බොඩිලයින් - 04

ලෙග් ට්‍රැප් තියරිය භාවිතා කළ මුල්ම අවස්ථාව 1932/33 අළු බඳුන තරගාවලිය නොවේ. ඊට පෙර අවස්ථා කිහිපයක දී ම ලෙග් ට්‍රැප් ක්‍රමවේදය අනුගමනය කරමින් වේග පන්දු යවන්නෝ පන්දු යවා තිබුණත් එය ජාත්‍යන්තර මට්ටමේ පුවත් මවන්නට තරම් දරුණු වුනේ නෑ.. 

මෙයට හොඳම උදාහරණ ලෙස ෆ්‍රෑන්ක් ෆොස්ටර් ගේ 1911/12 තරගවාරයේ පන්දු යැවීමේ සිදුවීම සැලකිය හැකියි. 

දක්ෂ වමත් මද වේග පන්දුයවන්නෙකු වූ ෆොස්ටර්, පා ඉන්න වටා පන්දු රකින්නන් හයක් ස්ථානගත කර පිතිකරුවන්ගේ ශරීරය ඉලක්ක කර පන්දු යැවූ අතර එය එම තරගය අතරතුර වඩාත් කතාබහට ලක්වූ සිදුවීමක් වුනා.

ෆ්‍රෑන්ක් ෆොස්ටර්

මීට අමතරව පහත පන්දු යවන්නන්, ලෙග් ට්‍රැප් ක්‍රමවේදය අනුගමනය කරමින් විවිධ අවස්ථා වල දී පන්දු යවා තිබෙනවා.. 

🚩බිලී බර්න්ස්
තරමක් ගැටළු සහගත පන්දු යැවීමේ ඉරියව්වක් සහිත වූස්ටර්ෂයර් ප්‍රාන්තයේ බිලී බර්න්ස් ද 1910 වසරේ දී මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තයට එරෙහිව ලෝර්ඩ්ස් හි දී බොඩිලයින් ක්‍රමයට පන්දු යවා තිබෙන බවට කියැවෙනවා.

නමුත් ප්‍රතිවාධි පිලේ නායකයාගේ විරෝධය හමුවේ ඔහුගේ පන්දු යැවීම නවත්වා දමන්නට සිදුවුනා. 

එම ප්‍රතිවාධි නායකයා, 1932/33 MCC කළමණාකරු ප්ලම් වෝනර්.

බිලී බර්න්ස්, පළමු ලෝක යුද සමයේ සක්‍රිය හමුදා නිලධරියෙකු ලෙස කටයුතු කළ අතර 1916 වසරේ දී ප්‍රංශයේ සෝම්ස් හි පැවති යුද ගැටුමෙන් මරණයට පත්වුනා..

🚩නෙවිල් නොක්ස්
කලක් ලොව වේගවත්ම පන්දු යවන්නන් කිහිපදෙනෙක්ගෙන් අයෙක් වූ සරේ ප්‍රාන්තයේ නෙවිල් නොක්ස් ද වරින් වර බොඩිලයින් ක්‍රමයට පන්දු යවා තිබෙනවා. නෙවිල්, එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කර පසුව යුද හමුදා නිලධාරියෙකු ලෙස විශ්‍රාම ගොස්, මිය යාමට පෙර ගායකයෙකු ලෙස කටයුතු කළා.

🚩ලැරී කන්ස්ටන්ටින්
ලංකාවේ ප්‍රථම විදේශිය පුහුණුකරු ලෙස සමහර මූලාශ්‍ර වල දක්වන්නේ බ.ඉ කොදෙව් දූපත් වෙනුවෙන් ටෙස්ට් තරග ක්‍රීඩා කළ ලැරී කන්ස්ටන්ටින්.

1930 දී එංගලන්තය, කොදෙව් දූපත් හි සංචාරය කළ අවස්ථාවේ ලැරී, එවකට මුල්ම ත්‍රිත්ව ශතක ලාභී ඇන්ඩි සැන්ඩ්හැම් හට පා ප්‍රදේශය ඉලක්ක කරමින් පන්දු යැවූ අතර එයට 40 හැවැරිදි වියේ පසු වූ ඇන්ඩි සැන්ඩ්හැම් කෝපයට පත්ව තිබෙනවා.

නමුත් ඊට පෙර අවුරුද්දේ බිල් වෝස් විසින් ලෙග් ට්‍රැප් ක්‍රමයට, කොදෙව්වන්ට එරෙහිව පන්දු කිහිපයක් යොමු කර තිබෙනවා.

🚩ජැක් ග්‍රෙගරි සහ ටෙඩ් මැක්ඩොනල්ඩ්
1921 ඕස්ට්‍රේලියානු පිල නියෝජනය කළ එවකට සිටි විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩක ජැක් ග්‍රෙගරි සහ ටෙඩ් මැක්ඩොනලඩ් , එංගලන්ත පිතිකරුවන්ට කෙටි පන්දු යවමින් දැඩි අපහසුතාවයට පත් කළා.

ජැක් ග්‍රෙගරි

ටෙඩ් මැක්ඩොනල්ඩ්

ඒ අතරින් ට්‍රෙන්ට් බ්‍රිජ් හි පැවති ටෙස්ට් තරගයේ දී අර්නර්ට්ස් ටිල්ඩෙස්ලි ගේ හකු ප්‍රදේශයේ පන්දුව ගැටී ආබාධයකට ලක්වුනා. කිසිදු හිස් ආවරණයක් නොමැති සමයක එවැනි භයානක කෙටි පන්දුවක් යොමු කළේ, ජැක් ග්‍රෙගරි. 

ජැක් ග්‍රෙගරි විසින් යොමුකරන පන්දුව ටිල්ඩෙස්ලි ගේ හකු ප්‍රදේශයේ සහ ඉන් පසුව කඩුල්ලේ ගැටීම

හැරල්ඩ් ලාවුඩ් ද, පිතිකරුවන් ගේ ශරීරය ඉලක්ක කරමින් පන්දු යැවූ මුල්ම අවස්ථාව 1932/33 අළු බඳුන තරගාවලිය නොවේ.

1928 වසරේ මෙල්බර්න් හි දී ඔහු යැවූ පන්දුවක්, ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ගේ ශරීරයේ ගැටුණු බවට ඩේවිඩ් ෆ්‍රිත් විසින් රචිත "බොඩිලයින් ඔටොප්සි" හි සඳහන් වනවා.

මීට අමතරව, 1930 ඕවල් ටෙස්ට් තරගයේ දී ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ලකුණු 175ක් රැස්කරගෙන සිටින අතරතුර ලාවුඩ් ගේ කෙටි පන්දුවක් බ්‍රැඩ්මන් ගේ පපු ප්‍රදේශයට තරමක් පහතින් වැදුණු අතර එය බ්‍රැඩ්මන් ට වේදනාකාරී වුනා. තරගය ද කෙටි වේලාවකට නවත්වන්නට සිදුවූ බවට කියැවෙනවා.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් රචකයෙකු වන ආර්.එච්. කැම්බෙල් විසින්, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු යවන්නෙක් විසින් වැඩිම වාරයක් පිතිකරුවන්ගේ ශරීරයට පන්දුව ගැටෙන්නට සැලැස්වූ අවස්ථා සහ එවැනි පන්දු, වැඩිම ප්‍රමාණයකට පිතිකරුවන් ලැයිස්තුගත කරමින් පොත් පිංචක් නිකුත් කරනවා.

මෙයට කුප්‍රකට 1932/33 බොඩිලයින් තරගාවලියේ දත්ත ද ඇතුලත්.

ඔහු පවසන පරිදි 1877 - 1933 ටෙස්ට් තරග සියල්ලම සලකා බැලූ විට අවස්ථා 203 ක දී ප්‍රතිවාධි පන්දු යවන්නන් විසින් යොමුකරන පන්දු ශරීරයේ ගැටී තිබෙනවා (පා ආවරණ වල වැදුණු අවස්ථා රහිතව) ඒ අතරින් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් 48ක් සහ එංගලන්ත පිතිකරුවන් 38ක් ලැයිස්තුගතව තිබෙනවා.

එම පොත් පිංච ට අනුව වැඩිම වාරයක් පන්දුව ශරීරයේ ගැටී තිබෙන පිතිකරුවා වන්නේ සුපිරි පිතිකරු හර්බට් සට්ක්ලිෆ් ය. ඒ 18 වාරයක්. 

ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අතර පෙරමුණ ගන්නේ බොඩිලයින් තරගාවලියේ නායක බිල් වුඩ්ෆුල් .. ඒ 11 වාරයක්.

එවැනි දරුණු පන්දු වැඩිම වාරයක් යොමුකර තිබුණු පන්දු යවන්නා, එම ලැයිස්තුවට අනුව හැරල්ඩ් ලාවුඩ් ය. ඒ 34 වතාවක් (ලාවුඩ් ට අනුව මෙය මීට වඩා අඩු විය හැකියි)
ඕස්ට්‍රේලියාවේ ජැක් ග්‍රෙගරි විසින් 20 වතාවක් පිතිකරුවන්ගේ ශරීරය ට ගැටෙන අයුරින් පන්දුව යොමු කර තිබෙනවා.

හැරල්ඩ් ලාවුඩ්


මූලාශ්‍ර:
1) Ashes in the mouth: the story of the bodyline tour 1932 - 3 by  Ronald Mason
2) Bodyline Autopsy by David Frith
3) Cricket Casualties by R.H. Campbell

aq photo 635339848091716130317_zps7olcilbi.png

Comments