Wednesday, August 7, 2019

වෘත්තීය ක්‍රීඩකයෝ සහ වෘත්තීය නොවන ක්‍රීඩකයෝ

1962 වසරට පෙර එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩකයෝ බෙදා තිබුනේ අපූරු ක්‍රමයකට. වෘත්තීය ක්‍රීඩකයින් (Professionals) සහ වෘත්තීය නොවන ක්‍රීඩකයින් (Amateur) ලෙස කොටස් දෙකකට බෙදා තිබුණු අතර Amateur ක්‍රීඩකයින් "මහත්වරුන් (Gentlemen)" ලෙසට ද හඳුන්වා දී ඇත.

කණ්ඩායමේ නායකත්වය දරන්නේ නම් එම ක්‍රීඩකයා අනිවාර්යයෙන්ම Amateur ක්‍රීඩකයෙකු විය යුතු ය. එම නිසාම එම තනතුරට බොහෝ විට ප්‍රාන්ත කණ්ඩායම් වල එතරම් දක්ෂ නොවන අයෙක් පත්කරන අවස්ථා සුලබ විය. Amateur ක්‍රීඩකයෙකු ට වැටුපක් හිමි නොවූව ද ඔවුනට Professional ක්‍රීඩකයෙකුට ත් වඩා සැලකිල්ලක් හිමි විය. වෙනම හෝටල් කාමරයක්, ආහාර පාන වගේම ඔවුන්ගේ නම ලකුණු පුවරුවේ දැක්වූයේ මුලකුරු වලින් ආරම්භ වූ සම්පුර්ණ නමක් ලෙස යි. Professional ක්‍රීඩකයින් වාසගමින් හැදින්වූ අතර, ඔවුන්ගේ නම් ලකුණු පුවරුවේ දැක්වූයේ මුලකුරු වාසගමට පසුව යෙදවීමෙනි.

සමහර තරග තුළ Amateur ක්‍රීඩකයින් ක්‍රීඩා පිටියට පැමිණිමට වෙනම ගේට්ටුවක් ද සකසා තිබු අතර Professional ක්‍රීඩකයින් වැටුපක් හිමි සාමාන්‍ය රැකියාවක් කරන අයෙක් වශයෙන් සැලකුම් ලැබීය. වරක් 1950 ලෝර්ඩ්ස් හි දී පැවති තරගයක දී ෆ්‍රෙඩ් ටිට්මස් ගේ නම F.J. Titmus නොව Titmus F.J. ලෙස වෙනස් කරන බව ප්‍රේක්ෂකාගරයට නිවේදනයක් නිකුත් විය. එමෙන්ම Amateur ක්‍රීඩකයින් 'Mr.' හෝ 'Esq.' ලෙසට ද ලකුණු සටහන් කරන අවස්ථා වල දී දක්වා ඇත.

කෙසේ වෙතත් 1954 දී ලෙන් හට්න් එංගලන්ත නායකයා බවට පත් වූයේ Peofessional ක්‍රීඩකයෙකු ලෙසයි. ඊට පෙර 40 දශකයේ දී වොලී හැමන්ඩ් එංගලන්ත නායකයා බවට පත්වූයේ Professional ක්‍රීඩකයෙකු ලෙස ඔහු ඒ වනවිට දරමින් සිටි වර්ගීකරණයෙන් Amateur ක්‍රීඩකයෙකු බවට පරිවර්තනය වීමෙන් අනතුරුවයි. නමුත්, ලෙන් හට්න් එම ක්‍රමයට කැමැත්තක් දැක්වූයේ නැති නිසාම එතැන් පටන් මෙම Gentlemen & Amateur සංකල්පය නතර කළ යුතු බවට කතිකාවක් ගොඩනැගිණ. ඒ අනුව 1962 වසර වන විට මෙම සංක්ලපය සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලදී.


No comments:

Post a Comment