Sunday, February 17, 2019

කුසල් ජනිත් ගේ ඉනිම ටෙස්ට් ඉතිහාසයේ ශ්‍රේෂ්ටතම ඉනිම ද ?


  • දිනය: පෙබරවාරි මස 16, 2019. දකුණු අප්‍රිකාවේ ඩර්බන් හි කින්ග්ස්මිඩ් ක්‍රීඩාංගනය


2019 වසරේ පෙබරවාරි මස 15 වන දින, ඩර්බන් හි පැවති පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අවසන් වූයේ ඕෂධ ප්‍රනාන්දු සහ කුසල් ජනිත් විසින් 4 වන කඩුල්ලට ලකුණු 31ක් එක්කිරීමෙන් අනතුරුව යි. ඒ වනවිට ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය උදෙසා විශාල ලකුණු පරතරයකින් පිටුපස සිටියත් මෙම ලකුණු සම්බන්ධතාවය ඉන් පසු දින යම්තාක් දුරට සාධාරණයක් ඉටු කරයි යන්න විශ්වාසයක් තිබු බවට රහසක් නොවේ. ටෙස්ට් තරගයේ සිවුවන දිනය එනම් පෙබරවාරි මස 16 වන දින ආරම්භ කරමින් ඕෂධ සහ කුසල් ජනිත් ලකුණු පුවරුව 110 තෙක් ගෙන යෑමට පිත්තෙන් ක්‍රියාත්මක වූහ. කෙසේ වූවත් ඕෂධ ගේ දැවී යාමත් ඉන් අනතුරුව පිටියට පැමිණි දික්වැල්ල ගේ නොසන්සුන්කාරී පිතිකරණය නිසා ලකුණු නොලබා දැවී යාමත් ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජයේ සේයාව මෙම ටෙස්ට් තරගයේ දී මුල්ම වරට අත්විදින්නට හැකිවූහ. නමුත් නොම්මර 7 පිතිකරු ධනංජය ද සිල්වා, මින් පෙර නොම්මර 6 හෝ 7 ස්ථාන තුලදී දැක්වූ දස්කම් වලට නොදැවෙනි අයුරින් ඉතාම වටිනා ලකුණු 48ක් රැස්කරන ලදී. ඔහුගේ නියම හැකියාව මතුවන්නේ නව පන්දුවේ දෝලනය ට නොවන බවට මෙය ඉතාම හොඳ නිදසුනක් වන අතර ඔහු මුල්පෙළ පිතිකරුවෙක් ලෙස අසාර්ථක වන්නේ ද මෙම හේතුව නිසයි. 

ධනංජය ද සිල්වා ගේ දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා පිලේ පසුපෙළ පිතිකරුවන් ගේ දැවී යාම ක්‍රමක්‍රමයෙන් ආරම්භ විය. සාමන්‍යය ක්‍රිකට් භාෂා වහරෙන් පවසන්නේ නම් "පෙරහැර පටන් ගත්තා" යන්න අත්විඳින්නට සුවහසක් ලාංකීය ප්‍රේක්ෂක ජනයාට නැවතත් අවස්ථාව ලැබිය. නොම්මර 10 පිතිකරු කසුන් රාජිත පිතිකරණයට පැමිණෙන අවස්ථාවේ දී අනෙක් අන්තයේ සිට හුදෙකලා ඉනිමක් දියත් කරමින් සිටි කුසල් ජනිත් විසින් සෑම ඕවරයක දී ම මුල් පන්දුව හෝ දෙවන පන්දුවේ දී රාජිත ට දකුණු අප්‍රිකානු පන්දුයවන්නන් හට මුහුණ දෙන්නට අවස්ථාව ලබාදීම දුර්වල තීරණයක් මෙන්ම භයානක තීරණයක් වීම තහවුරු වෙමින් රාජිත , කේෂව් මහරාජ් ගේ දඟපන්දුවට දැවී ගියේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමෙනි. 

ලකුණු 78ක් පසුපස සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පිතිකරුවා පිටියට පැමිණෙන්නේ මෙම අවස්ථාවේ දී යි. ඒ වන විට ටෙස්ට් ඉතිහාසයේ එකදු ක්‍රීඩකයින් යුගලයක් හෝ ලකුණු 57 කට වඩා අවසන් කඩුල්ලට රැස්කරමින් හඹා ගොස් ටෙස්ට් ජයග්‍රහණයක් හිමිකර ගෙන නොතිබූ අවස්ථාවක මෙම ලකුණු සම්බන්ධතාවය නොබිඳී පවතියි ද යන සැකය දළුලන්නට විය. 

මෙම ලකුණු සම්බන්ධතාවයේ තීරණාත්මක අවස්ථාව උදා වූයේ 72 වන පන්දුවාරයේ දී දකුණු අප්‍රිකාවේ කේෂව් මහරාජ් ගේ පන්දුවට කුසල් ජනිත් ඉදිරියට පැන ලෝන්ග් ඕන් කලාපයෙන් එපිටට දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමෙන් අනතුරුවයි. තරගය නැරඹු ඕනෑම අයෙකුට නිතැනින්ම වචනයක් දෙකක් කියැවෙන මොහොතක් වූ එය එතරම් අලංකාරයි. තරගයේ පීඩනය කෙතරම් ද යන්න ඒ වනවිටත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 70ක් පසුකර යායුතු මෙන්ම ඉතිරිව ඇත්තේ ද එක් කඩුල්ලකි. ප්‍රතිවාධි ක්‍රීඩකයින් ඉතාමත් සැහැල්ලුවෙන් පන්දුරකිමින් සිටියේ ද මෙය  ඔවුනට නියත ජයක් බවට පසක් වී තිබු බැවින්.

පෙර අවස්ථාවේ දී කසුන් රාජිත හැසිරවූ අයුරු වෙනස් කරමින් කුසල් ජනිත් අවසන් පිතිකරු විශ්ව ප්‍රනාන්දු ට පන්දුවාරයකට මුහුණදෙන්නට ලබාදුන් උපරිම පන්දු ගණන 2ක් වූ අතර එය විශ්ව පහසුවෙන් නොවූවද කෙසේහෝ ආරක්ෂාකාරී අයුරින් මුහුණ දෙන ලදී. ලකුණු පුවරුව ලකුණු එක, දෙක බැගින් එක්වන විට කුසල් ජනිත් ඔහුගේ ශතකය ද රැස්කළේ දැවැන්ත වගකීමක් ඔහු මත පැටවී ඇති අවස්ථාවක දී ය. ඩුආන් ඔලිවර්, උස පන්දුයවන්නෙක් වන මොහු ගේ පන්දු යැවීම නිරීක්ෂණය කළේ නම් මුලිකවම මොහුගේ ප්‍රධානතම පන්දු යැවීමේ අවිය වූයේ පිතිකරුවා ගේ ශරීරය ඉලක්ක කරමින් කෙටි පන්දු යැවීම යි. පසුගිය පකිස්තාන ටෙස්ට් තරඟාවලියේ දී මෙම කෙටි පන්දු යැවීමෙන් උපරිම ඵල නෙලාගත් ඔලිවර් මෙම ටෙස්ට් තරගයේ දී පවා සැලකිය යුතු දක්ෂතා දක්වන්නට හැකිවිය. 77 වන පන්දුවාරයේ දී ඔලිවර් විසින් යැවූ කෙටි පන්දුවට ඉතා අලංකාර පුල් පහරකින් 6 පහරක් එල්ලකළ කුසල් ජනිත් ඔහුගේ ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු ගණන පසු කලේ ය. 

ඉන් අනතුරුව ක්‍රමක්‍රමයෙන් තරගයේ පීඩනය ප්‍රතිවාධින්ට යොමුකරමින් කුසල් ජනිත් විසින් ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළේ දකුණු අප්‍රිකානු නායක ඩුප්ලේසිස් පවා මවිත කරමින්. වරෙක විශ්ව ප්‍රනාන්දු හට මුල්ම පන්දුව මුහුණ දෙන්නට සිදුවූ අවස්තාවක දී එම පන්දුවාරය යැවීමට නියමිතව සිටි ඩේල් ස්ටේන් ගේ දෙවන පන්දුව ස්ලිප් ක්‍රීඩකයෙක් දෙසට විශ්ව යොමුකරන අතරතුර ඉක්මන් ලකුණක් සඳහා පැතිමාරුකරන විට සිදුවූ පන්දුරකින්නන් ගේ දුර්වලතාවයක් මත අමතර ලකුණු 4ක් (Overthrow) ශ්‍රී ලංකා පිලට හිමිවිය. එය ස්ටේන් නොසිතු ඔහුට කෙතරම් පීඩනයක් ද යන්න ඔහුගේ හැඟීම් ප්‍රකාශයෙන් දක්නට ලැබිණ. ස්ටේන් හට මෙන්ම ලොව නොම්මර එකේ ටෙස්ට් පන්දු යවන්නා වන කගිසෝ රබාඩා හට ද ඉතාමත් පහසුවෙන් 6 පහරවල් එල්ල කළ කුසල් ජනිත් 86 වන පන්දුවාරයේ තෙවන පන්දුවේ දී කට් පහරකින් ජයග්‍රාහි ඉලක්කය පසුකර යන්නේ ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී ඉනිමක් දියත් කරමින්. 


  • දකුණු අප්‍රිකානු පන්දුයවන්නන් 
මෙම දකුණු අප්‍රිකානු පන්දුයවන්නන් ගේ බලඇණිය සැලකීමේ දී ඔවුන්ගේ ප්‍රධාන පන්දුයවන්නන් 4ක් (ඩේල් ස්ටේන් හැර) ICC
ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම 25 අතර රැඳී සිටිති. රබාඩා (අංක 1), ෆිලැන්ඩර් (අංක 4), මහරාජ් (අංක 24), ඔලිවර් (අංක 25) අයුරින් ස්ථානගත වී ඇති අතර ඩේල් ස්ටේන් ගේ ආබාධය නිසා කලක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටි නිසා ඔහු ට ඉදිරිපෙළ ස්ථානයක් හිමිවී නැත. කෙසේ වූවත් ස්ටේන් ගේ පන්දුයැවීම පිළිබඳව අටුවා ටීකා අවශ්‍යය නැත. මෙම පන්දුයවන්නන් ගේ සංයුතිය වර්තමාන ටෙස්ට් කණ්ඩායම් සැලකීමේ දී නොම්මර 1 බලඇණිය ලෙස සැලකිය හැකියි. ඩර්බන් හි කින්ග්ස්මිඩ් පිටියේ දී ස්ටේන් ගේ පන්දු යැවීමේ සාමන්‍යය 21.70කි ඔහු සෑම පන්දු 41 කට ම පසු එක් කඩුල්ලක් ලබා ගැනීමේ දළ වේගයක් රඳවා ගෙන සිටියි. මහරාජ් සහ ෆිලැන්ඩර් දෙදෙනාම පන්දු යැවීමේ සාමාන්‍යය 26 සහ 27 රඳවා ගෙන තිබෙන්නේ මෙම ක්‍රීඩා පිටියේ දී ය.  (පෙබරවාරි මස 16ට පෙර). පසුගිය පකිස්තාන සහ දකුණු අප්‍රිකානු තරගාවලිය සැලකීමේ දී දකුණු අප්‍රිකානුවන් ගේ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයට (3-0) ප්‍රබලවම දායක වූයේ ඔලිවර්, රබාඩා සහ ස්ටේන් ත්‍රිත්වයේ පන්දු යැවීමේ විශිෂ්ටත්වයයි. එමෙන්ම ෆිලැන්ඩර් ගේ සුවිශේෂී පන්දු යැවීමේ සංකලනය ද ඉහත ජයග්‍රහණයට වැදගත් විය. ඒ අනුව මෙම දකුණු අප්‍රිකානුවන් ගේ පන්දුයවන්නන් සංයුතිය ඉතාම ප්‍රබල එකක් බවට කිසිදු සැකයක් නෑ. 

  • ක්‍රීඩා පිටිය සහ තණතිල්ල 
ඩර්බන් ක්‍රිකට් පිටිය ඉතාම මන්දගාමී තණතිල්ලක් බවට ප්‍රචලිතයි. ලකුණු රැස්කිරීම පහසු නැත. මුල් දිනයේ හෝ දෙවන දිනයේ දී යම්තාක් දුරට ලකුණු රැස්කළ හැකි නමුදු ඉන් අනතුරුව එය පහසුවෙන් කළ හැකි නොවේ. තණතීරුවේ නියම ඉපිලිම දැකගත හැකිවන්නේ තෙවන සහ සිවුවන දිනයන් හි දිය. ශ්‍රී ලංකා පිතිකරුවන් ගේ එක් මුලික දුර්වලතාවයක් වන කෙටි පන්දුවට මුහුණදීමේ දී දක්වන නොසන්සුන්කාරී බව මෙම තරගයේ දී ද දක්නට ලැබිණ. වරෙක කුසල් ජනිත් තාවකාලික ආබාධයකට ලක්වන්නට සිදුවුයේ රබාඩා විසින් යැවූ පන්දුවකට යි. එවැනි වාතාවරණයක් තුල පිතිකරණයේ යෙදීම පහසු නැත. 

  • පන්දුව 
පන්දුව පරණ වීමෙන් අනතුරුව ස්ටේන් ඇතුළු පන්දුයවන්නන් ප්‍රතිදෝලනය කරන්නට ආරම්භ කළ බව දක්නට ලැබිණ. එමෙන්ම 80 වන පන්දුවාරය ආරම්භ වන විට නව පන්දුව ලබාගෙන ප්‍රබල තර්ජනයක් එල්ලකරන්නට දකුණු අප්‍රිකානුවන් උත්සහ කළ අතර ඒ වනවිට පිතිකරණයේ යෙදී සිටියේ ද අවසන් පිතිකරුවා සහ කුසල් ජනිත් ය. එවැනි තීරණාත්මක අවස්ථාවක දී සිදුවන සුළු වරදකින් තරගයේ ප්‍රතිඵලයම කණපිට හැරවිය හැකියි.

  • පීඩනය සහ තීරණාත්මකභාවය
ඕනෑම ඉනිමක විශිෂ්ටත්වය නිර්ණය කිරීමට දායක කරන ප්‍රබල සාධයකයක් වන්නේ තරගයේ අවස්ථාවට උචිත ප්‍රහාරය, පිතිකරුවාට එල්ලවන පීඩනය සහ තීරණාත්මකභාවය යි. කුසල් ජනිත් පිටියට පැමිණෙන්නේ තෙවන කඩුල්ල බිඳ වැටීමෙන් අනතුරුවයි. ඒ වන විට ලකුණු 52ක් ව තිබු ශ්‍රී ලංකා ඉනිම ක්‍රමයෙන් ලකුණු 226 තෙක් රැගෙන යාමට ඔහුගේ දායකත්වය පැසසුමට ලක්කළ යුතුයි. කෙසේවුවත් ඔහුගේ සහයට අනෙක් අන්තයේ පිතිකරුවන් දිගුවේලාවක් නිරත නොවීම නිසා කුසල් ජනිත් හට හුදෙකලා ඉනිමක් දියත් කරන්නට සිදුවුයේ 9 වන කඩුල්ලත් බිඳ වැටීමෙන් පසුවයි. ලසිත ඇඹුල්දෙනිය ප්‍රථම ඉනිමේ දී දැක්වූ දක්ෂතා විශිෂ්ට වූ අතර දෙවැනි ඉනිමේ දී අවාසනාවන්ත ලෙස කෙටි පන්දුවකට දැවී ගියේ ය. ඉන් අනතුරුව රාජිත ද ඉක්මනින්ම දැවී ගිය අතර අවසානයේ දී විශ්ව ප්‍රනාන්දු හට කුසල් ජනිත් ගේ සහායක පිතිකරු භූමිකාව ක්‍රියාත්මක කරන්නට සිදුවිය. කුසල් ජනිත් එවැනි තත්ත්වයක සිට ඔහු මත පැටවී තිබු තරගයේ පීඩනය සම්පුර්ණයෙන්ම ප්‍රතිවාධින් වෙත යොමුකර තරගයේ අණසක පැතිරවීම මෙම ඉනිම අතිවිශිෂ්ට එකක් බවට පහසුවෙන් සැලකිය හැකියි. 

Image Courtesy: NDTV Sports
⧫ ටෙස්ට් ඉතිහාසයේ ශ්‍රේෂ්ටතම ඉනිම මෙය ද ?

2001 වසරේ දී විස්ඩන් සඟරාව විසින් ප්‍රකාශිත ලොව විශිෂ්ටතම ඉනිම් 100 සැලකීමේ දී එහි අංක 2 ස්ථානයේ සිටින්නේ බ්‍රයන් ලාරා ය. බාර්බඩෝස් පිටියේ දී ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් හට එරෙහිව ලකුණු 300 ක ඉලක්කයක් හඹා ගිය ලාරා අවසන් පිතිකරුවන් කිහිපදෙනා විශිෂ්ට ලෙස කළමනාකරණය කර නොදැවී ලකුණු 153ක් රැස්කරන්නේ තරගයේ පීඩනය ට එරෙහිව ද සටන් වැදිමින්. ලාරා එදා රැස්කළ එම විශිෂ්ට ශතකය සහ කුසල් ජනිත් විසින් රැස්කළ මෙම ශතකය අතර එකම වෙනස තරගය පැවැත්වූ ස්ථානයයි. ලාරා එදා ක්‍රීඩා කළේ ඔහුට හුරුපුරුදු පිටියක දී වූවත් කුසල් ජනිත් ක්‍රීඩා කළේ ඔහුට නුපුරුදු ඔහුගේ ක්‍රිකට් දිවියට වඩාත් අභියෝගාත්මක විදේශ තණතීරුවක් මත සිටයි. එමෙන්ම ලාරා හට අනෙක් අන්තයේ සිට පිතිකරණ සහයක් ඉලක්කය ආසන්න වන තෙක්ම පැවති අතර එම අවස්ථාවේ දී 9 වන කඩුල්ල බිඳ වැටෙන්නේ ඉලක්කයට ලකුණු 6ක් පසුපසින් සිටිය දී ය (8 වන කඩුල්ල බිඳ වැටෙන්නේ ලකුණු 70ක් පිටුපස සිටිය දී). ඒ අනුව කුසල් ජනිත් ගේ මෙම ඉනිම ලාරා ගේ ඉනිමට නොදැවෙනි ඉනිමක් ලෙස සැලකිය හැකියි. 

මෙම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ලෙස ඩොනල්ඩ් බ්‍රැඩ්මන් විසින් 1938 වසරේ දී රැස්කළ ලකුණු 270 යි. අවිවාදයෙන්ම එය ශ්‍රේෂ්ටතම ඉනිම ලෙස සැලකිය හැක්කේ බ්‍රැඩ්මන් ඔහුට සුපුරුදු ස්ථානය වන නොම්මර 3 ස්ථානය වෙනත් පිතිකරුවෙකු ට ලබාදී තීරණාත්මක දෙවැනි ඉනිමේ දී නොම්මර 7 පිතිකරු ලෙස ලකුණු 270ක් රැස්කිරීම යි. එවකට ලෝක වාර්තාවක් වූ එම ඉනිම නිසාම ඕස්ට්‍රේලියාව විශාල ලකුණු පරතරයකින් ජයග්‍රහණය කළේ ය. එමෙන්ම තරගය අතරතුර වර්ෂාවෙන් සිදුවූ බාධා නිසා පිතිකරණයට නුසුදුසු තත්ත්වයක් උද්ගත වීම (විචාරකයින් පවසන පරිදි ඕස්ට්‍රේලියා ප්‍රථම ඉනිම අතරතුර වර්ෂාවෙන් බාධා එල්ලවීමෙන් අනතුරුව තණතීරුවේ ස්වභාවය දැක එය ඒ වනතෙක් දකින ලද අයෝග්‍යයම තණතීරුවයි. එංගලන්තය ඉතා අඩු ලකුණු ගණනකට දැවී යාමෙන් පසු බ්‍රැඩ්මන් විසින් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ රැඩිකල් තීරණයක්ගෙන ඔහුගේ පසුපෙළ පිතිකරුවන් මුල් පෙළ පිතිකරුවන් ලෙස ඉදිරියට යවා බ්‍රැඩ්මන් නොම්මර 7 ස්ථානගත විය. ඒ වනවිට එංගලන්තය ප්‍රථම ටෙස්ට් තරග 2 ජයග්‍රහණය කර මෙම ටෙස්ට් තරගයද එලෙස දස්කම් දක්වා අළු බඳුන කුසලානය දිනා ගනීවි යන්න බලාපොරොත්තුව මත අතිවිශාල ජනකායක් මෙම තරගය නැරඹීමට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයට පැමිණියහ. ඒ අනුව ඉහත සියලු සිදුවීම් වලට අමතරව ඉනිම අතරතුර බ්‍රැඩ්මන් රෝගාතුර වීම සහ තරගයේ දුෂ්කර භාවය සැලකිල්ලට ගෙන මෙම ඉනිම ලොව ශ්‍රේෂ්ටතම ටෙස්ට් ඉනිම ලෙස සලකා ඇත. 

ඒ අනුව කුසල් ජනිත් ගේ ඉනිම ශ්‍රේෂ්ටතම ටෙස්ට් ඉනිම ට පසුපස ස්ථානගත කළ හැකි, අනිවාර්යයෙන්ම ලොව විශිෂ්ටතම ටෙස්ට් ඉනිම් 5න් එකක් ලෙස සැලකිය හැකි බවට මාගේ මතයයි. 

〰 මෙම ටෙස්ට් තරගයේ වාර්තා සහ දත්ත ලැයිස්තුවක් 
〉Highest winning knocks in Tests by Sri Lankans out of Asian Continent 270 - Sanga v 🇿🇼 249 - Atapattu v 🇿🇼 213 - Jayasuriya v 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 170 - Atapattu v 🇿🇼 163* - Dilshan v 🇿🇼 160 - Mathews v 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 157 - Jayasuriya v 🇿🇼 156* - Sanga v 🇳🇿 153* - KUSAL JANITH v 🇿🇦

〉Highest Individual score by an Asian on SA Soil 169 - Sachin Tendulkar in 1997 at Cape Town 155 - Sachin Tendulkar in 2001 at Bloemfontein 153* - KUSAL JANITH PERERA - Today at Durban

〉Highest unbeaten fourth innings score in a winning cause: 214* - Greenidge vs Eng 173* - Bradman vs Eng 173* - Butcher vs Aus 171* - Younis Khan vs SL 154* - G Smith vs Eng 153* - B Lara vs Aus 153* - K Perera vs SA

〉Highest Test knocks by Sri Lankans in South Africa KUSAL JANITH 153*
Tilan Samaraweera 115* Kumar Sangakkara 108 Hashan Tilakaratne 104* Tilan Samaraweera 102

〉Highest 10th wicket partnerships in 4th innings to win a Test match: 78* - Kusal Perera and Vishwa Fernando vs SA, Today 57* - Inzamam-ul-Haq and Mushtaq Ahmed vs AUS, 1994

Kusal Perera becomes the first Asian to score a 4th innings century in South Africa. Overall, the 4th Sri Lankan to score a Test century in South Africa.


පහත දැක්වෙන්නේ , මෙම ඉනිම නැරඹු ක්‍රිකට් ක්‍රීඩකයින් ට්විටර් සමාජ ජාලය ඔස්සේ ප්‍රශංසා දැක්වූ අයුරු.

Former Ashes Winning Captain Michael Vaughan


Indian Spinner Ravichandran Ashwin


Former Windies Fast Bowler and Commentator Ian Bishop


Former Indian Batsman and Commentator Sanjay Manjrekar


Fomer England Batsman and Commentator James Taylor


Nepal Captain Paras Khadka

Former Australian Fast Bowler Jason Gillespie

Former Sri Lankan Captain Kumar Sangakkara

Former Sri Lankan Captain and Spinner Rangana Herath


මුලාශ්‍ර:
https://www.theguardian.com/sport/blog/2013/may/09/20-great-ashes-moments-don-bradman
https://www.youtube.com/watch?v=kJjR19K96q8


aq photo 635339848091716130317_zps7olcilbi.png
@AAQEEEB

2 comments:

  1. වෙනස් බ්ලොග් එකක්.දිගටම කරගෙන යන්න සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි :)

      Delete