Wednesday, March 8, 2017

1,000 !!!

Getty Images

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන රංගන හේරත් ඉතාමත් දුර්ලභ වාර්තාවක් අභියස මේ වන විට සිටියි. එනම් ශ්‍රී ලංකා පන්දුයවන්නන් අතුරින් පළමුපෙළ කඩුලු 1000ක් දවාගත් දෙවනියා වීමට ඔහුට අවශ්‍යව ඇත්තේ කඩුලු 12ක් පමණයි. බොහෝ විට ඔහු මේ වනවිට පැවැත්වෙන බංගලාදේශයට එරෙහි ටෙස්ට් තරඟාවලියේ දී මේ කඩඉම පසුකර යාමට වැඩි ඉඩක් ඇත.

අපි බලමු ඔහුගේ ප්‍රථම කඩුල්ලේ සිට මේ වන තෙක් ඔහු පසුකර පැමිණි කඩඉම්.

ප්‍රථම කඩුල්ල



කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ රංගන හේරත් ඔහුගේ මුල්ම ක්‍රිකට් සමාජය ලෙස කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් පළමුපෙළ ක්‍රීඩා දිවිය ආරම්භ කලේ ය. ප්‍රථම තරඟයේ දී කිසිදු කඩුල්ලක් දවාගැනීමට සමත් නොවෙන හේරත් ඔහුගේ දෙවන පළමුපෙළ තරඟයේ දී කළුතර නාගරික සමාජය ට එරෙහිව ඔහුගේ ප්‍රථම කඩුල්ල දවාගැනීමට සමත් විය. ඔහු දවාගැනීමට සමත් වුයේ චිත්‍රක නිලංග හෙට්ටිආරච්චි යි.

50 වන කඩුල්ල



හේරත් ගේ ආරම්භය මන්දගාමී වුවත් 1999 වසරේ දී ඔහු මුවර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට එළඹිය. එහිදී ඔහු 50 වන කඩුල්ල ලෙස බී.ආර්.සී. පිලේ රියාස්(z) ෆාරුක් දවාගැනීමට සමත් විය.

100 වන කඩුල්ල



මුවර්ස් කණ්ඩායමේ දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන රංගන හේරත් ශ්‍රී ලංකා - A කණ්ඩායමට කැඳවන්නට එවකට තේරීම් කමිටුව තීරණය කරන ලද අතර එහිදී එංගලන්තයේ සරේ ප්‍රාන්තයට එරෙහිව හේරත් 100 වන කඩුල්ල දවා ගන්නේ ය. ඔහු දවාගන්නට සමත් වන්නේ එංගලන්ත හිටපු නායකයෙක් මෙන්ම විශිෂ්ට කඩුලු රකින්නෙක් වූ ඇලෙක් ස්ටුවර්ට්.

200 වන කඩුල්ල



200 වන කඩුල්ල ලෙස පානදුර ක්‍රීඩා සමාජයේ දුෂ්මන්ත මහේෂ් දවාගැනීමට රංගන හේරත් 2001 වසරේ ප්‍රිමියර් ශුරතා තරඟාවලියේ දී සමත් විය. එම තරඟය හේරත් ගේ 50 වන පළමුපෙළ තරඟය වීම සුවිශේෂී අවස්ථාවකි.

300 වන කඩුල්ල 



බී.ආර්.සී පිලේ සුරන්ජිත් සිල්වා ලකුණු 26 කට දවගානිමින් රංගන හේරත් කඩුලු 300 සීමාවට එළඹුයේ 2003 වසරේ දී යි. 

400 වන කඩුල්ල 



ප්‍රථම වරට රංගන හේරත් ගේ පළමුපෙළ කඩඉමක් පසුකරන අවස්තාවක් ටෙස්ට් තරඟයක දී වාර්තා වුයේ 2005 දී ය. බංගලාදේශයට එරෙහිව ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති පළමු ටෙස්ට් තරඟයේ දී බංගලාදේශ මැදපෙළ පිතිකරු අෆ්ටාබ් අහමඩ් දවාගනිමින් 400 වන කඩුල්ල පසුකරයාමට හේරත් සමත් විය. මෙම තරඟයේදී ම මුත්තයියා මුරලිදරන් 550 වන ටෙස්ට් කඩුල්ල දවාගැනීමට සමත් විය.

500 වන කඩුල්ල 



ඉන්දියානුවන්ට එරෙහිව 2007 දී එංගලන්තයේ දී පැවති තරඟයක දී ශ්‍රී ලංකා A පිල නියෝජනය කරමින් හේරත් 500 වන කඩුල්ල දවාගන්නා ලදී. එම අවස්ථාවේ දී ඔහු දවාගන්නට සමත් වන්නේ ඉන්දියානු ආරම්භක පිතිකරුවෙක් ලෙස කටයුතු කල වසීම් ජෆාර්.

600 වන කඩුල්ල 



හේරත් ගේ 600 වන පළමුපෙළ කඩුල්ල 2009 වසරේ දී වාර්තා විය. ජෙසී රයිඩර් ගේ කඩුල්ලත් සමඟ ඉහත 600 වන කඩුල්ල සම කරන හේරත් එම ටෙස්ට් තරඟයේ දී කඩුලු 8ක් දවාගත්තේ ය. 

700 වන කඩුල්ල 



ක්‍රිකට් ක්‍රීඩාවේ අවාසනාවන්ත ඉරණමකට ලක්වූ ඕස්ට්‍රේලියාවේ ෆිල් හියුස් රංගන ගේ 700 වන පළමුපෙළ කඩුල්ල විය. ඔස්ට්‍රේලියානුවන්ගේ දෙවන ඉනිමේ දී වාර්තා වූ මෙම අවස්ථාවේ දී හියුස් ලකුණු 126ක් රැස්කරගෙන සිටියේ ය. තරඟය 2011 වසරේ SSC හිදී පැවති ය.

800 වන කඩුල්ල 



ගාලු ක්‍රිකට් සමාජයේ ලෙවන් මොෂින් හැලඹගේ දවාගනිමින් හේරත් 800 වන කඩුල්ල සම්පුර්ණ කිරීමට සමත් වුයේ 2013 වසරේ දී යි.

900 වන කඩුල්ල 



2015 වසරේ ඉන්දියානුවන්ගේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරය අතරතුර දී ඉශාන්ත් ශර්මා ගේ කඩුල්ල දවාගනිමින් රංගන හේරත් ශ්‍රී ලංකා පළමුපෙළ ඉතිහාසයේ කඩුලු 900 සීමාව පසුකල දෙවැන්නා බවට පත්විය. 

රංගන හේරත් මේ වනවිට (08.03.2017) කඩුලු 988 ක් බිඳහෙලා ඇති අතර වාර්තාගත 1000 වැනි කඩුල්ල කවුරුන් වේද ? 

#Hera1000

@AKSCOOP6
08.03.2017

No comments:

Post a Comment