Tuesday, December 11, 2018

හතරේ සීමාවෙන් එහා - Beyond The Boundary Line - 2

ගිය සෙනසුරාදා (08.12.2018) කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන නැගී එන ක්‍රිකට් කණ්ඩායම අතර මැච් එකක් පැවැත්වුනා. ආසියානු නැගී එන ක්‍රිකට් ශුරතාවය වෙනුවෙන් මේ වන විට පැවැත්වෙන තරගාවලියේ අවසන් පූර්ව වටයට මේ වනවිටත් ශ්‍රී ලංකා පිල තේරීපත් වී අවසන්.

ඉතින් මේ මැච් එක බලන්න ගිය අයට බලන්න ලොකු ප්‍රේක්ෂකාගාර නං නෑ. ඉතින් හරියටම NCC ක්‍රීඩා පිටියට ඉස්සරහ, පාරෙන් එහා පැත්තේ කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනයේ (නිල නොවන) පොඩි ගේට්ටුවෙන් ඇතුල්වෙලා එතන තිබ්බ ලොකු කොස් සහ අඹ ගස් දෙක යට වාඩි වෙලා මැච් එක බලන්න එද්දී ඇෆ්ගනිස්තාන ඉනිම අවසන් වෙලා ශ්‍රී ලංකා ඉනිම ආරම්භ වුනා විතරයි.

කොස් ගහ යට - Courtesy: Twitter

ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි අඩු ලකුණු ගණනකට දැවී යද්දී අනිත් අන්තයේ ක්‍රීඩා කරපු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු රැස්කිරීම වේගවත් කළා. අවිශ්ක ගේ සහයට පැමිණි හසිත බෝයාගොඩ ද අඩු ලකුණු ගණනකට දැවී ගියාට පස්සේ පිටියට පැමිණියේ ජාතික කණ්ඩායමේ පළපුරුදු තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න. අසේල එක අන්තයක් ආරක්ෂා කරගෙන ඉන්න අතරේ අවිශ්ක අනිත් අන්තයෙන් ලකුණු රැස්කරන්න පටන් ගත්තා.

මේ මැච් එක යන අතරතුර කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනයට හිටපු ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ මහත්මයා සහ NCC ක්‍රීඩා සමාජයේ ග්‍රවුන්ඩ් බොයි කෙනෙක් මං වාඩි වෙලා හිටපු ඔය සුප්‍රසිද්ධ කොස් ගහ යටට ආවේ අව් රශ්මියට මුහුණ දෙන්න අකමැති නිසා. පස්වරු 1.30 - 2.00 වගේ වෙලාවක් ඉර එලිය වැටෙන විදිහ ගැන වෙනම කියන්න ඕනේ නෑ නේ. ඉතින් ඔය ග්‍රවුන්ඩ් එක වටේට තියන ලොකු ගස් මැච් බලන අයට මාරම වටිනවා. ඉතින් ගුරා , NCC ග්‍රවුන්ඩ් බෝයි එක මැච් එක ගැන කතා කර කර ඉන්දැද්දී එතනට ආවේ දේශීය ක්‍රිකට් විස්තර විචාරකවරයෙකු වන සේන නන්දවිර මහත්මයා. එදා පාන්දර නවසීලන්තයේ පවත්වපු පුහුණු තරගය අතරතුර ඇන්ජෙලෝ මැතිව්ස් ගේ පිතිකරණය ගැන වගේම කණ්ඩායමේ මුල්පෙළ සහ මැද පෙළ පිතිකරණ දුර්වලතා ගැන මේ දෙන්නා සෑහෙන්න වෙලා කතාකළා. 

ගුරා - Courtesy: IMS Vintage Photos

ඒ එක්කම NCC ග්‍රවුන්ඩ් බෝයි, 80 / 90 දශකයේ දී NCC ක්‍රීඩා සමාජයේ තරග සියල්ලන්ටම වගේ සහය පළකරපු විදිහ ගැනත් මේ දෙන්නා කතාකරද්දී මේ ග්‍රවුන්ඩ් බෝයි ට මාරම සතුටුයි වගේම මුණ පුරාම ලොකු හිනාවක්. ගුරා ඒ එක්කම පරණ මැච් එකක සිදුවීමක් මතක් කළා. මැච් එක SSC සහ NCC වෙන්නෝන. මැච් එක තියලා තියෙන්නේ මොරටුව ටිරෝන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ. (මේ ක්‍රිකට් සමාජ දෙක මැච් එකක් ගැහුවම ඒක සෑහෙන්න කතාබහට ලක්වෙනවා වගේම ලංකාවේ ක්‍රීඩා සමාජ අතර වඩාත්ම කැපී පෙනෙනම තරගය කිව්වොත් වැරදි නෑ.) මේ මැච් එකේ දෙපිලේම පළමු ඉනිම් අවසන් වෙද්දී NCC කණ්ඩායම පළමු ඉනිමේ ජයග්‍රහණය හිමිකරගෙන තිබු අවස්තාවක දී මේ මැච් එක බලන්න වගේම සහය පළකරන්න ආපු මේ ග්‍රවුන්ඩ් බෝයි ට කොච්චර සතුටු ද කියනවා නං හතරේ සීමාවෙන් එහා බල්ටි ගගා සැමරුවා කියලා කියනවා. හැබැයි තුන්වෙනි සහ අවසන් දිනයේ දී දෙවැනි ඉනිම වෙනුවෙන් ක්‍රීඩා කරමින් හිටපු NCC කණ්ඩායම අඩු ලකුණු ගණනකට දවාගෙන SSC කණ්ඩායම ඉලක්කය හඹා ගිහිල්ලා ජයග්‍රහණය කරපු බව අසංක ගුරුසිංහ මතක් කරද්දී මේ හැමෝම හිනාවුනා. පරණ මැච් බලන්න සෑහෙන්න සෙනඟක් ඒ කාලේ හිටියත් දැන් එහෙම නෑ. (ගුරා මතක් කරපු මැච් එකේ scorecard එක මේක වෙන්නෝන - SSC සහ NCC 1993 මැයි ) 

ආයෙත් අපි මැච් එක ගැන බැලුවොත්, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 81 වාර්තා කරද්දීම අසේල ගුණරත්න පන්දුයවන්නා ට පහසු උඩ පන්දුවක් ලබාදෙමින් දැවී ගියේ සිවුවන කඩුල්ල විදිහට. එතකොට අවිශ්කත් දැවී ගිහින්, කමිඳු මෙන්ඩිස් පිතිකරණයේ යෙදෙමින් හිටියේ. අසේල ගේ දැවී යාමෙන් පස්සේ නායක සම්මු අශාන් , කමිඳු ගේ සහායක පිතිකරුවා විදිහට පැමිණියා. 

කමිඳු සහ අශාන් ක්‍රමයෙන් ලකුණු රැස්කරන්නට පටන්ගනිද්දී හරි අපුරු දෙයක් වුනා. යාර 30 සීමාවෙන් එලියේ වැඩිපුර ක්‍රීඩකයෙක් ස්ථානගත වෙලා හිටපු නිසා ශ්‍රී ලංකා පිලට අමතර ලකුණක් හිමිවුණා. සම්මු අශාන් දුවද්දී දැවී යාමකට හසුවෙන්න ඔන්න මෙන්න තියෙද්දී තමා ඔය සිද්ධිය වුනේ. 

මැච් එකේ තීරණාත්මක අවස්ථාවේ දී සම්මු අශාන් දැවී යනවා. ඊට පස්සේ ආපු ශෙහාන් ජයසුරිය ඊට කලින් දවසේ මිගමුව ක්‍රීඩා සමාජය වෙනුවෙන් නොදැවී ලකුණු 47ක් රැස්කරලා ඔහුගේ ඉනිම අත්හිටුවලා මේ මැච් එක වෙනුවෙන් ක්‍රීඩා කරන්න සිදුවුනා. ඊට හේතුව වුනේ කණ්ඩායමේ නායක චරිත් අසලංක ආබාධයකට ලක්වෙලා ඒ වෙනුවට ශෙහාන් ජයසුරිය කණ්ඩායමට ආදේශ කරපු නිසා. ඉතින් ශෙහාන් ජයසූරියට රැස්කරන්න පුළුවන් වුනේ ලකුණු 1ක් විතරයි. ඊළඟට ආපු ජෙහාන් ඩැනියල් ටත් ආයේ ක්‍රීඩාගාරයට යන්න සිද්ධ වුනේ ඇෆ්ගනිස්තාන දඟ පන්දු යවන්නන් ගේ දක්ෂතා ඉහළ මට්ටමක තිබුණ නිසා. 
කමිඳු - Courtesy: Batsman.com
පිතිකරුවෝ එකින්එක ක්‍රීඩාගාරයට යද්දී නොසැලෙන ඉනිමක් දියත් කරන්නට කමිඳු මෙන්ඩිස් ට හැකිවුනා. ඒ ඉනිම අතිවිශිෂ්ටයි. ඔය අතර කමිඳු මෙන්ඩිස් ලොකු පහරක් එල්ල කරන්න සීමාවෙන් එළියට පැමිණෙද්දී පිත්තේ නොවැදිච්ච පන්දුව කඩුලු රකින්නා අතට ගියා. හැබැයි ඒ මිලි තත්පර කිහිපය අතර කඩුලු රකින්නටත් පන්දුව නිවැරදිව ග්‍රහණය කරන්න බැරිවුනා. පන්දුව කඩුලු ඉනි සහ සිමා ඉර අතර ට වැටෙද්දී රකින්නා ඉස්සරහට ඇවිල්ලා පන්දුව ට පැනලා ස්ටම්ප් කිරීමකට ලක්කරන්න හැදුවා. හැබැයි නොදැනුවත්වම කමිඳු මෙන්ඩිස් ට බාධා කළා. කමිඳු ට පිත්ත සීමා ඉර ට එහා තියන්න විදිහක් නැත්තේ කඩුලු රකින්නා බිම පෙරලිලා හිටපු හින්දා. විනිසුරුවරයා මේ සිදුවීම දැකපු නිසා කමිඳු මෙන්ඩිස් ට ආයෙත් පිතිකරණයේ යෙදෙන්න අවස්ථාව ලැබුනා.

කමිඳු ක්‍රමයෙන් අර්ධ ශතකයත් රැස්කළා, සහයට ශෙහාන් මධුශංක යම් දායකත්වයක් ලබාදුන්නා වගේම ඔහුගේ දැවී යාමෙන් පස්සේ ලසිත් ඇඹුල්දෙනියට ලොකු වගකීමක් පැටවුණා. 

මේ මැච් එක බලද්දී කොස් ගහ යට වටකරලා බැඳපු ගඩොල් බැම්ම ළඟ පුටුවක් තියාගෙන කෑගහලා සපෝර්ට් කරන කෙනෙක් හිටියා. බලද්දී ඒ ලසිත් ඇඹුල්දෙනිය ගේ තාත්තා. ලසිත් පිත්ත අරගෙන එද්දී ඇඹුල්දෙනිය මහත්තයා කිව්වේ ලසිත් ට ලොකු පිතිකරණ හැකියාවක් නෑ එයා වැඩියෙන්ම දැවී ගිහිල්ලා තියෙන්නේ කඩුල්ල මුවා කිරීම නිසා කියලා. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු තත්ත්වය 200 ට කිට්ටු වෙද්දීම කමිඳු මෙන්ඩිස් දැවී යන්නේ වේග පන්දු යවන්නා ගේ කෙටි පන්දුව නිසා. ජයග්‍රහණය සඳහා ලකුණු 14ක් ගහන්න ඕනකම තියෙද්දී අවසන් පිතිකරුවා විදිහට අසිත ප්‍රනාන්දු පැමිණියා. පන්දු 18 කින් ලකුණු 12ක් ගහන්න අවශ්‍ය වෙලා තිබ්බ අවස්ථාවේ දී අසිත මිඩ් ඕන් කලාපයෙන් පන්දුව ඔසවා හතරේ පහරක් එල්ලකළා. ඒ අවස්ථාවේ දී ඒ හතරේ පහර සෑහෙන්න වටින එකක් වුනා. අවසන් පන්දුවාරය වෙද්දී ලකුණු 2ක් ගහන්න තියෙද්දී වේග පන්දු යවන්නා පන්දු යවන අන්තයේ හිටපු අසිත ප්‍රනාන්දු මන්කාඩ් ක්‍රමයට දවාගන්නට උත්සහ කළා. ඒකත් අසාර්ථක වුනා. ජයග්‍රාහි ලකුණ වාර්තා කරමින් අසිත ප්‍රනාන්දු ඉනිම අවසන් කරද්දී වෙලාව 5.30 ට කිට්ටුයි. 

aq photo 635339848091716130317_zps7olcilbi.png
@AAQEEEB

No comments:

Post a Comment