බොඩිලයින් - 03

බොඩිලයින් ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යුතු ද යන්න සාකච්ඡා වට කිහිපයක් ජාඩින් ප්‍රමුඛව ක්‍රීඩකයින් සහ MCC කමිටුව අතර පැවතුනත් එය තරගාවලිය ආරම්භ වන තෙක් භාවිතා වුනේ නෑ..

එයට හේතු ලෙස ෆිලිප් ඩෙරිමන් විසින් රචිත 'බොඩිලයින්' කෘතියේ සඳහන් වන්නේ, ජාඩින් ට 100%ක් එය ක්‍රියාත්මක කළ යුතු බවට ධනාත්මක පැහැදීමක් ඒවන විටත් තිබුනේ නැති බවට.

ඩග්ලස් ජාඩින්

BODYLINE රූපවාහිනි කතාමාලාවේ පෙන්වන පරිදි , ජාඩින්, බිල් බෝව්ස්, බිල් වෝස් සහ හැරල්ඩ් ලාවුඩ් සියල්ලම, 1932/33 අළු බඳුන තරගාවලියේ දී ලෙග් ට්‍රැප් තියරිය ක්‍රියාත්මක කළ යුතුම බවට තීරණයකට එළැඹෙන බවට පෙන්වූවත්, එය ඒ ආකාරයට සිදුවන්නේ නෑ..
බිල් බෝව්ස් හට, ජාඩින් ගේ සැලසුම් ගැන කිසිදු අදහසක් තිබුනේ නෑ. නමුත්, බිල් බෝව්ස් ට එවැනි පන්දු යැවීමේ ක්‍රමවේදයක අත්දැකීම ඊට පෙර තිබුණා.

එය සිදුවන්නේ 1932 වසරේ යෝර්ක්ෂයර් සහ සරේ ප්‍රාන්ත අතර තරගයක. ජැක් හොබ්ස් වැනි එවකට එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ පතාක යෝධයෙක් බඳු පිතිකරුවෙකු ට යෝර්ක්ෂයර් ප්‍රාන්ත ක්‍රීඩකයන්ට ආවේණික මුරණ්ඩු ස්වරූපයකින් යුත් පන්දු යැවීමක්, එදා බිල් බෝව්ස් විසින් පෙන්නුම් කළා.

ජැක් හොබ්ස්

එවකට 49 හැවැරිදි වියේ පසු වූ හොබ්ස් ට එරෙහිව දිගින් දිගටම කෙටි පන්දු යොමු කළ බිල් බෝව්ස්, ඔන්/ලෙග් සයිඩ් හි පන්දු රකින්නන් වැඩි ප්‍රමාණයක් ස්ථානගත කරන්නට වගබලා ගත්තා.

මෙම පන්දු යැවීම නැරඹූ පෙල්හැල්ම් වෝනර් ('ප්ලම්' වෝනර් ලෙස කා අතරත් ජනප්‍රිය) , දැඩි ලෙස මෙම ක්‍රමවේදයට එරෙහි වුනා (නමුත්, බොඩිලයින් තරගාවලියේ MCC කළමණාකරු ලෙස කටයුතු කළේ ප්ලම් වෝනර්).

ලෙග් ට්‍රැප් ක්‍රමය යනු කුමක් ද යන්නත්, එය ඉදිරියේ පැවැත්වීමට නියමිත අළු බඳුන තරගාවලියේ දී බ්‍රැඩ්මන්ට එදිරිව භාවිතා කිරීමට තමන් සිතන බවත් ඩග්ලස් ජාඩින් මුල්මවරට විස්තර කරන්නේ ලාවුඩ් සහ වෝස්, නොටින්හැම්ෂයර් පන්දු යවන්නන් දෙදෙනාට පමණයි. 

බිල් බෝව්ස් මේ පිළිබඳව නොදැන සිටි අතර 1932/33 අළු බඳුන තරගාවලියේ ඇඩ්ලේඩ් හි පැවති තෙවන පුහුණු තරගයේ දී (සවුත් ඕස්ට්‍රේලියා පිළට එරෙහිව) බිල් බෝව්ස් මුල්ම වරට ඩග්ලස් ජාඩින් ගේ ලෙග් ට්‍රැප් තියරිය ක්‍රියාත්මක කිරීමේ අදහස දැනගන්නේ පහත අයුරින්. මෙය බිල් බෝව්ස් ගේ ස්වයං චරිතාපදානය වන "එක්ස්ප්‍රස් ඩිලිවරිස් (Express Deliveries)" හි සඳහන් වනවා;

"ඇඩ්ලේඩ් හි දී අපි සවුත් ඕස්ට්‍රේලියා පිළ සමඟ ක්‍රීඩා කළා. ඔවුන් ලකුණු 290ක් රැස් කරද්දී, එයින් ලකුණු 134ක් ම රැස් කළේ වික් රිචර්ඩ්සන්. මම කෙටි පන්දුවක් යොමුකරද්දී වික් රිචර්ඩ්සන්, අලංකාර පුල් පහරක් එල්ල කරමින් ස්ක්වෙයාර් ලෙග් දෙසින් හතරේ පහරක් එල්ල කළා.. 
'ස්කිපර්, මට ලෙග් සයිඩ් එකේ තව පන්දු රකින්නෙක් ස්ථානගත කරලා දෙන්න පුළුවන් ද ?' මා, නායක ජාඩින්ගෙන් ඉල්ලිමක් කළා.. 
'බැහැ.. , හැබැයි එක්කෙනෙක් වෙනුවට මං පස්දෙනෙක් ස්ථානගත කරලා දෙන්නන්' ජාඩින් පිළිතුරු දුන්නා.. 
මේ පිළිතුර මට තේරුම්ගැනීමට නොහැකි වුනා.. නැවතත් කෙටි පන්දුවක් මම යොමු කළ අතර එයටත් රිචර්ඩ්සන් හතරේ පහරක් එල්ල කළා.. 
මම නැවතත් ජාඩින් ගෙන් තවත් පන්දු රකින්නෙක් අවශ්‍යය බවට ඉල්ලීමක් කළා.. එයට ජාඩ්න් ගේ පිළිතුර පෙර පරිදිමයි.. 
ජාඩින් ගේ මේ වගේ ආකල්පයක් මම මීට කලින් දැකලා තිබුනේ නෑ. 
ජාඩින් පන්දු රකින්නෙක් වැඩිපුර ලබා දීමට හෝ මා පන්දු යැවීමෙන් ඉවත්කරන තෙක්, මා දිගින් දිගටම කෙටි පන්දු යොමු කිරීමට සිතා ගත්තා. 
ඒ අනුව, ජාඩින් ට මා පන්දු යැවීමෙන් ඉවත් කරගන්නට සිදුවුනා. නමුත් ඒ වෙද්දී රිචර්ඩ්සන් ලකුණු 50ක් වත් රැස්කරගන්නට ඇති. 
එදින සවස් යාමයේ විවේකාගාරයේ දී ජාඩින් මා ළඟට පැමිණ, මාත් එක්ක කතාකරන්නට උවමනා බවට, පැවසුවා. 
මමත් එයට එකඟ වුනා.  
හෝටල් කාමරය තෙක් ඇවිද යමින් සාකච්ඡා කරන්නට අපි තීරණය කළා. 
එසේ ඇවිද යන අතරතුර, මිනිත්තු කිහිපයක අප දෙදෙනා අතර පැවතුන නිහඬතාවය බිඳ දමමින්, ජාඩින් සංවාදය ආරම්භ කරන්නට පටන් ගත් නමුත්, එයට බාධා කරමින් මා පැවසුවේ, 'මගේ ඉල්ලීමට එවැනි ප්‍රතිචාරයක් දක්වන්නේ නම් මම දිගින් දිගටම එවැනි ආකාරයෙන් පන්දු යවන්නට සිතා සිටින බවත් , ඒ නිසාම අනවශ්‍යය ලෙස ලකුණු රැස් කරගන්නට ඔවුන්ට හැකිවනු ඇති බවත්'. 
ජාඩින්, මා දෙස බලා පැවසුවේ, "මගේ යටතේ ක්‍රීඩා කරන ඕනෑම කෙනෙක්, ක්‍රියා කරන්න ඕන මට අවශ්‍යය වන විදිහටයි, එහෙම කරන්න බැරි ඕනෑම කෙනෙක්ට ගෙදර යන්න පුළුවන්" 
'හරි, එහෙනන් මං ගෙදර යනවා' මා, ජාඩින් ට පැවසුවා.. 
"එහෙනන් ඊළඟ බෝට්ටුවේම යන්න ඔබ සූදානම් ද ?" ජාඩින් පැවසුවා. 
"ඔව්, ඉක්මනින්ම යන්න සූදානම්" 
"ඒක නං නියමයි, බිල්... , ඕක අමතක කරන්න.., මට කියන්න දෙයක් තියනවා" ජාඩින් මට අතට අත දෙමින්, පැවසුවා..
එදා ජාඩින් මට පෙනුනේ විශිෂ්ට සටන්කාමියෙක් හා සමානවයි. ඔහුට අවශ්‍යය වුනේ, කෙතරම් දරුණු ප්‍රතිචාරයක් ප්‍රතිවාධින්ගෙන් එල්ල වුනත්, ඔහුගේ ක්‍රමය කෙසේ හෝ ඉටු කර ගැනීමට යි. 
එදා රාත්‍රියේ, ජාඩින්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් මට්ටු කර ගැනීමට ඔහු සැලසුම් කරගෙන සිටි සියලුම අදහස් මා හට විස්තරාත්මකව පැවසුවා.."
බිල් බෝව්ස්


මූලාශ්‍ර:
1) Bodyline: the Cricket War Between England And Australia by Philip Derriman
2) Express Deliveries by Bill Bowes

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments