Sunday, August 11, 2019

පැහැරගැනීමට ලක්වූ ට්‍රිනිඩෑඩ් ක්‍රිකට් ක්‍රීඩකයා

2005 වසරේ සැප්තැම්බර් මාසයේ දී ට්‍රිනිඩෑඩ් හි දී ජස්ටින් රේමන්ඩ් ගිලන් නමැති 19 හැවරිදි ක්‍රිකට් ක්‍රීඩකයෙක් පැහැරගැනීමකට ලක් වන අතර දින 12 කට පසු ඔහු නිදහස් කරන්නට එම පැහැරගත් කණ්ඩායම ක්‍රියා කරනවා. ජස්ටින්, නිදහස් කිරීම සඳහා මුදලින් ඇමෙරිකානු ඩොලර් දෙලක්ෂයක් ගෙවීමට ජස්ටින් ගේ පියා ජෙෆ්රි ගිලන් ට සිදුවන අතර එයට ප්‍රධාන හේතුව වී තිබී ඇත්තේ පොලිස් නිලධාරීන්ගේ මන්දගාමී ක්‍රියා පිළිවෙතයි. සැප්තැම්බර් මස 7 වන දින ජස්ටින්, 2006 වසරේ පාපන්දු ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගයක් වූ ට්‍රිනිඩෑඩ්-ටොබෑගෝ සහ කොස්ටාරිකා අතර තරගය නැරඹීමට තම පියා සමඟ එක්වීම සඳහා තමමෝටර් රථය පැදවීමට සුදානම් වත්ම ඔහු පැහැරගැනීමට ලක්ව තිබිණ.

ජස්ටින් ගිලන් 2009 වසරේ දී ට්‍රිනිඩෑඩ් කණ්ඩායම වෙනුවෙන් පළමු පෙළ වරම් දිනාගත් අතර තරග 29ක් තුළ ලකුණු 1126ක් රැස්කිරීමට ඔහුට හැකිවිය. නවසිලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දුපත් යන කණ්ඩායම් දෙකම ටෙස්ට් තරග සඳහා නියෝජනය කළ සිම්ප්සන් "සැමි" ගිලන් ගේ ඥාති මුනුබුරෙකු වන ජස්ටින්, ඉහත පැහැරගැනීමට ලක්වීමෙන් පසු බේරාගැනීමට ඩ්වේන් බ්‍රාවෝ සහ ඩැරන් ගංගා වැනි ඔහුගේ සමීපතම ක්‍රිකට් සඟයින් විශාල මෙහෙවරක් සිදුකර ඇත.  

Justin Guillen

Sammy Guillen
Source: http://legacy.guardian.co.tt/archives/2005-09-21/news1.html


aq photo 635339848091716130317_zps7olcilbi.png

Sorry DAD !!! - රොෂාන් මහානාම



මෙය සිදුවුනේ වාර්ශිකව පැවති පාසල් ක්‍රීඩකයින් සහ ආදි සිසුන් අතර තරගයක් අතරතුරයි. මහානාම, පාසල් ක්‍රීඩකයින් නියෝජනය කළ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර කාසියේ වාසිය උරගා බැලීමේ දී මහානාම කාසියේ වාසිය දිනාගන්නා ලදී. ආදී සිසුන් ගේ කණ්ඩායමේ නායකයා සහ මහානාම අතර පහත සංවාදය සිදුවී ඇත.
මහානාම: "අපි මුලින්ම පන්දුවට පහර දෙනවා".
ප්‍රතිවාධි නායකයා: එහෙම කරන්න දෙන්න බෑ, අපි මුලින්ම ගහනවා"

මහානාම ට එම තීරණයට එරෙහි වීමට නොහැකි වී ඇත. ඊට හේතුව වූයේ ප්‍රතිවාධි ආදි සිසුන්ගේ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර ඇත්තේ රොශාන් මහානාම ගේ පියා වීමයි.


aq photo 635339848091716130317_zps7olcilbi.png

Iron Man බ්‍රයන් ක්ලෝස්

එංගලන්තයේ බ්‍රයන් ක්ලෝස් කියන්නේ කඩුල්ල ආසන්නයේ සිට පන්දු රකින්න කැමැත්තක් දක්වපු ක්‍රීඩකයෙක්. ඒ හින්දම, පන්දුව, ක්ලෝස් ගේ ඇඟේ වැදුණු අවස්ථා අනන්තයි.
එක තරගයක දී, පිතිකරුවා එල්ල කරපු පහරක් ශෝර්ට් ස්ක්වෙයා ලෙග් කලාපයේ පන්දු රකිමින් හිටපු ක්ලෝස් ගේ පළල් නලලේ වැදිලා පන්දුව ඉහලට ඉපිලුනා, ක්ලෝස් "Catch it !" කියලා කෑගහන ගමන් ඇද වැටුනා. දෙවැනි ස්ලිප් පන්දු රකින්නා පහසුවෙන් උඩ පන්දුව රැකගත්තා වගේම, ඉක්මනටම ක්ලෝස් ගේ තත්ත්වය පරික්ෂා කරන්න ගියා.
ආබාධයක් නැති බව තහවුරු වූ නිසාම එක පන්දු රකින්නෙක් ක්ලෝස් ගෙන් මෙහෙම අහලා තියනවා, 

"තව අඟලක් පල්ලෙහා බෝලේ වැදුනා නං කොතනින් නතර වෙයිද දන්නේ නෑ"

බ්‍රයන් ක්ලෝස් මෙහෙම උත්තර දුන්නේ ගාණක් වත් නැතුව,
"එහෙනන් අර යකා අවුට් වෙන්නේ 'ගලි' පන්දුරකින්නා ට උඩපන්දුව දීලා"



aq photo 635339848091716130317_zps7olcilbi.png

ටේට් ගේ ටෙස්ට් තරගය (Tate's TEST)

දකුණත් මඳ වේග පන්දු යවන්නෙකු වූ ෆ්‍රෙඩ් ටේට් පළමු පෙළ තරග තුළ තරග දිනවන්නෙකු ලෙස ප්‍රචලිතව සිටි සමයක 1902 වසරේ පැවති අළු බඳුන තරගාවලියේ සිවුවන තරගය සඳහා කැඳවීමක් ලැබිණ. තෙවන තරගය ඕස්ට්‍රේලියාව ජයගැනීම නිසාම සිවුවන තරගය කෙසේ හෝ ජයග්‍රහණය කිරීම එංගලන්ත කණ්ඩායමේ ඒකායන අරමුණ විය.
කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේ දෙවැනි ඉනිමේ දී ජෝ ඩාලින් විසින් ස්ක්වෙයාර් ලෙග් හි පන්දු රකිමින් සිටි ෆ්‍රෙඩ් ටේට් වෙතට ලබාදුන් උඩ පන්දුව අත්හැරීම නිසා ජෝ ඩාලින් සහ සිඩ් ග්‍රෙගරි ලකුණු 54ක තීරණාත්මක ලකුණු සම්බන්ධතාවයක් පිහිටුවා ගනිති. උඩ පන්දුව අත්හරින විට ඕස්ට්‍රේලියානු පිල කඩුලු 3ක් දැවී ලකුණු 16ක් පමණක් රැස්කර තිබිණ. (ඕස්ට්‍රේලියාව පළමු ඉනිම 299 / එංගලන්තය පළමු ඉනිම 262)
Fred Tate
ඕස්ට්‍රේලියාවේ දෙවැනි ඉනිමේ 8 වන කඩුල්ල ලකුණු 85 දී බිඳ වැටුණු විට තද වර්ෂාවක් පතිත වූ අතර එකල වර්තමානයේ මෙන් තණතිල්ල ආරක්ෂා කිරීමේ කිසිදු පියවරක් අනුගමනය නොකළ බැවින් ඉන් පසුව එහි පිතිකරණයේ යෙදීම ඉතාම අපහසු මට්ටමකට පත්ව ඇත. ඕස්ට්‍රේලියාව ලකුණු 86කට සියල්ලම දැවී ගිය අතර, ඒ අනුව එංගලන්තයට ජය්ග්‍රහණය සඳහා ලකුණු 124ක ඉලක්කයක් හිමිවිය.
ආර්චි මැක්ලරන් ගේ ලකුණු 35 නිසා එංගලන්තය ලකුණු 92කට කඩුලු 3ක් දැවී ජයග්‍රහණය පෙනී පෙනී සිටි අවස්ථාවක ඔවුන්ගේ මැද පෙළ බිඳ දමන්නට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් හට හැකිවූහ. ලකුණු 116ක් ලකුණු පුවරුව වාර්තා කරන අතරවාරයේ ඩික් ලිලී දැවී ගිය අතර අවසන් පිතිකරු ෆ්‍රෙඩ් ටේට්, අනෙක් අන්තයේ පිතිකරණයේ යෙදී සිටි විල්ෆ්‍රඩ් රෝඩ්ස් සමඟ එක්විය. නැවතත් වර්ෂාව නිසා මිනිත්තු 45කට තරගය නතර කළ අතර තරගය ආරම්භ වූ විගසම සෝන්ඩර්ස් විසින් යැවු පන්දුවට ෆ්‍රෙඩ් ටේට් ගේ පිත්තෙන් ලකුණු 4ක් වාර්තා විය.
නමුත් සෝන්ඩර්ස් විසින් එම පන්දුවාරයේ යැවු සිවුවන පන්දුවේ දී ෆ්‍රෙඩ් ටේට් ට පිත්ත නිවැරදිව එල්ල කරගැනීමට නොහැකි වූ අතර මදක් පහලින් පන්දුව පැමිණ කඩුල්ලේ දැවටමින් එංගලන්ත කණ්ඩායමට ලකුණු 3ක තියුණු පරාජයක් හිමිවිය.
ෆ්‍රෙඩ් ටේට්, එම පරාජය නිසා දැඩි කණස්සල්ලට පත්වූ අතර තරගයෙන් අනතුරුව ඔහු තුන්ඉරියව් ක්‍රීඩක ලෙන් බ්‍රොන්ඩ් වෙත පැවසුවේ, "මගේ ගෙදර කොල්ලෙක් ඉන්නවා, කවදහරි මම කරපු වැරදි, නිවැරදි කරලා දෙයි" ඉන් දශක 2කට පමණ පසු ෆ්‍රෙඩ් ටේට් ගේ පුත්, මොරිස් ටේට් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 39ක් ක්‍රීඩා කර කඩුලු 155ක් දවා ගන්නා ලදී.
Maurice Tate
ප.ලි. 
මෙම ටෙස්ට් තරගයේ දී වික්ටර් ට්‍රම්පර්, පළමු දිනයේ දහවල් ආහාරය සඳහා ලබාදෙන විවේක කාලයට පෙර ශතකයක් රැස්කරමින් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එවැනි දස්කමක් කළ මුල්ම පිතිකරුවා බවට පත්විය.

නායක ආර්චි මැක්ලරන්, ඔහුට එම තරගය සඳහා ලබාදුන් කණ්ඩායම පිළිබඳව සෑහිමකට පත් වී නැත. C.B. ෆ්‍රයි, ගිල්බර්ට් ජෙසප් සහ සිඩ් බාර්න්ස් වැනි ක්‍රීඩකයින් එම තරගයෙන් ඉවත් කර තිබු අතර ඔහුට කණ්ඩායමේ ක්‍රීඩකයින් හෙළි කළ පසු ඔහු, "My God, look what they've sent me" ලෙස පවසමින් විස්මයට පත් වී ඇත.

aq photo 635339848091716130317_zps7olcilbi.png

Wednesday, August 7, 2019

වෘත්තීය ක්‍රීඩකයෝ සහ වෘත්තීය නොවන ක්‍රීඩකයෝ

1962 වසරට පෙර එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩකයෝ බෙදා තිබුනේ අපූරු ක්‍රමයකට. වෘත්තීය ක්‍රීඩකයින් (Professionals) සහ වෘත්තීය නොවන ක්‍රීඩකයින් (Amateur) ලෙස කොටස් දෙකකට බෙදා තිබුණු අතර Amateur ක්‍රීඩකයින් "මහත්වරුන් (Gentlemen)" ලෙසට ද හඳුන්වා දී ඇත.

කණ්ඩායමේ නායකත්වය දරන්නේ නම් එම ක්‍රීඩකයා අනිවාර්යයෙන්ම Amateur ක්‍රීඩකයෙකු විය යුතු ය. එම නිසාම එම තනතුරට බොහෝ විට ප්‍රාන්ත කණ්ඩායම් වල එතරම් දක්ෂ නොවන අයෙක් පත්කරන අවස්ථා සුලබ විය. Amateur ක්‍රීඩකයෙකු ට වැටුපක් හිමි නොවූව ද ඔවුනට Professional ක්‍රීඩකයෙකුට ත් වඩා සැලකිල්ලක් හිමි විය. වෙනම හෝටල් කාමරයක්, ආහාර පාන වගේම ඔවුන්ගේ නම ලකුණු පුවරුවේ දැක්වූයේ මුලකුරු වලින් ආරම්භ වූ සම්පුර්ණ නමක් ලෙස යි. Professional ක්‍රීඩකයින් වාසගමින් හැදින්වූ අතර, ඔවුන්ගේ නම් ලකුණු පුවරුවේ දැක්වූයේ මුලකුරු වාසගමට පසුව යෙදවීමෙනි.

සමහර තරග තුළ Amateur ක්‍රීඩකයින් ක්‍රීඩා පිටියට පැමිණිමට වෙනම ගේට්ටුවක් ද සකසා තිබු අතර Professional ක්‍රීඩකයින් වැටුපක් හිමි සාමාන්‍ය රැකියාවක් කරන අයෙක් වශයෙන් සැලකුම් ලැබීය. වරක් 1950 ලෝර්ඩ්ස් හි දී පැවති තරගයක දී ෆ්‍රෙඩ් ටිට්මස් ගේ නම F.J. Titmus නොව Titmus F.J. ලෙස වෙනස් කරන බව ප්‍රේක්ෂකාගරයට නිවේදනයක් නිකුත් විය. එමෙන්ම Amateur ක්‍රීඩකයින් 'Mr.' හෝ 'Esq.' ලෙසට ද ලකුණු සටහන් කරන අවස්ථා වල දී දක්වා ඇත.

කෙසේ වෙතත් 1954 දී ලෙන් හට්න් එංගලන්ත නායකයා බවට පත් වූයේ Peofessional ක්‍රීඩකයෙකු ලෙසයි. ඊට පෙර 40 දශකයේ දී වොලී හැමන්ඩ් එංගලන්ත නායකයා බවට පත්වූයේ Professional ක්‍රීඩකයෙකු ලෙස ඔහු ඒ වනවිට දරමින් සිටි වර්ගීකරණයෙන් Amateur ක්‍රීඩකයෙකු බවට පරිවර්තනය වීමෙන් අනතුරුවයි. නමුත්, ලෙන් හට්න් එම ක්‍රමයට කැමැත්තක් දැක්වූයේ නැති නිසාම එතැන් පටන් මෙම Gentlemen & Amateur සංකල්පය නතර කළ යුතු බවට කතිකාවක් ගොඩනැගිණ. ඒ අනුව 1962 වසර වන විට මෙම සංක්ලපය සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලදී.