අර්ජුන ගෙන් 192ක්

කොළඹ සිංහල ක්‍රීඩා සමාජය සහ බ්ලුම්ෆීල්ඩ් සමාජය අතර තරගය එකල ප්‍රේක්ෂකයින් ගේ ආකර්ෂණය නිතැනින්ම හිමිවූ තරගයක් ලෙස සැලකිය හැකියි . 

1998 වසරේ දේශීය ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලියේ සරා කුසලානය සඳහා අවසන් තරගය ට කොළඹ ක්‍රිකට් සමාජ පිල පරදා සිංහල ක්‍රීඩා සමාජයත් මුවර්ස් සමාජය පරදා බ්ලුම්ෆීල්ඩ් පිලත් තේරී පත්වුණා .  

දකුණු අප්‍රිකානු සංචාරය නිමාවී පැමිණි ශ්‍රී ලංකා පිලේ ප්‍රබලයින් රැසක් ගෙන් සිංහල ක්‍රීඩා සමාජය ශක්තිමත්ව සිටියා. නායක අර්ජුන රණතුංග ,  මහේල ජයවර්ධන ,  ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ මාවන් අතපත්තු වගේම අවසන් පූර්ව තරගයේ දී ශතකයක් රැස්කළ එවකට හිටපු ටෙස්ට් පිතිකරු සංජිව රණතුංග , වමත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක ජයන්ත සිල්වා සහ හේමන්ත වික්‍රමරත්න ද එම පිලේ ක්‍රීඩා කරන්නට අවසන් 11 ට තෝරා ගැනුණා.


බ්ලුම්ෆීල්ඩ් පිල ප්‍රබල කණ්ඩායමක් වූවද ඔවුන්ට සනත් ජයසුරිය සහ රොෂාන් මහානාම ගේ සේවය හිමිවුණේ නෑ. සනත්, අසනීප තත්ත්වයක් මත වීමත් මහානාම , ඒ වන විට ශ්‍රී ලංකාවේ නොමැති වීමත් හේතු වුනා . 

ඒ වගේම කුමාර් ධර්මසේන ගේ පැමිණීමත් අවසන් මොහොත වන තෙක් අවිනිශ්චිත තත්ත්වයක තිබෙන්නට හේතු වුනේ, එම අවසන් තරගය පැවැත්වෙන දින අතරතුරම වෙළඳ සේවා තරගයක් පැවැත්වෙන්නට නියමිතව තිබීම නිසා .  (ධර්මසේන , ඒ වන විට හැටන් නැෂනල් බැංකුවේ සේවය කරමින් සිටියා). නමුත්, බ්ලුම්ෆීල්ඩ් බලධාරින් ගේ ඉල්ලීම මත එම සති අන්තය සඳහා පැවැත්වීමට නියමිතව තිබු වෙළඳ සේවා තරග කල් දමන්නට තීරණය වුනා. එම හේතුව නිසා, ධර්මසේන ට සරා කුසලාන අවසන් තරගය සඳහා ක්‍රීඩා කිරීමට ඉඩ ප්‍රස්තාව හිමිවුණා.

කාසියේ වාසිය දිනාගත් බ්ලුම්ෆීල්ඩ් නායක රුවන් කල්පගේ මුලින්ම පන්දුවට පහරදෙන්නට තීරණය කළා.  අංක හය පිතිකරු ලෙස පැමිණි ධර්මසේන ගේ අනගි ශතකය නිසා බ්ලුම්ෆීල්ඩ් පිලට සියල්ලන්ම දැවී ලකුණු 313ක් රස්කරගන්නට හැකිවුණා . 

පිළිතුරු ඉනිම සඳහා පැමිණි සිංහල ක්‍රීඩා සමාජයේ 3 වන කඩුල්ල ලකුණු 136 දී බිඳ වැටීමෙන් අනතුරුව ආරම්භක පිතිකරු මාවන් සමඟ එක්වූ අර්ජුන ලකුණු 259ක ලකුණු සම්බන්ධතාවයක් පිහිටුවමින් ශතක රැස් කළා. මාවන් ගේ පිත්තෙන් ලකුණු 179ක් සහ නායක අර්ජුන රණතුංග ගේ පිත්තෙන් ලකුණු 192ක් වාර්තා වුනා. බ්ලුම්ෆීල්ඩ් පන්දුරකින්නන් ගේ දියාරු පන්දු රැකීම නිසා අවස්ථා තුනක දී මාවන් ගේ කඩුල්ල කලින් බිඳ දමන්නට බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩකයින්ට නොහැකි වුනා.

සිංහල ක්‍රීඩා සමාජයේ සියල්ලන්ම දැවී යනවිට ඔවුන්ට ලකුණු 582ක් රැස්කරගැනීමට හැකිවූ අතර ජය පරාජයකින් තොරව තරගය අවසන් වන විට දෙවැනි ඉනිම සඳහා ක්‍රීඩා කරමින් සිටි බ්ලුම්ෆීල්ඩ් පිල කදුළු 4ක් දැවී ලකුණු 295ක් රැස්කරගෙන සිටියා. නායක කල්පගේ ගේ පිත්තෙන් නොදැවී ලකුණු 120ක් වාර්තා වුනා . 

පළමු ඉනිමේ ජය පදනම් කරගෙන සිංහල ක්‍රීඩා සමාජය, ඒ අනුව එම වසරේ ශුරයින් බවට පත්වූ අතර අර්ජුන රණතුංග තරගයේ වීරයා සහ අවසන් තරගයේ දක්ෂතම පිතිකරුවා යන සම්මාන දිනාගත්තා . 



aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments