තරග පාවා දුන් තුන්කට්ටුව - 09

සෙන්චූරියන් ටෙස්ට් තරගය

නව සහශ්‍රකය ආරම්භ වත්ම හැන්සි ගේ ක්‍රිකට් දිවියේ තීරණාත්මක තරගයක් සෙන්චූරියන් හි දී ආරම්භ වුනා. ඒ 2000 වසරේ ජනවාරි මස 14 වන දින. ටෙස්ට් තරග 5කින් යුත් එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ අවසන් තරගය වූ සෙන්චූරියන් තරගය ආරම්භයට පෙර දකුණු අප්‍රිකාව තරග 2 – 0 ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය ඔවුන් සතුකරගැනීමට හැකිවීම නිසාවෙන්ම ක්‍රීඩකයෝ ඉතාම හොඳ රිද්මයක පසුවුනා.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තයේ නසාර් හුසේන් සමත් වුනා. තණතීරුව පන්දුයවන්නන්ට ඉතාමත් යෝග්‍ය වූ නිසා ප්‍රථමයෙන් පන්දු රකින්නට ඔහු තීරණය කළා.

Source: Getty Images

හුසේන් ගේ තීරණය සාර්ථකයි. මුල්ම දිනයේ අවසානය වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 155ක් රැස් කර දැඩි අසීරුතාවයකට පත්ව තිබුනා.
නමුත් තරගයට දිගින් දිගටම වර්ෂාවෙන් බාධා එල්ල වීමත් දෙවන, තුන්වන සහ සිවුවන දින සියල්ලම වර්ෂාව නිසා තරගය නිසි අයුරින් පැවැත්වීමට නොහැකි වීමත් නිසා අවසන් දිනය වන විට තරගයේ ප්‍රතිඵලය නිශ්චිතවම ජය පරාජයකින් තොරව අවසන් වන බව සෑම දෙනෙකුටමට තහවුරු වුනා.

ප්‍රේක්ෂකයින්ට කිසිදු ආකාරයෙන් හෝ තරගයේ උද්වේගකර බව විඳගැනීමට නොහැකි බව සියල්ලන්ම දැන සිටින අතරවාරයේ දකුණු අප්‍රිකානු නායක හැන්සි ක්‍රොන්යේ , එවකට එංගලන්ත කඩුලු රකින්නා වූ ඇලෙක් ස්ටුවර්ට් හට අපූරු යෝජනාවක් ගෙන එනවා.

ඒ, එංගලන්ත නායක හුසේන් ට තරගකාරී අවස්ථාවක් ලබාදීමට ඔහු සුදානම් බවයි.
නසාර් හුසේන් ට අවශ්‍ය වන ඉලක්කය ලබාදීමට තමන් ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පිතිකරුවන් සුදානම් බව හැන්සි , ස්ටුවර්ට්  ට පැවසුවා.

මෙම යෝජනාව, ස්ටුවර්ට්, නසාර් ට දැන්වූ අතර නසාර් එකහෙලාම පැවසුවේ; 
"මේක මෝඩ වැඩක්, මේක ටෙස්ට් තරගයක් මිසක් දවස් 3ක ප්‍රාන්ත තරගයක් නෙමෙයි" 
නමුත් පසුව නසාර් ට වැටහුනේ, තණතිල්ල පිතිකරණයට වඩාත් සුදුසු නිසා එංගලන්ත පිළට ඕනෑම ඉලක්කයක් හඹා යා හැකි බවයි. ප්‍රේක්ෂකයින් ට මෙන්ම ක්‍රීඩකයින්ට ත් වර්ෂාවෙන් බාධා වූ ටෙස්ට් තරගයේ අවසන් දිනය විනෝද විය හැකි බවට මෙන්ම ක්‍රීඩාවේ තරගකාරී බව විඳ ගැනීමට මෙය සුවිශේෂී අවස්තාවක් වීම නිසා, ක්‍රීඩාගාරයේ සිට තරගය නරඹමින් සිටි හැන්සි හමුවීමට නසාර්, පිටියේ විනිසුරුවරුන්ගෙන් අවසර ඉල්ලා තාවකාලිකව පිටියෙන් ඉවතට ගියා.

අවම වශයෙන් පන්දුවාර 73 කින් ලකුණු 270ක ඉලක්කයක් සාධාරණ බවට හුසේන්, හැන්සි ට පැවසුවා. නමුත් මෙම තීරණයට ක්‍රීඩකයින් කිහිපදෙනෙක් නොසතුට පළකලා. 
පස්වන දිනය සඳහා දකුණු අප්‍රිකානුවන් ඉනිම ආරම්භ කරන විටත් ඉහත තීරණය දකුණු අප්‍රිකානු පාර්ශවයෙන් තහවුරු වී තිබුනේ නෑ . දින තුනක වර්ෂාව නිසා තණතීරුව මන්දගාමී වී තිබු අතර සෙන්චුරියන් හි දක්නට ලැබෙන වේගවත් ඉපිලෙන ස්වභාවය එදා දක්නට ලැබුනේ නෑ . පිතිකරණයට පහසු වීම නිසා ඒ වනවිට පිතිකරණයේ යෙදී සිටි ෂෝන් පොලොක් සහ ලාන්ස් ක්ලුස්නර් ඉතාමත් හොඳින් ලකුණු රැස්කරමින් සිටියා. 

මේ අතරතුර නසාර් හුසේන්, අමතර ක්‍රීඩකයෙක් හරහා හැන්සි ට දැනුම් දුන්නේ ඉලක්කය ලකුණු 250ක් පමණ විය යුතු බවත් ය. හුසේන් පුදුමයට පත්කරමින්, හැන්සි ගෙන් ඔහුට දැනගන්නට ලැබුනේ, එම තීරණයට ඔහු එකඟ බවයි. 

නසාර් පසුව සඳහන් කළ පරිදි, හැන්සි එම ඉලක්කයට එකඟ වීම පිළිබඳව එංගලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක ෆිල් ටෆ්නෙල් පැවසුවේ 
"ඒක නං අමුතු තීරණයක් නාස්, අපි තවත් අඩු ලකුණු ගණනක ඉලක්කයක් කිව්වා නං, හැන්සි ඒකටත් එකඟ වෙන්න තිබ්බා"

දකුණු අප්‍රිකානු පිළ ඒ අනුව තම ඉනිම අත්හිටුවා එංගලන්තයට පන්දුවාර 76ක් තුළ ලකුණු 250ක ඉලක්කයක් ලබාදුන්නා. එංගලන්ත පිළ  ඉනිම ආරම්භ කිරීමට පෙර මේ පිළිබඳව තරග තීරක බැරි ජාර්මන්ගේ අවසරය ලබාගත් අතර ඒ අනුව එවකට මාර්ලිබෝන් ක්‍රිකට් නීති වගන්ති 14.2ට (වර්තමානයේ 15 යටතේ) අනුව එංගලන්තය ප්‍රථම ඉනිම ලකුණු 0/කඩුලු 0ක් ලෙස ඉනිම අත්හිටුවා, දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම සම්පූර්ණයෙන්ම අත්හැර දමා (forfeit) එංගලන්තය ට ඉහත ඉලක්කය හඹා යාමට හැන්සි ප්‍රමුඛ දකුණු අප්‍රිකානුවන් ඉඩකඩ ලබාදුන්නා.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මුල්මවරට මෙම තරග අත්හිටුවීම සිදුවුවත් පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම අවස්තාව මෙය නොවේ. 1900 වසරේ ඩර්බිශයර් සහ එසෙක්ස් ප්‍රාන්ත අතර තරගයත් 1966 වසරේ රෝස මල් තරගය ලෙස හැඳින්වෙන ලැන්කෂයර් සහ යෝර්ක්ෂයර් ප්‍රාන්ත අතර තරගය මෙයට සමාන සිදුවීම් ලෙස සලකන්න පිළිවන්. 

එංගලන්ත පිතිකරුවන් වන ඇලෙක් ස්ටුවර්ට් සහ මයිකල් වෝන් ගේ ඉවසිලිවන්ත අර්ධ ශතක හේතුවෙන් එංගලන්තයට දකුණු අප්‍රිකානු ඉලක්කය හඹායාමට හැකිවුනා. ඔවුන් ජයගන්නා අවස්ථාවේ දී  එංගලන්ත ක්‍රීඩාගාරයම ප්‍රීතිඝෝශා කරමින් මෙය සමරන්නට ගත්තා.

Source: Daily Mail


හැන්සි නායකයා වූවත් මෙවැනි ඉලක්කයක් ලබාදීම පිළිබඳව තම කණ්ඩායමේ සඟයින්ගෙන් ගෙන් අදහස් විමසූවිට කිහිපදෙනෙක් නොසතුට පළකළ බව කියැවෙනවා.
දකුණු අප්‍රිකානු පිතිකරු ඩැරිල් කලිනන් පසුකලක පැවසුවේ, හැන්සි මෙවැනි තීරණයක් ගැනීම ක්‍රීඩාවට මෙන්ම ප්‍රේක්ෂකයින්ගේ උන්නතිය සඳහා වුනත් ඔහු පෞද්ගලිකව හඳුනන 'හැන්සි ක්‍රොන්යේ' මෙවැනි අයෙක් නොවන බවත්, ප්‍රතිවාධින්ට පහසුවෙන් යමක් ලබා ගැනීමට හෝ ලබා දීමට සූදානම් අයෙක් නොවන බවත්.

එමෙන්ම ICC යේත් කිහිපදෙනෙක් මෙයට එරෙහි වූයේ ටෙස්ට් ක්‍රීඩාවේ ජීව ගුණයට මෙය විශාල හානියක් බවට පවසමින්. නමුත්, එවකට ප්‍රධාන පුහුණුකරු බොබ් වූල්මර් , හැන්සි අගයමින් පැවසුවේ, මෙවැනි තීරණයකින්, අජීවි තරගයක් නැරඹීමේ දී ප්‍රේක්ෂකයෙක් ට දැනෙන කෝපය සහ උදාසීන බව වෙනස් කළ හැකි මට්ටමේ තීරණයක් බවට යි. එමෙන්ම හැන්සි, පන්දු රකින්නන්, පිතිකරුවන් ආසන්නයේ ස්ථානගත කරමින් පෙන්නුම් කළ ඒ ආක්‍රමණශිලී නායකත්ව ස්වභාවය ද පැසසුමට ලක් කළා.

මෙම තීරණය පිළිබඳව එවකට හිටපු ශ්‍රී ලංකා නායක අර්ජුණ රණතුංග ගේ ද ප්‍රසාදයට ලක්වූ තීරණයක් වුනා. ක්‍රිකට් නීති පොතට අනුව හැන්සි ගේ ක්‍රියාව සාධාරණ බවත් ටෙස්ට් තරගයක ධනාත්මක අවසන් ප්‍රතිඵලයක් ලබාගැනීමට නායකයෙකු ලෙස ගන්නා එවැනි තීරණයක් පිළිබඳව වැරැද්දක් නොපෙනෙන බවත්, අර්ජුන වැඩිදුරටත් පැවසුවා.
"It may be thought of as a way of manufacturing a result, but examination of the law explains that they did what was allowed, You cannot fault anyone who adopts a positive response to conditions which created a result."

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments