Saturday, April 20, 2019

සිලෝන් ක්‍රිකට් ආයතනය ඇරඹුමට හේතු වූ ශ්‍රී ලංකාවේ පළමු විශිෂ්ට ජයග්‍රහණය

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය පිරික්සීමේ දී මෙරට කණ්ඩායමක් විසින් ප්‍රතිවාධි කණ්ඩායම් වලට එරෙහිව ලබා ගෙන ඇති ජයග්‍රහණ රැසක් ඇත. කෙසේ වෙතත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ හැරුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකෙන 1914 වසරේ දී වාර්තා වූ ක්‍රිකට් තරග ජයග්‍රහණයක් පිලිබඳව තොරතුරු මෙම ලිපියෙන් ගෙන ඒමට සුදානම්.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හඳුන්වාදුන් සමයේ සිට 1880 දශකය තෙක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය සිදුවුයේ මන්දගාමී අයුරිනි. නමුත් 1882 වසරේ දී මෙරටට පැමිණි අයිවෝ බ්ලයි ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායමක් මෙරට ක්‍රීඩකයින් (එවකට මෙරට ක්‍රීඩකයින් සියල්ලන්ම පාහේ යුරෝපීයයන් වූහ) සමඟ තරග වැදුණු අතර ඉන්පසු වසර කිහිපයකට වරක් මෙරට දී තරගයක නිරත වීම සඳහා එංගලන්ත ජාතිකයින් පැමිණ ඇති බවට වාර්තා ඇත.

එංගලන්ත ජාතිකයින් ට අමතරව වෙනත් ජාතිකයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායම් අතරත් තරග වැද ජයගෙන ඇති නමුත් 1914 දී මෙරටට පැමිණි ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් පරාජය කිරීමට එකල සිලෝන් ලෙස හැඳින්වූ අප කණ්ඩායමට හැකි වීම විශේෂ සිදුවීමකි. මෙය ඉතිහාසගත වන්නේ මෙරට ජාතික කණ්ඩායම අන්තර්ජාතික වශයෙන් පිළිගත හැකි මට්ටමේ පළමු පෙළ කණ්ඩායමක් පරාජය කළ මුල්ම අවස්ථාව ලෙසයි. ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවයට පත් ක්‍රිකට් රචකයෙකු ලෙස ප්‍රචලිතව සිටි S.P. ෆෝනෑන්ඩර් ගේ විශේෂ ඉල්ලීමක් මත මෙම නිව් සවුත් වේල්ස් කණ්ඩායම මෙරටට පැමිණි බව සඳහන් වේ.

ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස සැලකුම් ලැබූ අර්නස්ට් ෆ්‍රෙඩ්රික් වඩී ගේ නායකත්වයෙන් යුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක් (E.F. Waddy’s XI) 1913 වසරේ දෙසැම්බර් මස 31 වන දින මැසඩෝනියා නම් නෞකාවෙන් කොළඹ වරායට සේන්දු වූ අතර ඔවුන් තරග 9ක් මෙහිදී ක්‍රීඩා කර ඇත. ජනවාරි මස 2 සහ 3 දෙදින තුල NCC (Nondescripts Cricket Club) සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවති තරගය කඩුලු 7 කින් ජයගත් ඔවුන් ඉන් අනතුරුව දකුණු පළාත් කණ්ඩායම ට එරෙහිව පළමු ඉනිමේ ජයක් ද වාර්තා කිරීමට සමත් වූහ.
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් සමාජයේ ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමේ නායකයා වූ අර්නර්ස්ට් ෆ්‍රෙඩ්රික් වඩී - Courtesy: oztradingcards.com
ජනවාරි මස 6 සහ 7 වන දිනයන්හි දී NCC ක්‍රීඩාංගනයේ පැවති 3 වන තරගය නැවතත් සිලෝන් කණ්ඩායමට එරෙහිව පැවැත්වීය. කාසියේ වාසිය දිනාගත් ප්‍රතිවාධි පිලේ නායක අර්නස්ට් ෆ්‍රෙඩ්රික් වඩී ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන්නට තීරණය කළේ ය. ඔවුන්ගේ ඉනිම ලකුණු 109 කට සිමා කිරීමට සිලෝන් පන්දුයවන්නන් ට හැකිවූහ. එවකට 24 හැවරිදි වමත් දඟ පන්දුයවන්නෙකු වූ සිසිල් හොරන්  පන්දුවාර 19ක් යවා ලකුණු 35කට කඩුලු 5ක් දවාගන්නා ලදී. පිළිතුරු ඉනිම වශයෙන් පිටියට පැමිණි සිලෝන් කණ්ඩායමේ ලකුණු තත්ත්වය 133 වන විට අවසන් කඩුල්ල බිඳ වැටුණු අතර ඒ අනුව ලකුණු 24ක් ඉදිරියෙන් සිටීමට ඔවුනට හැකිවූහ. ආරම්භක පිතිකරු T.B.C. අහමද් ලකුණු 59ක් රැස්කිරීමට සමත් වූ අතර, අනෙක් අන්තයේ සිට S. ද සිල්වා ලකුණු 18ක් රැස් කළේ ය.

දෙවැනි ඉනිම සඳහා පැමිණි වඩී ගේ කණ්ඩායමේ සියලුම කඩුලු ලකුණු 46ක් තුල බිඳ දමන්නට සිසිල් හොරන් (කඩුලු 4ක්/ලකුණු 29) සහ ස්ටැන්ලි ඩි ක්‍රෙට්සර් (කඩුලු 6ක්/ලකුණු 14) දඟ පන්දුයවන්නන් සමත් වීම විශේෂත්වයක් විය. ඒ අනුව ලකුණු 23ක පහසු ඉලක්කයක් හඹා ගිය සිලෝන් කණ්ඩායමට එම ඉලක්කයට පහසුවෙන් ළඟාවීමට වඩී ගේ කණ්ඩායමේ පන්දුයවන්නන් ඉඩ ලබාදුන්නේ නැත. සිලෝන් කණ්ඩායමේ කඩුලු 6ක් දැවී යාමෙන් අනතුරුව ජයග්‍රහණය කරා ගෙන යාමට A.T. පොලොක්ස් සහ නායක A.C. අහමද් පිතිකරුවන් දෙදෙනාට හැකිවූහ.
පසුපස (හතරවන) පේළියේ වමේ සිට තුන්වැන්නා - සිසිල් හොරන්, තෙවන පේළියේ වමේ සිට හයවැන්නා - ස්ටෑන්ලි ඩි ක්‍රෙට්සර්, තෙවන පේළියේ වමේ සිට හත්වැන්නා - සිලෝන් පිලේ නායක A.C. අහමද්
මෙම තරගයෙන් පසු Up-country කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ඉනිමක සහ ලකුණු 82 ක ජයග්‍රහණයක්, සිලෝන් කණ්ඩායමට එරෙහිව ලකුණු 85 ක ජයග්‍රහණයක්, දිඹුල සහ දික්ඔය කණ්ඩායමට එරෙහිව ඉනිමක සහ ලකුණු 51ක ජයග්‍රහණයක්, අනුරාධපුර සහ කුරුණෑගල ඒකාබද්ධ කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් (ලකුණු 154ක්), පාසල් ක්‍රීඩකයින්ගෙන් සමන්විත ඒකාබද්ධ කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් (ලකුණු 76ක්) සහ නැවතත් සිලෝන් කණ්ඩායමට එරෙහිව කඩුලු 2 ක ජයග්‍රහණයක් හිමිකරගැනීමට අර්නස්ට් ෆ්‍රෙඩ්රික් වඩී ගේ ක්‍රිකට් කණ්ඩායමට හැකිවිය.

මෙම තරගාවලියේ විශේෂ සිදුවීම්:
1914 ජනවාරි මස 19 වන දින වඩී ගේ කණ්ඩායම අනුරාධපුර සහ කුරුනෑගල ඒකාබද්ධ කණ්ඩායම සමඟ තරග වැදුණු අතර මෙම ඒකාබද්ධ කණ්ඩායමේ ක්‍රීඩකයින් 18 කින් සමන්විත විය. අනෙක් විශේෂිතම කරුණ නම් මෙම තරගය පැවැත්වූයේ අනුරාධපුර ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේ දී යි. අනුරාධපුරයේ පවත්වා ඇති එකම අන්තර්ජාතික මට්ටමේ තරගය ද මෙයයි.

අර්නර්ස්ට් ෆ්‍රෙඩ්රික් ගේ මෙම කණ්ඩායමේ රෝයි මිනට් (ටෙස්ට් තරග 9ක්) සහ ජෙරී හැස්ලිට් (ටෙස්ට් තරග 9ක්) දෙදෙනා ඒ වනවිටත් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග ක්‍රීඩා කර තිබීමම මෙම කණ්ඩායමේ ප්‍රබලත්වය පිළිබඳව අදහසක් ලබාගත හැක.
ටෙස්ට් තරග 9ක් වෙනුවෙන් ඔස්ට්‍රේලියාව නියෝජනය කළ ජෙරී හැස්ලිට් - Courtesy: Alchetron
වඩී ගේ කණ්ඩායම මෙම තරගාවලියේ දී එල්ලකළ සියලුම හයේ පහර සංඛ්‍යාව 29ක් විය. එයිනුත් හයේ පහරවල් 18ක් එල්ල කිරීමට නෝර්මන් එබ්ස්වර්ත් ට හැකිවූ අතර මෙම තරගාවලිය අවසන් වන විට අර්ධ ශතක දෙකක් (97 සහ 78) රැස්කිරීමට ද ඔහුට හැකිවිය.
වඩී ගේ කණ්ඩායමේ සංයුතිය සහ නෝර්මන් එබ්ස්වර්ත් ගේ ප්‍රහාරාත්මක පිතිකරණ රටාව පිළිබඳව සිඩ්නි මොර්නින්ග් හෙරාල්ඩ් පුවත්පත විසින් වාර්තා කළ අන්දම - Courtesy: Sydney Morning Herald, 24.11.1913, Page 09
තරගාවලියේ එකම ශතකය ප්‍රතිවාධි නායක අර්නර්ස්ට් ෆ්‍රෙඩ්රික් වඩී විසින් වාර්තා කරන ලදී. ඒ Up-Country කණ්ඩායමට එරෙහිව ලකුණු 127ක් රැස්කරමින්. සිලෝන් පිලේ දඟ පන්දුයවන්නන් යුගලය වූ සිසිල් හොරන් ස්ටැන්ලි ඩි ක්‍රෙට්සර් ගේ දක්ෂතා තරගාවලිය පුරා කැපී පෙනිණ.

පසු සටහන්:
අර්නස්ට් ෆ්‍රෙඩ්රික් ගේ මෙම කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට කොළඹ ක්‍රිකට් සමාජයේ පරිපාලකයින් (එවකට මෙරට දක්ෂතම ක්‍රීඩකයින් දෙදෙනෙක් වූ සේරම් සොහොයුරන් ද ඇතුළුව) ප්‍රතික්ෂේප කළ අතර මේ සිදුවීම නිසාම කොළඹ නගරයේ ස්ථාපිත ව තිබු අනෙකුත් ක්‍රිකට් සමාජ එක්කරමින් සංවිධානය වූ කොළඹ ක්‍රිකට් සමාජ කමිටුව ට 1922 වසරේ දී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නිසි අයුරින් පවත්වා ගැනීමට සහ ප්‍රචලිත කරවීමට සිලෝන් ක්‍රිකට් ආයතනය (CCA) ලෙස යළි සංවිධානය වීමට හේතුකාරක විය.

එමෙන්ම ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත ක්‍රිකට් ආයතනය ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ක්‍රිකට් ආයතනයට  ලිපියක් යොමුකරමින් මෙම තරග සංචාරයට විරෝධය පළකර ඇත. ඊට හේතුව ලෙස ඔවුන් පැහැදිලි කරන ලද්දේ එම කාල සමයේ පැවැත්වීමට නියමිතව තිබු අන්තර් ප්‍රාන්ත තරගාවලියේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීමෙන් ප්‍රේක්ෂකයින්ගේ අවධානය සහ ආකර්ෂණය අඩු වීමට ඉඩ ඇති බව දක්වමිනි.

සිලෝන් කණ්ඩායම විසින් මෙම පළමු පෙළ කණ්ඩායම පරාජය කළ නමුත් ඉන්පසු වසර 50ක් පමණ වනතුරු ප්‍රබල විදේශීය පළමු පෙළ කණ්ඩායමක් පරාජය කිරීමට මෙරට කණ්ඩායමකට නොහැකි විය.

මුලාශ්‍ර:
1. The Complete Illustrated History of Australian Cricket by Jack Pollard
2. A History of Australian Cricket by Chris Harte
3. The Janashakthi Book of Sri Lanka Cricket by S.S. Perera
4. Crosscurrents: Sri Lanka and Australia at Cricket by Michael Roberts & Alfred james
5. Trove.nla.gov.au - “Sydney Morning Herald” & “The Age” News Papers.

aq photo 635339848091716130317_zps7olcilbi.png
102nd

No comments:

Post a Comment