බොඩිලයින් - 06

බ්‍රැඩ්මන් අධ්‍යනය - 2


1928/28 සහ 1930 අළු බඳුන තරගාවලි තුළ  හැරල්ඩ් ලාවූඩ් කඩුලු දවා ගැනීම් අතින් අසාර්ථකත්වය ට පත් වුනත් ඔහුට පිතිකරුවන් පන්දු වලට මුහුණ දෙන අයුරු පිළිබඳ නිසි අධ්‍යනයක් ලබා ගැනීමට හැකි වුනා.

"එංගලන්ත පන්දු යවන්නෝ , පන්දු යැවීමේ ශිල්පය දියුණු කරගෙන තිබෙන බවට කිසිදු සැකයක් නෑ.. ලාවුඩ් හට පන්දු යැවීමේ සැලසුම් වෙනස් කරගන්නට සිදුවුනා.. එක් අවස්ථාවක, ලාවුඩ්, ශෝර්ට් ලෙග් තියරිය අනුගමනය කරමින් කෙටි පන්දු යොමුකරන්නට පටන් ගත්තා, එය සාර්ථක නොවූ විට ඔහුට සාම්ප්‍රදායික පන්දු යැවීමේ ක්‍රමය අනුගමනය කරන්නට සිදුවුනා"

ලාවුඩ් ගේ 1928/29 තරගයක පන්දු යැවීම පිළිබඳව, ඉහත විස්තර කිරීම, එක් පුවත්පත් ලිපියක පළව තිබුණා.

හැරල්ඩ් ලාවුඩ්

1930 වසරේ ඕවල් හි පැවති ටෙස්ට් තරගයේ දී ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, ලකුණු 232ක් රැස් කරගැනීමට සමත් වනවා.. ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී වාර්තා වූ මෙම ද්විත්ව ශතකය ට වැයව තිබුනේ පන්දු 416ක්. මෙම ඉනිමේ දී එංගලන්ත මුල් පෙළේ පන්දු යවන්නන් දෙදෙනා වූ හැරල්ඩ් ලාවුඩ් සහ මොරිස් ටේට් දෙදෙනාටම දවාගැනීමට හැකිවුනේ එක් කඩුල්ල බැගින් පමණයි. නමුත් ඔවුන් ඒ සඳහා ලකුණු 285ක් ප්‍රතිවාධින්ට ලබා දී තිබුණා..
ලාවුඩ් ට එරෙහිව ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ලකුණු රැස් කළත්, අවස්ථා කිහිපයක දී ලාවුඩ් , පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් ලෙස  පෙනුනා.

1930 ඕවල් ටෙස්ට් තරගය, ලාවුඩ් ගෙන් බ්‍රැඩ්මන් ට පන්දු යොමු කිරීමක්

වර්ෂාව පතිත වූ තණතිල්ලෙන් අසාමාන්‍යය ලෙස ලාවුඩ් ට වාසිදායක වන මට්ටමේ ස්වරූපයකින් ක්‍රියා කළ අතර විශේෂයෙන් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් අවස්ථා කිහිපයක දී යම් අසීරුතාවයකට පත්වුනා.

ලාවුඩ් විසින් රචිත "ද ලාවූඩ් ස්ටෝරි" හි මේ පිළිබඳව සඳහන් කරන්නේ මෙහෙම;

"පන්දුව ශරීරයේ ඉහළ කොටස දක්වා පැමිණෙන විට එයට ඩොන් කැමැත්තක් දැක්වූයේ නෑ.. පන්දුවක් දෙකක් ඔහුගේ ශරීරයේ වැදුනට ඔහු එවැනි පන්දුවක් පැමිණෙද්දී පන්දුවෙන් ඉවතට ශරීරය ගෙන ගියා.

මේ පිළිබඳව මම ලොකුවට හිතන්න ගියේ නැත්තේ, මගේ පූර්ණ අවධානය යොමුව තිබුනේ වේගයෙන් කෙටි පන්දු පිතිකරුවන්ට දිගින් දිගටම යොමු කිරීමට යි.

නමුත්, ටික වේලාවක් අප දෙදෙනා අතර මේ ආකාරයට පන්දුවෙන් සහ පිත්තෙන් ද්වන්ධ සටනක් යන අතරතුර මට තේරුම් ගියා , ඩොන් කලබලව සිටිනා බවක් (ලාවුඩ් ගේ කෙටි පන්දුවලට මුහුණ දීමට අපහසු බවක්).

ඩොන් ගේ මේ කලබලකාරී බව අනිත් ක්‍රීඩකයන්ටත් දැණුනා..

"වුඩ්ෆුල්, මගේ පන්දුවලට පහත් වුනා, සමහර අවස්ථා වල දී පන්දුවට පහර දීමක් වෙනුවට, පන්දු ශරීරයේ ස්පර්ෂ වන්නට ඉඩ දුන්නා.. මේ ක්‍රමය පොන්ස්ෆෝර්ඩ්, ෆින්ග්ල්ටන් සහ රිචර්ඩ්සන් ද අනුගමනය කළා.. ෆින්ග්ල්ටන් කියන්නේ, මම පන්දු යවපු පිතිකරුවන් අතරින් නිර්භීතම පිතිකරුවා.

හැබැයි ඩොන් එහෙම නෙමෙයි, එයා අනවශ්‍යය අවධානමක් ගත්තේ නෑ, එයා පන්දුවට මුහුණ දීමෙන් ඉවත් වුනා"

ඉහත 1930 ඕවල් ටෙස්ට් තරගයේ දර්ශන පටයක් නැරඹීමට පසුව එවකට නව එංගලන්ත නායකයා ලෙස උසස්වීමක් ලැබූ ඩග්ලස් ජාඩින් ට හැකිවනවා.

එහිදී, ඔහුට දකින්න ලැබෙනවා ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, හැරල්ඩ් ලාවුඩ් ගේ පන්දුවලට මුහුණ දෙන අයුරු.

ලාවුඩ් යොමුකරන සමහර පන්දු තරමක් ඉහළට ඉපිලී එමින් පිතිකරුවාට පැමිණෙන අයුරු දැකගත් ජාඩින්, බ්‍රැඩ්මන් ගේ විශාල දුර්වලතාවයක් හඳුනාගත්තා.

ලාවුඩ් ගේ කෙටි පන්දුව, පපුව අසළ වැදීමෙන් එක්වර කලබල වී පා ඉන්නෙන් එපිටට යන බ්‍රැඩ්මන්, පිත්ත අත්හැර, බිමට පහත් වන අයුරු, ජාඩින් ට දකින්නට ලැබෙන්වා.

"මම හොයාගත්තා !!!!, එයා ඒකට කැමති නෑ"

ජාඩින් එක්වරම හඩනඟා එලෙස පැවසුවා..

"උඹට, Good Length එකෙන් පන්දු එක දිගට යොමුකරන්න පුළුවන් ද ??, උඹට බ්‍රැඩ්මන් පිතිකරණයේ යෙදෙද්දී පා ඉන්න ප්‍රදේශයට පන්දුව යොමුකරන්න පුළුවන් ද ??

ජාඩින්, ලාවුඩ් ගෙන් මෙලෙස විමසුවා.

"ඔව්" 

ලාවුඩ් පිළිතුරු දුන්නා.




මූලාශ්‍ර:-
1) the Larwood Story by Harold Larwood
2) In Quest of the Ashes by Douglas Jardine
3) Bodyline by Philip Derriman
4) An Ashes feud that lasted for life - the Guardian

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments