Monday, April 10, 2017

බර්ටි විජේසිංහ මහත්මයා අභාවප්‍රාප්ත වේ.





විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස නම් දරා සිටි , පසුකලක පුහුණුකරුවෙකු, ක්‍රිකට් විස්තර විචාරකයෙකු මෙන්ම ක්‍රිකට් රචකයෙක් ලෙස ප්‍රචලිත ව සිටි මෙරට වයස්ගතම ක්‍රිකට් ක්‍රීඩකයා වූ බර්ට්‍රම් (බර්ටි) විජේසිංහ මහත්මයා ඊයේ (09.04.2017) මියගිය බවට වාර්තා පලවිය. නියුමෝනියාව හේතුවෙන් ජයවර්ධනපුර නව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බර්ටි මහත්මයා මිය යනවිට 96 හැවරිදි විය. 

1936 වසරේ දී එවකට 15 හැවරිදි පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරමින් ප්‍රථම වරට කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව දෙවිදුහල් අතර මහා ක්‍රිකට් තරඟයට ක්‍රීඩා කිරීමට ඔහුට අවකාශ ලැබිණ. 1939 වසරේ දී තෝමස් විද්‍යාලයේ නායකයා බවට පත් වූ ඔහු එම පාසල් ක්‍රිකට් සමයේ වැඩිම ලකුණු ලාභියා විය. 1918 මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ ජැක් ඇන්ඩර්සන් ට පසු ප්‍රථම වරට පාසල් ක්‍රිකට් සමයක් තුල ලකුණු දහස සම්පුර්ණ කල ප්‍රථමයා ඔහු විය. එමෙන්ම ඔහු එම කාල වකවානුව තුල කඩුලු 15ක් ද බිඳ දැමීමට සමත් විය. 

එම වසරේ දීම බර්ටි, ඒකාබද්ධ පාසල් කණ්ඩායමේ නායකයා වෙමින් විශ්වවිද්යාලිය කණ්ඩායමට එරෙහිව තරඟ වැදීන. රාජකීය සාන්ත තෝමස් මහා ක්‍රිකට් ගැටුමට පෙර පැවති තරඟ 5 අවසානයේ දී ඔහුගේ පිතිකරණ සාමන්‍යය 97.80 ක් වූ අතර ලකුණු 580 ඉක්මවා තිබිණ. ඔහුගේ කණ්ඩායමේ අනෙක් පිතිකරුවන් පවා එක්ව රැස්කර තිබුනේ එවැනිම ලකුණු ප්‍රමාණයක් වීම ඔහුගේ පිතිකරණ හැකියාවේ විශිෂ්ටත්වය පසක් කරයි.

1949 - 1956 අතර කාල සිමාව තුල සිලෝන් කණ්ඩායම නියෝජනය කරමින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීමට බර්ටි මහත්මයාට හැකිවිය. 1949 වසරෙ මෙරටට පැමිණි කොදෙව්වන්ට එරෙහිව කොළඹ ඕවල් හි පැවති තරඟයේ දී ප්‍රථම ඉනිමේ ශතක ලාභී කොදෙව්වන්ගේ නමගිය ආරභක පිතිකරුවෙක් වූ ඇලන් රේ ගේ කඩුල්ල බිඳ දැමීමට සමත් වුයේ ද බර්ටි ය. එම ඉනිමේ එකම කඩුල්ල වුයේ ද එයයි. සිලෝන් කණ්ඩායමේ ප්‍රථම ඉනිම ලකුණු 122 කට සිමා වුවත් එහිදී වැඩිම ලකුණු රැස්කිරීමට සමත් වුයේ ද බර්ටි යි (28). බර්ටි කොදෙව්වන් සමඟ පැවති ඊළඟ තරඟයේ දී ද ඇලන් රේ ගේ කඩුල්ල බිඳ දැමී ය.




එම වසරේ දීම මෙරටට පැමිණි පකිස්ථානුවන්ට බර්ටි ගේ පන්දු යැවීම නිසා අසරණ වන්නට සිදුවිය. මුල් පෙළ පිතිකරුවන් 5 ම දැවී යන්නට සිදුවුයේ බර්ටි ගේ දකුණත් මඳ වේග පන්දුවට මුහුණ දීමට නොහැකි වීමෙනි. නසාර් මොහොමඩ්, ඉම්තියාස් අහමඩ් වැනි පකිස්තානු විශිෂ්ට පිතිකරුවන් පවා ඔහුගේ පන්දුවට මෙල්ල විය.

ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස මෙරටට සේවය ලබාදීමෙන් අනතුරුව ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස බර්ටි මහත්මයා මෙරට විශිෂ්ට ක්‍රීඩකයින් රැසක් ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට සමත් විය. වෙත්තමුණි සහෝදරයින්, අනුර තෙන්නකෝන් වැන්නන් ගේ පුහුණුකරුවා වුයේ ද බර්ටි මහත්මයා යි. එමෙන්ම මෙරටින් බිහිවූ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවා වූ කුමාර් සංගක්කාර ගේ පාසල් පුහුණුකරුවා වුයේ ද බර්ටි මහත්මයා යි.



................. BERTRUM WIJESINGHE (1920 - 2017) .................


aq photo 635339848091716130317_zps7olcilbi.png




No comments:

Post a Comment