Sunday, August 11, 2019

ටේට් ගේ ටෙස්ට් තරගය (Tate's TEST)

දකුණත් මඳ වේග පන්දු යවන්නෙකු වූ ෆ්‍රෙඩ් ටේට් පළමු පෙළ තරග තුළ තරග දිනවන්නෙකු ලෙස ප්‍රචලිතව සිටි සමයක 1902 වසරේ පැවති අළු බඳුන තරගාවලියේ සිවුවන තරගය සඳහා කැඳවීමක් ලැබිණ. තෙවන තරගය ඕස්ට්‍රේලියාව ජයගැනීම නිසාම සිවුවන තරගය කෙසේ හෝ ජයග්‍රහණය කිරීම එංගලන්ත කණ්ඩායමේ ඒකායන අරමුණ විය.
කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේ දෙවැනි ඉනිමේ දී ජෝ ඩාලින් විසින් ස්ක්වෙයාර් ලෙග් හි පන්දු රකිමින් සිටි ෆ්‍රෙඩ් ටේට් වෙතට ලබාදුන් උඩ පන්දුව අත්හැරීම නිසා ජෝ ඩාලින් සහ සිඩ් ග්‍රෙගරි ලකුණු 54ක තීරණාත්මක ලකුණු සම්බන්ධතාවයක් පිහිටුවා ගනිති. උඩ පන්දුව අත්හරින විට ඕස්ට්‍රේලියානු පිල කඩුලු 3ක් දැවී ලකුණු 16ක් පමණක් රැස්කර තිබිණ. (ඕස්ට්‍රේලියාව පළමු ඉනිම 299 / එංගලන්තය පළමු ඉනිම 262)
Fred Tate
ඕස්ට්‍රේලියාවේ දෙවැනි ඉනිමේ 8 වන කඩුල්ල ලකුණු 85 දී බිඳ වැටුණු විට තද වර්ෂාවක් පතිත වූ අතර එකල වර්තමානයේ මෙන් තණතිල්ල ආරක්ෂා කිරීමේ කිසිදු පියවරක් අනුගමනය නොකළ බැවින් ඉන් පසුව එහි පිතිකරණයේ යෙදීම ඉතාම අපහසු මට්ටමකට පත්ව ඇත. ඕස්ට්‍රේලියාව ලකුණු 86කට සියල්ලම දැවී ගිය අතර, ඒ අනුව එංගලන්තයට ජය්ග්‍රහණය සඳහා ලකුණු 124ක ඉලක්කයක් හිමිවිය.
ආර්චි මැක්ලරන් ගේ ලකුණු 35 නිසා එංගලන්තය ලකුණු 92කට කඩුලු 3ක් දැවී ජයග්‍රහණය පෙනී පෙනී සිටි අවස්ථාවක ඔවුන්ගේ මැද පෙළ බිඳ දමන්නට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් හට හැකිවූහ. ලකුණු 116ක් ලකුණු පුවරුව වාර්තා කරන අතරවාරයේ ඩික් ලිලී දැවී ගිය අතර අවසන් පිතිකරු ෆ්‍රෙඩ් ටේට්, අනෙක් අන්තයේ පිතිකරණයේ යෙදී සිටි විල්ෆ්‍රඩ් රෝඩ්ස් සමඟ එක්විය. නැවතත් වර්ෂාව නිසා මිනිත්තු 45කට තරගය නතර කළ අතර තරගය ආරම්භ වූ විගසම සෝන්ඩර්ස් විසින් යැවු පන්දුවට ෆ්‍රෙඩ් ටේට් ගේ පිත්තෙන් ලකුණු 4ක් වාර්තා විය.
නමුත් සෝන්ඩර්ස් විසින් එම පන්දුවාරයේ යැවු සිවුවන පන්දුවේ දී ෆ්‍රෙඩ් ටේට් ට පිත්ත නිවැරදිව එල්ල කරගැනීමට නොහැකි වූ අතර මදක් පහලින් පන්දුව පැමිණ කඩුල්ලේ දැවටමින් එංගලන්ත කණ්ඩායමට ලකුණු 3ක තියුණු පරාජයක් හිමිවිය.
ෆ්‍රෙඩ් ටේට්, එම පරාජය නිසා දැඩි කණස්සල්ලට පත්වූ අතර තරගයෙන් අනතුරුව ඔහු තුන්ඉරියව් ක්‍රීඩක ලෙන් බ්‍රොන්ඩ් වෙත පැවසුවේ, "මගේ ගෙදර කොල්ලෙක් ඉන්නවා, කවදහරි මම කරපු වැරදි, නිවැරදි කරලා දෙයි" ඉන් දශක 2කට පමණ පසු ෆ්‍රෙඩ් ටේට් ගේ පුත්, මොරිස් ටේට් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 39ක් ක්‍රීඩා කර කඩුලු 155ක් දවා ගන්නා ලදී.
Maurice Tate
ප.ලි. 
මෙම ටෙස්ට් තරගයේ දී වික්ටර් ට්‍රම්පර්, පළමු දිනයේ දහවල් ආහාරය සඳහා ලබාදෙන විවේක කාලයට පෙර ශතකයක් රැස්කරමින් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එවැනි දස්කමක් කළ මුල්ම පිතිකරුවා බවට පත්විය.

නායක ආර්චි මැක්ලරන්, ඔහුට එම තරගය සඳහා ලබාදුන් කණ්ඩායම පිළිබඳව සෑහිමකට පත් වී නැත. C.B. ෆ්‍රයි, ගිල්බර්ට් ජෙසප් සහ සිඩ් බාර්න්ස් වැනි ක්‍රීඩකයින් එම තරගයෙන් ඉවත් කර තිබු අතර ඔහුට කණ්ඩායමේ ක්‍රීඩකයින් හෙළි කළ පසු ඔහු, "My God, look what they've sent me" ලෙස පවසමින් විස්මයට පත් වී ඇත.

aq photo 635339848091716130317_zps7olcilbi.png

No comments:

Post a Comment