Sunday, May 12, 2019

යාරා ගඟට පැන මියගිය බ්‍රැඩ්මන්

1992 වසරේ Independent Monthly සඟරාවට ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදියෙකු වන ගිඩියන් හේයිග් විසින් එක්තරා ක්‍රිකට් ක්‍රීඩකයෙකු පිළිබඳව ලිපියක් පළ කළේ ය. ගිලී මියගිය බ්‍රැඩ්මන් (the drowned bradman) යන මාතෘකාවෙන් යුත් මෙම ලිපියේ සඳහන් වන්නේ 1860 දශකයේ දී ඕස්ට්‍රේලියාවේ මුල්ම පළමු පෙළ ශතක ලාභියා වූ රිචර්ඩ් වෝර්ඩිල් පිළිබඳවයි. 1840 වසරේ එංගලන්තයේ දී උපත ලැබූ වෝර්ඩිල් 1861 වසරේ දී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය විය. දකුණත් පිතිකරුවෙකු වූ ඔහු 1867 වසරේ දී වික්ටෝරියා කණ්ඩායම නියෝජනය කරමින් නිව් සවුත් වේල්ස් පිලට එරෙහිව ලකුණු 110ක් සහ 45ක් රැස්කළේ ය. කෙසේ වෙතත් ඔහු විසින් සිදුකළ මුල්‍යය වංචාවක් හෙළි වීම නිසාවෙන් 1873 වසරේ දී ඔහු යාරා ගඟට පැන සියදිවි නසාගත්තේ ය. විස්ඩන් ක්‍රිකට් සඟරාවේ "Births & Deaths" ක්‍රීඩකයින් ලැයිස්තුවේ මුල්ම වරට සඳහන් වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා රිචර්ඩ් වෝර්ඩිල් විය. නමුත් ඉන් පසුව පළවූ විස්ඩන් සඟරාවේ ඉහත ලැයිස්තුවෙන් ඔහුගේ නම ඉවත්කරන්නට එහි සංස්කාරකවරයා කටයුතු කර ඇත. එයට ප්‍රධාන හේතුව වෝර්ඩිල් ගේ මරණයට හේතුව විය හැකියි. රිචර්ඩ් වෝර්ඩිල් හට සියුම් කරුණු අමතක විම හෝ පිළිනොපැදීම ඔහුගේ දුර්වල ලක්ෂණයක් වූ අතර වරෙක තස්මේනියානු ක්‍රීඩකයින් 16 ට එරෙහි වික්ටෝරියානු කණ්ඩායමේ නායකයා ඔහු බවට ඔහුට අමතක වීම නිසාවෙන් තරගය ආරම්භ වීමට ප්‍රමාද විය.

වෝර්ඩිල් ඒ වනවිට ඕස්ට්‍රේලියාවේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම පරිපාලකයෙකු ලෙස නමක් දිනා සිටිය ද ඔහුගේ ක්‍රිකට් නොවන ජීවිතය දිනෙන් දින ආගාධයට ඇදෙමින් තිබිණි. සූදු කෙළියට ඇබ්බැහිව සිටි වෝර්ඩිල්, ඔහුගේ පරාජයන් සියල්ල වසාගැනීමට ඔහුගේ රැකියා ස්ථානය වූ වික්ටෝරියානු සීනි සමාගමේ මුදල් වංචා කරන්නට පටන් ගත්තේ ය. 1873 වසරේ අගෝස්තු 15 වන දින වික්ටෝරියානු සීනි සමාගමේ විගණනය සිදුවන අවස්ථාවේ දී පවුම් 200 ක වංචාවක් සොයාගත් අතර (ඒ වනවිටත් වෝර්ඩිල් පවුම් 7000 ක් පමණ මුදලක් වංචා කර තිබිණි.) ඔහු සෙවීමට පොලිස් නිලධාරින් කටයුතු කර ඇත. පසුව වෝර්ඩිල්, තමන් විසින්ම ඉදිරිපත් වී, ඔහුගේ සමාගමේ ලේකම් ජෝසෆ් රොබර්ට්සන් ඉදිරියේ වසර 5ක් ඇතුළත පවුම් 7,000 ක මුදලක් තම සූදුකෙළිය සඳහා භාවිතා කළ බව පාපොච්චාරණය කළ අතර එම සාකච්ඡාවෙන් අනතුරුව ඔහු යාරා ගඟට පැන සියදිවි නසා ගත්තේ ය.

පොලිසිය විසින් රිචර්ඩ් වෝර්ඩිල් සොයාදෙන අයෙකුට පවුම් 250 ක ත්‍යාගයක් ලබාදෙන බවට පලකළ ගැසට් දැන්වීම.
Image Courtesy: NSW Police Gazette

රිචර්ඩ් වෝර්ඩිල් ගේ දේහය හමුවූ බව පුවත්පතක පළවූ අවස්ථාව.
Image Courtesy: Ovens & Murray
රිචර්ඩ් වෝර්ඩිල් මිය යාමට ප්‍රථම ඔහුගේ ලිපිය.
Image Courtesy: Tasmanian Tribune: 20th of Sep, 1873
මුලාශ්‍ර:
1) Haigh, Gideon (2004). "Game for anything, Writings on Cricket", Black Inc.
2) The Cricket Statistician

aq photo 635339848091716130317_zps7olcilbi.png
@Aqibmzm - 104th

1 comment: