බොඩිලයින් - 11

ඩොනල්ඩ් ජෝර්ජ් බ්‍රැඩ්මන් 

කෙතරම් විවාදාත්මක මත තිබුණත් 1932/33 අළු බඳුන තරගාවලියේ, එංගලන්ත කණ්ඩායමේ ප්‍රධානතම ඉලක්කය වූයේ , ඕස්ට්‍රේලියානු මුල් පෙළ පිතිකරු ඩොනල්ඩ් බ්‍රැඩ්මන් අසාර්ථක කරවීම යි.


1926 වසරේ දී ඕස්ට්‍රේලියානු පිල එංගලන්තයට එරෙහිව අළු බඳුන තරගාවලිය පරාජය වීමෙන් අනතුරුව බොහෝ විචාරකයින් එය විවේචනය කළේ, ඕස්ට්‍රේලියානු පිලේ ක්‍රීඩකයින් බොහෝමයක් වයස්ගත, ක්‍රීඩාවෙන් සමුගත යුතු ක්‍රීඩකයින් බවට. 

නිදසුනක් වශයෙන්, වොරන් බ්‍රැඩ්ස්ලේ ඒ වනවිට ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් වසර 17ක් ක්‍රීඩා කර තිබූ අතර නායක හර්බි කොලින්ස් 37 හැවැරිදි වියේ පසුවුනා. චාර්ලි මැකාර්ට්නි, කොලින්ස් ටත් වඩා වයස්ගත ක්‍රීඩකයෙක් වුනා.

සිඩ්නි රෙෆ්‍රී පුවත්පත මේ ක්‍රීඩකයින් ගැන විවේචනය කරමින් ලිපියක් පළකළේ, වයස්ගත ක්‍රීඩකයන්ගේ දක්ෂතා නරක අතට හැරී ඇති බවටත් ඒ අනුව ඔවුන්ට අළු බඳුන ශූරතාවය අහිමි වූ බවටත්.

මෙවැනි විවේඡන හමුවේ, නවක ක්‍රීඩකයින් සොයා ගැනීමට එවකට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පුහුණු සැසි සඳහා ඒ වන විට දේශිය මට්ටමේ දස්කම් පාන ක්‍රීඩකයින්ට ඇරයුම් කළා.
 

මෙම ලිපිය එවකට 18 හැවැරිදි වියේ පසුවූ බෝව්රල් හි ඩොනල්ඩ් බ්‍රැඩ්මන් නම් යොවුන් පිතිකරුවාට ලැබුණා.. ඔහු ඒ වනවිට ප්‍රාදේශීය මට්ටමේ තරග තුළ ජනප්‍රිය වෙමින් තිබූ බැවින්, එවකට ක්‍රිකට් ආයතනය ඔහුගේ නමත් ඉදිරිපෙළ ක්‍රීඩකයින් ලැයිස්තුවට එක් කරන්නට සිදුවුනා.

බ්‍රැඩ්මන් මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට ප්‍රථම ඔහුගේ දිවියේ සංධිස්ථානයක් ලෙස සැලකෙන තරගය වූයේ 1927/28 ශෙෆිල්ඩ් පළිහ තරගයක් වූ නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත අතර තරගය. මේ තරගය නැරඹීමට මුල් දිනයේ පමණක් ප්‍රේක්ෂකයින් 30,386ක් පැමිණ බවට වාර්තා වල සටහන් වනවා. එය, පළමු පෙළ තරග සළකා බලනවිට දැවැන්ත ප්‍රේක්ෂක පිරිසක්. 

ඒ වන විට වික්ටෝරියා ප්‍රාන්තය ශෙෆිල්ඩ් පළිහ ශූරතාවය දිනා තිබූ අතර ප්‍රේක්ෂකයින් ගේ උවමනාව තිබුනේ බ්‍රැඩ්මන් නම් නවකයා සජීවිව නැරඹීමට නොව, ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු බිල් පොන්ස්ෆොර්ඩ් ගේ පිතිකරණය නැරඹීමට.

බිල් පොන්ස්ෆෝර්ඩ් ඒවන විටත් ඕස්ට්‍රේලියාවේ පවත්වා තිබු අවසන් පළමු පෙළ තරග 11 දීම ශතක රැස්කර තිබූ අතර ඔහු ඒ වන විට අවසාන වශයෙන් රැස්කර තිබු ඉනිම් වූයේ 437, 202, 38 සහ 331 යි.

මුල් ඉනිමේ දී බ්‍රැඩ්මන් ලකුණු 7කට ඩොන් බ්ලැකී ගේ දඟ පන්දුව ඉදිරියේ දැවී ගිය අතර (ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මංගල ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළ වයස්ගතම ක්‍රීඩකයා - 46) දෙවන ඉනිමේ දී නිව් සවුත් වේල්ස් පිල කඩුලු 4ක් දැවී ලකුණු 86ක් රැස් කරගෙන අසීරු අඩියක සිටින විට බ්‍රැඩ්මන් පිතිකරණය සඳහා පැමිණියා. බර්ට් ඕල්ඩ්ෆීල්ඩ් සමඟ අසීරු තණතීරුවක් මත විශිෂ්ට ඉනිමක් දියත් කළ බ්‍රැඩ්මන් සිවුවන දිනය නිමා වන විට නොදැවී ලකුණු 134ක් රැස්කරගත්තා.

ප්‍රබල වික්ටෝරියා පිල ට එරෙහිව තරගය ජය පරාජයකින් තොරව අවසන් වූවත් මේ තරගය ඉදිරියේ සංවිධානය වීමට නියමිත අළු බඳුන තරගාවලිය සඳහා නවකයින් කිහිපදෙනෙක් තෝරාගැනීමට බලපෑවා.

ඒ අනුව, 1928/29 අළු බඳුන තරගාවලියේ දී මංගල ටෙස්ට් වරම් දිනාගන්නාට ඩොනල්ඩ් ජෝර්ජ් බ්‍රැඩ්මන් ට හැකි වන අතර බ්‍රිස්බේන් හි පැවති මංගල තරගයේ දී ම ඔහු අවාසනාවන්ත ලෙස අසාර්ථකත්වයට පත්වනවා.

ඉන් පසුව පැවති සිඩ්නි තරගයට ඔහු ක්‍රීඩා නොකරන නමුත් තෙවන ටෙස්ට් තරගය වූ මෙල්බර්න් ටෙස්ට් තරග‍ය සඳහා ක්‍රීඩා කරමින් මංගල ටෙස්ට් ශතකය වාර්තා කරන්නට එවකට 20 හැවරිදි වියේ පසුවූ ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ට හැකිවනවා.

මෙම තරගාවලිය වාර්තා කිරීම සඳහා පර්සි ෆෙන්ඩර් ද එක්ව සිටියා. ඔහුට බ්‍රැඩ්මන් ගේ පිතිකරණය නැරඹීමට හැකිවුනේ සජීවීව.

ක්‍රිකට් ක්‍රීඩාවේ දත්ත ඔස්සේ ක්‍රීඩකයින්ගේ සියුම් දුර්වලතා විවේචනය කිරීමේ ක්‍රමවේදය ප්‍රචලිත කළ පර්සි ෆෙන්ඩර් (වේගවත්ම ඉනිම් මැනිය යුත්තේ ඉනිම තුළ පිතිකරණයේ යෙදෙන මිනිත්තු ගණනින් නොව, මුහුණ දෙන පන්දු ගණනට බව මුල්ම වරට පැවසුවේ ෆෙන්ඩර්), ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ගේ පිතිකරණය දක්ෂ සහ අදක්ෂ පිතිකරුවන් දෙදෙනෙක් ගේ සමමිශ්‍රනයක් බවට පවසමින්, විවේචනය කළා.
පර්සි ෆෙන්ඩර්

මෙම විවේචනය, 20 හැවැරිදි වියේ පසුවූ බ්‍රැඩ්මන් නොරිස්සුම් සහගත හැඟීමක් ඇති කළා. ඒ වගේම ඔහුට මේ කියමන හාස්‍ය දනවන එකක් වුනා.

1930 අළු බඳුන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියානුවන් එංගලන්තයේ සංචාරය කළ අවස්ථාවේ දී ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ට පර්සි ෆෙන්ඩර් නායකත්වය දරන ලද සරේ ප්‍රාන්තයට එරෙහිව ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබෙනවා. 

එහිදී බ්‍රැඩ්මන්, නොදැවී ලකුණු 252ක් රැස්කරගන්නේ, පර්සි ෆෙන්ඩර් ට අමතක නොවන පිළිතුරක් ලබා දෙමින්.

මේ ඉනිමෙන් සහ එම අළු බඳුන තරගාවලියෙන් පසු, පර්සි ෆෙන්ඩර්, පුවත්පත් ලිපියක් පළකලේ පහත ආකාරයේ සටහනක් සඳහන් කරමින් ,
"බ්‍රැඩ්මන් මෙල්ල කරන්නට, එංගලන්තය ට නව පන්නයේ උපක්‍රම උවමනා වනවා" 
1) Bradman and the Bodyline Series by Edward Wyburgh Docker
2) Bodyline Autopsy by David Frith


aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments