බොඩිලයින් - 10

එංගලන්ත කණ්ඩායම (මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය)
........................................

1932/33 තරගාවලියට පෙර එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් තේරිම් කමිටුවක් පිහිටුවනවා. එහි සාමාජිකයන් වූයේ, ලෝර්ඩ් හෝව්ක් (MCC ක්‍රිකට් කමිටුවේ සභාපති), පර්සි පෙරින්, ටොම් හිග්සන්, පෙල්හැම් 'ප්ලම්' වෝනර් සහ නායක ඩග්ලස් ජාඩීන්. 

මීට අමතරව MCC ය විසින් සංචාරක තේරිම් කමිටුවක් පත් කළා.. එයට ඇතුලත් වූ අය වූයේ, සට්ක්ලිෆ්, ප්ලම් වෝනර් සහ නායක ඩග්ලස් ජාඩීන්. ජාඩින් ගේ ඉල්ලීම පරිදි, බොබ් ව්‍යාට් (එංගලන්ත කණ්ඩායමේ උප නායක) සහ වොලී හැමන්ඩ් ද එම කමිටුවට ඇතුළත් වුනා.

ඩග්ලස් ජාඩීන් පවසන අන්දමට ඔහු ඉහත කමිටුවේ තීරණා හා එකඟ නොවූ අවස්ථා තිබුනේ දෙකක් පමණයි. 

එයින් එක් අවස්ථාවක් වූයේ, තමන් සුපුරුදු දක්ෂතා අතර නොමැති වීමත්, තමන් පිටියේ නොමැති නම්, තම කණ්ඩායමට, ප්‍රේක්ෂකයින්ගෙන් එල්ල වන පීඩනය සෑහෙන්න දුරට අඩුවිය හැකි බව නිසා, තුන්වන සහ සිවුවන ටෙස්ට් තරගවලින් තමා ඉවත්කරන ලෙස ඉල්ලා සීටීම. මෙයට කමිටුවේ අනෙක් සාමාජිකයින් එකඟ වූයේ නෑ.


1932, ජූලි මස 15 වන දා රංජිත්සිංජී ගේ බෑනනුවන් වූ දුලිප්සිංජී, වොලී හැමන්ඩ්, හර්බර්ට් සට්ක්ලිෆ්, එංගලන්ත කඩුලු රකින්නන් වූ ලෙස් අමෙස් සහ ජෝර්ජ් ඩක්වර්ත්, 32/33 අළු බඳුන තරගාවලියේ සංචිතයට ඇතුලත් කළ බවට එංගලබ්ත තේරීම් කමිටුව නිවේදනය කළා.

ඒ සමඟ අමතර ක්‍රීඩකයින් 22ක් තෝරාගෙන ඔවුන්ට කාර්ඩිෆ් හි දී පුහුණු සැසියකට ආරාධනා කළ අතර අගෝස්තු මස වන විට ක්‍රීඩකයින් 13කින් යුත් මූලික MCC සංචිතය නම් කළා. 

මෙයට ඉහත ක්‍රීඩකයින්ට අමතරව ගබී ඇලන්, ෆ්‍රෙඩී බ්‍රවුන්, ඉෆ්තිකාර් අලි ඛාන් පතව්දි (නවාබ්), ආර්.එම්.වී. රොබින්ස් යන වෘත්තීය නොවන ක්‍රීඩකයින් (Amateurs) සහ හැරල්ඩ් ලාවුඩ්, බිල් වෝස් යන වෘත්තීය ක්‍රීඩකයින් (Professionals) තේරි පත්වුනා (ලාවූඩ් සහ වෝස්, ඇතුලත් කරන්නට ජාඩීන් ට අවශ්‍යය වුනා). 

මින් සති දෙකකට පසු තවත් ක්‍රීඩකයින් තිදෙනෙක් නම් කරන්නට MCC යට සිදුවුනේ දීර්ඝ සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව. 

එම ක්‍රීඩකයින් වූයේ, මොරිස් ලේලන්ඩ්, මොරිස් ටේට් සහ හෙඩ්ලි වෙරීටි. ව්‍යාපාර කටයුත්තක් නිසා තරගාවලියට සහභාගි වීමට රොබින්ස් ට නොහැකි වන බව දැනුම් දුන් හෙයින් ඒ වෙනුවට ටොමී මිචෙල් ආදේශක ක්‍රීඩකයා වුනා. 

දුලිප්සිංජී හදිසි අසනීප තත්ත්වයක් මත ඔහුගේ සහභාගි වීම අවනිශ්චිත වීම නිසා ඔහු වෙනුවට එඩී පේන්ටර් නම් වුනා.

මොරිස් ටේට් සංචිතයට නම් කළ පසු, ඔහුගේ පැමිණීම ද අසනීප තත්ත්වයක් මත අවනිශ්චිත විය හැකි බවට MCC යට තේරුම් ගිය නිසා ඔවුන් නවක පන්දු යවන්නෙක් මෙන්ම ඉතා උස ක්‍රීඩකයෙක් වූ යෝර්ක්ෂයර් ප්‍රාන්තයේ බිල් බෝව්ස් නම් කළා.

ඒ අනුව, බිල් බෝව්ස්, බොඩිලයින් තරගාවලියේ, ජාඩීන් ගේ පේස් බැටරියේ ප්‍රධානතම පන්දු යවන්නෙක් බවට පත්වන්නේ අහම්බෙන්. 

ටේට් ඉක්මනින් සුව අතට පත්වන අතර ඔහු නැවත MCC යට තමන් සූදානම් බවට පවසන විට එංගලන්ත කණ්ඩායම රැගත් නෞකාව පිටත්ව අවසන්. ඒ අනුව, මොරිස් ටේට් ට ඔවුන් සමඟ එකතුවන්නට තරමක කාලයක් ගතවුනා.. 

1932/33 අළු බඳුන තරගාවලිය සඳහා නම් කළ එංගලන්ත ටෙස්ට් කණ්ඩායම 

ඩග්ලස් ජාඩීන් (නායක)
බොබ් ව්‍යාට් (උප නායක)
ඉෆ්තිකාර් අලි ඛාන් පතව්දි

මොරිස් ලේලන්ඩ්

හර්බට් සට්ක්ලිෆ්

හෙඩ්ලි වෙරීටි

ජෝර්ජ් ඩක්වර්ත් (කඩුලු රකින්නා)

වොලී හැමන්ඩ්

ෆ්‍රෙඩී බ්‍රවුන්

බිල් වෝස්

බිල් බෝව්ස්

මොරිස් ටේට්


ලෙස් අමෙස් (කඩුලු රකින්නා)

එඩී පේන්ටර්

හැරල්ඩ් ලාවූඩ්

ගබී ඇලන්

ටොමී මිචෙල්

ප්ලම් වෝනර් (කළමණාකරු)
රිච්ඩ් පැලරයිට් (සහය කළමණාකරු)


aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments