සිලෝන් ක්‍රීඩකයින් අපහසුතාවයට පත්කළ "Nobby" ක්ලාර්ක්

කුප්‍රකට බොඩිලයින් තරගාවලියෙන් පසු එංගලන්ත පිල 1934 වසරේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආවරණය කරමින් තරගාවලි සංචාරයක යෙදුනා. එම තරගාවලිය සඳහා එංගලන්ත MCC පිල නියෝජනය කළ එඩ්වර්ඩ් වින්චෙස්ටර් ක්ලාර්ක් (නොබී ක්ලාර්ක්) ගේ පන්දු යැවීම කැපී පෙනුනා. 


එකල එංගලන්ත අධි වේගී පන්දු යවන්නා වූ හැරල්ඩ් ලාවුඩ් තරම්ම වේගයෙන් පන්දු යැවීමේ හැකියාවකින් යුතුව තිබු නොබී ක්ලාර්ක් ගේ අනෙකුත් සුවිශේෂත්වය වූයේ ඔහු වමතින් පන්දු යැවීමයි. තරමක් ඉක්මනින් කෝපයට පත්වන්නෙකු ලෙසද සැලකෙන නොබී ක්ලාර්ක් ට එංගලන්තය වෙනුවෙන් වැඩි කලක් ටෙස්ට් පිටියේ රැදෙන්නට නොහැකි වූයේ ද එම කාරණය පදනම් කරගෙනයි .  

කෙසේ වෙතත් මෙම ඉන්දියානු සංචාරයේ දී නොබී ක්ලාර්ක් ට ඉන්දියානු ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුනේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. ඉන්දියාව හා එක්ව මදුරාසියේ (වර්තමානයේ චෙන්නායි නුවර) පැවති අවසන් ටෙස්ට් තරගයේ නොබී ක්ලාර්ක් ගේ වේග පන්දුවට දමනය වූ ඉන්දීය ආරම්භක පිතිකරු නඌමල් ජියෝමල් (ඉන්දියානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම ආරම්භක පිතිකරුවා) පන්දුව හිසේ වැදී ආබාධයට ලක්ව  තරගයෙන් ඉවත්වන්නට සිදුවුනා. 

මෙම තරගයේ නායකයා ලෙස ඩග්ලස් ජාඩින් කටයුතු කිරීමත්, ඉන් පෙර බොඩිලයින් ක්‍රමවේදය නිසා ප්‍රේක්ෂකයින් අතර අයහපත් ප්‍රතිරූපයක් ගොඩ නැගී තිබු නිසා ඉන්දියානු ප්‍රේක්ෂකයින් ගේ කෑගැසීම් සහ ගල් කැට වැස්සක් හමුවේ නොබී ක්ලාර්ක් ට පන්දු යැවීම සිමා කරන්නට සිදුවුනා.

නොබී ක්ලාර්ක් ට විරෝධය පළවූයේ ඉන්දියාවෙන් පමණක් නොවේ .  එකල සිලෝන් ලෙස හැඳින්වූ අප රටේ දී පැවති තරග වලදී නොබී ක්ලාර්ක් පන්දු යැවීමත් ඔහුගේ පිටියේ සමහර ක්‍රියාකලාප වලට මෙරට ප්‍රේක්ෂකයින් ගේ විරෝධය ද පළවූ බවට සැලකෙනවා.

හිටපු ක්‍රිකට් මාධ්‍යවේදී රේ රොබින්සන් ඔහුගේ සුප්‍රකට "Between Wickets" කෘතියේ ඒ පිළිබඳව සඳහන් කළේ මෙවැන්නක්.

1933/34 එංගලන්තයේ ඉන්දීය සහ සිලෝන් ක්‍රිකට් සංචාර අතරතුර කොළඹ දී එක් පුද්ගලයෙක්, ඩග්ලස් ජාඩින් ගේ ක්‍රියාකලාප තදින් විවේචනය කළ ලිපියක් බලෙන් ලබා දී ජාඩින් ට අමතරව වේග පන්දු යවන ක්‍රීඩක ක්ලාර්ක් හට තදින් දෝෂාරෝපණය කළා. 

ඩග්ලස් ජාඩින් අවසන් වරට එංගලන්තය නියෝජනය කළ 1934 සිලෝන් සංචාරය , මෙම ඡායාරුපය අප්කන්ට්‍රි කණ්ඩායමට එරෙහිව මහනුවර දී

ඔහු පැවසුවේ, සිලෝන් පිලේ පසු පෙළ පිතිකරුවන් පිතිකරණයේ යෙදෙද්දී සපත්තුව ආධාරයෙන් තණතිල්ලේ ගැටිති සදමින් ඒ මතට පන්දු යොමුකර ඔවුන් අපහසුතාවයට පත්කරන්නට ක්‍රියාකළ බවයි.

ඉහත සිදුවීම නිසා එවකට MCC නායක බ්‍රයන් වැලන්ටයින් හට සිලෝන් ක්‍රීඩකයින්ගෙන් සමාව ඉල්ලන්ට ද සිදුවුනා.







ඕස්ට්‍රේලියාවේ බිල් වුඩ්ෆුල් හට ලෙග් තියරි (බොඩිලයින්) ක්‍රමයට පන්දු යවන නොබී ක්ලාර්ක්


-Aqeeb 

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments