බොඩිලයින් - 08

ආතර් කාර්

පර්සි ෆෙන්ඩර් හා සමානව ආතර් කාර් ද ලෙග් ට්‍රැප් ක්‍රමවේදය ප්‍රචලිත කරන්නට දායක වූ ප්‍රධානතම පුද්ගලයන් තිදෙනාගෙන් අයෙක්. ආතර් කාර් ද දක්ෂ නායකයෙක් වූ අතර ඔහු එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස 1926 වසරේ අළු බඳුන තරගාවලියේ දී ක්‍රියා කළා.. 


ඔහුගේ ප්‍රාන්ත කණ්ඩායම වූයේ නොටින්හැම්ශයර්. ඔහුට එම කණ්ඩායම තරගාවලි ශූරතාවයක් කරා ගෙන යාමට හැකිවූ අතර ලෙග් ට්‍රැප් ක්‍රමය විවිධ අවස්ථාවල භාවිතා කර ඒ සම්බන්ධයෙන් අන් කවරෙකුටත් වඩා වැඩි අත්දැකීම් තිබුණා.

තරමක් ආන්දෝලනාත්මක සිදුවීම් වලට සම්බන්ධ වූ කාර්, වරක් 1930 වසරේ පැවති හැම්ප්ශයර් සහ නොටින්හැම්ශයර් ප්‍රාන්ත අතර තරගයේ දෙවන දිනය අවසන් වන විට හැම්ප්ශයර් ප්‍රාන්තයට ලකුණු 2ක් අවශ්‍යව තිබුනා තරගය ජයග්‍රහණයට. ඉන් පසු දින උදෑසන, කාර් ඇතුළු නොටින්හැම්ශයර් ක්‍රීඩකයින් සිවිල් ඇඳුමින් (කබාය සහිතව) පැමිණ පන්දු යවා ඔවුන්ට අවශ්‍යය ඉලක්කය හඹා යාමට ඉඩ දුන්නා.



එමෙන්ම 1926 වසරේ ලීඩ්ස් ටෙස්ට් තරගයේ දී කාසියේ වාසිය දිනූ කාර්, ඕස්ට්‍රේලියානුවන්ට පන්දු රකින්නට ඉඩකඩ ලබා දීම වෙනුවට ඔවුන්ට පිතිකරණයට අවස්ථාව ලබා දීම දැඩි කතාබහට ලක්වූ සිදුවීමක් වුනා. මෙම ටෙස්ට් තරගය එංගලන්තය පරාජය වීමට බොහෝවිට ඉඩ තිබුනත් තරගය ජය පරාජයකින් තොරව අවසන් වුනා.

ආතර් කාර් ගේ නොටින්හැම්ශයර් ප්‍රාන්තයට තරග ජයග්‍රහණ සඳහා ප්‍රබල ලෙස දායකත්වය සැපයුවේ ඔවුන්ගේ පේස් බැටරියයි. 1932/33 දී ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ට පිතිකරණ සීමාවේ රැඳී සිටීමේ කටුක බව මුල්ම වරට පන්දුවෙන් කියාදුන් හැරල්ඩ් ලාවූඩ් සහ බිල් වෝස්, ආතර් කාර් ගේ ප්‍රධානතම වේග පන්දු යවන්නන් යුගලය, එහෙමත් නැත්තන් නොටින්හැම්ශයර් ප්‍රාන්තයේ පේස් බැටරිය වුනා.

1930 වසරේ අගෝස්තු මස ඕවල් හි පැවති නොටින්හැම්ශයර් සහ සරේ ප්‍රාන්ත අතර තරගයේ දී සරේ පිල නියෝජනය කරමින් ජාඩීන් සහ ෆෙන්ඩර් ද නොටින්හැම්ශයර් ප්‍රාන්තය නියෝජනය කරමින් කාර්, ලාවූඩ් සහ වෝස් තරග වැදුනා.

එම තරගයේ දී බිල් වෝස් ගේ දක්ෂතා කැපී පෙනුන අතර (මුල් ඉනිමේ කඩුලු 4යි) ලාවුඩ් ද ඉතාමත් හොඳින් පන්දු යැවුවා (මුල් ඉනිමේ කඩුලු 2 යි).

තරගය අවසන් වූ පසු පර්සි ෆෙන්ඩර් , ආතර් කාර් හමුවී පැවසුවේ, ජාඩීන් ට ඔහු සමඟ යම් ක්‍රමවේදයක් පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට උවමනා බවයි.

මේ අනුව, ඔවුන් ලන්ඩන් හි පිකඩලි හෝටලයේ දී රාත්‍රී ආහාර වේලකට එක්වී කාර් විසින් ප්‍රාන්ත තරග තුළ භාවිතා කර තිබූ ලෙග් ට්‍රැප් ක්‍රමවේදය ජාඩීන් ට පැහැදිලි කළා. මේ සාකච්ඡාව ට ලාවුඩ් සහ වෝස් ද එක්වී සිටියා.

ඒවගේම, කාර් විසින් ජාඩින් ට සහතික කළා, ලාවූඩ් සහ වෝස් දෙදෙනාට මේ සැලසුම් ක්‍රියාත්මක වන අයුරු පිළිබඳ බොහෝ අත්දැකීම් ඇති බවත් ඔවුන් නිවැරදිව, එක එල්ලේ පන්දු යවන බව.



මේ සාකච්ඡාවෙන් පසු කාර් ට අවශ්‍යය වුනා නැවත ලෙග් ට්‍රැප් ක්‍රමය අත්හදා බලන්න (ජාඩීන් මෙම ඉල්ලීම ඔහුගෙන් සිදුකලා ද යන්න පිළිබඳව සඳහනක් මූලාශ්‍ර වල දක්නට නෑ)
පිකඩලි හමුවීමෙන් පසුව පැවති එසෙක්ස් නොටින්හැම්ශයර් තරගයේ දී ආතර් කාර්, පා ඉන්න වටා පන්දු රකින්නන් ස්ථානගත කර වෝස් සහ ජාඩීන් ට වේගයෙන් කෙටි පන්දු යොමුකරන්නට උපදෙස් දුන් අතර එසෙක්ස් ප්‍රාන්තයේ ජැක් ඕ කොනර් ආබාධයකට ලක් වී ඉවතට ගිය අතර ඩඩ්ලි පෝප් පන්දුවෙන් ආරක්ෂාවන්නට ගොස් උඩ පන්දුවක් ලබා දී දැවී ගියා.. මීට අමතරව පසුපෙල ක්‍රීඩක ජී.ආර්.ආර්. බ්‍රවුන් ගේ ශරීරයේ පන්දු කිහිපයක් වැදී එහි සලකුණු පසුව දක්නට ලැබුණා.

මෙම පන්දු යැවීම සිදුවූයේ පළමු ඉනිමේ දී..

දෙවන ඉනිමේ දී ද මෙම ක්‍රමවේදය අනුගමනය කරන්නට කාර් තීරණය කරමින් පන්දු රකින්නන් වැඩි ප්‍රමාණයක් කඩුල්ල අසළ ස්ථාන ගත කලේ පා ඉන්න වටා යි.  එදින පැමිණි ප්‍රේක්ෂකයින්ට නියම ලෙග් ට්‍රැප් ක්‍රමවේදය  අත්විඳින්නට හැකිවුනා..

එම තරගය නැරඹීමට පැමිණි පසුකලක අතිශය ජනප්‍රිය විස්තර විචාරකයෙකු වූ ජෝන් ආලට් (John Arlott) ඔහු අසළ සිටි මිතුරා සමඟ ඇතිවූ සංවාදය ඩේවිඩ් ෆ්‍රිත් ගේ බොඩිලයින් ඔටොප්සි හි සඳහන් වන්නේ මේ අයුරින්,

"ලාවුඩ්, දඟ පන්දු යවන්න හදනවා වගේ (පන්දු රකින්නන් පා ඉන්න ආසන්නයේ ස්ථානගතව ඇති අවස්ථාවේ)"
"එහෙම වෙන්න විදිහක් නෑ, කඩුලු රකින්නා කඩූල්ලට සෑහෙන්න පිටිපස්සෙන් ඉන්නේ"
"දෙයියනේ !!!! මිනිහා හදන්නේ, ඔලුව ඉලක්ක කරලා පන්දු යවන්න"

ලෙග් ට්‍රැප් ක්‍රමය, බොඩිලයින් ලෙස ලෝ පුරා ප්‍රචලිත වූවත් ආතර් කාර්, එය හැඳින්වූයේ බම්පින්ග් බොම්බ්ස් (Bumping Bombs) ලෙස යි.

මූලාශ්‍ර:-
1) Bodyline Autopsy by David Frith
2) Twitter

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments