Sunday, January 3, 2016

පිට පිට කඩුලු 4 යි.



2015/16 අන්තර් සමාජ පළමුපෙළ තරඟාවලියේ සුවිශේෂී වාර්තාවකට හිමිකම් කීමට කොළඹ කොල්ට්ස් ක්‍රිකට් සමාජයේ ප්‍රභාත් ජයසුරිය අද (03.01.2016) සමත් විය. බදුරලිය ක්‍රීඩා සමාජයේ පළමු ඉනිමේ අවසන් පන්දු තුනේ කඩුලු 3ක් සහ දෙවන ඉනිමේ ප්‍රථම පන්දුවෙන් තවත් කඩුල්ලක් දවාගනිමින් මෙරට පළමුපෙළ ක්‍රිකට් ඉතිහාසයේ දෙවන වරට පන්දුයවන්නෙක් පිට පිට කඩුලු 4ක් දවාගැනීමේ ඉතා දුර්ලභ වාර්තාවක් ඔහු සතු විය. පිට පිට කඩුලු 4ක් දවාගැනීමේ අවස්ථා ඉතාමත් විරල වන්නේ එවැනි දස්කම් දැක්වූ අයවලුන් පළමුපෙළ ඉතිහාසයේ ඇත්තේ අවස්ථා 40 කදී පමණක් වීමයි.  

බදුරලිය පිලේ මුල් ඉනිමේදී දුලංජන මෙන්ඩිස්, අබ්දුල් කාදර්, චමත් ගුණසිංහ යන පිතිකරුවන් සහ දෙවනුවට නැවත පන්දුවට පහර දීමට පැමිණි බදුරලිය පිලේ ආරම්භක පිතිකරු පැතුම් මධුසංක දවාගනිමින් ඉහත වාර්තාව අත්පත් කරගැනීමට ඔහුට හැකිවිය. කොල්ට්ස් පිල මුල් ඉනිම සඳහා රැස්කළ ලකුණු 344 ඉනිම් දෙකක් පිතිකරණයේ යෙදුනද බදුරලිය පිලට හඹා යාමට නොහැකි වුයේ ප්‍රභාත් ජයසුරියගේ අනර්ග දඟ පන්දු සංකලනයයි. ප්‍රභාත් ජයසුරිය පළමු ඉනිමේදී කඩුලු 5ක් ලකුණු 25කට දවාගත් අතර එය ඉනිමක දී ඔහුගේ හොඳම පන්දුයැවීමයි. එමෙන්ම දෙවන ඉනිමේදී තවත් කඩුලු 5ක් ලකුණු 83 කට දවාගැනීම නිසා පළමුපෙළ තරඟයක ඔහුගේ හොඳම පන්දුයැවීමත් අද වාර්තා විය. 

කොල්ට්ස් ක්‍රිකට් සමාජය වෙනුවෙන් කඩුලු ත්‍රිත්ව ලබාගත් පන්දුයවන්නන්. 

  • චමින්ද වාස් - කොළඹ ක්‍රිකට් සමාජය ට එරෙහිව - 2010/11 
  • ප්‍රභාත් ජයසූරිය - බදුරලිය ක්‍රීඩා සමාජය ට එරෙහිව - 2015/16 


මෙරට පන්දුයවන්නන් අතරින් පිට පිට කඩුලු 4ක් දවාගත් ක්‍රීඩකයින්.
  • දුශාන්ත ඩයස් (බස්නාහිර පළාත් කණ්ඩායම) - මධ්‍යම පළාත් කණ්ඩායම ට එරෙහිව - 1990/91 - පළමුපෙළ 
  • ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව) - දකුණු අප්‍රිකාව ට එරෙහිව - 2006/07 - ජාත්‍යන්තර එක්දින 
  • ප්‍රභාත් ජයසුරිය (කොළඹ කොල්ට්ස් ක්‍රිකට් සමාජය) - බදුරලිය ක්‍රීඩා සමාජය ට එරෙහිව - 2015/16 - පළමුපෙළ 


එමෙන්ම බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ප්‍රථම පන්දුයවන්නා වීමේ භාග්‍ය ද ඔහුට හිමි විය. 

#DON
03.01.2015





No comments:

Post a Comment