බොඩිලයින් - 09

බොඩිලයින් තරගාවලිය හා සම්බන්ධ පුද්ගලයින් අතරින් ජාඩීන් පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් ගෙන ඒම තරමක් අසීරු කරුණක්. 

ඊට හේතුව, ජාඩීන් ගේ බොඩිලයින් සැලසුම් අධ්‍යයනට පෙර ජාඩීන් කවර පුද්ගලයෙක් ද යන්න දැනගැනීම අත්‍යවශ්‍යය නිසා. ඒ වගේම ඔහු පිළිබඳව ඇති තොරතුරු සාරංශගත කිරීමත් තරමක අපහසුයි.

අද ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අසා ඇති පරිදි, ඩග්ලස් ජාඩීන් ක්‍රිකට් ක්‍රීඩාවට කළු පැල්ලමක් ඇති කළ පුද්ගලයෙක් ලෙස සැලකීම, නිවැරදි නොවන්න හේතු කිහිපයක් තිබෙනවා.. 

ඕස්ට්‍රේලියානු නායක බිල් වුඩ්ෆුල් සහ එංගලන්ත/MCC නායක ඩග්ලස් ජාඩීන්

1) ගති ලක්ෂණ
🚩ඩග්ලස් ජාඩීන් ඉන්දියාවේ බොම්බේ හි දී උපත ලැබූ අතර ඔහුගේ පියා මැල්කම් ජාඩීන් ඉන්දියාවේ නීති ජෙනරල් වරයෙක් ලෙස කටයුතු කළා.. මැල්කම් ද පළමු පෙළ ක්‍රීඩා කර තිබූ හෙයින් කුඩා කලම ඩග්ලස් ජාඩීන් ට ක්‍රිකට් හුරුව තිබුණා..

නමුත් පාසල් යන වයසේ දී ම මැල්කම්, ඩග්ලස් නැවත ස්කොට්ලන්තයට පිටත් කරන්නේ, එහි අධ්‍යාපනය ඔහුට ලබා දීමේ උවමනාව නිසා.

ඔහු කුඩා කල සිටම අතිශය ලැජ්ජාශිලි/සමාජශීලි නොවන අයෙක් වුනා. ජාඩීන් ගේ දියණිය පසු කලක පැවසූ පරිදි ජාඩීන් ට තම ලැජ්ජාශීලි ස්වරූපය වසා ගැනීමට සිනාව අතිශය අඩු , කතාබහට එතරම් ප්‍රිය නොවූ පුද්ගලයෙක් ලෙස හැසිරුනා.. 

ක්‍රිකට් ක්‍රීඩා සාහිත්‍යයේ මහා ගත්කරු නෙවිල් කාදස් , ජාඩීන් එංගලන්ත නායකත්වය පත්වීම පිළිබඳව පැවසුවේ මෙවැන්නක්..
"ඕස්ට්‍රේලියානුවන් මෙල්ල කරන්න අවශ්‍යය නම්, මට අවශ්‍යය වන්නේ සතුරා බිමට පාගා දමන විට පමණක් සිනහවන නායකයෙක්" 
මීට අමතරව ඩග්ලස් ජාඩීන්, පිතිකරණයට පැමිණීමට පෙර සිටම අනවශ්‍යය ලෙස කලබලකාරී වන පුද්ගලයෙක් වුනා. ඔහුට, පා ආවරණ පැළඳ අන් අය පිතිකරණයේ යෙදෙන අයුරු නැරඹීමට නොහැකි තත්ත්වයක් උදා වුනා.. ඒ අනුව බොඩිලයින් තරගාවලිය අතරතුර ඔහු ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රියා කළා..

ඔහුගේ මේ කලබලකාරී බව, ඕස්ට්‍රේලියානුවන් ඉදිරියේ වෙනස් වූයේ මුරණ්ඩු, අණක් ගුණක් නොමැති පුද්ගලයෙක් බවට..

වරක් ඕස්ට්‍රේලියානු පුවත්පත් වාර්තාකරුවෙක් ජාඩීන් ගෙන් තරග විස්තර ඇසීමට පැමිණි විට, ජාඩීන් ඔහුට පරුෂ වචනයෙන් බැන වැදී එතැනින් ඉවතට ගියා..

ඔහු, බොඩිලයින් තරගාවලියට පෙර එංගලන්ත ක්‍රීඩකයින්ගේ මනස සූදානම් කළේ ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව මුරණ්ඩු ලෙස හෝ ඔවුන් කෙසේ හෝ පරාජය කරන ආකාරයටයි.

ඒ අනුව සෑම අයෙක්ම ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ට "ශ්‍රේෂ්තමයා" ලෙස පවසන විට ජාඩීන්, බ්‍රැඩ්මන් ව හැඳින්වූයේ " අව..ජාතක පොඩි එකා (the little bastard)" ලෙසට..

ඕස්ට්‍රේලියාවේ බැරැකර්ස් ලා ඉදිරියේ එංගලන්ත පන්දු රකින්නෝ අසරණ වන විට, ජාඩීන් නායකයා වූවද හතරේ සීමාව අසළට ගොස් පන්දු රකින්නට තීරණය කළා.. ඒ ඔහුව වට්ටන්න බැරැකර්ස් ලා ට නොහැකි නිසා..

එමෙන්ම, තරගය අතරතුර මුහුණ හරවා බිමට කෙළ පිඩක් දමන්නට ජාඩීන් අමතක කළේ නෑ..

ජාඩීන් ඉහත ගති ලක්ෂන පෙන්නුම් කළත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් පසු බොහෝවිට විහිළු තහළු වලට කැමැත්තක් දැක්වූ අතිශය හිතවත් මෙන්ම උපකාරී පුද්ගලයෙක් වූ බවට මූලාශ්‍ර පවසනවා. 

බොඩිලයින් හි එංගලන්ත උපනායක ලෙස කටයුතු කළ බොබ් ව්‍යාට් ට වරක් 1940 ලෝක යුද සමයෙන් පසුව මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණය අසළ දී ඩග්ලස් ජාඩීන් හමුවුනා.

ඔහුගේ මෝටර් රථයේ නැග එන ලෙස ජාඩීන් ට දිගින් දිගටම බැගෑපත් වීමෙන් අනතුරුව අවසානයේ එම ඉල්ලීමට එකඟ වූ ජාඩීන්, ඔහු සමඟ දිළිඳු ජනතාව බහුල ප්‍රදේශයක නිවසක් අසළ රථයෙන් බැස පිටව ගියා.

බොබ් ව්‍යාට් ට, ජාඩීන් හරහා දැනගන්නට ලැබෙන්නේ, දෙවන ලෝක යුද සමයේ දී රෝහල්ගතව සිටි තමාට උපකාර කළ මහළු සාත්තු සේවිකාව, ඒ වෙද්දී මූල්‍යමය වශයෙන් අසරණව සිටි නිසා කළගුණ සැලකීමක් ලෙස ඇයගේ නිවසේ මුදල් ගෙවා නවාතැන්ගෙන සිටි බවට.

2) 1932/33 ට පෙර ක්‍රිකට් ක්‍රීඩාව
🚩මේ තරගාවලියට පෙර ක්‍රිකට් ක්‍රීඩාව 'මහත්මා ගුණෙන් පිරුණු ක්‍රිකට් ක්‍රීඩාවට' බොහෝසෙයින් සමාන වුනා. පිතිකරුවන් පිට ඉන්න ආක්‍රමණය කරමින් පිතිකරණයේ යෙදෙන, පන්දු යවන්නන්, කෙටි පන්දු යැවීම අවම කරගත් ආක්‍රමණශීලි අඩු බවක් දක්නට ලැබුණා.. 

එමෙන්ම එකල තරගයක දිනයක් අවසානයේ දී තණතීරු වසා තැබීමක් නොකිරීම නිසා, වර්ෂාවෙන් හෝ වෙනයම් හේතුවක් මත තණතිල්ල සෙමින් ක්‍රියා කිරීම නිසා පන්දු යවන්නන්ට මුල් දිනයේ ලැබෙන වාසිය පසුව අතිශය අඩුවන්නට පටන් ගත්තා (විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු තණතීරු මත). මේ නිසාම මුල් දිනයෙන් පසු තරගයක සම්පූර්ණ වගකීම දෙපිලේ පිතිකරුවන් මත රඳා පවතිනවා..

3) අළු බඳුන දිනාගැනීමේ උවමනාව
🚩වර්තමානයේ මෙන් එකල අළු බඳුන තරගාවලි මාස 2ක් හෝ 3ක් ඇතුලත අවසන් වන්නේ නෑ.. එකල ගුවන් ගමන් අතිශය දුර්ලභ නිසා නැව් ගමනාගමනය ඔස්සේ එංගලන්තයේ සිට ඕස්ට්‍රේලියාවට ගොස්, එහි පළමු පෙළ තරග වගේම ටෙස්ට් තරග 5 ක්‍රීඩා කර නැවත තම රටට ඒම සඳහා අවම වශයෙන් මාස 6ක පමණ කාලයක් ගතවුනා..

එම නිසාම අළු බඳුන තරගාවලියක් සෑම වසර 1 1/2 හෝ 2කට පසුව පැවැත්වෙන අතර එය කෙසේ හෝ ජයගැනීම, ක්‍රීඩකයින්ටත් වඩා රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සිට ක්‍රිකට් නිලධාරින් දක්වා දැඩි උවමනාවක් තිබුණා. පර්සි චැප්මන් ගේ එංගලන්ත පිල, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ඉදිරියේ ලැජ්ජා සහගත පරාජයකට මුහුණ දීම නිසා, 1932/33 තරගාවලියේ දී ඕස්ට්‍රේලියානුවන් පරාජය කරවීමට එංගලන්ත ක්‍රිකට් නිලධාරින්ට ප්‍රබල නායකයෙක් අවශ්‍යය වුනා. 

4) MCC යේ දියාරු ප්‍රතිපත්තිය
🚩ජාඩීන් හට ලෙග් ට්‍රැප් ක්‍රමවේදය පිළිබඳව සාර්ථක වේ ද යන්න ඕස්ට්‍රේලියාවට යනතුරු ධනාත්මක සිතුවිල්ලක් නොතිබුනත්, ඔහු ඊට පෙර ලෙග් ට්‍රැප් ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිළිබඳව MCC ය ට දැනුම් දී තිබුණා.. ජාඩීන්, තම ක්‍රීඩකයින් අතර මේ පිළිබඳව තොරතුරු කිසිවක් ලබා නොදුන්නත් (වෝස්, ලාවූඩ් දැන සිටියා), ඔහු MCC යට දැනුම් දෙන්නට වග බලාගත්තා. MCC කමිටුව මෙයට මුල සිටම ප්‍රබල ලෙස විරෝධය පළ කළේ නැති අතර මේ සඳහා කොළ එළියක් ජාඩීන් ට ලබා දුන්නා. (ප්ලම් වෝනර් ලෙග් ට්‍රැප් ක්‍රමයට තදබල විරෝධයක් දැක්වූවා).

නමුත් බොඩිලයින් තරගාවලිය නිසා දෙරට අතර සුහදත්වය ට හානි වන පරිදි පුවත් ලෝකය පුරා හුවමාරු වන විට MCC ය දෙබිඩි පිළිවතක් අනුගමනය කරන්නට පටන් ගත්තා.. 

ජාඩීන් සහ ලාවූඩ් ගේ කළකිරීමට ඉහත MCC ප්‍රතිපත්ති ද බලපෑවා.. 

ඩග්ලස් ජාඩීන්, වින්චෙස්ටර් හි අධ්‍යාපනය ලැබ පසුව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට තේරි පත්ව නීතිඥවරයෙක් බවට සුදුසුකම් ලබා ගත්තා. 

ඒ අතර ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දක්වමින් සරේ ප්‍රාන්තයට ත් පසුව එංගලන්ත ටෙස්ට් කණ්ඩායමටත් ඇතුළත් වුනා.. 

සරේ ප්‍රාන්ත නායක පර්සි ෆෙන්ඩර් ඔහුගේ අතිජාත මිත්‍රයෙක් වන තරමටම සමීපව ඇසුරු කළ අතර ෆෙන්ඩර් ගේ උපදෙස් ඔහු වඩාත් විචක්ශණශීලි නායකයෙක් වීමට මඟ, විවරකර දීමට හේතු වූනා. 

1930 අළු බඳුන තරගාවලියේ එංගලන්ත නායකයා ලෙස කටයුතු කළ පර්සි චැප්මන් ට නැවත අවස්ථාවක් ලබා නොදීමට එවකට තේරිම් කමිටුව තීරණය කළා. 

ඔහුව නායකත්වයෙන් ඉවත්කරන්නට තරගාවලිය පරාජය වීමට අමතරව බලපෑ වෙනත් හේතු කාරණා වූයේ චැප්මන් නායකත්වය බරපතලව ගණන් නොගැනීමත් ඔහු මත්පැනට ඕනෑවට වඩා ඇබ්බැහි වූ අයෙක් වීමත් නිසා. එවකට තේරිම් කමිටුවට ජාඩින් හා සමානව නායකත්ව තනතුරට බොබ් ව්‍යාට් ද සුදුස්සෙක් ලෙස පෙනුනා.. 

නමුත්, පර්සි ෆෙන්ඩර් තිරය පිටුපස සිට ජාඩීන් නායකයා කරවීමට ගෙනගිය සටනත්, ඕස්ට්‍රේලියාවේ මිශ්‍ර කාළගුණික තත්ත්වය යටතේ ක්‍රීඩා කරන එංගලන්ත ක්‍රීඩකයින් නිවැරදි මාවතේ ගෙන යා හැකි, 'බැරැකර්ස්' ලා ඉදිරියේ කැන්ගරුවන් මෙල්ල කළ හැකි, නායකයෙක් එවකට එංගලන්ත ක්‍රිකට් බලධාරින්ට අවශ්‍යයව තිබූ නිසා, ඔවුන්ට ජාඩීන් තෝරා ගැනීමට සිදුවුනා. 

1928/29 දී පර්සි චැප්මන් නායකත්වයේ කටයුතු කරන විට නායකයෙකු ලෙස ඔහුගේ සැහැල්ලු තීරණ සහ ඔහුගේ මත්පැන් ලෝලී බව තදබල ලෙස විවේචනය කළ ජාඩීන්, බොබ් ව්‍යාට් ට පැවසුවේ, රිවෝල්වරයක් ඔහු අත තිබුනේ නම්, චැප්මන් ට වෙඩි තබන්නට ඔහු පැකිලෙන්නේ නැති බවට.. 

බිල් වුඩ්ෆුල් සහ පර්සි චැප්මන් (1928/29 සහ 1930 එංගලන්ත නායක)

ජාඩීන් , එංගලන්ත නායකයා වීමට සුදුසු නැති බවට කිසිවෙකුත් චෝදනා කළේ නැත.. 
එවකට එංගලන්ත ක්‍රිකට් හි විශිෂ්ටතම පිතිකරු වොලී හැමන්ඩ් පවා පැවසුවේ අළු බඳුන නැවත ජය ගැනීමට නම් (ඕස්ට්‍රේලියාවට එරෙහිව ඕස්ට්‍රේලියාවේ දී) එයට සුදුසුම පුද්ගලයා අන් කවරෙකුවත් නොව, ඩග්ලස් ජාඩීන් පමණක්ම බව. 

නමුත්, හැමන්ඩ් පවා දැන සිටියා 1928/29 තරගාවලියේ දි ජාඩීන්, ඕස්ට්‍රේලියානුවන් සමඟ පවත්වා ගෙන ගිය සම්බන්ධතා අතිශය සතුටුදායක නොවන මට්ටමේ බව. 

ඩග්ලස් ජාඩීන් ගේ වින්චෙස්ටර් හි ගුරුවරයෙක් මෙන්ම කලක් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ, ජාඩීන් ව කුඩා කල සිට ඔහුගේ ස්වරූපය හඳුනන රොක්ලි විල්සන්, ජාඩීන් එංගලන්ත නායකයා වූ පුවත ආරංචි වූ විට පැවසුවේ මෙවැනි දෙයක්. 
"අපි අළු බඳුන දිනාවි, නමුත් අපට යටත් රාජ්‍යයක් අහිමි වේවි" (“We shall win the Ashes … but we may very well lose a Dominion.”)
ඕස්ට්‍රේලියානුවන් පරාජය කරවීම පෞද්ගලිකව තමන්ට වගේම එංගලන්තයටත් අවශ්‍යය නිසා, ඒ ගෞරවය දිනාගැනීමට තමන් මූලිකව කටයුතු කළ යුතු බවට ඩග්ලස් ජාඩීන් ට වැටහී ගියා..

ඒ අනුව, 1931/32 පළමු පෙළ තරගාවලි සමයේ ආතර් කාර් විසින් තරග කිහිපයක පෙන්නුම් කළ ලෙග් ට්‍රැප් ක්‍රමවේදය පිළිබඳව ආරංචි වූ ජාඩීන් ට ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍යය වුනා. 

පර්සි ෆෙන්ඩර් මාර්ගයෙන් කාර් හමුවෙන ජාඩීන් ට ලෙග් ට්‍රැප් ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව පිකඩලි හෝටලයේ දී දැනගන්නට ලැබෙනවා. 

මූලාශ්‍ර:-
1) In quest of the ashes by Douglas Jardine
2) Bodyline by Philip derriman
3) Bodyline Autopsy by David Frith
4) ABC Bodyline: it's just not cricket - documentary

ප.ලි. - (ක්‍රිකට් ක්‍රීඩා කරන විට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ආවේනික හාර්ලික්වින් හිස් වැසුම පැළදීම පුරුද්දක් කරගත් ඩග්ලස් ජාඩීන්, විශේෂයෙන් ඕස්ට්‍රේලියානු බැරැකර්ස් ලා කෝප ගැන්වීමට ඔවුන් ඉදිරියේ මේ හිස්වැසුම පැළදීමට කැමැත්තක් දැක්වූවා.)

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments