Sunday, May 12, 2019

ටෝර්පිඩෝ ප්‍රහාරයෙන් ගැලවුණු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම

1939 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින්ගේ එංගලන්ත සංචාරය යෙදී තිබිණි. ඒ වනවිට එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාවේ විවාදාත්මක මාතෘකාව වුයේ පන්දු 8 කින් සමන්විත පන්දුවාරය සහ එහි වාසි සහ අවාසියි. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් එපිට දේශපාලනිකව මහා බ්‍රිතාන්‍යය සිටියේ යුධමය තත්ත්වයක් මත යි. ගිනිකන්දක් විදාරණය වීමට පෙර පවතින තත්ත්වය ට සමානවම මහා බ්‍රිතාන්‍යයත් සිටියේ එවැනි කාල පරිච්ඡේදයක් පසුකරමිනි. මේ අතරතුර කොදෙව් ක්‍රීඩකයින්ගේ ටෙස්ට් සංචාරය ද සැලකිය යුතු ප්‍රේක්ෂක අවධානයක් දිනාගනිමින් තිබිණි.
Image Courtesy: Wisden.com
ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති ටෙස්ට් තරගයේ දී කොදෙව් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඉහළ මට්ටමක පැවතියහ. "කළු බ්‍රැඩ්මන්" යන අන්වර්ථ නාමය හෙබි ජෝර්ජ් හෙඩ්ලි ඉනිම් දෙකේ දී ම ශතක රැස්කරමින් එවැනි දක්ෂතාවයක් ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී දැක්වූ ප්‍රථමයා බවට පත්විය. තරගයේ ජයග්‍රහණය එංගලන්ත ක්‍රීඩකයින් කඩුලු 8 කින් හිමිකරගත්හ. මැන්චෙස්ටර් හි පැවති ටෙස්ට් තරගය සහ ඕවල් හි පැවති ටෙස්ට් තරගය ජය පරාජයකින් තොරව අවසන් වූ පසු කොදෙව් ක්‍රීඩකයින් හට මුහුණ දීමට තවත් පළමු පෙළ තරග කිහිපයක් යෙදී තිබිණි. 
Image Courtesy: ESPN Cricinfo
නමුත් ඒ වනවිටත් මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙළේ නගර සියල්ලම පාහේ දැඩි ආරක්ෂාවක් සැපයීම, කුඩා ළමුන් ඉවත් කිරීම, ගුවන් මගින් බෝම්බ හෙලීමේ අවධානමක් ද පැවති හෙයින් ඒ සඳහා ආවරණ සැපයීම වැනි ප්‍රබල යුද්ධයකයට සුදානම් වීමේ ලකුණු දක්නට ලැබුණු අතර කෙන්ට් ප්‍රාන්තයේ ක්‍රීඩකයින් සමඟ අගෝස්තු මස 30 වන දා පැවැත්වීම නියමිතව තිබු තරගය ද අහෝසි කළ බවට කෙන්ට් බලධාරීන් දැනුම් දෙන ලදී. එයට ප්‍රධානම හේතුව වූයේ ඔවුන්ගේ ක්‍රීඩකයින් යුද්ධයේ රාජකාරි සඳහා කැඳවූ  බව මෙන්ම සමහර ක්‍රීඩකයින් හමුදාවට නවක නිලධාරින් ලෙස බැඳීමයි. එමෙන්ම ඔවුනට  ක්‍රීඩා කරවීමට ක්‍රීඩකයින් 11ක් නොමැති වීමත් මෙයට හේතු විය.

මේ නිසාම තරගාවලි සංවිධායකයින් සහ බලධාරීන් තරගාවලිය අහෝසි කිරීමට තීරණය කළ අතර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් කැරිබියන් දූපත් කරා යෑමට ලක ලැහැස්ති විය. ලැරී කන්ස්ටන්ටයින් සහ මැනි මාර්ටින්ඩේල් ක්‍රීඩකයින් දෙදෙනා හැර අනෙක් ක්‍රීඩකයින් සහ නිලධාරින් ඔවුන්ට යා හැකි ප්‍රථම නෞකාවෙන් ම අගෝස්තු 26 වන දින එංගලන්තයෙන් පිටත් ව ගියේ ලිවර්පූල් හි සිටයි. කැනේඩියානු පැසිෆික් සේවාව ට අයත් මොන්ට්‍රොස් (SS Montrose) දුම් නෞකාවෙන් පිටත් ව ගිය ඔවුන් ට එම නෞකාව මඟහැරුනේ නම් ඉන් පසුව යාත්‍රා කිරීමට නියමිතව තිබුනේ ඇතීනියා (SS Athenia) නෞකාවයි. එය සැප්තැම්බර් මස පළමු වැනිදා පිටත්ව යාමට නියමිතව තිබිණි. 
Sinking SS Athenia, Image Courtesy: Royal-Navy
සැප්තැම්බර් මස 3 වනදා පෙරවරු 11.15 ට මහා බ්‍රිතානයේ අගමැති නෙවිල් චැම්බර්ලන් විසින් ජර්මනියේ පෝලන්ත ආක්‍රමණයට එරෙහිව යුධ ප්‍රකාශ කරන ලදී. පහත ඇත්තේ අගමැති චැම්බර්ලන් විසින් ගුවන් විදුලිය හරහා මහජනයාට යුද්ධය (දෙවන ලෝක යුද්ධය) නිල වශයෙන් ආරම්භ වූ බවට ප්‍රකාශ කිරීම යි.

සැප්තැම්බර් 3 වන දා කොදෙව් ක්‍රීඩකයින් කැනඩාවේ මොන්ට්‍රියල් හි ආරක්ෂිතව ගොඩ බසින ලද අතර කොදෙව් ක්‍රීඩකයින් ගමන් කිරීමට ඉඩක්ව තිබු ඇතිනියා නෞකාව ඒ වනවිට පුද්ගලයින් 1100ක් සමඟ ග්ලාස්ගොව් හි වරායෙන් නික්ම වී ලිවර්පූල් සහ බෙල්ෆාස්ට් හි කෙටි කාලයකට නැංගුරම් ලා නැවත මොන්ට්‍රියල් බලා යාත්‍රා වෙමින් තිබිණි. එදින සවස් කාලය වන විට ඇතිනියා නෞකාව "රෝකොල්" හි දකුණු දෙසින් නාවික සැතපුම් 60කට එපිටින් සහ අයර්ලන්තයේ "ඉනිස් ට්‍රා හෝල්" හි සිට වයඹ දිගින් නාවික සැතපුම් 200ක් පමණ එපිටින් යාත්‍රා වෙමින් තිබී ඇත.

ජර්මනියට අයත් "German Submarine U-30" සබ්මැරීනය හෝ U-Boat ලෙස සැලකෙන ප්‍රහාරක බෝට්ටුව ට සවස 4.30 ට පමණ මෙම ඇතිනියා නෞකාව නිරීක්ෂණයට ලක්වූ අතර නෞකාවේ ගමන් මාර්ගය සැක සහිත වීම (ඇතිනියා නෞකාව, එම ගමන අතරතුර, අනෙක් වෙළඳ සහ මගී නෞකාවන් ගමන් කරන නාවික මාර්ගයන් මග හැර යාත්‍රා කිරීම), නැවේ වර්ණය තද පැහැයක් ගැනීම, නෞකාව පැයට නොට් 15 ක වේගයෙන් ගමන් කරන අතරතුර ZIG-ZAG රටාවට යාත්‍රා වීම  වැනි හේතුන් නිසා (එවැනි නෞකාවක් සෙබළුන් රැගත් හෝ යුධමය එකක් වීමේ සම්භාවිතාවය ඉහළ වීම නිසා) U-30 බෝට්ටුවේ අණදෙන නිලධාරි ෆ්‍රිට්ස්z ජූලියස් ලෙම්ප් විසින් ඇතිනියා නෞකාවට ටෝර්පිඩෝ ප්‍රහාර 2ක් එල්ල කිරීමට අණ දෙන ලදී. පස්වරු 7.40 ට පමණ මෙම ප්‍රහාර එල්ල වූ අතර මුල් ප්‍රහාරයෙන් නැවේ එංජින් කාමරය ට සහ තරප්පු පේළියට හානි වූ අතර නැවේ ගමන ද ක්‍රමයෙන් අඩාල විය. දෙවන ටෝර්පිඩෝවේ ගමන් මාර්ගය අතරතුර ක්‍රියා විරහිතව ගිය අතර ඇතිනියා නෞකාව ගිලා බසින බවක් දක්නට නොලැබීම නිසා ජූලියස් ලෙම්ප් තෙවැනි ප්‍රහාරයකට අණදෙන ලදී. එයද ක්‍රියා විරහිතව ගියේ ය. කෙසේ වූවත් ඇතිනියා නෞකාව දරුණු ලෙස හානි වී තිබු අතර පැය 14 කට පසු එනම් පසුදින උදෑසන 10.40 ට නෞකාව සම්පුර්ණයෙන්ම ගිලාබැස ගියේ ය. 
Fritz Julius Lemp, Image Courtesy: turtledove
නෞකාවේ කපිතාන් ජේම්ස් කුක් ගේ අණදීමෙන් අනතුරුව නෞකාවට සහය පිණිස නෞකා කිහිපයක්ම ඉක්මණින් පැමිණි අතර පුද්ගලයින් 112ක් ජිවිතක්ෂයට පත්විය. එයිනුත් බොහෝ දෙනෙක් ජිවිතක්ෂයට පත්වුයේ මුදවාගැනීමේ කටයුතු සිදුවන අතරතුර යි. ඇතිනියා නෞකාවෙන් මුදවාගෙන ආරක්‍ෂිත බෝට්ටුවක ගමන් කළ පුද්ගලයින් 50ක කණ්ඩායමක්, ඔවුන්ගේ සහයට පැමිණි නියුට් නෙල්සන් නෞකාවේ අවරපෙත්තේ ගැටීම නිසා ජිවිතක්ෂයට පත්විය. 

මෙම සිදුවීමෙන් පසු:

  • ඇතිනියා නෞකාවට එල්ලකළ ප්‍රහාරය දෙවන ලෝක යුද්ධය නිල වශයෙන් ආරම්භ වූ යුධමය ක්‍රියාදාමය විය. 
  • U-30 සබ්මැරීනය / බෝට්ටුව (ද්විත්ව ක්‍රියාකාරී)  අණදෙන්නා ලෙස කටයුතු කළ ජූලියස් ලෙම්ප් මෙය ඔහුගේ වැරදි අණදීමක් බවට එම සිදුවීමෙන් පසු තේරුම් ගත් අතර නාවික ලොග් පොතේ මෙය සටහන් කිරීමෙන් වැළකී තම කණ්ඩායමේ සියල්ලන්ටම මෙය නොපවසන ලෙස පොරොන්දු කරගත්තේ ය.
  • ජර්මනියේ චන්ස්ලර්වරයා මෙන්ම නට්සි නායකයා වූ ඇඩොල්ෆ් හිට්ලර් මෙම සිදුවීම දේශපාලනික හේතුන් මත ප්‍රසිද්ධියට පත්කිරීමෙන් වැළකී සිටින ලෙසට උපදෙස් ලබාදෙන ලදී.
  • බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නිලධාරින් විසින් ඉක්මන් තීරණයක් ගෙන කණ්ඩායම එංගලන්තයෙන් ඉවත් කිරීම නිසා ඔවුන් ඇතිනියා නෞකාවේ මඟින් නොවූ අතර සියලුම සාමාජිකයින් කිසිදු අනතුරකින් තොරව කැරිබියන් දුපත් කරා ගියහ.
  • ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වසර 7කට නතර විය.
  • එංගලන්තයේ ඉන්දීය සංචාරය (1939/40) අවලංගු විය.
  • එංගලන්තයේ ක්‍රීඩකයින් 6ක් සහ කොදෙව් ක්‍රීඩකයින් 8 කගේ අවසන් ටෙස්ට් තරගය වූයේ කෙනින්ග්ටන් ඕවල් හි ටෙස්ට් තරගයයි. 

මුලාශ්‍ර:
1) https://www.stabroeknews.com/2016/features/09/11/the-abandoned-tour/
2) http://www.espncricinfo.com/wisdenalmanack/content/story/155218.html
3) http://www.espncricinfo.com/magazine/content/story/423581.html
4) http://www.espncricinfo.com/magazine/content/story/537461.html


aq photo 635339848091716130317_zps7olcilbi.png
@Aqibmzm - 105th

No comments:

Post a Comment