Monday, March 9, 2015

අපූරු සිදුවීම් කිහිපයක්ම ඇතිවූ 1880 – 1890 ලංකා ක්‍රිකට්


1877 ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වීමෙන් පසුව ලොව පුරා ක්‍රමයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත වන්නට පටන් ගත්තා. ඒ අනුව ආසියාවටත් එම උන්මාදය පැතිරුනේ ඉන්දියාව මුල්කොටගත් බ්‍රිතාන්‍ය යටත් විජිතයන් අතර ක්‍රිකට් ක්‍රමයෙන් දියුණු වෙමින්. ඉන්දියාවේදී ක්‍රිකට් කොතරම් ජනප්‍රිය වුවාද යත් ඉන්දියාවෙන් 1900 ටත් පෙර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් බිහිවූ අතර ඔහුගේ ඇතුලත්වීම එරටේ දේශීය ජනයා අතර ක්‍රීඩාවේ සුවිශේෂී බව ඉක්මනින්ම පැතිර ගියා. එංගලන්ත පිල නියෝජනය කල රන්ජිත් සිං ඉන්දියානු සම්භවයක් සහිත මුල්ම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා වූ අතර එම නියෝජනය ඉන්දියාවට රන්ජි කුසලානය නමින් ලෝ ප්‍රසිද්ධ පළමුපෙළ තරගාවලි ආකෘතියක් ආරම්භ වීමට තරම් ප්‍රබල වුනා. 
රංජිත් සිං 
1900 දශකය ආරම්භ වීමට ප්‍රථම රටවල් දෙකක් හැරුණු කොට වෙනත් රටකට එනම් දකුණු අප්‍රිකානු පිලට ටෙස්ට් වරම් හිමිවුණා. එහෙත් ඉන් වසර කිහිපයක් ඔබ්බට ගිය විට ලොව පිළිගත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන රටවල් අතර සිටියේ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව පමණි. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුනේ එක් අවස්ථාවකදී එංගලන්තයේදී සහ ඉන් මාස කිහිපයකින් අනතුරුව ඔස්ට්‍රේලියාවේදී ආදිය වශයෙන්. එකල ගුවන්ගමන් මිනිසා සාර්ථකව ජයගෙන නොතිබුන හෙයින් වෙනත් රටකට සංචාරය කිරීමේ වඩාත් ජනප්‍රිය සහ සුලබ ප්‍රවාහන මාධ්‍යය වුනේ නැව් ගමනයි. එවැනි ප්‍රවාහන ක්‍රමයක දුෂ්කර බව සහ වෙහෙසකර බව මුදාහරින්නට ඔවුන් නැවතුම්පලක් ලෙස යොදාගත්තේ ශ්‍රී ලංකාව (සිලෝන්) හෝ ඉන්දියාවයි. 
ඇලික් බැනර්මන් 
1884 වසරේදී ඔස්ට්‍රේලියානු පිලක් ශ්‍රී ලංකාවේ දී නතර වුනේ එංගලන්ත සංචාරයක් අතරතුරයි. එම විවේක දින කිහිපය අතරතුර ඔවුන් එක්දින තරගයක නිරතවුනා. දිනය අප්‍රේල් මස පළමුවනදා බව වාර්තා සටහන් කරන අතර තරගය පැවතුනේ ගෝල්ෆේස් ග්‍රීන් (ගාලු මුවදොර) පිටියේදී. මෙම තරගයේ විශේෂත්වය වුනේ සීලෝන් (ශ්‍රී ලංකා) පිලේ ක්‍රීඩකයින් 18ක් නියෝජනය කිරීමයි. එමෙන්ම තරගයේ එක ඕවරයකට යැවිය හැකි පන්දු ගණන 4කට සීමා කළා. ඔස්ට්‍රේලියානු පිලේ සිටියේ දක්ෂතම සහ ප්‍රබල ක්‍රීඩකයින් 11 යි. මෙම ක්‍රීඩකයින් අතර ලොව ප්‍රථම ටෙස්ට් ශතක ලාභී චාල්ස් බැනර්මන් ගේ සොහොයුරු ඇලික් බැනර්මන්, බිලි මර්ඩොක්, ඉයුජින් පාමර් වැන්නන් ගෙන් සමන්විත වුනා.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු පිලට රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 75ක් පමණයි. එයට පිළිතුරු වශයෙන් සිලෝන් පිල ලකුණු 39ක් රැස්කරගත් අතර තරගය එක් දිනයකින් සමන්විතවූ නිසා දෙපිලටම දෙවන ඉනිම ක්‍රීයාත්මක කිරීමට නොහැකිවුනා. ඕස්ට්‍රේලියානු පන්දුයවන්නන් වන බොයිල් සහ පාමර් කඩුලු 8ක් සහ 7ක් බැගින් දවාගත්තා.
1884 ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම 
තරගය එයින් අවසන් වූ අතර ඕස්ට්‍රේලියානුවන් එංගලන්තය බලා ගියේ ටෙස්ට් තරගාවලිය සදහායි. එම ටෙස්ට් තරගාවලිය නිමාකල ඔවුන්, ඔවුන්ගේ රට බලා ගමන් කරද්දී නැවතත් මෙරටෙහි නතරවුණේ ගමන් විඩාව නිසයි. ඒ අතරතුරදී ඔවුන් තවත් තරගයක් සිලෝන් පිල සමග ක්‍රීඩා කළා. එම තරගය පැවැත්වුවා යයි සැලකෙන්නේ 1884 ඔක්තෝම්බර් 23 වැනිදායි. එවර සිලෝන් පිලේ 18 කින් සහ ඕස්ට්‍රේලියානුවන් 13කින් තරගය පැවැත්වූ අතර පාමර් නැවතත් ක්‍රියාත්මක වෙමින් සිලෝන් පිලේ මුල් ඉනිමේ කඩුලු 17න් 11ක්ම දවාගත්තා. සිලෝන් පිල මුල් ඉනිමට ලකුණු 44ක් සහ දෙවන ඉනිමට කඩුලු 12ක් දැවී ලකුණු 87ක් රැස්කරගත් අතර ඕස්ට්‍රේලියානුවන් මුල් ඉනිමට කඩුලු 11ක් දැවී ලකුණු 94ක් ලබාගනිමින් සියලුම ගෞරව ඔවුන් සතුකරගත්තා.
මෙම තරග දෙකම මෙරටේ ක්‍රිකට් ප්‍රචලිත වූ මුල්ම කාල සමයන්හිදී වාර්තා වූ අතර එම දශකයේදී සිලෝන් පිලට වෙනත් සැලකියයුතු තරගයක් හිමිවුණේ නෑ. කෙසේවෙතත් එකල ක්‍රිකට් වාර්තා සටහන් කිරීමෙහි අවිධිමත් භාවය නිසා අනෙක් දේශීය තරගයන්හි පැහැදිලි දත්ත අහිමිවී ඇත.
©

No comments:

Post a Comment