තරග පාවා දුන් තුන්කට්ටුව - 08

හැන්සි ගේ ප්‍රොටීස් පිල 

1996 ඉන්දීය සංචාරයේ සිදුවීම් සියල්ලම අමතක කළ දකුණු අප්‍රිකානුවන් තම මව් රටට ගියේ නැවතත් ක්‍රිකට් තරගාවලියකට සූදානම් වීම සඳහායි. මෙවර ඉන්දීය පිළ ටෙස්ට් තරගාවලියක් සඳහා දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වූ අතර එහිදී දකුණු අප්‍රිකානුවන් ටෙස්ට් තරගාවලිය පහසුවෙන් ජයගත්තා.

හැන්සි ගේ දකුණු අප්‍රිකානු පිල එම සංචාරයේ සිට කුප්‍රකට සෙන්චූරියන් තරගය දක්වා ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර තරග 108ක් ක්‍රීඩා කර එයින් තරග 70ක් ජයගත්තා. පරාජය වූයේ තරග 22ක් පමණයි.

මෙම දත්ත මඟින් පෙන්වන්නේ හැන්සි නායකයෙක් ලෙස කෙතරම් සාර්ථක ද යන්න සහ ඔහුගේ කණ්ඩායම විශිෂ්ට ලෙස මෙහෙයවීමේ හැකියාව යි. 


හැන්සි නායකයෙක් ලෙස ඔහුගේ උපරිමය පෙන්වූ නමුත් ඉන් වරින් වර ඔහුගේ විනය කඩකිරීම් කිහිපයක් ද වාර්තා වුනා.

1998 ඇඩ්ලෙඩ් හි දී පැවති ටෙස්ට් තරගය අතරතුර ඕස්ට්‍රේලියානු පිතිකරු මාර්ක් වෝ විසින් පන්දුවකට සාර්ථකව මුහුණ දී පසුව පිත්ත පසුපසට ගැනීමේ දී එය කඩුල්ලේ ගැටී බේල්ස් ඉවත්ව යාම නිසාවෙන් එය “හිට් විකට්” දැවියාමක් නොවන බවට විනිසුරු ප්‍රකාශ කළා. මෙයින් කෝපයට පත්වූ හැන්සි විනිසුරු සමඟ පිටිය තුළ දිගින් දිගටම වාද කළා.

එය දැවියාමක් බවට පත්වුනා නම් දකුණු අප්‍රිකානුවන්ට ජයග්‍රහණය සඳහා වැඩි අවස්ථාවක් හිමිව තිබෙන්නට ඉඩ තිබූ නමුත් මාර්ක් වෝ එම ඉනිමේ දී විශිෂ්ට ශතකයක් රැස්කරමින් (නොදැවී 115) තරග​ය​ ජය පරාජයකින් තොරව නිමාකළා. ඒ අනුව දකුණු අප්‍රිකාව ටෙස්ට් තරඟාවලිය​ 1 – 0 ක් ලෙස පරාජය වූ අතර තරග පරාජයෙන් කළකිරුණු හැන්සි විනිසුරුවන්ගේ කාමරය තුලට ගොස් විනිසුරුවරුන් සමඟ බහින්බස් වී ගැටුමක් දක්වා ගෙන ගිය බවට එවකට වාර්තා පළ කළා.



"What a moment at this stage of the match, he is definitely knocked the bails off, and Richie, i think that is Out" - Bill Lawry (TV Commentator)

“There’s no way in the world he’s still in the stroke here.” - Richie Benaud (TV Commentator)


එමෙන්ම 1997 වසරේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව සිඩ්නි හි දී පැවති එක්දින තරගයක හැන්සිට පන්දුව පළුදු කිරීමේ චෝදනාවක් ද එල්ල වුනා. තරගය ස්වල්ප මොහොතකට නතර වූ අවස්ථාවක සුදු පැහැති පන්දුව මත, පැළඳ සිටි තම සපත්තුව තබා එය මත පීඩනය එල්ල කිරීම එවකට ඕස්ට්‍රේලියානු රූපවාහිනි තිරයෙන් දැකගන්නට ලැබුණා. හැන්සිට කිසිදු දඬුවමක් නොලැබුන අතර ඔහු පැවසුවේ, පන්දුව පළුදු කිරීමේ කිසිම අරමුණක් ඔහුට තිබුනේ නැති බවයි . 

එමෙන්ම හැන්සි, දැඩි ලෙස කම්පා වූ සිදුවීමක් නම්, ඔහු විසින් ධාවනය කරන ලද මෝටර් රථයක හැපී දකුණු අප්‍රිකානු දරුවෙක් මිය යාමයි. එයින් හැන්සි මානසිකව යම් කඩා වැටීමකට ලක්වූ බවත් සඳහන් කළ යුතුයි.

මෙලෙස විනය සහ මානසිකව ගැටළු පැවතියත් හැන්සි ගේ ප්‍රොටීස් පිළ ඉහළ ජයග්‍රහණ රැසක් කරා ගෙන යාමට ඔහු සමත් වූ අතර 1998 වසරේ දී ICC ශුරයින්ගේ කුසලානය පවා ජයග්‍රහණය කරවීමට ඔහුට හැකිවුනා.

හැන්සි ගේ ප්‍රෝටිස් පිළ එවකට නවකයින් ලෙස කණ්ඩායමට එක්ව සිටි ජාක් කලිස්, මාර්ක් බවුචර්, ශෝන් පොලොක්, මකායා න්ටිනි, පෝල් ඇඩම්ස් වැන්නගෙන් මෙන්ම ගැරී කර්ස්ටන්, ජොන්ටි රෝඩ්ස්, ඇලන් ඩොනල්ඩ්, ඩැරල් කලිනන් වැන්නන් ගෙන් ද සමන්විත ප්‍රබල කණ්ඩායමක් බවට පත්කරන්නට හැන්සිට හැකිවුණා.. 

පෙර ලිපි:


aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments