තරග පාවා දුන් තුන්කට්ටුව - 04

M.K.

1996 වසරේ දී ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව නැවතත් ඉන්දියානු සංචාරයක නිරත වූ දකුණු අප්‍රිකානු කණ්ඩායමට පුහුණු තරග 3ක් ටෙස්ට් තරග 3ක් සහ එක්දින තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා. මීට අමතරව ටයිටන් කප් තුන්කොන් තරගාවලිය සහ හිටපු ඉන්දීය ක්‍රීඩක සහ 1983 ජයග්‍රාහී ලෝක කුසලාන කණ්ඩායමේ සාමාජික මොහින්දර් අමරනාත් වෙනුවෙන් ප්‍රදර්ශනාත්මක තරගය​ක් (උපයන මුදල් සියල්ලම යම් ආයතනයකට හෝ ක්‍රීඩකයෙකු හට ප්‍රධානය කිරීමේ තරගය​ක් – Benefit Match) ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා. 

ඉහත සඳහන් කළ ටෙස්ට් තරගාවලියේ කාන්පූර් තරගය අතරතුර MK, ජෝන් යන අන්වර්ථ නම් වලින් හැඳින්වූ මුකේෂ් කුමාර් ගුප්තා නම් අයෙක් දකුණු අප්‍රිකානු නායක හැන්සි ක්‍රොන්යේ හමුවුනා.

එවකට දිල්ලියේ රන් ආභරණ ව්‍යාපාරයක් සතුව තිබු මුකේෂ් ගුප්තා, තම නිත්‍යනුකූල ව්‍යාපාරය ලොවට පෙන්වූවත් ඔහුගේ මුදල් උපයන ප්‍රධාන මාර්ගය බවට පත්ව තිබුනේ ක්‍රිකට්.
 
1983 වසරේ දී ඉන්දියාව ක්‍රිකට් ලෝක කුසලානය ජයගැනීමෙන් අනතුරුව මුකේෂ් ගුප්තා ට තේරුම් ගියා ඉදිරියේ දී ක්‍රිකට් ක්‍රීඩාව අතිශය ජනප්‍රිය වන ක්‍රීඩාවක් බවත් එම නිසාම ඔට්ටු ඇල්ලීමෙන් විශාල මුදලක් සොයාගත හැකි බව.

ඉතාමත් සුළුවෙන් ආරම්භ වූ ගුප්තා ගේ ඔට්ටූ ඇල්ලීම, ඉතාමත් ඉක්මනින් අතිශය සාර්ථක වන්නට පටන් ගත්තා. එයට හේතුව වූයේ ගුප්තා සැලසුම් සහගතව සහ බුද්ධිමත්ව තම රාජකාරිය, දේවකාරියකට සමව සිදු කිරීමයි. 

එමෙන්ම ගුප්තා, දිල්ලියේ සුළු වශයෙන් ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාර ගෙනගිය පුද්ගලයින් සමඟ ඉතාමත් හොඳ සම්බන්ධතාවයක් ගොඩනගාගත් අතර කෙටිකලක් තුළ ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරය ශක්තිමත් ජාලයක් වන්නට පටන් ගත්තා.

මේ නිසාම, බැංකුවක ලිපිකරුවෙක් ලෙස නිත්‍යානුකූල ලෙස රැකියාවක් කරමින් සිටි ගුප්තා ට තවදුරටත් ඔහුගේ බැංකු රස්සාව අවශ්‍යය වුනේ නෑ.. ඒ නිසාම ඔහු 1989 වසරේ දී එම රැකියාවට තිත තියනවා.

Mukesh Kumar - Image Credit: Netflix

ඉන් අනතුරුව එවකට නවක ක්‍රීඩකයෙකු වූ අජේ ශර්මා තම කුළුපඟ මිතුරෙකු කර ගනිමින් ඔහු ඔස්සේ අනෙක් ක්‍රිකට් ක්‍රීඩකයින් කරා ළඟා වන ගුප්තා ට දිල්ලියේ නවක ක්‍රීඩකයින් රැසක් ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාර සඳහා සම්බන්ධ කරගැනීමට හැකිවනවා…


aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments