Wednesday, July 13, 2016

වැඩිම පළමුපෙළ මුළු ලකුණු ගණනකට හිමිකම් කියන ශ්‍රී ලාංකිකයින් 10

ගිහාන් මෙන්ඩිස් 
1) ගිහාන් මෙන්ඩිස් - 21,436
ඉනිම් - 643, නොදැවීම් - 61, වැඩිම - 209*, සාමන්‍යය - 36.83, ශතක 41

දකුණත් පිතිකරුවෙකු වන ගිහාන් මෙන්ඩිස් එංගලන්ත සසෙක්ස් ප්‍රාන්ත පිල සහ ලැන්කෂයර් ප්‍රාන්ත පිල නියෝජනය කල එම කණ්ඩායමට එතෙක් මෙතෙක් විශාල කාර්යභාරයක් කල ආරම්භක පිතිකරුවෙක් විය. 80 දශකයේ එංගලන්තයේ සිටි දක්ෂතම මුල්පෙළේ පිතිකරුවෙක් වූ ඔහුට එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වරම අහිමිවුයේ නූලෙනි. 

කුමාර් සංගක්කාර 
2) කුමාර් සංගක්කාර - 19,060 
ඉනිම් - 407, නොදැවීම් - 28, වැඩිම - 319, සාමන්‍යය - 50.29, ශතක 56 

ශ්‍රී ලංකා ටෙස්ට් පිල නියෝජනය කල විශිෂ්ටතම පිතිකරුවා වන කුමාර් සංගක්කාර ජාතික කණ්ඩායම නියෝජනය කල පිතිකරුවන් අතුරින් වැඩිම පළමුපෙළ ලකුණු ගණනක් හිමි පිතිකරුවා වේ. වර්තමානයේ සරේ කණ්ඩායම නියෝජනය කරන සංගක්කාර ට මෙන්ඩිස් ගේ වාර්තාව බිඳ දැමිය හැකිද ? 

මහේල ජයවර්ධන 
3) මහේල ජයවර්ධන - 17,843
ඉනිම් - 383, නොදැවීම් - 24, වැඩිම - 374, සාමන්‍යය - 49.70, ශතක 51

නිවැරදි පිතිකරණ තාක්ෂණයෙන් පිරිපුන් හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන මෙම ලැයිස්තුවේ තෙවැනියා ය. විශාල ඉනිම් රැස්කිරීමට උපන් හපන්කම් දැක්වූ මහේල ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දකුණත් පිතිකරුවෙකු ගේ පිත්තෙන් රැස්වූ වැඩිම ලකුණු ගණනේ වාර්තාව ද සතුයි. 

තිලාන් සමරවීර 
4) තිලාන් සමරවීර - 15,501
ඉනිම් - 389, නොදැවීම් - 70, වැඩිම - 231, සාමන්‍යය - 48.59, ශතක 43

මැදපෙළ පිතිකරුවෙක් ලෙස සුවිශේෂී දස්කම් දැක්වූ තිලාන් පළමුපෙළ ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයින් අතුරින් වැඩිම මුළු ලකුණු රැස්කරගත් සිවුවැන්නාය. ටෙස්ට් කණ්ඩායමේ නැංගුරම බඳුවූ තිලාන් ගේ අඩුව තවමත් ශ්‍රී ලංකා කණ්ඩායමට පුරවා ගැනීම හැකියාවක් ලැබී නැත. 


ලැඩී අවුට්ශෝර්න් 
5) ලැඩී අවුට්ශෝර්න් - 15,496 
ඉනිම් - 595, නොදැවීම් - 53, වැඩිම - 215*, සාමන්‍යය - 28.59, ශතක 25

වොර්සෙස්ටර්ශයර් ප්‍රාන්ත පිලට ක්‍රීඩා කල ලැඩී ප්‍රථම වරට ප්‍රාන්ත ශූරතා තරඟාවලියට ක්‍රීඩා කලේ 1946 දීය. 1948 වසරේ දී එවකට "ද ඉන්වින්සිබල්ස්" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලද බ්‍රැඩ්මන් ගේ ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව ක්‍රීඩා කිරීමට ද අවස්තාවක් උදා වූ ලැඩී එම තරඟයේ ප්‍රථම ඉනිමේදී ලකුණු 1කට දැවී ගියත් ඉනිමක පරාජයකින් බේරීමට දෙවැනි ඉනිමේ දී සටන්කාමි ලකුණු 54ක් රැස්කරගනිමින් එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. එම තරඟය ඕස්ට්‍රේලියානුවන් ජයගත් අතර ප්‍රථම ඉනිමේ බ්‍රැඩ්මන් ගේ ලකුණු 107 වඩාත් කැපී පෙනුන ඉනිම විය. එම තරඟයේ වීඩියෝ දර්ශනය පහත දක්වා ඇත. ඕස්ට්‍රේලියානුවන් ට එරෙහිව ස්ලිප් ක්‍රීඩකයෙක් ලෙස පන්දු රකින්නේ ලැඩී ය. 






අරවින්ද ද සිල්වා 
6) අරවින්ද ද සිල්වා - 15,000 
ඉනිම් - 343, නොදැවීම් - 33, වැඩිම - 267, සාමන්‍යය - 48.38, ශතක 43

කලක් ශ්‍රී ලංකාවේ පිතිකරුවෙක් ඉනිමක රැස්කළ වැඩිම ලකුණු ගණනේ වාර්තාව ට හිමිකම් කියන ලද අරවින්ද දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. අවශ්‍ය විටෙක ආරම්භ පිතිකරුවෙක් ලෙස ද කටයුතු කල හැකි වූ අරවින්ද ශ්‍රී ලංකාවේ වේගවත්ම ද්විත්ව ශතක ලාභියා වේ. 

සනත් ජයසූරිය 
7) සනත් ජයසූරිය - 14,819
ඉනිම් - 419, නොදැවීම් - 33, වැඩිම - 340, සාමන්‍යය - 38.39, ශතක 29


ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙක් ලෙස ප්‍රකට සනත් ජයසුරිය මෙම ලැයිස්තුවේ සත්වෙනි පිතිකරුවා ය.  ශ්‍රී ලං කා පිතිකරුවෙක් විසින් රැස්කළ ප්‍රථම ත්‍රිත්ව ශතකයේ වාර්තාව හිමිවන්නේ ද සනත් ජයසූරියට යි. 

මාවන් අතපත්තු 
8) මාවන් අතපත්තු - 14,591 
ඉනිම් - 348, නොදැවීම් - 49, වැඩිම - 253*, සාමන්‍යය - 48.79, ශතක 47


ද්විත්ව ශතක රැස්කිරීමට උපන් හපන්කම් දැක්වූ මාවන් කලක් ආසියාවේ වැඩිම ද්විත්ව ශතක ලාභියා විය. මංගල ටෙස්ට් තරඟයත් ඇතුළුව ඔහුගේ ප්‍රථම ඉනිම් 6 දී ඔහුගේ පිත්තෙන් වාර්තා වුයේ එක ලකුණක් පමණක් වුවත් ඔහුගේ ටෙස්ට් දිවිය අවසන් වනවිට එතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි සාර්ථකම ආරම්භක පිතිකරුවා විය.

තිලකරත්න දිල්ශාන් 
9) තිලකරත්න දිල්ශාන් - 13,979
ඉනිම් - 384, නොදැවීම් - 24, වැඩිම - 200*, සාමන්‍යය - 38.83, ශතක 38

ප්‍රවේගකාරී මෙන්ම අවස්ථාවට උචිත අයුරින් පිතිකරණය වෙනස් කල හැකි පිතිකරුවෙක් වන තිලකරත්න දිල්ශාන් පිතිකරණ ලයිස්තුවේ ඕනෑම ස්ථානයක එකසේ දස්කම් දැක්විය හැකි පිතිකරුවෙකි. 2011 වසරේ එංගලන්තයේ ලෝර්ඩ්ස් පිටියේ දී ඔහුගේ පිත්තෙන් වාර්තා වූ ලකුණු 193 වඩාත් කතාබහට ලක්වූ ඉනිම විය. 

හෂාන් තිලකරත්න 
10) හෂාන් තිලකරත්න - 13,258 
ඉනිම් - 351, නොදැවීම් - 82, වැඩිම - 204*, සාමන්‍යය - 49.28, ශතක 37

අලංකෘත පහරවලින් පරිපුන් හෂාන් ශ්‍රී ලංකා මැදපෙළ ශක්තිමත් කල ඉතාමත් දක්ෂ පිතිකරුවෙකි. ප්‍රතිවාධි පිලට වාසිදායක වාතාවරණයක් සම්පූර්ණයෙන් කණපිට හැරවිය හැකි පිතිකරුවෙක් ලෙස ප්‍රකට හෂාන් කොදෙව්වන්ට එරෙහිව ද්විත්ව ශතකයක් රැස්කළ ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකිකයා ය. 

#DON
13.07.2016












No comments:

Post a Comment