තරග පාවා දුන් තුන්කට්ටුව - 07

ඩීන් ජෝන්ස් ට ලැබුණු කේක් පෙට්ටිය.

මුකේෂ් ගුප්තා ප්‍රබල ක්‍රීඩකයින් ඇමට ගන්නා තවත් සිදුවීමක් වාර්තා වන්නේ හැන්සි ගේ සිදුවීමටත් පෙරයි. 1992 වසරේ දී ඇලන් බෝඩර් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානුවන්, ශ්‍රී ලංකාවට පැමිණියේ එක්දින තරග 3ක සහ ටෙස්ට් තරග 3ක තරගාවලියක් සඳහා.

ශේන් වෝන් ගේ තරගය ලෙස ප්‍රකට එස්.එස්.සී ටෙස්ට් තරගය ක්‍රීඩා කළේ එම තරගාවලිය අතරතුරයි. මැඩ් මැක්ස් නමින් හැඳින්වූ අරවින්ද ද සිල්වා ගේ කලබලකාරි පිතිකරණයෙන් ඔහු දැවී යාමත් ඉන්පසුව පසු පෙළ ක්‍රීඩකයින් සියල්ලම ශේන් වෝන් ප්‍රමුඛ පන්දු යවන්නන් ඉදිරියේ කඩුලු පූජා කරමින් දැවි ‍යාමෙන් ඕස්ට්‍රේලියාවට නොතිබූ ටෙස්ට් ජයක් හිමිවුනා. එය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් සහ ශෝන් වෝන් ට කිසිදා අමතක කළ නොහැකි තරගයක්.

මෙම තරගාවලිය පැවැත්වෙන අතරතුර ඕස්ට්‍රේලියානුවන් නවාතැන් ගත්තේ ටාජ් සමුද්‍රා හෝටලයේදී යි. එහි දී එවකට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මනෝජ් ප්‍රභාකර් පැමිණ ඩීන් ජෝන්ස් (ඩීනෝ) හමුවී පැවසුවේ, ඔහුගේ මිතුරෙක් පැමිණ සිටිනවා, එම හෝටලයේම සම්මන්ත්‍රණ ශාලාවේ ඔහුව හමුවිය හැකිදැයි යන්න. පෙර වසරේ දී ප්‍රභාකර් විසින් ඩීනෝ ට අනුග්‍රාහකයෙක් සොයා ගැනීමට උපකාර කළ බැවින් මෙයත් එවැනි එකක් බවට ඔහු සිතුවා.

ඩීන් ජෝන්ස්

ඩීනෝ, ප්‍රභාකර් සමඟ පහත මාලයට පැමිණියා. 

"ඩීනෝ, මේ තමයි මගේ මිත්‍රයා 'ජෝන්' "
 
"ඔබට මගෙන් වෙන්න ඕන මොකද්ද ?" ඩීනෝ, ජෝන් ගෙන් ඇසුවා.

"මට දැනගන්න ඕන, කණ්ඩායමේ සංයුතිය කොහොමද ? කවුද හොඳටම ක්‍රීඩා කරන්නේ, කවුද මේ දවස්වල දුර්වල විදිහට ක්‍රීඩා කරන්නේ, කියලා".. , ප්‍රභාකර් හඳුන්වාදුන් ඒ අමුත්තා , ඩීනෝ ගෙන් විමසුවා . 

මෙම පුද්ගලයාට අවශ්‍යය වූයේ විශ්වාසදායි තොරතුරුයි.

මනෝජ් ප්‍රභාකර්

"හරි, මේ තොරතුරු ලබා දුන්නොත්, මට මොකද්ද ලැබෙන්නේ ?". , ඩීන් ජෝන්ස් , කුතුහලයකින් යුක්තව මෙම අමුත්තාගෙන් ඇසුවා.

ජෝන් නැමැත්තා ඔහු සතුව තිබූ කේක් පෙට්ටියක් ඔහුට ලබා දුන්නා. එහි, මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක් සහ ජංගම දුරකතනයක් තිබුනා.

'ජෝන්' , ඩීනෝ ට පැවසුවේ, කණ්ඩායමේ තොරතුරු ලැබුණු වහාම ඔහුට දන්වන ලෙස යි.

ඩීනෝ, ජෝන් ගෙන් තවදුරටත් ඇසුවේ, මෙවැනි තොරතුරු ලබාදෙන වෙනත් අය සිටිනාවාද යන්න.. 

ජෝන් පැවසුවේ "මම ඔවුන්ගේ නම් පවසන්න කැමති නෑ, නමුත් සෑම රටකම තොරතුරු සපයන ක්‍රීඩකයෝ ඉන්නවා" 

ඩීනෝ ට මෙම විශාල මුදල් කන්දරාව ගැන සැක සිතීම නිසා, ඔහු ජෝන් ට පැවසුවේ,

"සමාවෙන්න, මට මේ මුදල් එපා, ඔබව හමුවීම සතුටක්, ඔබට සුබ දවසක් !" 

මෙලෙස පවසා ඩීනෝ නැවතත් තම හෝටල් කාමරය බලා පිටත්ව ගියා..එමෙන්ම, මේ පිළිබඳව එවකට ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර් සහ පුහුණුකරු බොබ් සිම්ප්සන් ට දැන්වීමටත් ඩීනෝ අමතක කළේ නෑ .

එම මුදල් ගැනීමට ඔහු පැකිලුන හේතුව කුමක් ද යන්න ඇලන් බෝඩර් ,  ඩීන් ජෝන්ස් ගෙන් විමසු විට ඩීන් ජෝන්ස් පැවසුවේ ,  

"මට ඒ දේ කරන එක හරි නෑ වගේ කියලා හිතුනා, ඇලන්..." 

ඩීනෝ, කළමණාකරු කැම් බැටර්ස්බි ට ද දුරකථනයෙන් අමතා පැවසුවේ හෝටල් කාමරයට වහාම පැමිණෙන ලෙසට.

තමන්ට ඔට්ටු අල්ලන්නෙකු විසින් මුදල් ලබාදීමට කැමැත්තක් දක්වන බවත් ඒ වෙනුවට, ඔහුට, කණ්ඩායමේ විස්තර, තරගය පවතින දිනයේ කාළගුණ තත්ත්වය කාසියේ වාසිය දිනුවොත්, කුමන තීරණයක් ගනිවී ද යන තොරතුරු ඔහුට ලබා දෙන ලෙසට ඉල්ලීමක් කළ බවයි..

ඩීනෝ ඉහත සිදුවීම අමතක කර තම ක්‍රීඩාවට පූර්ණ අවධානය යොමු කළ අතර වසර ගණනාවකට පසු ඉහත 'ජෝන්' නම් තැනැත්තා මුකේෂ් කුමාර් ගුප්තා බවට හෙළි වුනා..


aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments