තරග පාවා දුන් තුන්කට්ටුව - 2

වෙසල් ජොහැන්ස් ක්‍රොන්යේ

1969 වසරේ දී බ්ලූම්ෆොන්ටෙන් හි දී උපත ලද ජොහැන්ස් ක්‍රොන්යේ කවුරුත් හැඳින්වූයේ හැන්සි ක්‍රොන්යේ ලෙසට යි. ග්‍රේ කොලිජියේ දක්ෂ සිසුවෙකු වූ ඔහු පාසලේ  ක්‍රිකට් මෙන්ම රග්බි කණ්ඩායමේ නායකයා ලෙසට කටයුතු කළා.

ඇලන් ඩොනල්ඩ්, නිකී බෝයේ, බෝයෙටා ඩිපෙනාර් වැනි අනාගත දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් ද ග්‍රේ කොලිජියේ සිසුන් වුනා. බ්ලුම්ෆොන්ටෙන් හි ඇෆ්රිකානර් ජනතාව බහුල නිසා බොහොමයක් ක්‍රිකට් ක්‍රීඩකයින් එම පාසලේ වීම සුලභ සිදුවීමක්.

1988 වසරේ දී ඔරේන්ජ් ෆ්‍රී ස්ටේට් කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ වරම් දිනාගන්නා හැන්සි ඉන් පසු වසරේ දී එම කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙක් බවට පත්වන විට වයස අවුරුදු 19ක් වුනා.

පාසලේ සිටම නායකත්වයේ ගුණාංග පිහිටා තිබීම නිසාමත් දක්ෂ ලෙස තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීම නිසාමත් 1990/91 තරගවාර සමය සඳහා එම කණ්ඩායමේ නායකයා ලෙසට ඔහු පත්වුනා.

එම තරගවාරයේ ඔහුගේ දස්කම් සැලකිල්ලට ගනිමින් 1992 වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවති බෙන්සන් සහ හෙජස් ලෝක කුසලානය සඳහා දකුණු අප්‍රිකාණු ජාතික සංචිතයට ඔහුව නම් කළ අතර ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේ දී හැන්සි ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගත්තා.

එම ලෝක කුසලානය හැන්සි ඇතුළු දකුණු අප්‍රිකානු කණ්ඩායමට අමිහිරි මතක ගෙනදුන් තරගාවලියක් බවට පත්වුනා. හැන්සි ට සැලකිය යුතු මට්ටමේ පිතිකරණයක් හෝ පන්දු යැවීමක් එම තරගාවලිය තුළ සිදු කිරීමට නොහැකි වුනත් ඉන් අනතුරුව පැවති දකුණු අප්‍රිකානුවන්ගේ කොදෙව් සංචාරය සඳහා ඔහුව නම් කිරීමට දකුණු අප්‍රිකානු තේරීම් කමිටුව තීරණය කළා.

දිගින් දිගටම දකුණු අප්‍රිකානු පළමු පෙළ මට්ටමේ සහ සීමිත ඕවර තරගාවලි තුල හැන්සි ඔරේන්ජ් ෆ්‍රී ස්ටේට් වෙනුවෙන් නායකයෙක් ලෙස දස්කම් දක්වමින් සිටිය දී, ඒ වනවිටත් ඔහු අනාගත නායකයෙක් බවට තහවුරු වී තිබුනා. 


1993/94 ක්‍රිකට් සමයේ පැවති ඕස්ට්‍රේලියානු සංචාරය ඔහුගේ ක්‍රිකට් දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්වුණා. සිඩ්නි හි දී පැවති ටෙස්ට් තරගය අතරතුර නිත්‍ය නායක කෙප්ලර් වෙසල්ස් ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව යාමෙන් පසු එම තනතුර තාවකාලිකව හිමිවූනේ හැන්සිට. අවසන් දිනයේ දී ඔහුගේ නායකත්වයේ හැකියාව විශිෂ්ට ලෙස පෙන්වමින් එම තරගයේ ජය තම කණ්ඩායමට හරවා ගැනීමට ඔහුට හැකිවුනා.

එතැන් පටන් ක්‍රොන්යේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායකත්ව තනතුරට පත්වීමට වැඩිකලක් ගියේ නෑ .

පෙර ලිපි:

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments