Sunday, May 5, 2019

ක්‍රිකට් ක්‍රීඩකයින් ගේ අපුරු අන්දමේ විකාර ක්‍රියා , බියට පත්වන හේතුන් සහ තරගය අතරතුර දක්වන හැසිරීම් - 1

ක්‍රිකට් යනු ඉන්දියානුවන්ට ආගමකි, ඕස්ට්‍රේලියානුවන්ට සහ එංගලන්ත වැසියන්ට සංස්කෘතික අංගයකි, ශ්‍රී ලාංකිකයින්ට සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට මෙය විනෝද විය හැකි ක්‍රීඩාවකි. මෙම ක්‍රීඩාව හා බැඳුනු විවිධ සංස්කෘතීන් සහ නොයෙකුත් පුද්ගලයින්ගේ විශ්වාසයන් ඔස්සේ ක්‍රිකට් ක්‍රීඩාවේ දී දැකිය හැකි අපූරු අවස්ථාවන්  රාශියක් ඇත. ක්‍රීඩකයින් තරගය ට පෙර, තරගය අතරතුර, තරගාවලියකට සූදානම් වන අතරතුර හෝ විදෙස් තරගාවලියකට පිටත්ව යෑමට පෙර සිදුකරන ක්‍රියා පිළිවෙත් විවිධ වේ. ක්‍රීඩකයින්ගෙන් ක්‍රීඩකයාට මෙය වෙනස් වන අතර, සමාන වන අවස්ථා ද ඇත. පිතිකරණය සඳහා පිටියට පැමිණෙන පිතිකරුවෙකු ඉනිම අතරතුර සිදුකරන යම් ක්‍රියාවන් එම ක්‍රීඩකයාට සාමාන්‍යය හැසිරීමක් වූවද ප්‍රේක්ෂකයාට එය විහිළුවක් විය හැකියි. මෑතක දී එක් එක් ක්‍රීඩකයන් ඉලක්ක කරමින් ඔවුන්ගේ ආගමික විශ්වාසයන් සමච්චලයට ලක් කිරීම ඉතාමත් හොඳ නිදසුනකි. එය ක්‍රීඩකයාට කිසිවෙටකත් අදාළ නොවන්නේ එය ඔහුගේ විශ්වාසය, තරගයට දක්වන පුර්ණ අවධානය කෙරෙහි වැදගත් වන සහ පුහුණු වූ ක්‍රියාවක් බැවින්. ක්‍රිකට් ක්‍රීඩාවේ මෙවැනි උදාහරණ බොහොමයක් ඇත. මෙය විශ්ලේෂණාත්මකව සාකච්ඡා වීම මෙම ලිපියේ අරමුණ යි.  

පුරුදු පුහුණු වූ දෑ

යම් ක්‍රීඩකයෙක් තරගයක් අතරතුර සිදුකරන හැසිරීම් රටාවක් සෑම තරගයක දී ම පාහේ දැකගත හැකියි. මාස්ටර් බ්ලාස්ටර් අන්වර්ථ නාමය හෙබි සනත් ජයසූරිය පන්දුවකට මුහුණ දීමට ප්‍රථම තම පා ආවරණය සැකසීම අප නිතරම දකින ලද සනත් ජයසූරියට ම ආවේනික හැසිරීම් රටාවක්. මෙය ඔහු කුඩා කාලයේ සිටම ඔහුටම පුරුදු වූ ක්‍රියාවක්. එංගලන්තයේ ගිල්බර්ට් ජෙසප් පන්දුවට මුහුණ දෙන අතරතුර පිත්ත හසුරුවන අයුරු ඔහුටම ආවේණිකයි.  ඉන්දියාවේ සුපිරි පිතිකරු සචින් ටෙන්දුල්කර් පිතිකරණයට පැමිණීමට ප්‍රථම වම් පා ආවරණය මුලින්ම පැලදීම ද මෙයට නිදසුනකි. එමෙන්ම ඉන්දියාවේ හේමු අධිකාරි, කපිල් දෙව්, විරේන්දර් සෙවාග් වැන්නන් පිටියට පිවිසෙන විට ඉහළ බැලීම මෙම කාරණය සනාථ කරයි. (සුර්යයා දෙස බලා ආලෝකය ට හුරුවීම මෙහි අරමුණ බව සමහරුන් තර්ක කළ ද එය එසේ නොවේ. / සමහර විට එය ඔවුන්ගේ ආගමික විශ්වාසයක් වූවද විය හැකියි. නමුත් දකුණු අප්‍රිකාවේ වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් ද මෙම ක්‍රියාව සිදුකරයි) 

විශ්වාස සහ ඇදහිලි

තම ආගමික විශ්වාසයන් පිළිපදින අය මෙන්ම යම් යම් ක්‍රියාවන් ඔස්සේ තමන්ට සාර්ථක වීමට හැකිවේ යන්න විශ්වාස කිරීම ඔස්සේ යම් ක්‍රීඩකයින් එක් එක් ක්‍රියා සිදුකරයි. ශ්‍රී ලංකාවේ චමින්ද වාස් සහ නිරෝෂන් දික්වැල්ල තම පන්දු යැවීම හෝ පිතිකරණය ඇරඹුමට පෙර තම ආගම සිහි කිරීම, පකිස්තානු ක්‍රීඩකයින් සහ අනෙකුත් ඉස්ලාම් ලබ්ධික ක්‍රීඩකයින් ශතකයක් හෝ කඩුලු දවා ගැනීමෙන් පසු තම ආගම සිහි කිරීම, ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙය වූ ස්ටීව් වෝ හට වාසනාව ගෙන දෙන බවට සැලකෙන රතු පැහැති රෙදි කැබැල්ල කලිසම් සාක්කුවේ රඳවා තැබීම මෙයට උදාහරණ වේ.

විකාරශීලි හැසිරීම්

ප්‍රේක්ෂකයින්ට "විකාරයක්" ලෙස හැඟෙන නිරර්ථක හැසිරීම් දක්වන ක්‍රීඩකයින් ද බොහොමයක් ඇත. ඔවුන් යම්කිසි සිදුවීමක් හෝ ක්‍රියාවක් හේතුවෙන් එය ඔවුනට දැඩි ලෙස බලපෑමක් එල්ල වේ යන බිය හෝ යම් ක්‍රියාවක් කළ විට තරගය අතරතුර වාසිසහගත ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය හැකි යන මතයේ දැඩි ලෙස එල්බ සිටින අයයි. කලක් ලෝක වාර්තාගත ආරම්භක සම්බන්ධතාවයක් පිහිටුවීමට දායකත්වය සැපයූ දකුණු අප්‍රිකාවේ නීල් මැකෙන්zසි මෙයට හොඳම උදාහරණය වේ (ඒ ඇයි ද යන්න පහළ විස්තර කර ඇත.)

ක්‍රීඩකයෙක් කුඩා කළ සිට පුරුදු වූ සහ ඔවුන්ගේ ආගමික විශ්වාසයන් හැරුණු කළ අනෙකුත් විකාරශීලි හැසිරීම් මෙන්ම විකාරශීලි විශ්වාසයන් ගෙන් තොර ක්‍රීඩකයින් ද ඇත. ඉන්දියාවේ විරාත් කෝලි, ඔහුගේ ආරම්භක අවිධියේ දී සෑම තරගයක් සඳහාම ඔහුගේ ප්‍රියතම අත්වැසුම් යුගලය භාවිතා කළේ එය ඔහු ම පමණක් පිළිගත් විශ්වාසයක් හේතුවෙනි. නමුත් පසු කළක එවැනි විශ්වාස වලින් තොරවූ විරාත් කෝලි වඩාත් වැදගත් වන්නේ ආත්මවිශ්වාසය සහ උත්සාහය බවට අවබෝධ කරගත්තේ ය.

එමෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ගේ විශ්වාසයක් වන අවාසනාව ගෙන දෙන Devil's No. හෙවත් 87 අංකය ට එරෙහි වූ ඩොනල්ඩ් බ්‍රැඩ්මන් පැවසුවේ " 13 වන සිකුරාදා, කළු බළල්ලු සහ අංක 87 මවාගත් විකාර" ලෙසයි. මෙය තහවුරු කිරීමට ඔහු ඇඩ්ලේඩ් හි ගොඩනැගිල්ලක 8 වන මහලේ 87 වන කාමරය ඔහු වෙනුවෙන් වෙන්කරගත්තේ ය.

පහත දක්වා ඇත්තේ ක්‍රීඩකයින් තරගය අතරතුර හෝ පෙර පිළිපදින යම් හැසිරීම් රටා සහ අපූරු අන්දමේ විශ්වාස සහ ඇදහිලි කිහිපයක් (මෙහි සමහර අවස්ථා 100% සත්‍ය නොවිය හැක)

1) සුනිල් ගවස්කාර්   - ඉන්දියාවෙන් බිහිවූ ශ්‍රේෂ්ටතම පිතිකරුවෙකු ලෙස සැලකෙන සුනිල් ගවස්කාර් තරගය ආරම්භ වත්ම තම සහායක ආරම්භක පිතිකරුගේ දකුණු පසින් ඇවිද පිටියට පිවිසේ. 
Image courtesy: sportskeeda
2) අමරනාත් (මොහින්දර් සහ ලාලා) - ඉන්දියාවේ සුප්‍රසිද්ධ පිය පුතු යුගලයක් වූ ලාලා අමරනාත් සහ මොහින්දර් අමරනාත් නිතරම රතු පැහැති ලේන්සුවක් හෝ රතු රෙදී කැබැල්ලක් සාක්කුවේ රඳවා තිබු බවට කියැවේ.
Image Courtesy: Didima
3) බාසිත් අලි - පකිස්තානු හිටපු පිතිකරුවෙකු වූ බාසිත් අලි ක්‍රිකට් ක්‍රීඩාංගනයට පිවිසීමට නිතරම ඔහු විසින් තෝරාගත් ගමන් මාර්ගයක ගමන් කිරීම.
Image Courtesy: Pintrest
4) ෂොයිබ් මලික් -  පළඳින සපත්තු යුගලය දිගු කාලයක් තිස්සේ වෙනස් නොකිරීම. 
Image Courtesy: Mid-day
5) සලීම් මලික් - පිතිකරණ අනුපිළිවල දැනගැනීමට සලීම් මලික් විශාල අකමැත්තක් දැක්වූ අතර පිතිකරණය කළ යුතු ස්ථානය පමණක් ඔහුට පැවසීම ප්‍රමාණවත් විය. 
Image Courtesy: Amazon
6) ක්‍රිෂ් ශ්‍රීකාන්ත් - සෑම පන්දුවකටම මුහුණ දීමෙන් අනතුරුව ස්ක්වෙයාර් ලෙග් හි ස්ථානගත ව සිටින විනිසුරු දෙසට යම් දුරක් ඇවිදීම. පන්දු යවන්නා ගේ ස්වාභාවය මත ඔහු ඇවිද යන දුර වෙනස් විය. 
Image Courtesy: Youtube
7) භගවත් චන්ද්‍රසේකර් - තම දකුණත නිතරම ඇදීමකට ලක්කරන අතර එයට හේතුව වූයේ ඔහු ගේ හින්දු ආගමික ශූද්ධ වූ නූල තම උරහිස සිට හරස් අතට පිහිටුවීමත් පන්දු යවන සෑම අවස්ථාවක දී ම එය නිසි අයුරින් ඇති බවට තහවුරු කිරීම පිණිසයි. ප්‍රේක්ෂකයින් ඔහු එලෙස ඇදීමකට ලක්කරන බවට සැක කරන ලද්දේ ඔහුට පෝලියෝ රෝගය වැළඳ තිබු බව නිසයි. නමුත් එය එසේ නොවේ.
Image Courtesy: ESPN Cricinfo
8) සzහීර් අබ්බාස් - ආසියානු බ්‍රැඩ්මන් ලෙස විරුදාවලිය ලැබූ පකිස්තානයේ සzහීර් අබ්බාස් 1974 වසරේ එංගලන්ත සංචාරය අතරතුර යම් තරගයක දී (ටෙස්ට් නොවේ) ඉතාමත් හොඳින් ලකුණු රැස්කරමින් සිටි අතර පසුව පිත්ත මාරුකරන ලදී. පිත්තේ කිසිදු ගැටළුවක් නොමැති වූවත් අබ්බාස් ගේ පිළිතුර වූයේ එම පිත්තෙන් ඔහුට වැඩි ලකුණු ප්‍රමාණයක් රැස්කළ හැකි බවත් එම සාමාන්‍යය තරගයට එම පිත්ත භාවිතා කර ලකුණු නාස්ති කිරීම තේරුමක් නැති බවයි.
Image Courtesy: Ken Piesse Cricket Books
9) ජාවෙඩ් මියන්ඩාඩ් - පිතිකරණයට පැමිණීමට පෙර ජලයෙන් පිරිසිදු වී පැමිණෙයි (ablution). 
Image Courtesy: Pintrest
10) මහාදේවන් සතාසිවම් - පිත්තෙන් විදෙස් ක්‍රීඩකයින් විස්මයට පත්කළ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ට පිතිකරුවෙකු ලෙස සැලකෙන මහාදේවන් සතාසිවම් කඩුලු අතර දිවීමට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත.
Image Courtesy - The Island
11) අර්ජුන රණතුංග - හිටපු ලෝක ශුර ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග පුරුද්දක් ලෙස කඩුලු අතර අනවශ්‍යය ලෙස දිවීමෙන් වැළකී ඇවිදි යාම ප්‍රිය කරන ලදී. 90 දශකයේ sportstar සඟරාවේ සම්මුඛ සාකච්ඡාවක දී අර්ජුන හෙළි කළේ ඔහු අනවශ්‍යය ලකුණු රැස්කිරීමට උත්සහ කර දුවද්දී දැවී යාමෙන් වැළකිම සඳහා එලෙස ඇවිදෙන බවයි.
Image Courtesy: The Telegraph
12) මහේල ජයවර්ධන - සෑම ලකුණු 4 කට හෝ 6 පහරකට පසු යාර 22 සීමාව සම්පුර්ණ කර නැවත පිතිකරණය සීමාවට පැමිණීම.
Image Courtesy: The Daily Star
13) රොෂාන් මහානාම - පිත්තේ මිට , තම නිකට ප්‍රදේශයේ ගෑවීම.
Image Courtesy: Picssr
14) සනත් ජයසූරිය - පන්දුවකට මුහුණ දීමට ප්‍රථම තම පා ආවරණ සහ අනෙකුත් ආරක්‍ෂිත ආවරණ සැකසීම
Image Courtesy: cricketpix
15) අනිල් කුම්බ්ලේ - පකිස්තානයට එරෙහිව කඩුලු 10ක් දවාගත් ටෙස්ට් තරගය අතරතුර කුම්බ්ලේ සෑම කඩුල්ලක් දවා ගැනීමෙන් අනතුරුව තම ස්වෙටරය සහ තොප්පිය සචින් ටෙන්දුල්කර් හට ලබා දී පන්දු යවන ලදී.
Image Courtesy: Live India
16) මයිකල් ක්ලාර්ක් - පිතිකරණයට පෙර අධික ශබ්ධය උපදවන ගීත ඇසීමට ප්‍රිය කරන මයිකල් ක්ලාර්ක්, ඒ හේතුවෙන්ම පන්දුවට පහර දෙන විට ඔහුගේ අවධානය ඉහළ මට්ටමක පවත්වා ගත හැකි බවට ඔහු විශ්වාස කරයි.
Image Courtesy: ABC
17)  ස්ටීව් වෝ - 1993 වසරේ දී ලීඩ්ස් හි දී පැවති ටෙස්ට් තරගයේ දී ස්ටීව් වෝ ලකුණු 60ක් රැස්කරමින් සිටින අතරතුර ඔහුගේ මිත්තණිය විසින් ලබාදුන් රතු පැහැති ලේන්සුවක් ඔහුගේ කලිසම් සාක්කුවේ රඳවා පිතිකරණයේ යෙදුනු අතර එම ටෙස්ට් ඉනිමේ දී ශතකයක් වාර්තා  කිරීමට ඔහුට හැකිවිය. එය වාසනාව ගෙන දුන් රෙදි කැබැල්ලක් බවට ස්ටීව් වෝ පවසයි.
Image Courtesy: Daily News
18) මයිකල් ඇතර්ටන් - එංගලන්තයේ හිටපු නායකයෙකු වූ මයිකල් ඇතර්ටන් ටෙස්ට් තරගයක දිනයේ නිමාවෙන් පසු ඔහු නොදැවී සිටියේ නම් සම්මුඛ සාකච්ඡා, මාධ්‍යය හමුවීම් වලින් වැළකී සිටි අතර එයට හේතුව වුයේ එය අවාසනාව ගෙන දේ යන බියයි.
Image Courtesy: Amazon
19) ඉම්රාන් ඛාන් - 1992 ලෝක ශුර පකිස්තාන කණ්ඩායම මෙහෙය වූ ඉම්රාන් ඛාන් එම තරගාවලියේ අවසන් තරගය ට පෙර ව්‍යාග්‍රයෙකුගේ රුව සිතුවම් කළ කමිසයක් පැළඳ සිටියේ ය. එදින ඔහුට වාසිදායක දිනයක් වේ යන සිතුවිල්ල ඔහුට තිබුණු නිසා.
Image Courtesy; India Times
20) ටෙඩ් ඩෙක්ස්ටර් - ප්‍රථම සීමිත ඕවර තරගාවලියේ ජයග්‍රාහි පිලේ නායකයා වූ ලෝර්ඩ් ටෙඩ් හෙවත් එංගලන්තයේ ටෙඩ් ඩෙක්ස්ටර් ටෙස්ට් තරගයක තීරණාත්මක අවස්ථා වලදී ඔහු පුහුණ වූ ගොල්ෆ් පහරක් නැවත නැවත අනුකරණය කිරීම.
Image Courtesy: Cricket Country
21) අබ්දුල් රසාzක් - පිතිකරණය පැමිණෙන අවස්ථා වල දී සාමන්‍යය හිස් ආවරණයක් (කැප් එක) පසුපස ට රඳවා එයට උඩින් තම හෙල්මටය පැළඳීම
Image Courtesy: Getty images
22) මාර්ක් රාම්ප්‍රකාෂ් - බබ්ල්ගම් හැපීම පුරුද්දක් කරගත් මාර්ක් රාම්ප්‍රකාෂ් දිගු ඉනිම් රැස්කිරීමට හැකි පිතිකරුවෙකු ලෙස ප්‍රසිද්ධයි. එවැනි ඉනිම් අතරතුර විවේකය ලබා දෙන අතරතුර කඩුල්ලේ ඉණි මත තම බබ්ල්ගම් කැබැල්ල අලවා යන ඔහු, විවේක කාලයෙන් පසු පිතිකරණයට පැමිණෙද්දී නැවතත් එය හැපීම සඳහා භාවිතා කරයි.
Image Courtesy: Getty Images
23) දනිෂ් කනේරියා - පන්දු යැවීම ආරම්භ කරන අවස්ථාවේ දී ඇඟිලි දිව ගෑමට සමාන අවස්ථාවක් දැකගත හැකියි. 
Image Courtesy: nzcreativewebdesign
24) කෞෂාල් සිල්වා - පන්දුවට මුහුණ දුන් පසු, ඊළඟ පන්දුවට පෙර ඔහු තම අත් ආවරණය පිත්තේ මිට සහ කලව ආවරණය අතර චලනය කර, පසුව පිත්ත නිවැරදිව ග්‍රහණය කර ඇති ද (grip) යන්න තහවුරු කරගනියි.

25) ජැක් රසල් - චිත්‍ර ශිල්පියෙක් ලෙසට ද ප්‍රචලිත එංගලන්තයේ හිටපු ටෙස්ට් කඩුලු රකින්නා ජැක් රසල් අමුතු ගති පැවතුම් සහිත ක්‍රීඩකයෙකි. තම හිස් ආවරණයට (Hat) දැඩි ලෙස ඇලුම් කළ ඔහු එය කිසිවිටකවත් වෙනස් කිරීමට කැමැත්තක් දක්වා නැත. වරෙක බාර්බඩෝස් හි දී නවාතැන්ගත් හෝටල් කාමරයේ දී තෙතබරිත ව තිබු හිස් ආවරණය ඉක්මනින් වේලීමට එය මයික්‍රෝ උඳුනක රත් කිරීමට දැමු අවස්ථාවක එය ගිනි ගැනීම නිසා ඉතාමත් දුකට පත්වූ බවට ඔහුගේ කාමර සඟයා වූ ග්‍රෙහැම් හික් පවසා ඇත. එමෙන්ම පිටතින් ගන්නා ආහාර සඳහා දැඩි බියකින් පසුවූ ඔහු එයට පිළියමක් වශයෙන් ඔහුගේ ගමන් මලු තුල විස්කෝතු, තැම්බූ බෝංචි ඇට සහ තේ පැකට්ටු වලින් පුරවා රැගෙන යයි. 1989 ඕවල් හි පැවති අළු බඳුන ටෙස්ට් තරගය පුරාවටම ඔහු එක් තේ පැකට්ටුවක් වරින් වර භාවිතා කර ඇත. දිනකට තේ කෝප්ප 20ක් පමණ පානය කරන අවස්ථා ද ඇත. මාධ්‍යවේදීන්ට ඔහුගේ දුරකථන අංකය සහ ලිපිනය පවා නොදෙන රසල් ට මෙවැනි සුවිශේෂී අනන්‍යතාවයක් ගොඩ නැගී තිබිණී. 
Image courtesy: Cricket Country
26) විරේන්දර් සෙවාග් - ජර්සි අංකයක් රහිතව ක්‍රීඩා කළ සෙවාග් දැඩි ලෙස අංක සම්බන්ධයෙන් සැළකිලිමත් වේ. එමෙන්ම පිතිකරණය යෙදෙන අතරතුර ගීත ගායනයේ ද ඔහු යෙදේ. 
Image Courtesy: Newshub
27) ස්ටීව් ස්මිත් - මෑත කාලයේ වඩාත් කතාබහට ලක්වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඕස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් තම සපත්තු යුගලයේ ලේස් දැකීමට ඉතාම අකමැත්තක් දක්වන අතර එය ඔහුගේ තරගයට ඇති අවධානය ද බිඳ දැමිය හැකි මට්ටමේ එකකි. IPL තරගාවලිය අතරතුර මෙම ලේස් ගැටළුවට විසඳුමක් ලෙස ස්මිත් එය ඔහුගේ මේස් ජෝඩුවේ අලවන බවට ඔහු හෙළි කළේ ය. 
Image Courtesy: Cricket Australia
28) හනිෆ් මොහමඩ් - ලිට්ල් මාස්ටර් යන අන්වර්ථ නාමය හෙබි පකිස්තානයේ හනිෆ් මොහොමඩ් පිතිකරණයේ යෙදෙන අතරතුර පන්දුවකට මුහුණ දීමට පෙර තම උදර ප්‍රදේශය අල්ලා, පපු ප්‍රදේශය තට්ටු කර ඉන්පසු හිස්වැසුම සකසා සැරසෙයි. මෙය සෑම පන්දුවකට පසු දැකගත හැකි අතර කිසියම් හෝ අවස්ථාවක දී එලෙස කිරීමට ඔහුට නොහැකි වුවහොත් ඔහු දැවී යාමේ සම්භාවිතාවය ද ඉහළ විය.
Image Courtesy: Rediff
29) එවර්ටන් වීක්ස් - කොදෙව් W ත්‍රිත්වයේ ප්‍රබල ක්‍රීඩකයෙක් වූ එවර්ටන් වීක්ස් ඔහු විසින් පළඳින ලද බාබර්ඩෝස් කණ්ඩායමේ හිස්වැසුම ට දැඩි කැමැත්තක් දැක්වූයේ ය. එමෙන්ම එම හිස්වැසුම පැළඳීමෙන් ඔහුට විශාල ලකුණු කරා යා හැකි බවට දැඩි විශ්වාසයක් ද ඔහුට තිබිණී. එක්වරක් ඔහු රතු පැහැති කොදෙව් හිස්වැසුම පැළඳ ක්‍රීඩා කරන විට ඉතා අඩු ලකුණු ප්‍රමාණයකට දැවී ගිය අතර ඉන් අන් පසු ඉනිමේ දී ශතකයක් රැස්කරන විට ඔහු පැළඳ සිටියේ බාබර්ඩෝස් හි හිස්වැසුමයි.
Image Courtesy: Evening Standard
30) නීල් මැකෙන්සිz - ක්‍රිකට් ලෝකයේ වඩාත්ම විකාර අදහස් මෙන්ම අමුතු වර්ගයේ විශ්වාස පිළිගන්නා  (most eccentric & superstitious cricketer) ක්‍රීඩකයා ලෙස සැලකෙන්නේ නීල් මැකේන්සිz ය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඉතාමත් දක්ෂ ලෙස පිතිකරුවෙකුගේ භූමිකාව ඉටුකළ ඔහු විවිධ හේතුන් මත විවිධ ක්‍රියාවන් පිටිය අතරතුර හෝ ඉන් පිටත දී සිදුකරන අතර යම් යම් දෑ වලට බියක් දක්වයි. මැකේන්සිz සුදු පැහැති ඉරි වලට කැමැත්තක් නොදක්වයි. එමෙන්ම පිතිකරණයට පැමිණීමට පෙර විවේකාගාරයේ ඇති වැසිකිලියේ සියලුම කොමඩ් අසුන් (WC seat cover) ඉහළ  දමා ජලය ගලා යෑමට සලස්වන (Flush) අතර සිවිලිමේ පිත්ත අලවා  (ටේප් එකක් ඇසුරෙන්) පසුව ගලවා පිත්ත රැගෙන  ක්‍රීඩාංගනය දෙසට යයි. ඔහු පවසන පරිදි මෙම පිත්ත සිවිලිමේ ඇලවීමේ සිතුවිල්ල ඔහුට පැමිණියේ වරෙක කණ්ඩායමේ සඟයින් නීල් නොමැති අවස්ථාවක් බලා ඔහුගේ පිත්ත සිවිලිමේ අලවා එල්ලා තැබූ පසු එම පිත්ත සිවිලිමෙන් ගලවා දමා එම ඉනිමේ දී ශතකයක් රැස්කිරීම යි. එතැන් පටන් එය පුරුද්දක් කරගත් නීල් ඉන් පසු තරගයේ දී ලකුණු නොලබා දැවී ගියේ ය. නීල් පිතිකරණයට පෙර O දැකීමට ද අකමැති ය. 2008 වසරේ ලෝර්ඩ්ස් හි දී පැවති ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම සඳහා දකුණු අප්‍රිකානු පිලට දින දෙක හමාරක් පිතිකරණයේ යෙදීමට අවස්ථාව ලබාදුන් එංගලන්ත පිලට ආරම්භක පිතිකරුවන්ගේ ප්‍රමාදයක් දක්නට ලැබිණි. එයට හේතුව වූයේ ද නීල් මැකෙන්සිz අනවශ්‍යය ලෙස තරගය පිළිබඳව සිතීම හේතුවෙන් පා ආවරණය පැළඳ සිටි ඔහුට ඒ පිළිබඳව සෑහීමකට පත් නොවී, පා ආවරණ ගලවා නැවත පැළඳීම යි. එලෙස ඔහුට පා ආවරණය ගැලවීමේ සිතුවිල්ල මතු වූයේ එම පා ආවරණ නිෂ්පාදකයා වූ "Gun & Moore" නාමයේ "O" යුගලයයි. 
Image Courtesy: Sky Sports
Cricket Monthly සඟරාවේ දී නීල් මැකෙන්සිz පැවසුයේ ඔහුට OCD (Obsessive Compulsory Disorder) වැළඳ ඇති බවට සැක කරන බවයි (ඔහුට එවැන්නක් නොමැති බවට හෙළි වී ඇත). එනම් අනවශ්‍යය සිතුවිලි , අදහස් හෝ හැඟීම් ඇතිවීම වැනි රෝගයකින් වැළඳ සිටීම. කෙසේ වූවත් නීල් පවසන්නේ යම්කිසි තරගයකදී යම් ක්‍රියා පටිපාටියකට හුරු වීමෙන් අනතුරුව (ඉහත සඳහන් කළ පරිදි) තරගයට ඇති අවධානය ඉහළ මට්ටමටකට පවත්වා ගැනීමට හෝ සම්පුර්ණයෙන්ම අවධානය බිඳ දැමිය හැකි බවයි. එම නිසාම නීල් පිතිකරණයේ දී යම් ලකුණු සීමාවන් පසු කරන සෑම අවස්ථාවක දී ම කෙටි දුරක් ඇවිදින අතර (පිටිය තුළ), ලබා ගන්නා ලකුණු ප්‍රමාණය මත එය වෙනස් වේ. ලකුණු 100 සම්පුර්ණ කළ විට තණනිල්ල සැකසීම (Gardening) වැනි ක්‍රියාවන් වල යෙදීමෙන් ඉහත පරිදි අනවශ්‍යය සිතුවිලි මතු නොවන බවට ද ඔහු පවසයි.


--------මෙම ලිපියේ තවත් කොටසක් බලාපොරොත්තු වන්න---------

මුලාශ්‍ර:
1) https://www.wisden.com/stories/the-ten-quirks-tweaks-eccentricities 
2)https://www.skysports.com/watch/news/8797953/neil-mckenzie-explains-why-he-taped-bat-to-dressing-room-ceiling
3)http://www.thecricketmonthly.com/story/1164565/-when-i-really-wanted-things-to-go-well--i-tried-to-control-the-outcome-through-ocd
4)https://zeenews.india.com/cricket/steve-smith-has-a-unique-superstition-and-the-australian-team-cannot-stop-talking-about-it-1990505.html
5) http://archives.sundayobserver.lk/2014/11/16/spo30.asp

Special Thanks: Janith Chinthana @Janith84

aq photo 635339848091716130317_zps7olcilbi.png
103rd - @Aqibmzm

No comments:

Post a Comment