Sunday, April 2, 2017

ලකුණු පුවරුවෙන් බිඳක් - 13



1995 වර්ෂය මුරලි ට අමතක නොවෙන එකක් බව නිසැකයි. ඕස්ට්‍රේලියාවේ දී පන්දුව දමා ගැසීමේ චෝදනාවට ලක්වන්නට ඔහුට සිදුවුයේ එම වසරේ දියි. එමෙන්ම රුමේෂ් රත්නායක විසින් පිහිටුවා තිබු ශ්‍රී ලංකාවේ වැඩිම කඩුලු ලාභියා යන වාර්තාව බිඳ දැමීමට මුරලි සමත් වන්නේ ද මෙම වසරේ අගදී යි. කෙසේ වෙතත් මේ ඉහත අවස්ථා පිලිබඳ පුර්වකථනයක් නොවේ. 1994 සහ 1995 පළමුපෙළ සමයේ අවසන් භාගයේ දී මුරලි අපුරු දස්කමක් දැක්වීමට සමත් වන්නේ බි.ආර්.සී පිලට එරෙහිව යි. ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය නියෝජනය කල මුරලි සමඟ ප්‍රබල පන්දු යැවීමේ බලඇණියක් ක්‍රියාත්මක වීම අනෙකුත් කණ්ඩායම් පරාජය කිරීමේ ප්‍රබලතම තුරුම්පුව විය. හතුරුසිංහ සොහොයුරන්, නිරෝෂන් බණ්ඩාරතිලක, උපුල් චන්දන සහ චම්පක රාමනායක වැන්නන් සමඟ මුරලි ද ඔහුගේ සහය ලබා දුන්නේ ය. 

කෙසේ වෙතත් ඉහත බි.ආර්.සී. සමඟ තරඟය කොළඹ ඕවල් හි පෙබරවාරි මස 3,4 සහ 5 තෙදින පුරාවට පැවැත්විය. ටැමිල් යුනියන් පිල පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ විශාල ලකුණු සංඛ්‍යාව හඹායාමට පිටියට පැමිණි බි.ආර්.සී. පිතිකරුවන් ගේ ප්‍රථම කඩුල්ල දවා ගැනීමට ටැමිල් යුනියන් හි නමගිය වේග පන්දු යවන්නෙකු වූ චම්පක රාමනායක ට හැකි විය. ඉන් පසු දෙවන කඩුල්ලට ලකුණු 71ක් රැස්කිරීමට බි.ආර්.සී පිතිකරුවන් සමත් වුවත් දෙවන කඩුල්ල බිඳ වැටීමෙන් අනතුරුව තරඟයේ අණසක පතුරවන්නට මුරලි ගේ දඟ පන්දුව ක්‍රියාත්මක විය. බි.ආර්.සී. ප්‍රථම ඉනිම ලකුණු 138 කට සිමා වන විට මුරලි ලකුණු 8ක් පමණක් ලබා දී කඩුලු 8ක් දවාගන්නට සමත් වුයේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක කඩුලු 8ක් දවාගත් පන්දුයවන්නන් අතුරින් 7 වන හොඳම පන්දු යැවීම වාර්තා කරමිනි. එමෙන්ම කඩුලු 8ක් දවාගත් ඉනිම් අතුරින් ආසියාතික පන්දුයවන්නෙකු ගේ හොඳම පන්දු යැවීම ද එය විය.




aq photo 635339848091716130317_zps7olcilbi.png
02.04.2017





No comments:

Post a Comment