැක. 1958/59 අළු බඳුන තරගාවලියේ දී මොහුගේ පන්දුයැවීම නිත්‍යානුකුල නොවන බවට එංගලන්ත නායකයා පීටර් මේ ප්‍රකාශ කරන ලදී. ඔහුගේ පන්දු යැවීම දැක ඉයන් පීබ්ල්ස් නැමැත්තෙක් පැවසුවේ ඔහුගේ පන්දු යැවීම ක්‍රිකට් පුහුණුකරුවෙක් කුඩා සිසුවෙකුට පන්දුව විසිකරන්නක් මෙන් බවටය. විවිධ හැලහැප්පීම් මත මෙකිෆ් ට තවත් ටෙස්ට් තරග කිහිපයකට මුහුණ දෙන්න හැකිවුනත් 1963 දී දකුණු අප්‍රිකානුවන්ට එරෙහි තරගයේ ඔහු යැවූ මුල්ම ඕවරයේ දී ඔහුගේ පන්දු යැවීම නිත්‍යානුකුල නොවන බවට විනිසුරු තීරණ ලබාදුන් අතර එය ඔහුගේ අවසාන පන්දුවාරය සහ අවසාන ටෙස්ට් තරගය බවට පත්වුනා.


ජෙෆ් ග්රිෆින් - දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නේක් වන ග්රිෆින් 1960 ලෝඩ්ස් පිටියේදී MCC පිලට එරහි තරගයේ විනිසුරුවරුන් දෙදෙනාම ඔහුගේ පන්දුයවීම නිත්‍යානුකුල නොවන නිපන්දු බවට තීරණ ලබා දෙනලද අතර නොටින්ග්හැම්ෂයර් පිල සමග පවතී තරගයේදී අවස්ථා 8 කදී නිපන්දු බවට එම තරගය විනිශ්වය කල විනිසුරුවරුන් ප්‍රකාශ කරන ලදී. ඔහු ඔහුගේ ඉරියව්ව ඇල්ෆ් ගවර් ක්‍රිකට් පාසලෙන් නිවැරදි කරගෙන එංගලන්තයට එරහිව ලෝඩ්ස් පිටියේදී තරග වැදුණු අතර එහිදීද 11 වරක් නිපන්දු බවට විනිසුරු ෆ්‍රෑන්ක් ලී හට තීරණ ලබාදීමට සිදුවුනා.

හසීබ් අහ්සන් - වයස 23 වනවිට ටෙස්ට් තරග සඳහා කැදවීම් නොලැබෙන්නට තරම් හසීබ් ගේ දඟ පන්දුව නිත්‍යානුකුල නොවන එකක් වුනා. 1960/61 බොම්බේ හිදී පැවති ටෙස්ට් තරගයේ පන්දුව දමාගසන බවට චෝදනා එල්ලවූ අතර 1962 එංගලන්ත සංචාරයේදී ද එලෙසෙම සිදුවූනා.

චාර්ලි ග්‍රිෆිත් 

චාලි ග්‍රිෆිත් - 1962 ඉන්දියාව සහ බාබඩෝස් පිල අතර පවතී තරගයේදී ග්‍රිෆිත් ගේ වේගවත් පන්දුව නිසා අනතුරට ලක්වූ නාරි කන්ට්‍රැක්ටර් ට රෝහල් ගතවෙන්නට සිදුවුණා. ඒ අතරතුර විනිසුරු ඔහු දමාගසන බවට චෝදනාවක් එල්ල කළා.



අබිඩ් අලි - 1968 දී නවසීලන්තයට එරෙහිව පැවති දෙවන ටෙස්ට් තරගයේ මොහුටත් පන්දුව දමාගසන චෝදනාව එල්ල වුනා. විනිසුරු ලෙස කටයුතු කලේ ෆ්‍රෙඩ් ගුඩොල්.

හැරෝල්ඩ් රෝඩ්ස්, බච් වයිට්, රෙග් සිම්සන්, ඉයන් රෙඩ්පාත්, ජිමි හිග්ස්, බ්රූස් යාර්ඩ්ලි - පිළිවලින් 1960, 1965, 1960, 1964,1976,1977-78 යන වසර තුල පන්දු යැවීම සමබන්ධයෙන් විවිධ චෝදනා වලට ලක්වුවන්ය.

ඩේවිඩ් ගවර් - 1986 නවසීලන්තයට එරහි ට්‍රෙන්ට්බ්‍රිජ් තරගයේ අවසානම පන්දුවේදී හිතාමතා පන්දුව දමාගැසීමක් සිදුකලා. මේ සිදුවීම නිසා ඔහු ඉතිහාසගත වුනේ මුල්ම වරට එංගලන්තයේ ටෙස්ට් තරගයකදී පන්දුව දමාගසන බවට චෝදනා ලැබූ මුල්ම එංගලන්ත ක්‍රීඩකයා ලෙසටයි.

කර්ට්ලි ඇම්බ්‍රෝස් - වේග පන්දුවේ විශිෂ්ටයෙක් වන ඇම්බ්‍රෝස් ටද පන්දුව දමාගැසීමේචෝදනාවට ලක්වෙන්නට සිදුවුණා. ඔහුගේ වාසනාවට එය සිදුවුනේ පළමුපෙළ තරගයක දී. ඒ ලීව්ර්ඩ් දූපත් සහ ට්‍රිනිඩෑඩ් පිල අතර තරගයේ දියි.


හෙන්රි ඔලොන්ගා - 1995 හරාරේ හිදී පකිස්තානයට එරහි තරගයේදී ටෙස්ට් අභිෂේකය ලබන ඔලොන්ගා වාර්තා පොත් අතරට යන්නේ මුල්ම කළු ජාතික සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසට. ඔහු එම තරගයේදී සයිඩ් අන්වර් ගේ කඩුල්ල දවාගන්නා අතර ඉයන් රොබින්සන් විනිසුරු ගෙන් පන්දුව දමාගසන චෝදනවටද ලක්වෙන්නට සිදුවුනා. එම ටෙස්ට් තරගය ජයගන්නා සිම්බාබ්වේ පිල ඉතිහාසගත වුනේ ඔවුන්ගේ මුල්ම ටෙස්ට් තරග ජයගැනීම ලෙසටයි. ඩෙනිස් ලිලි ගේ මඟ පෙන්වීම යටතේ පන්දු යැවීමේ ඉරියව්වේ සුළු වෙනස්කමක් කරමින් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් තරග වෙතට පැමිණෙන්නට ඔහුට හැකිවුනා.

මුත්තයියා මුරලිදරන් - ක්‍රිකට් ඉතිහාසයේ වඩාත් වැදගත් සංධිස්ථානයක් වන මෙය වඩාත් කතාබහට ලක්වූ පන්දුව දමා ගැසීමේ චෝදනාවයි. 1995/96 ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයේදී විනිසුරු ඩැරල් හෙයාර් විසින් ඔහු දමාගසන බවට නිපන්දුවකින් පෙන්වා දුන්නා. ඔහු ඕවර 3 කදී 7 වරක් එය සිදු කිරීම කැපී පෙනුනා. නායක අර්ජුන රණතුංග විනිසුරු ඩැරල් හෙයාර් සිටින අන්තයෙන් මුරලි කැඳවීම වලක්වා ස්ටීව් ඩන් විනිසුරු අන්තයෙන් ඔහුට පන්දු යැවීමට අවස්තාව ලබාදුන්නා. මේ සිදුවීමට දින 10 කට පසු රොස් එමර්සන් ද ඔහු පන්දුව දමාගසන බවට චෝදනාවක් එල්ල කළා. එවර එය වර්ල්ඩ් සීරිස් තරගවලියෙද්යි. නායක අර්ජුන සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආයතනය මුරලි වෙනුවෙන් පෙනී සිටියා. බටහිර ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ දී සිදුකල පරීක්ෂණයෙන් අනතුරුව මුරලි එම චෝදනා සියල්ලෙන්ම නිදහස් වූ අතර එය ICC ය විසින් තහවුරු කරන ලදී. 1998/99 ඇඩ්ලේඩ් හිදී එංගලන්තයට එරෙහි තරගයේදී රොස් එමර්සන් නැවතත් ක්‍රියාත්මක වෙමින් ඔහු පන්දුව දමාගසන බවට ප්‍රකාශ කළා. එම සිදුවීමෙන් පසු නැවතත් විවිධ පරීක්ෂණ සඳහා යොමුවන්නට මුරලිට සිදුවූ අතර ඒ සියලු චෝදනා වලින් නිදහස් වීමට ඔහුට හැකිවුනා. අංශක 15, දූස්රා පන්දුව ට අදාළ නීති සම්පාදනය සිදුවුනේ මෙම සිදුවීම් මාලාවෙන් පසුවයි.

ග්‍රාන්ට් ෆ්ලවර් - 2000 වසරේදී නවසීලන්තයට එරෙහිව පවත්වන ලද ටෙස්ට් තරගයේදී ඩැරල් හෙයාර් විනිසුරු ඔහු දමාගසන බවට තුන්වරක් නිපන්දු බවට තීරණ ලබාදෙමින් පෙන්වා දුන්නා.

කුමාර් ධර්මසේන, මොහොමඩ් හෆීස්, ජෙරමයින් ලොව්සන්, බ්‍රෙට් ලී, ෂොහේබ් මලික් සහ හර්බජාන් සිං - මේ පන්දුයවන්නන් සියල්ලන්ගේම පන්දුයවීමේ ඉරියව්ව සැකසහිත බව ICC යට වාර්තා ලැබී තිබුනත් ඒ සියල්ලම ICC ය විසින් ප්‍රතික්ෂේප කළා.

ශෝහෙබ් අක්තාර්, ශබීර් අහමඩ්, ජේම්ස් කර්ට්ලී, යොහාන් බෝතා සහ අබ්දුර් රසාක් - අක්තාර් ගේ සිදුවීම ඇතිවුනේ 1999 දියි. එම සිදුවීම ICC ය විසින් ප්‍රතික්ෂේප කල තවත් එකකි. 2005 දී ශබීර් අහමඩ් ට මාස 12 ක තරග තහනමක් ලැබුනේ ඔහුගේ පන්දු යැවීම නිත්‍යානුකුල නොවන බැවින්. එංගලන්තයේ ජේම්ස් කර්ට්ලි සහ යොහාන් බෝතා දෙදෙනා ටත් චෝදනා එල්ල වූ අතර, බෝතා ට 2009 දී නැවතත් පන්දුව දමාගැසීමේ වරදට හසුවෙන්නට සිදුවීම නිසා ඔහුට දූස්රා පන්දුව යැවීම තහනම් කළා. බංගලාදේශයේ අබ්දුර් රසාක් හට මාස 3 ක තරග තහනම ලැබුනේ ද පන්දුව දමාගැසීමේ වරද නිසා.

ෂේන් ශිලින්ග්ෆෝර්ඩ් - 2010 වසරේදී මුල්ම වරට පන්දුව දමාගසන බවට චෝදනාව එල්ලවූ අතර ඔහු ඉරියව්වේ සුලු වෙනස්කම් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරග සදහා ඉදිරිපත් වුනා. 2013 නොවෙම්බර් මසදී ඔහුට නැවතත් එම චෝදනාවටම ලක්වෙන්නට සිදුවීමෙන් පසු පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරන තෙක් ඔහුට තරග තහනමක් ලබාදෙන්නට ICC ය තීරණය කළා. එම වසරේදීම දෙසැම්බර් මස මාලන් සැමුවෙල්ස් හටත් ඉහත චෝදනාව එල්ලවීමෙන් ඔහුටත් පන්දු යැවීම තහනම් වුනා.

සචිත්‍ර සේනානායක, සොහාග් ගාසි, කේන් විලියම්සන්, ප්‍රෝස්පර් උට්සෙයා, සයිඩ් අජ්මාල්, අල් අමීන් හුසේන් - 2014 වසරේ දී පන්දුව දමාගසන බවට සහ නිත්‍යානුකුල නොවන පන්දු යැවීම් කල නිසා වරදට හසු වුවන්ය.

©