තරග පාවා දුන් තුන්කට්ටුව - 05

අසාර් බායි

1995 වසරේ දී එවකට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම දිල්ලි ප්‍රාන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අජේ ශර්මා විසින් කෙටි හමුවීමක් සූදානම් කළා. ඒ දිල්ලියේ ටාජ් පැලස් හෝටලයේ දී.

මුකේෂ් ගුප්තා ගේ උවමනාවකට මෙම හමුවීම සූදානම් කිරීම සඳහා අජේ ට ඉන්දීය රුපියල් ලක්ෂ 5ක් ගුප්තා ගෙන් ලැබුණා..

අජේ සමඟ පැමිණි මේ අමුත්තා, එවකට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ඉන්දීය ක්‍රිකට් රසිකයින් ගේ ගෞරවාදරයට ලක්ව සිටි මොහොමඩ් අසරුද්දීන්.

අසාරුද්දීන් - Image Credit: the Cricket Monthly

ක්‍රිකට් තරග පැවැත්වීමට පෙර, තරගය අතරතුර වගේම තරගයෙන් පසු පිටියෙන් එපිට වන දෑ පිළිබඳ දැනගැනීමට මුකේෂ් ගුප්තා ට දැඩි ලෙස උවමනා වුනා. ඊට හේතුව, ක්‍රිකට් තොරතුරු දැන සිටීම, සාර්ථකව ඔට්ටු ඇල්ලීමට අවශ්‍ය වන මූලිකම සිද්ධාන්තය වීමයි.

අජේ ශර්මා ඔස්සේ අසාර් හමුවූ ගුප්තා ට අවශ්‍ය වූයේ ඉන්දියාව තරගය දිනනවා ද පරදිනවා ද යන නිවැරදි තොරතුර දැනගැනීම පමණයි. එය නිවැරදිව ලබාදුන්නොත් අසාර් ට මූල්‍යමය වාසි ලබා දෙන බවට ගුප්තා පොරොන්දු වුනා වගේම ලක්ෂ 50 ක අත්තිකාරමක් ද එවෙලේම ලබාදෙන්නට ගුප්තා අමතක කළේ නෑ.

අසාර් සහ මුකේෂ් ගුප්තා ගේ මෙම හමුවීම එතැනින් නතරවුනේ නෑ. ඉන් පසුවත් අසාර් ට ලක්ෂ 90ක් දක්වා ගෙවීම් ලැබුණු බවට පසුව හෙළි වුනා.

1996 කාන්පූර් ටෙස්ට් තරගය අතරතුර අසාර් තම හෝටල් කාමරයට හැන්සිට ආරාධනා කළ අතර, එකල මෙන්ම අදත් ප්‍රතිවාධි පිලේ නායකයන් ගේ හමුවීම් ගැටළුවක් නොමැතිව තිබූ නිසා එයට හැන්සි කැමැත්ත පළකලා. අසාර්, තම කාමරයට පැමිණි හැන්සි ක්‍රොන්යේ ට මුකේෂ් ගුප්තා හඳුන්වා දුන් අතර අසාර් තම හෝටල් කාමරයෙන් කෙටි වේලාවකට පිටතට ගියේ ගුප්තා සහ හැන්සි ගේ සාකච්ඡාවට බාධා නොකිරීමේ අරමුණින්.

මුකේෂ් ගුප්තා, හැන්සි ගෙන් ඉල්ලීමක් කළේ එම ටෙස්ට් තරගයේ අවසාන දිනයේ දී කඩුලු ලබා දී පරාජය වන පරිදි කටයුතු කළ හැකිද යන්න. ක්‍රොන්යේ එයට නිසි පිළිතුරක් ලබා නොදුන්නේ එය තනි පුද්ගලයෙක් ට කළ හැකි දෙයක් නොවන නිසා.

මේ සඳහා ගුප්තා, හැන්සි ට ඇමෙරිකානු ඩොලර් 30,000ක් ලබා දුන්නා, ඒ අනෙක් ක්‍රීඩකයින් සමඟත් සාකච්ඡා කර මෙය ඉටුකර දෙන ලෙස ඉල්ලා සිටිමින්. 

නමුත් හැන්සි, මේ පිළිබඳව ඔහුගේ ක්‍රීඩකයින් සමඟ කතාකරන්නට ගියේ නෑ.

කාන්පූර් ටෙස්ට් තරගය ඉන්දියාව පහසුවෙන් ජයගත් අතර, ඒ ලකුණු 280 කින්.
 
තරගය පරාජය වීමත්, තමන්ගෙන් සැලකිය යුතු දායකත්වයක් කණ්ඩායමට ලබා දීමට ඔහුට නොහැකි වීම නිසාත්, තරගය පරාජය කරන්නට අනෙක් ක්‍රීඩකයින්ට උපදෙස් දීමට ඔහුට නොහැකි වුවත් මුදල් තමන් සන්තකයේම තබාගන්නට හැන්සි තීරණය කළා.


aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments