Wednesday, October 4, 2023

එජ්බැස්ටන් සිට මැල්කම් ගෙන් පන්දු යැවීමේ පාඩමක්

බර්මින්ග්හැම් හි පැවති හතරවන ටෙස්ට් තරගය අපට වැදගත් වෙන්නේ කාරණා දෙකක් හින්දා.

1) අපි ඒ තරගයත් එක්ක 2-1ක් ලෙස තරගාවලියේ වැඩි වාසිය හිමි කරගත්තා.
2) මැල්කම් මාර්ෂල් අතිශය බුද්ධිමත් සහ විශිෂ්ට ආකාරයෙන් පන්දු යැවීම

ඔබට මැල්කම් වගේ විශිෂ්ටයෙක් ගෙන් පන්දු යැවීම ගැන ඉගනගන්න බැරි නම් ඔබ පන්දු යැවීමෙන් පලක් නෑ...

ඒ වෙද්දී මැකෝ අපිට හිටපු විශිෂ්ටතම පන්දු යවන්නා වගේම, අපේ පන්දු යැවීමේ බල ඇණියේ නායකත්වය හිමිවුනේ ඔහුට..

මම කලින් කිව්වා වගේ මැකෝ පන්දු යැවීමේ ශිල්පය විශිෂ්ට ආකාරෙයෙන් ප්‍රගුණ කරලා තිබුණා..

මම මිඩ් ඔෆ් වල පන්දු රකින සෑම වෙලාවකම මැකෝ, පන්දු යවන්න පෙර ඔහු දැන් මොන ආකාරයට පන්දු යවන්නේ කියලා, මට දැනුම් දෙනවා.. ඉන් පසුව කිසිදු වෙනසක් නැතුව, ඔහු පැවසූ ආකාරයටම ඔහුට පන්දු යවන්නට හැකියාව තිබුණා.. ඒ මැකෝ ඔහු දැන ගෙන සිටි සෑම ශිල්පයක්ම අපිට සජීවීව පෙන්නුම් කළ ක්‍රමය. ඔහු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ලෙස ක්‍රියා කළේ ඒ අයුරින්..

එජ්බැස්ටන් හි මේ හතරවන ටෙස්ට් තරගයේ දී මැකෝ පන්දුව දෝලනය කර හෝ පන්දුවේ සීමය පතිත කරමින්, දිගටම පන්දු යවන්න පටන් ගත්තා.. එවිට පිතිකරණයේ යෙදී සිටි ග්‍රෙහැම් ගුච් ට පන්දුවට පහර දීමට පවා නොහැකි වුනා.. ඔහුගේ පන්දු එතරම් අසීරු යි.. මම ඔහුගේ පන්දු යැවීම ගැන නරඹන අතරතුර මගේ අවස්ථාව ලැබෙන තෙක් ඇඟිලි ගනිමින් සිටියා...

එකවරම ඔහු හැරී මා දෙස බලා, "ඇම්බී, මම මේ හාදයාව දවාගන්නේ කොහොමද කියලා දන්නවා ද ?"

"කඩුල්ල පසුපස උඩපන්දු රැකීමක්, බොහෝවිට ස්ලිප් පන්දු රකින්නන් වෙතට" මම ක්ෂනිකව පිළිතුරු දුන්නා..

"නෑ........" මැකෝ මට එලෙස පැවසුවා..

'ගුච් ට වැටෙන පන්දුව කොයිවෙලේ හරි පිත්ත අග්‍රයේ වැදිලා පිටිපස්සට යන්න අවස්ථාව වැඩියි, මැකෝ ට පිස්සුද මන්දා, මෙහෙම නොවෙන්න විදිහක් නෑ..' 

මම, මැකෝ ගේ පිළිතුර ගැන හිතුවේ එහෙම...

"මට මේ මනුස්සයා එහෙම දවාගන්න බෑ.. පන්දුව සෑහෙන්න දෝලනය වනවා, මට මේ මනුස්සයා දවාගන්න පුළුවන් පන්දුව කෙලින්ම කඩුල්ලේ ගැටෙන විදිහට විතර‍යි, ගුච් බලාපොරොත්තු වෙන්නේ මං දිගින් දිගටම කඩුල්ලෙන් එපිටට පන්දුව දෝලනය කරයි කියලා, මං එයාට කඩුල්ල තුළට පන්දුව යොමු කරනවා"  මැකෝ එලෙස මට පැවසුවා..

පන්දු කිහිපයකට පසු, මැකෝ කියපු විදිහටම කඩුල්ල තුළට පන්දුවක් යොමු කළා, ගුච් ඩ්‍රයිව් කිරීමකට උත්සහ කළා, පිත්ත සහ පා ආවරණය තුළින් පන්දුව කඩුල්ලේ ගැටී, ග්‍රෙහැම් ගුච් දැවී ගියා..

- කර්ට්ලි ඇම්බ්‍රොස්



No comments:

Post a Comment