බී.සී කුරේ, එංගලන්ත වීසා ලබාගත් හැටි
2001 වසරේ එංගලන්ත ශ්රී ලංකා ටෙස්ට් තරගාවලිය අවසන් වූයේ ප්රේක්ෂකයින්ට එවකට විනිසුරුවරුන් ලෙස කටයුතු කළ බී.සී. කුරේ, පීටර් මැනුවෙල් වැන්නන් කෙරෙහි වෛරය උපදවමින්.
ඒ වනවිට නායක නසාර් හුසේන්, ක්රිකට් විචාරකයින් හැඳින්වූයේ මයික් බ්රියර්ලි ට පසුව එංගලන්තයේ නායකත්වය දැරූ විශිෂ්ටතමයා ලෙසයි . එයට හේතුව වූයේ ශ්රී ලංකාවට පැමිණීමට පෙර ඔවුන් පිට පිට ටෙස්ට් තරගාවලි තුනක් ජයග්රහණය කර තිබූ බැවින්. එයට ඔවුන් පකිස්තානය පරදා පකිස්තානයේ දීම ටෙස්ට් තරගාවලි ජයක් හිමිකරගැනීම ද ඇතුලත්.
එවකට එංගලන්ත පුහුණුකරු ඩන්කන් ෆ්ලෙචර් සාම්ප්රදායික පුහුණු ක්රම වලින් ඔබ්බට ගොස් එංගලන්ත ක්රීඩකයින්ට ආසියානු තණතීරු තුළ දඟ පන්දුයවන්නන් හට මුහුණ දිය යුතු ආකාරය පුහුණු කරමින් සිටියා.
ඔවුන් ශ්රී ලාංකික ක්රීඩකයින් දෙස බැලුවේ , පකිස්තානයට වඩා දක්ෂ සංයුතියකින් සමන්විත පරාජය කිරීමට ඉතාම අපහසු කණ්ඩායමක් ලෙසට යි. මුරලිදරන් , වාස් සුසංයෝගය පන්දු යැවිමෙනුත්, ජයසූරිය, අතපත්තු සහ අරවින්ද ගෙන් සමන්විත ප්රබල මුල් පෙළ පිතිකරුවන් ගෙන් එංගලන්තයට එල්ල වෙන තර්ජනය සුළුපටු නෑ.
මුල් තරගයේ දී විනිසුරු පීටර් මැනුවෙල් විසින් ලබාදුන් තීරණ ලාංකික ක්රීඩකයින්ට වාසිදායක වූවත් එංගලන්ත ක්රීඩකයින් සෑහීමකට පත්වූයේ නෑ. "මගේ ක්රීඩා දිවියේ මම දැකපු දුර්වලම තීරණ" ඇලෙක් ස්ටුවර්ට් එලෙස පැවසුවා.
ප්රථම ටෙස්ට් තරගය ජයගත්තත් ඉන් පසුව පැවති ටෙස්ට් තරග දෙකම එංගලන්තය ජයගත්තේ ට්රෙස්කොතික්, තොර්ප්, හුසේන් (අවසන් ටෙස්ට් තරගයට පෙර ඔහු මාස 15ක් පමණ කාලයක් ශතකයක් රැස් කරගැනීමට නොහැකිව අසාර්ථකව සිටියා), ගිල්ස් ගේ දක්ෂතා පදනම් කරගෙන. ඊට අමතරව විනිසුරු බි.සි. කුරේ ලාංකික ක්රීඩකයින් පිතිකරුවා අසළ සිට රැකගත් උඩපන්දු නොදැවීම් ලෙස තීරණ ලබාදීමෙන් කෝප වූ ශ්රී ලංකා ප්රේක්ෂකයින් ඔහුට එංගලන්තයට යෑමට වීසා සූදානම් කර ඇති බවට ප්රේක්ෂකාගාරයේ සිට දැනුම් දුන්නා.
නායක සනත් ජයසූරියට ලබාදුන් වැරදි තීරණයෙන් කෝප වූ ජයසුරිය තම හිස් ආවරණය විසි කළ අතර එයට ඔහුට ලැබෙන තරග ගාස්තුවෙන් 60% ක දඩයක් නියම වුනා.


Comments
Post a Comment