තරග පාවා දුන් තුන්කට්ටුව - 06

රැස්වීම් ත්‍රිත්වය

1996 වසරේ මෙම ඉන්දියානු තරගාවලියේ නිමාවට පෙර පැවතියේ ප්‍රදර්ශනාත්මක තරගයක්. ඒ මොහින්දර් අමරනාත් ගේ නමින් (Benefit Match). මෙම තරගයත් එක්දින ජාත්‍යන්තර තරගයක් බවට පත්කර ක්‍රීඩා කරන ලෙස දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් කළ අතර එයට ඉන්දීය ක්‍රිකට් ආයතනය එකඟ වුනා..

මෙම තරගයට පෙර මුකේෂ් ගුප්තා විසින් හැන්සි ක්‍රොන්යේ හට අවසන් තරගය පරාජය වන අයුරින් ක්‍රීඩා කරන ලෙස ඉල්ලා සිටි අතර ඒ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 250,000ක් ලබා දෙන්නට ඔහු පොරොන්දු වුනා.

මොහින්දර් අමරනාත් බෙනිෆිට් තරගය 1996 (සචින් සහ සිම්කොක්ස්)

ඒ අනුව හැන්සි ක්‍රොන්යේ විසින් තම ක්‍රීඩකයින්ට, කණ්ඩායම් රැස්වීමක් සඳහා තම හෝටල් කාමරයට පැමිණෙන ලෙස දැනුම් දුන් අතර බොම්බේ හි දී පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනාත්මක එක්දින තරගය සඳහා ඇමෙරිකානු ඩොලර් 250,000 ක මුදලක් එක්තරා ව්‍යාපාරිකයෙකු ලබාදීමට කැමැත්තක් දක්වන බවත් ඒ සඳහා එම තරගය අවම වශයෙන් ලකුණු 70-90ක් අතර ප්‍රමාණයකින් පරාජය විය යුතු බවත් හැන්සි පැවසුවා.

ඒ වනවිට ආබාධ වලින් සහ අසනීප තත්ත්වයන් නිසා තම සංචිතයේ ක්‍රීඩකයින් සමඟ එම තරගය කුමන අයුරින් ක්‍රීඩා කළත් පරාජය වීමට බොහෝ ඉඩක් තිබෙන බැවින් තම මව් රටට යන විට දැවැන්ත මුදල් කන්දරාවක් සමඟ පිටත්ව යා හැකි බවටත් හැන්සි තම කණ්ඩායමේ සඟයින්ට පැහැදිළි කළා.

හැන්සි ගේ මුල්ම ‍රැස්වීමෙන් පසු හැන්සි ට සහය පළ කරන පිළක් සහ විරුද්ධ පිළක් ලෙස දකුණු අප්‍රිකාණු කණ්ඩායම කොටස් දෙකකට කැඩුණා.

විරෝධතාවය දැක්වූ පිළේ එවකට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් වූ ඇන්ඩෲ හඩ්සන්, ඩේව් රිචර්ඩ්සන්, ජොන්ටි රෝඩ්ස්, ඩෙරිල් කලිනන්, ඩෙරෙක් කෘක්ස්  වැන්නන් ගෙන් සමන්විත වූ අතර සහය දැක්වූ පිළේ එවකට නවකයින්ගෙන් මෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගෙන් සමන්විත වුනා.

පැට් සිම්කොක්ස් , පසුකලක කිං කොමිසම ඉදිරියේ පැවසුවේ ,  හඩ්සන් ඉහත මුදලට තරග පාවා දීමේ කටයුත්තට තරයේ විරෝධතාවය පළකළ බවට.

ඇන්ඩෲ හඩ්සන්

හැන්සි විසින් තවත් රැස්වීම් දෙකක් තරගයට පෙර සූදානම් කළා. ඒ, කෙසේ හෝ සියල්ලන්ගේම සහය මේ සඳහා ලබාගැනීමට යි. වර්තමානයේ මෙන් ක්‍රිකට් ක්‍රීඩාව සල්ලි පොම්ප කරන ක්‍රීඩාවක් නොවූ බැවින් ඇමෙරිකානු ඩොලර් 250,000ක් යනු ලොතරැයියක් ජය ගැනීම හා සමාන දැවැන්ත ත්‍යාගයක් වුනා.

ඇන්ඩෲ හඩ්සන් සහ ඩේව් රිචර්ඩ්සන් දිගින් දිගටම විරෝධය පළ කිරීමත් නවක ක්‍රීඩකයින්ගේ අනාගතයට හානියක් විය හැකි බවට සාකච්ඡා වීමත් නිසා රැස්වීම් ත්‍රිත්වය අවසානයේ මෙම ක්‍රියාව සිදුනොකළ යුතු බවට තීරණය වූ අතර තරගය ජයගැනීමට උපරිම දායකත්වය ලබාදිය යුතු බවටත් තීරණය කළා.

මෙම එක්දින තරගය හැන්සි ප්‍රථම රැස්වීමේ දී පැහැදිළි කළාක් මෙන් ඔවුන්ට පරාජය වැළඳගැනීමට සිදුවුනා. හර්ෂල් ගිබ්ස් පවසන පරිදි එම තරගයේ දී ගැරී කර්ස්ටන් ට කඩුලු රකින්නට සිදුවූ අතර ගිබ්ස් ට, ජොන්ටි රෝඩ්ස් පන්දු රකින ස්ථානය වන පොයින්ට් හි පන්දු රකින්නට සිදුවූ බවට.

පසුකලක එම දකුණු අප්‍රිකාණු සංචිතයේ  සිටි බ්‍රයන් මැක්මිලන් පැවසුවේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් හැන්සි ගේ තරග පරාජයේ සැලසුමට කැමැත්තක් දැක්වූ බවත් එයට ප්‍රධානතම හේතුව වූයේ එම ක්‍රීඩකයින් තම ක්‍රිකට් දිවියේ අවසන් භාගය ගතකරමින් සිටීම නිසා විශාල මුදලක් ලබාගැනීමට එය කදිම අවස්ථාවක් වූ බව ලෙසට.

ගිබ්ස් තම ස්වයං චරිතාපදානයේ, මැක්මිලන් ගේ කියමන තහවුරු කරමින් පැවසුවේ, පැට් සිම්කොක්ස්, හැන්සි ගේ ඉල්ලීමට එකඟ වූ බවට.

එවකට දකුණු අප්‍රිකාණු පිළේ ප්‍රධාන පුහුණුකාර ධූරයේ කටයුතු කළ බොබ් වූල්මර් පැවසුවේ එවැනි රැස්වීම් ත්‍රිත්වයක් පැවැත්වූ බවට ඔහු නොදැන සිටි බව.

බොබ් වූල්මර් සහ හැන්සි ක්‍රොන්යේ

2007 වසරේ කැරිබියන් දූපත් සමූහයේ පැවති 09 වන ජාත්‍යන්තර සීමිත ඕවර ලෝක කුසලාන තරගාවලියේ පකිස්තාන ප්‍රධාන පුහුණුකාර ධූරය හෙබවමින් සිටිය දී ඔහුගේ ප්‍රාණය රහිත ශරීරය ඔහුගේ හෝටල් කාමරය තුළ හමුවීම අදහාගත නොහැකි පුවතක් වුනා. 

පකිස්තානු පිල අයර්ලන්තයට එරෙහිව ලැජ්ජා සහගත පරාජයකට මුහුණ දී ම නිසා ඔහුගේ මරණයට එය හේතුවක් වුනාද යන්න ප්‍රසිද්ධ මාධ්‍යය තුල නිතර ප්‍රකාශ කළත්, 90 දශකයේ දකුණු අප්‍රිකාණු ක්‍රීඩකයින්ගේ රහස් බොහෝ ප්‍රමාණයක් දැන සිටි බොබ් වූල්මර්, මරණයට පත්වන්නට තවත් හේතු ඇති බවට පිළිගත හැකි කාරණාවක්.


aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments