බොඩිලයින් - 07

පර්සි ෆෙන්ඩර්

පෙර ලිපි වල සඳහන් කළ පරිදි බොඩිලයින් තරගාවලියේ ක්‍රියාත්මක වූ ලෙග් ට්‍රැප් තියරිය සඳහා පිඹුරුපත් සැකසූ ප්‍රධානතම පුද්ගලයින් තිදෙනාගෙන් අයෙක් ලෙස පර්සි ෆෙන්ඩර් හැඳින්වීම වැරැද්දක් නෑ.

පර්සි ෆෙන්ඩර් සැලකෙන්නේ එංගලන්තය් නායකත්වයට පත් නොවූ හොඳම නායකයෙක් එහෙමත් නැත්නම් නියම කැප්ටන්සි මටේරියල් එකක් හැටියට.

සමකාලීන ක්‍රිකට් නායකයින් සමඟ සසඳා බලනවිට පර්සි ෆෙන්ඩර් ගේ උපායමාර්ග සහ අදහස් දශක කිහිපයක් ඉදිරියේ තියන්න පුළුවන්.

පර්සි ෆෙන්ඩර් 

පර්සි ෆෙන්ඩර් ගේ නායකත්වයෙන් තරමක් සාමාන්‍යය මට්ටමේ ක්‍රීඩකයින් බහුතරයකින් සමන්විත සරේ කණ්ඩායමට ප්‍රාන්ත තරගාවලි කිහිපයකම ඉහළ දස්කම් දැක්වීමට 1920 දශකයේ දී හැකිවුනා.

ෆෙන්ඩර් පාසල් කාලයේ සිට වෙනස් ක්‍රම ඔස්සේ තරග ජයග්‍රහණය කරවීමට උත්සහ ගත් බවට හොඳම උදාහරණය සාන්ත පෝල් වෙනුවෙන් ක්‍රීඩා කරන විට පිත්තෙන් ශතකයක් රැස් කළ ඔහු ප්‍රතිවාධින් වූ බෙඩ්ෆර්ඩ් පාසල පරාජය කරවීමට ඔහු ලොබ් පන්දු යැවීමයි.


1920 වසරේ දී සරේ ප්‍රාන්තයේ නායකත්වයට පර්සි ෆෙන්ඩර් පත්වන්නේ සිරිල් විල්කින්සන් වෙනුවට. ෆෙන්ඩර් ක්‍රීඩා කරන සමය සහ ඉන් පෙර ක්‍රිකට් ක්‍රීඩාවේ කණ්ඩායමේ නායකත්වය දැරූ ක්‍රීඩකයා තරග සැලසුම් වලට වඩා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ විනය සඳහා වැඩි අවධානයක් යොමු කළා.

නමුත්, 1921 දී වෝර්වික් ආම්ස්ට්‍රෝන් (බිග් ශිප් යන අන්වර්ථ නාමය හිමි) යටතේ පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම තුළ විශාල වෙනස්කම් දක්නට ලැබුණා.. එයට බලපෑවේ ආම්ස්ට්‍රොන්ගේ ගේ නායකත්වය යි. ඔහු සාම්ප්‍රදායික ක්‍රම වලින් බැහැරව ගොස් අවස්ථානුකූලව ආක්‍රමණශීලි සහ ආරක්ෂිත සැලසුම් තරගයන් තුළ භාවිතා කරන්නට ආරම්භ කළා.

'බිග් ශිප්' - වොර්වික් ආම්ස්ට්‍රෝන්ග්

මෙය ෆෙන්ඩර් ගේ විශේෂ අවධානයටත් එය ඔහු විසින් පැසසුමටත් ලක් කළා..
ෆෙන්ඩර් පවසන පරිදි, ආර්ම්ස්ට්‍රෝන්ග් විසින් ජැක් ග්‍රෙගරි සහ ටෙඩ් මැක්ඩොනල්ඩ් වේග පන්දු යවන්නන් භාවිතා කරමින් එංගලන්ත පිතිකරුවන්ට තරගයක ආරම්භක අවස්ථාවේම කෙටි පන්දු යවමින් අපහසුතාවයට ලක් කළා.

එසේ කරන විට කඩුලු නොඑන්නේ නම්, දඟ පන්දු යවන්නන් භාවිතා කරන අතර , ඔවුන් කඩුල්ලක් දවාගත් පසු පැමිණෙන නව පිතිකරුවාට නැවතත් ග්‍රෙගරි-මැක්ඩොනල්ඩ් කෙටි පන්දු වට්ටෝරුව ලබා දුන් බවට වැඩිදුරටත් සඳහන් කරනවා.

ෆෙන්ඩර් ගේ 1920 -1930 අතර කාලයේ සරේ පිලේ ප්‍රබල පිතිකරුවන් කිහිපදෙනෙක් සිටියත් පන්දු යැවීමේ බලඇණිය දුර්වල මට්ටමක තිබුණා.

ජැක් හොබ්ස්, ඇන්ඩි ඩුකාට්, ඇන්ඩි සැන්ඩ්හැම්, තෝමස් ශෙපර්ඩ්, ඩග්ලස් ජාඩින් වැන්නන් පිතිකරණය ශක්තිමත් කළත් 1921 දී ටොම් රුශ්බි ක්‍රිකට් දිවියෙන් සමුගැනීමත් බිල් හිච් ගේ මුල් කාලයේ තිබුණු ප්‍රබලත්වය හීන වීමත්, ඇලන් පීච් ගේ මද වේග පන්දුවෙන් සාර්ථකත්වය අවම වීමත් නිසා සරේ පිලට හොඳ මට්ටමේ පන්දු යවන්නන් කිහිපදෙනෙක් ගේ අඩුව තදින්ම දැණුනා.

රොනල්ඩ් මේසන් විසින් රචිත Sing All A Green Willow (1967) හි ෆෙන්ඩර් පන්දු යවන්නෙක් ලෙස සරේ කණ්ඩායමේ අඩුව මකන්නට ක්‍රියා කළ ආකාරය සඳහන් කළේ, "ගෲශෝ මාර්ක්ස් තම සහෝදරයන් අනුකරණය කරමින් හැසිරෙන්නාක් මෙන්, ෆෙන්ඩර් මිනිත්තු විස්සක් තුළ සීමය පතිත කරමින් වේග පන්දුවත්, පා දඟ පන්දුවත්, පිට දඟ පන්දුවත්, අතිශය සාර්ථක ගුග්ලි පන්දුවත්, මද වේග පන්දුවෙන් ඔෆ් කටර් සහ පිතිකරුවා අන්ද මන්ද කරමින් ෆුල් ටොස් පන්දු යවන්න ඔහුට හැකියාවක් ඇත" යනුවෙන්. (පර්සි ෆෙන්ඩර්, ගෲශෝ මාර්ක්ස් ගේ Doppleganger කෙනෙක් ට සමාන කරනවා).

ෆෙන්ඩර් ට අවශ්‍යය වූයේ කෙසේ හෝ තරග ජයග්‍රහණය කිරීමට යි. වරක් ඔහු බේස්බෝල් පුහුණුකරුවෙක් ට ආරාධනා කරමින් සරේ පන්දු රකින්නන් ට පන්දු විසිකිරීමේ පුහුණු සැසියක් ද පවත්වන්නට ක්‍රියා කළා.

පර්සි ෆෙන්ඩර් බේස්බෝල් ක්‍රීඩකයෙක් සමඟ

සරේ ප්‍රාන්තයේ සාම්ප්‍රදායික කැප් තොප්පිය, ඉර එළියෙන් වැඩි ආරක්ෂාවක් සහ පහසුවක් දැනෙන පරිදි නැවත නිර්මාණය කර දෙන්නට පර්සි ෆෙන්ඩර් ට හැකිවුණා.

නායකයෙක් වශයෙන් ෆෙන්ඩර් සරේ ප්‍රාන්තයේ කාගෙත් ප්‍රශංසාවට ලක්වුනත් ඔහු ක්‍රිකට් බලධාරින් සමඟ විවිධ මත ගැටුම් ඇතිකරගෙන තිබුණා. විශේෂයෙන්ම ලෝර්ඩ් හැරිස් සමඟ.

එය ඔහුට එංගලන්ත කණ්ඩායමේ ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට අවස්ථා අඩු වීමටත් එංගලන්ත කණ්ඩායමේ නායකත්වය හිමි නොවීමටත් බලපෑවා.

1931 වසරේ දී සරේ ප්‍රාන්තයේ නායකත්වය සඳහා ජාඩීන් පත් කරන්නැයි ඉල්ලා පර්සි ෆෙන්ඩර් නායකත්වයෙන් සමුගන්නට තීරණය කළත් සරේ නිලධාරින් ඊට ඉඩ දුන්නේ නෑ.
නමුත්, 1932 පළමු පෙළ තරගාවලි සමයේ ෆෙන්ඩර්, සරේ නිලධාරින් සමඟ දිගින් දිගටම ගැටළු ඇති කර ගැනීම නිසා ෆෙන්ඩර් නායකත්වයෙන් ඉවත් කර ඒ වෙනුවට ඩග්ලස් ජාඩීන් පත් කරන්නට සරේ ප්‍රාන්ත ක්‍රිකට් නිලධාරින් තීරණය කළා.


එම පත්වීමෙන් පසු 1932 වසරේ දී ජාඩින් ට එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය හිමි වූ අතර ඒ සඳහා එංගලන්ත තේරිම් කමිටුවට තිරය පිටුපස සිට බලපෑම් කළේ පර්සි ෆෙන්ඩර්.

ජාඩින් සහ ෆෙන්ඩර් ඉතා ළඟින් ඇසුරු කළ මිත්‍රයින් වූ අතර ෆෙන්ඩර් , ටෙස්ට් ක්‍රීඩකයෙක් ලෙස ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ක්‍රීඩා කළ අත්දැකීම් ජාඩීන් ට ඉදිරියේ පැවැත්වීමට නියමිත අළු බඳුන තරගාවලියට අතිශය වැදගත් වුණා.

ඩග්ලස් ජාඩින් විසින් රචිත "In Quest of the Ashes" හි සඳහන් කරන්නේ මෙවැන්නක්;
"අතිශය වටිනා ක්‍රිකට් බුද්ධියක් හිමි, මගේ හිටපු නායකයා පර්සි ෆෙන්ඩර්, මට හඳුනාගන්නට ලැබීම මගේ වාසනාවක් හැටියට සලකනවා..ඔහුට පුළුවන් වුනා ඕනෑම වෙලාවක එකිනෙකට වෙනස් සැලසුම් 3ක් ගෙන එන්න. 

අපි දෙන්නම එකඟ වෙච්ච් කාරණය තමයි, ඕනෑම තරගයක හදිසි අවස්ථා උදාවන අතර එවැනි මොහොතක දී අවදානමක් ගෙන සමහර තීරණ වලට එළැබිය යුතු බවට.."
1932/33 අළු බඳුන තරගාවලිය ට පෙර පර්සි ෆෙන්ඩර් ගේ එංගලන්ත ටෙස්ට් ක්‍රීඩා දිවිය අවසන්ව තිබුණත් ඔහු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම පුවත්පත් වාර්තාකරුවෙකු ලෙස සක්‍රියව දායකත්වය සපයමින් සිටියා.

සෑම ක්‍රිකට් සංචාරයක දී පුවත් වාර්තාකරණයට අයෙක් නම් වන අතර. බොහෝවිට ඔහු ක්‍රීඩකයෙක්. එකල බොහෝ ක්‍රීඩකයින්ගේ අර්ධ කාලීන රැකියාව වූයේ පුවත්පත් වාර්තාකරුවෙකු ලෙස සේවය කිරීමයි. ෆෙන්ඩර් 1928/29 තරගාවලියේ දී ද ඕස්ට්‍රේලියාවට පුවත් වාර්තාකරණය සඳහා පිටත් වූවත් 1932/33 දී සහභාගි වන්නට නොහැකි වනවා.
එයට හේතුව එංගලන්ත ක්‍රිකට් ආයතනය ෆෙන්ඩර් වෙනුවට ජැක් හොබ්ස් එම තනතුරට පත් කිරීමයි. ජැක් හොබ්ස් ගේ කාර්‍යය සඳහා ඔහුට Ghostwriter කෙනෙක් සිටියා (හොබ්ස් වෙනුවට ලිපි ලියන අයෙක්), ඔහු නමින් ජැක් ඉන්හැම්.



තරගාවලියට පෙර ජාඩින්,කාර්, ලාවුඩ්, වෝස් සමඟ ෆෙන්ඩර් පිකඩලි හෝටලයේ දී රාත්‍රී ආහාර වේලකට එක්වුනේ ඔවුන්ගේ සැලසුම් ගැන සාකච්ඡා කිරීමට.

'එංගලන්ත කණ්ඩායම විසින් වේග පන්දු යවන්නන් රැසක් සමඟ ඕස්ට්‍රේලියානු මහද්වීපයට ගොඩ බෑමට නියමිත බවත්, එවැනි වැඩි පිරිසක් පැමිණීමට හේතුව, ඔවුන්ගේ සම්පූර්ණ ශක්තිය පිතිකරුවන්ට එරෙහිව භාවිතා කිරීමත් එම නිසාම ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට පිතිකරණ ශෛලිය වෙනස් කරන්නට සිදුවිය හැකිබවට අනුමානය කරන බවට', ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් විසින් හුවමාරු කරගෙන තිබූ ලිපි කිහිපයක්, ෆෙන්ඩර් ජාඩින් ට ලබා දෙනවා.

ප.ලි. - 'බොඩිලයින්' රූපවාහිනි කතා මාලාවේ පරිදි ෆෙන්ඩර්, ජාඩීන් නායකත්වයට පත්වීම පිළිබඳව අසතුටට පත්වීම, නිවැරදි නොවේ.. ජාඩීන් නායකත්වයට පත්වන්නට ප්‍රබල දායකත්වයක් ෆෙන්ඩර් ගෙන් සිදුවූ බවටයි මූලාශ්‍ර වල දක්වන්නේ..


මූලාශ්‍ර:-
1) In quest of the Ashes
2) A far greater force than his records would suggest”: The Cricket, Captaincy and Innovation of P. G. H. Fender - oldebor
3) Bodyline Autopsy by David Frith

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments