බොඩිලයින් - 05

බ්‍රැඩ්මන් අධ්‍යනය -1

1928/29 අළු බඳුන තරගාවලියේ දී එවකට ක්‍රීඩකයෙක් වගේම පුවත්පත් ලිපි රචකයෙක් ලෙස කටයුතු කළ පර්සි ෆෙන්ඩර්, බ්‍රැඩ්මන් ගේ පිතිකරණය පිළිබඳව තරමක් අවඥාවට ලක් කරමින් "The Turn of the Wheel (329 පිටුව)" කෘතියේ විශේෂ සඳහනක් කළා.. 

එහිදී ඔහු සඳහන් කළේ, බ්‍රැඩ්මන් ගේ පිතිකරණය තුළ ඉතාමත් හොඳ වගේම ඉතාමත් නරක පිතිකරණ ස්වරූපයක් ඔහු දකින බවයි. එමෙන්ම, පන්දුවාර 2ක් හෝ 3ක් ඇතුළත ඔහුගෙන් අතිවිශිෂ්ට පිතිකරුවෙක් ගේ පහරවල් දකින බවත් ඉන් පසුව විටින් විට ඔහුට නිවැරදිව පන්දුවට පහරවල් එල්ල කරන්නට නොහැකි වන බවත්, කල් යල් බලා පහරවල් එල්ල කරන්නට අසමත් වන බවත්, එම නිසාම පාසල් ක්‍රීඩකයෙක් ගේ ලක්ෂන පෙන්නුම් කරන බව, පර්සි ෆෙන්ඩර් වැඩිදුරටත් එහි සඳහන් කළා.

බ්‍රැඩ්මන් ගැන එලෙස සඳහනක් කරමින් පසුව එම කෘතියේ ම ඔහු , එම තරගාවලියේම මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළ 19 හැවැරිදි ආර්චි ජැක්සන් ගේ පිතිකරණය වර්ණනාවට ලක් කළා.. 

ඔහුගේ වයසේ පිතිකරුවෙක්ගෙන් , එවැනි හැකියාවක් මීට පෙර ඔහු කිසිදු පිතිකරුවෙක්ගෙන් දැක නොතිබූ බවට , ෆෙන්ඩර් සඳහන් කළා. ආර්චි ජැක්සන්, බොඩිලයින් තරගාවලිය පැවැත්වෙන අතරතුර අවාසනාවන්ත ලෙස ක්ෂය රෝගය උත්සන්න වීමෙන් මරණයට පත්වුනා.

ආර්චි ජැක්සන් ගැන වැඩිදුරටත් කියවන්න: 

ආර්චි ජැක්සන් සහ බ්‍රැඩ්මන් 

1930 වසරේ ඕස්ට්‍රේලියානුවන්ගේ එංගලන්ත සංචාරය අතරතුර ඔවුන්ට සරේ ප්‍රාන්තය සමඟ පළමු පෙළ තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා.

එවකට සරේ පිලේ නායකයා ලෙස කටයුතු කළේ පර්සි ෆෙන්ඩර්. මෙම තරගයේ දී බ්‍රැඩ්මන්, පර්සි ෆෙන්ඩර් ගේ පෙර පැවසූ ප්‍රකාශය පුස්සක් බවට පත්කරමින් නොදැවී ලකුණු 252ක් රැස් කරගන්නට සමත් වනවා.

ඩොනල්ඩ් බ්‍රැඩ්මන් , ඔහුගේ "Farewell to Cricket" කෘතියේ, මෙම ඉනිම පිළිබඳව සඳහන් කළේ , තරගයට පෙර, ඔහු සිතාගෙන සිටියේ සරේ ප්‍රාන්තයට එරෙහිව කිසිදු දුර්වලතාවයක් නොපෙන්වීමට යි (I thought it best not to make any mistake against Surray).
මේ ඉනිම බ්‍රැඩ්මන් පවසන පරිදි, ඔහුගේ විශිෂ්ටතම ඉනිම් කිහිපයෙන් එකක්.

ෆෙන්ඩර් ට අමතරව මෙම සරේ කණ්ඩායමේ ඩග්ලස් ජාඩින් ද නිත්‍ය ක්‍රීඩකයෙක්ව ලෙස කටයුතු කරමින් සිටියා. ඔවුන් දෙදෙනාටම එදින, බ්‍රැඩ්මන් ගේ මේ සුවිශේෂි ඉනිම සජීවීව අත්විඳගන්නට හැකිවුනා.

"බ්‍රැඩ්මන් ව මට්ටු කරන්න අපිට අළුත් මුහුණක් අවශ්‍යයි"

බ්‍රැඩ්මන් ගේ ඉහත ඉනිමෙන් පසුව, පර්සි ෆෙන්ඩර් 'ද ඔබසර්වර්' පුවත්පතේ සඳහන් කළේ ඉහත ආකාරයෙන්.

පර්සි ෆෙන්ඩර්

බ්‍රැඩ්මන්, 1930 එංගලන්ත සංචාරය පුරාවටම පිතිකරණයෙන් එංගලන්ත පන්දු යවන්නන් අපහසුතාවයට පත්කරන විට, එකල එංගලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රබල නිලධාරියෙකු ලෙස කටයුතු කළ, පෙල්හැල්ම් 'ප්ලම්' වෝනර් පවා තීරණය කර තිබුනේ බ්‍රැඩ්මන් ගේ පිති ප්‍රහාරය නවත්වන්නට කුමක් හෝ ප්‍රබල සැලසුමක් දියත් කළ යුතු බවට යි.

පෙල්හැම් 'ප්ලම්' වෝනර් 
"මේ වගේ ඉනිම් රැස් කරන ඔහු තවමත් කොලු ගැටයෙක් කියලා හිතද්දී, හිතට වේදනාවක් ගෙන දෙනවා. එංගලන්තය, වෙනස්ම වර්ගයේ පන්දු යවන්නෙක් සොයාගත යුතුයි, ඒ වගේම, බ්‍රැඩ්මන් වැනි තේරුම් ගැනීමට දුෂ්කර පිතිකරුවෙකුට එරෙහිව සාම්ප්‍රදායික සැලසුම් වලටත් වඩා වෙනස් සැලසුම් ක්‍රියාත්මක කළ යුතුයි.."
ප්ලම් වෝනර්, මෝර්නින්ග් පෝස්ට් පුවත්පතට මෙවැනි ප්‍රකාශයක් කළේ, බ්‍රැඩ්මන් හෙඩින්ග්ලි හි දී ලකුණු 334ක් රැස් කරමින් පිතිකරුවෙක් විසින් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු ගණනේ ලෝක වාර්තාව පිහිටුවීමෙන් පසුව.

බ්‍රැඩ්මන් ගේ 334

ප්ලම් වෝනර් වැනි ක්‍රිකට් පරිපාලකයින්, පර්සි ෆෙන්ඩර් වැනි ජ්‍යෙෂ්ට ක්‍රීඩකයින්/මාධ්‍යවේදීන් සහ ඩග්ලස් ජාඩින් වැනි ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ, ප්‍රභූ පැලැන්තීය ක්‍රීඩකයින් හට බ්‍රැඩ්මන් ගේ ලෝක වාර්තා, ඉවසුම් නොදෙන කාරණාවක් වුනා.

ඔවුන් සිතුවේ, බ්‍රැඩ්මන් කවදාහෝ ලකුණු 500 හෝ 600 සීමාව ඉක්මවා ඉනිමක දී ලකුණු රැස් කරනු ඇති බවට.

මූලාශ්‍ර:-
1) The Turn of the Wheel by P.G.H. Fender
2) Farewell to Cricket by Donald Bradman
2) Bodyline Autopsy by David Frith

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments