Thursday, August 23, 2018

පාර්සිවරුන් ක්‍රිකට් නීති සංශෝධනය කිරීම - II

මෙහෙල්ලෂා පාව්රි, ඉන්දියානු ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම ශ්‍රේෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සැලකෙනවා. 1880, 1890 දශකයන් හිදී ක්‍රීඩා කළ මෙහෙල්ලෂා පාව්රි පාර්සි ජාතිකයෙක් වන අතර වේග පන්දු යැවීමේ නිපුණතාවයකින් යුක්ත ක්‍රීඩකයෙක් ලෙස ද සැලකෙනවා. 1892 /93 කාලසමයේ දී ඉන්දියාවට පැමිණි මාර්ටින් හෝව්ක් (ලෝර්ඩ් හෝව්ක්) ප්‍රමුඛ එංගලන්ත කණ්ඩායම ඉන්දියාවේ දී තරග කිහිපයක් සඳහා ක්‍රීඩා කිරීමට පැමිණ ඇති බව සඳහන්. කෙසේ වෙතත් තරග දෙකක් හැර අනෙකුත් තරග සියල්ලම ඉන්දියාවේ විසූ බ්‍රිතාන්‍යය ජාතිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් හා තරග වැදුන ද පාර්සිවරුන් සමඟ ක්‍රීඩා කළ තරග දෙක වඩාත් කැපී පෙනුනා. 

1892 වසරේ දෙසැම්බර් මස 22 වන දා පැවති පර්සිවරුන් සහ ලෝර්ඩ් හෝව්ක් ප්‍රමුඛ කණ්ඩායම අතර තරගය අතරතුර මෙහෙල්ලෂා පාව්රි ගේ දස්කම් ඉහළ මට්ටමක පැවතියා. ඔහු කඩුලු 10ක් දවාගැනීමට සමත් වූ අතර පාර්සිවරුන් එම තරගය ලකුණු 109 කින් ජයගත් අතර එය එම තරගාවලියේ එංගලන්ත කණ්ඩායමේ ප්‍රථම පරාජය වුනා. 
Lord Hawke - © Getty Images
කෙසේ වෙතත් මෙම තරගය අතරතුර සිදුවූ සමහර සිදුවීම් ලෝර්ඩ් හෝව්ක් ගේ දෝෂදර්ශනයට ලක්වුනා. එම තරගය පැවති දිනයේ අධික උණුසුම් තත්ත්වයකින් යුක්ත වීම නිසා පාර්සි ක්‍රීඩකයින් වරින්වර පානය කිරීමට වතුර ගෙන එන තෙක් කාලය කා දැමු බවට වාර්තා වනවා. යම් පිතිකරුවෙක් හතරේ පහරක් එල්ල කරන සෑම අවස්ථාවක දී ම සහායක ක්‍රීඩකයින් එම පිතිකරුවා වෙනුවෙන් වතුර රැගෙන ඒම නිසා තරගයට නියමිත කාලසීමාව අනවශ්‍යය අයුරින් දීර්ඝ වී තිබෙනවා. 

එකල ඉන්දියාවේ අන් ජාතින් හා සැසඳූ විට පාර්සිවරුන් බ්‍රිතාන්‍යය ජාතිකයින්ට වඩාත් සමීප සම්බන්ධතාවයක් පැවැත්වූ බවටත් ක්‍රිකට් ප්‍රචලිත වීමට එය ඉවහල් වූ බවත් වාර්තා වේ. නමුත් ඔවුන් ක්‍රිකට් ක්‍රීඩා කළේ ඔවුන්ට ආවේනික රීති පද්ධතියක් තුල වීම ක්‍රිකට් හි අපූරු සිදුවීම් කිහිපයකටම හේතු වී තිබෙනවා. 

aq photo 635339848091716130317_zps7olcilbi.png

No comments:

Post a Comment