ක්‍රිකට් වැළඳගත් මුල්ම ස්වදේශික කණ්ඩායම්

මහා බ්‍රිතාන්‍යයේ ඉහළ පැලැන්තියේ ක්‍රීඩාවක් බවට ක්‍රිකට් පත්ව තිබිය දී එය ලොව පුරා විවිධ රටවල් වල ප්‍රචලිත වන්නට පටන් ගත්තේ මූලිකවම ඔවුන්ගේ යටත් විජිත රටවල් සහ ඔවුන්ගේ බ්‍රිතාන්‍යය කොලනි අතරයි. එවැනි රටවල් වල රාජකාරි කටයුතු කළ යුද හමුදා සහ රාජ්‍යය නිලධාරින් ඔස්සේ ක්‍රිකට් ක්‍රීඩාව ඉක්මනින්ම එවැනි රටවල් වල දක්නට ලැබුණු නමුත් එය දේශීය ජනයා අතර ප්‍රචලිත වන්නට ගත්තේ මන්දගාමිවයි. 

එවැනි රටවල් වල එම ක්‍රීඩාව වැළඳගත් විවිධ ජන කණ්ඩායම් සහ රටවල් කිහිපයක් පහත වේ.

ඉන්දියාව - පාර්සි ජාතිකයින්

ඉන්දියානු ක්‍රිකට් ඉතිහාසඥයින් පවසන පරිදි බ්‍රිතාන්‍යය හමුදා ඉන්දියාවේ දී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන අයුරු දැක එය මුලින්ම පිළිගත් ඉන්දීය ජන කොට්ඨාසය, පාර්සි ජාතිකන් ය. ඔවුන් බ්‍රිතාන්‍යය ජාතිකයන් සමඟ සමීපව කටයුතු කරන සමයේ ක්‍රිකට් ක්‍රීඩාව ද නිතැනින්ම ඔවුන්ගේ ක්‍රීඩාවක් බවට පත්වුනා. 

1886 වසරේ දී ඔවුන් මුල්ම වරට එංගලන්තයේ සංචාරයක නිරත වෙමින් ලෝර්ඩ්ස් හි ක්‍රිකට් තරගයක් පවා ක්‍රීඩා කළා. අවසන් වරට ඉන්දීය පිල නියෝජනය කරමින් පාර්සි ජාතික ක්‍රීඩකයෙක් ක්‍රීඩා කළේ 70 දශකයේ දියි. ඒ ෆාරෝක් ඉන්ජිනියර්. කාන්තා කණ්ඩායමේ ඩයනා එදල්ජි 90 දශකයේ දී ක්‍රීඩා කළ අතර එතැන් පටන් කිසිදු පාර්සි ජාතික ක්‍රීඩකයෙක් ඉන්දීය පිළ නියෝජනය නොකිරීම විස්මයට කරුණක්. එකල ක්‍රීඩා කළ මෙහෙල්ලෂා පාව්රි පාර්සි ක්‍රීඩකයින් අතරින් විශිෂ්ටතමයෙක් ලෙස හැඳින්වෙනවා. 

පාර්සිවරුන් ගැන පෙර ලිපි : 


සිලෝන් - මැලේ සහ බර්ගර් ජාතිකයින්

ශ්‍රී ලංකාවේ මුල්ම වරට ක්‍රිකට් තරගයක් පැවැත්වූ බවට වාර්තා ඇත්තේ 1832 වසරේ දී ය. එතැන් පටන් මේ ක්‍රීඩාව බොහෝවිට බ්‍රිතාන්‍යය හමුදා නිලධාරීන්ගේ විවේකි කාල සාමය ගත කිරීමට ක්‍රීඩා කර ඇත. 1860 වසරේ පුවත්පත් ලිපියක සඳහන් වන පරිදි සිවිලියන්ස් සහ සිලෝන් රයිෆල් රෙජිමේන්තුව අතර තරගයක් වර්තමාන මැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පවත්වා ඇති අතර රයිෆල් රෙජිමේන්තු කණ්ඩායම සමන්විතව ඇත්තේ මැලේ ක්‍රීඩකයින්ගෙන්.



1863 වසරේ දී කොළඹ ක්‍රිකට් සමාජය මුල්ම වරට ආරම්භ වූ නමුත් එය මුළුමනින්ම යුරෝපිය සාමාජිකයින්ගෙන් සමන්විත විය. නමුත් 1872 වසරේදී මැලේ යුද භටයින් ගෙන් සමන්විත ක්‍රිකට් සමාජයක් ආරම්භ වන අතර එය මැලේ ක්‍රිකට් සමාජය ලෙස නම් වනවා. ඒ අනුව ස්වදේශිකයන් අතරින් මුල්ම වරට ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය කිරීමට ඉදිරියට පැමිණියේ මැලේ ජාතිකයන් .  ඔවුන් අනුව යමින් 1873 වසරේ දී බර්ගර් ජාතිකයින් ගෙන් සමන්විත කෝල්ට්ස් ක්‍රිකට් සමාජය ආරම්භ වනවා. මේ ක්‍රිකට් සමාජ දෙක ඔස්සේ බිහිවූ ක්‍රීඩකයින් රැසක් එකල සිටි අතර කොල්ට්ස් ක්‍රිකට් සමාජය දශක 4ක් පමණ කාලයක් ක්‍රිකට් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම කණ්ඩායම බවට පත්ව සිටියා. 

මැලේ ක්‍රීඩකයින් අතර ඒ.සී. අහමත් සහ කොල්ට්ස් ක්‍රිකට් සමාජ ක්‍රීඩකයින් අතරින් ටොමි කෙලාර්ට් එම යුගයේ විශිෂ්ටතම ක්‍රීඩකයින් ලෙස සැලකිය හැකියි.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය - 1900


ඕස්ට්‍රේලියාව - ඇබෝර්ජින්වරු

ඕස්ට්‍රේලියානු ස්වදේශික ජන සමුහයක් වන ඇබෝර්ජින් ක්‍රීඩකයින්ගෙන් සමන්විත ක්‍රිකට් කණ්ඩායමක් 1868 වසරේ දී පමණ එංගලන්තයට සංචාරය කිරීම ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක්. එසේ පැවසීමට හේතුව, එයින් වසර 10කට පසු ප්‍රථම වරට ඕස්ට්‍රේලියානු සුදු ජාතිකයින්ගෙන් සමන්විත ක්‍රිකට් කණ්ඩායමක් එංගලන්ත සංචාරය කිරීමත් එතැන් පටන් වාර්ෂිකව එංගලන්ත/MCC ඕස්ට්‍රේලියා ජාත්‍යන්තර තරග ආරම්භය සනිටුහන් වීමත්ය.

ඔස්ට්‍රේලියාව තුළ, බ්‍රිතාන්‍යය පාලනය යටතේ ක්‍රිකට් ක්‍රීඩාව සිදුවුනේ තරමක් මන්දගාමී ලෙසයි. එම සමයේ ඔවුන්ගේ පාලනය යටතේ පැවති ගොවිපළවල් වල සේවය කරන ලද ඇබෝර්ජින් ජනතාව මෙම ක්‍රිකට් ක්‍රීඩාව ට පුරුදුවී සිටියා. ඔවුන් එම ක්‍රීඩාවේ දක්වන දස්කම් ගැන පැහැදීමකට ලක්ව එවකට පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ව සිට ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණය වී සිටි චාර්ල්ස් ලෝරන්ස් ගේ ඉල්ලීමක් සහ නායකත්වය මත ඇබෝර්ජින් ක්‍රිකට් කණ්ඩායමක් එංගලන්තයේ තරග සංචාරයක නිරත වී තරග 40කට අධික සංඛ්‍යාවක් ක්‍රීඩා කර එයින් 14ක් ජයග්‍රහණය කළා.

ඔවුන් අද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් හි සැලකුම් ලබන්නේ "the First Eleven" (පළමු එකොළහ) ලෙසයි.


ඇමෙරිකානුවන් 

ඇමෙරිකානු ක්‍රිකට් , 19 වන ශතවර්ෂයේ ප්‍රබල ක්‍රීඩාවක් වූවත් බේස්බෝල් ක්‍රීඩාවේ පුනරුදය ක්‍රිකට් හි මළගමට හේතු විය. 1859 වසරේ දී එංගලන්තය විසින් ප්‍රථම වරට ඇමෙරිකානු ක්‍රිකට් සංචාරයක නිරත විය. එකල ඕස්ට්‍රේලියාවටත් වඩා එංගලන්තය හා කරට කර ක්‍රිකට් ක්‍රීඩා කළේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. 1844 වසරේ දී ඇමෙරිකාව සහ කැනඩාව අතර ඇතිවූ තරගය ලොව ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් තරගයයි.

බොස්ටන් හි ක්‍රිකට් තරගයක් 1857 දී පමණ

19 වන ශතවර්ෂය අගභාගය වන විට ෆිලඩෙල්ෆියා හි ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රියව තිබු අතර කෙමෙන් එහි ජනප්‍රියත්වය ද හීන වී අද වනවිට ස්වදේශික ඇමෙරිකානුවන් ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳ කිසිදු අදහසක් නොමැති වීමට තරම් ක්‍රිකට් ක්‍රීඩාව ඈත් වී ගොස් තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියත්වය හීන වීමට බලපෑ සිදුවීම මෙම ලිපියෙන්;

මුලාශ්‍ර:
1) The Tuppahis
2) Colts Cricket Club
3) Wisden Cricket Monthly
4) Cricket an Illustrated History
5) deadly story

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments