සිලෝන් ක්‍රීඩක ක්ලයිව් ඉන්මාන් ගේ ලෝක වාර්තාව

මෙරට ක්‍රීඩකයින් අතරින් ටෙස්ට් තත්ත්වය හිමිවීමට පෙර එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට වරම් හිමිව තිබුනේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට පමණයි. ඒ අතරින් ක්ලයිව් ඉන්මාන් ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් . 

ලෙස්ටර්ශයර් ප්‍රාන්තය නියෝජනය කළ ක්ලයිව් ඉන්මාන් නොටින්හැම්ෂයර් ප්‍රාන්තයට එරෙහිව පන්දු 12කින් අර්ධ ශතකයක් රැස්කරමින් 1965 වසරේ දී ලෝක වාර්තාවක් පිහිටුවනු ලැබුවා.




එම අර්ධ ශතකය වාර්තා කිරීමට මිනිත්තු 8ක කාලයක් ගතවීමත්, ලකුණු රැස්කළ පහරවල් 11ක්, එක් ඕවරයක ලකුණු 32ක් වාර්තා කිරීමත් එකල ලෝක වාර්තා බවට පත්වුනා.

එම තරගයේ තෙවැනි දිනයේ පස්වරු 1.22 ට ක්ලයිව් ඉන්මාන් මුල්ම පන්දුවට මුහුණ දුන්නා. පස්වරු 1.30 වන විට ඔහු නොදැවී ලකුණු 51ක් රැස්කරගෙන සිටියා. 

නෝර්මන් හිල් විසින් යවන ලද පන්දුවාර දෙකක දී ක්ලයිව් ලකුණු රැස්කළේ මේ ආකාරයටයි.

4,4,0,0,6,4
4,6,6,6,6,4

නොටින්හැම්ෂයර් ප්‍රාන්ත පිල ඔවුනට එලෙස ලකුණු රැස්කිරීමට ඉඩ දුන්නේ ඉක්මනින් ලෙස්ටර්ෂයර් ඉනිම අත්හිටුවා ඔවුන්ට පහර දීමට අවස්ථාවක් ලබා ගැනීම උදෙසා යි. මේ සිදුවීම, එම තරගයේ විනිසුරු ජේ.එස්. බුලර් විසින් MCC යට රපෝර්තු කළ බවට කියැවේ. 

ක්ලයිව් ඉන්මාන් කොළඹ සාන්ත පීතර විද්‍යාලයේ ඉගනුම ලැබු එම විද්‍යාලය වෙනුවෙන් පාසල් වාර්තා පිහිටුවා 1956-66 අතර කාලයේ සිලෝන් කණ්ඩායම ද නියෝජනය කළ අනර්ඝ පිතිකරුවෙක්.

ශ්‍රී ලාංකිකයන් හෝ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩකයින් අතරින් පළමු පෙළ ලකුණු 10,000 පසු කළ දෙවැනි ක්‍රීඩකයා ද ඉන්මාන් ය.

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments